Friday, April 12, 2019

කෙප්ලර් වෙසල්ස්ට ශ්‍රී ලංකාවෙන් අමතක නොවන පාඩමක්...!

සතියක විතර කාලයකට පස්සේ නැවතත් ක්‍රිකට් සම්බන්ධ පැරණි ලිපියක් පළකරන්න අදහස් කලේ කාලීන මාතෘකා ගැන ලියන එක අප්‍රියම වෙලා තියෙන නිසාවෙන්මයි.

මේ ලිපිය නම් මීට කලින් පළකරපු එකක්,

ඒත් නොබලපු අය වෙනුවෙන් නැවතත් පළකරන්නේ මේ වගේ සිදුවීම් අදකාලේ නිතරම සිදුවෙනවා දකින්න නොලැබෙන නිසා.

අද කාලේ කෙප්ලර් වෙසල්ස් ගැන දන්න අය සීමිත උනත් මීට ටික කාලෙකට කලින් කෙප්ලර් ගොඩක් ජනප්‍රිය චරිතයක්.

කෙප්ලර් තමයි රටවල් දෙකක ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු පළවෙනි ක්‍රීඩකයා. 

ඒ වගේම කෙප්ලර් කියන්නේ ලංකාවෙදි ටෙස්ට් ශතකයක් ලබාගත්ත පලවෙනි විදේශීය ක්‍රීඩකයා. 

ඒ වගේම කෙප්ලර්ගේ පුතා රිකී වෙසල්ස් ලංකාවේ Club cricket සෙල්ලම් කලා කියන එක බොහෝ අය දැනුවත් කාරණයක්.

ඉතින් එහෙම බැලුවම කෙප්ලර් කියන්නේ ලංකාවේ ක්‍රිකට් වලට නුපුරුදු නමක් නෙවෙයි.

හැබැයි මේ කියන්න යන්නේ නම් ශ්‍රී ලංකාව අවතක්සේරු කරලා කට වරද්දගෙන කෙප්ලර් නාගත්ත තැනක් ගැනයි.

2011 ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය දෙපාර්ශවයේ ප්‍රෙක්ෂකයන්ට බොහොම මිශ්‍ර මතකයන් ගෙනාපු සංචාරයක්.

මේ සංචාරයට කලින් දකුණු අප්‍රිකාවෙදි ශ්‍රී ලංකා කණ්ඩායම ලබලා තිබුණ ලොකුම ජයග්‍රහණය තමයි 2000 වර්ෂයේදී එක ටෙස්ට් තරඟයක් Draw කරගත්ත එක. 

ඒ තරඟයත් වැස්ස නිසා draw උනා කිව්වොත් වඩා නිවැරදියි. 

2011 තරඟාවලියට අපි යන්නේ නවක නායක තිලකරත්න දිල්ශාන්ගේ නායකත්වය යටතේ. තරඟාවලිය පටන් ගන්න කලින් දකුණු අප්‍රිකා කණ්ඩායමට වැඩි වාසි තිබුනා කිව්වොත් නිවැරදියි.

ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි ටෙස්ට් තරඟාවලිය ඇරඹුනා. 

පළවෙනි ටෙස්ට් තරඟය තිබ්බේ සෙන්චූරියන් වල. 

දවස් 2 1/2 යන්න කලින් තරඟය අවසන් උනේ ලංකාවට තවත් ලැජ්ජාශීලී පරාජයක් උරුම කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ පරාජයෙන් පස්සේ කෙප්ලර් වෙසල්ස් ප්‍රකාශයක් කරනවා. හැබැයි ඉතිහාසය වෙනස් වෙන්න මේ ප්‍රකාශය හේතු වෙයි කියලා නම් කෙප්ලර් හිතන්න නැතුව ඇති.

"දැන් තමයි අපිට වෙනස්කමක් කරලා බලන්න තියෙන හොඳම වෙලාව. 

තේරීම් කමිටුවට අනාගතය ගැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

අපි ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව එක්ක. 

මොනාද ශ්‍රී ලංකාවට තියෙන්නේ? 

ඔවුන්ට ඉන්නේ පිතිකරුවෝ දෙන්නෙක් විතරයි.

ඒ 'සංගා - මහේල...!'

ඒ දෙන්නව පරද්දන්න අපේ A කණ්ඩායම හිටියත් ඇති."

කෙප්ලර් මෙහෙම කියපු එක ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලේ ලොකු පිබිදීමකට හේතු උනා.ඒ වෙනකොටත් ලංකා ටෙස්ට් කණ්ඩායමේ හොඳ ක්‍රීඩකයන් ගොඩක් හිටියා. තමන්ව හෑල්ලුවට ගත්ත එකට පිළිතුරක් දෙන්නයි මේ කණ්ඩායමේ හිටපු හැමෝටම ඕන උනේ.

දෙවෙනි ටෙස්ට් තරඟය දෙසැම්බර් 26 වෙනිදා ඩර්බන් වලදී ආරම්භ වෙනවා.

• මුලින්ම පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පලවෙනි ඉනිමට ලකුණු 338ක් ලබාගන්නවා.

තිලාන් සමරවීර - 102

දිනේෂ් චන්දිමාල් - 58

තිලකරත්න දිල්ශාන් - 47

De Lange - 81/7

• දකුණු අප්‍රිකානු පළවෙනි ඉනිම - 168

හෂීම් අම්ලා - 54

චානක වෙලගෙදර - 52/5

රංගන හේරත් - 49/4

• ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම පහරදීලා ලකුණු 279ක් ලබාගන්නවා.

කුමාර් සංගක්කාර - 108

දිනේෂ් චන්දිමාල් - 54

තිලාන් සමරවීර - 43

ඩේල් ස්ටේන් - 73/5

• දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙන්න යන දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරඟය ජයගන්න නම් ලකුණු 450ක් ලබාගන්න අවශ්‍ය උනා.හැබැයි රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවෙනි ඉනිම ලකුණු 241කට සීමා වෙනවා.

ඒ.බී ඩිවිලයර්ස් - 69

හෂීම් අම්ලා - 51

ඩේල් ස්ටේන් - 43

රංගන හේරත් - 79/5

• ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 208කින් තරඟය ජයග්‍රහණය කරනවා.දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා පොත්වල සටහන් උනේ අන්න එහෙමයි.

• තරඟයේ වීරයා - රංගන හේරත්

තරඟය ආරම්භ වෙන්න කලින් අනිවාර්යයෙන්ම පරාජය වෙන තත්වයක ඉඳලා තරඟය ජයග්‍රහණය කරන්න තරම් මානසිකත්වයක් ඇති වුණේ කෙප්ලර් නිසා කිව්වොත් ඇත්තටම වැරදි නෑ.

කෙප්ලර්ට ස්තූති කරන්නත් නායක දිල්ශාන් අමතක කලේ නෑ.

"ඇත්තටම අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා කෙප්ලර් වෙසල්ස් මහත්මයාට අපේ ධෛර්යය වැඩි කරපු එක ගැන. 

අපි ක්‍රීඩා කලේ සැබෑ ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩා කරන ආකාරයටයි. 

ලෝකේ හොඳම කණ්ඩායමක් ඔවුන්ගේ රටේදීම පරාජය කරන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වෙනවා"

ඔන්න ඔහොමයි කට වරද්දගත්ත කෙප්ලර්ට පිළිතුරු දුන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ කතාව අවසන් උනේ.

දැන් කෙසේ වෙතත් අතීතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කියනදේ හෑල්ලුවට ගත්ත කෙනෙක්ව ලේසියෙන් අතාරින්න තරම් අපේ කණ්ඩායමේ හිටිය ක්‍රීඩකයෝ දියාරු චරිත නෙවේ. 

ඒකයි අවුරුදු ගානක් අපි ඒ වගේ ඉහළ මට්ටමක ක්‍රිකට් ක්‍රීඩා කලේ.

අනාගතේ නම් කොහොම වෙයිද මන්දා...? 

- හේලිත හෙට්ටිආරච්චි -

Tuesday, April 2, 2019

කැප්ටන් කූල්ගේ තර්ජනය නිසා සනාබෝයි වෙනස් වූ හැටි...!

1994.12.08 නවසීලන්තයට එරෙහිව සනාබෝයි ලබාගත් පළමු එක්දින ශතකය 

සනා බෝයි ජාතික එක්දින කණ්ඩායමට එක්වන්නේ 1989 දෙසැම්බර් 26 වනදාය.

ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

මුලින් සනාබෝයි එසේත් නැත්නම් සනත් ජයසූරිය නම් ක්‍රීඩකයා කණ්ඩායමට එක්වූයේ පන්දු යැවීමේ අංශය හේතුවෙනි.

එකල සනාබෝයි පිතිකරණයට එතරම් ප්‍රසිද්ධ නොවූ නමුත් 90 දශකය මැද භාගය වනවිට ඔහු කෙමෙන් කෙමෙන් කණ්ඩායමේ නම් දැරූ පිතිකරුවන්ගේ ගොන්නට එක්වීමට සුදුසුකම් ලැබීය.

සනාබෝයි තම මුල්ම එක්දින ශතකය ලබාගන්නේ 1994 වසරේදීය. 

ඒ නවසීලන්තය කණ්ඩායමට එරෙහිවයි. 

මේ එදින සිදුවූ රසවත් සිද්ධියකි...!

ඔබ සැම දන්නා පරිදි අර්ජුන රණතුංග යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කැප්ටන් කූල් කෙනෙක්ය.

ඒ හිතේ ඇතිවන හැඟීම් මූණෙන් නොපෙන්වීමට තරම් අර්ජුන පරිණතයෙකු වීම නිසයි.

පිටතට නොපෙණුන නමුත් අර්ජුන රණතුංග යනු බෙහෙවින් තද ගති තිබූ නායකයෙකි.

තම කණ්ඩායමෙන් තමන්ට අවශ්‍ය දේ හොඳින් හෝ නරකින් ලබා ගැනීමට ඔහු හොඳින් දැන සිටියේය.

අර්ජුන ගැන වරක් අදහස් දැක්වූ ශේන් වෝන් පැවසූයේ තමාට හමුවූ දරුණුතම ප්‍රතිවාදියා අර්ජුන රණතුංග බවයි.

ඒ අර්ජුන රණතුංගගේ සාමාන්‍ය ස්වභාවයයි.

රූපවාහිනියෙන් වරෙක ඔබට පෙනෙන්නේ අර්ජුන තම සහෝදර ක්‍රීඩකයෙක්ගේ කරට අතදමා ආදරයෙන් කතා කරන හැටිය. 

නමුත් ඇත්තටම සිදුවන්නේ සහෝදර ක්‍රීඩකයාට අර්ජුන අමු තිත්ත කුණුහබ්බෙන් මුළු පරම්පරාවම මතක් කර ඇමතීම විය හැක.එහි කිසිම වැරැද්දක් ලියන මා නම් දකින්නේ නැත.

"කණ්ඩායමකට අවශ්‍ය වන්නේ ඔහේ උඩ බලන් ඉන්න නායකයෙකු නොව නිසි වේලාවේදී නිසි තීරණ ගන්නා නායකයෙකි..!"

අපි අර්ජුනට සදා ණයගැති වන්නේ තම ක්‍රීඩකයන් හැසිරූ අයුරුත් අවශ්‍ය දේ අවශ්‍ය වේලාවේදී නිසි ලෙස ලබාගත් ඒ අසහාය නායකත්වය නිසයි.

අර්ජුන ගැන කතාවෙන් මාතෘකාව අමතක වූවා නොවේ.

කවරදාටත් වඩා අර්ජුන,මහේල වැනි නායකයින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ වර්තමානයේය.

එබැවින් එවැනි නායකයින් සිහිපත් කිරීමද මා හට නම් අසීමිත තෘප්තියකි.

ඉතින් 1994 දෙසැම්බර් මස 8 වෙනිදා සිදුවූ ඒ රසවත් සිද්ධියට නැවතත් එමු.

සනාබෝයි තම ක්‍රිකට් දිවියේ මුල් වසර 5 තිස්සේම උත්සහ දැරුවේ තමාට ආවේනික වූ ඒ අසහාය ගණයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව හරිහැටි ලෝකයාට පෙන්වීමටයි. 

එනමුත් 1993 වසරේ මාර්තු 20 වෙනිදා මොරටුවේදී එංගලන්තයට එරෙහිව විකට් 6ක් ලබාගැනීම හැරෙන්නට තම ක්‍රිකට් දිවියේ මුල් කාලසීමාව තුල විශේෂ දස්කමක් දැක්වීමට සනාබෝයි අසමත් විය.

එම නිසා 1994 වසරේදී ලබාගත් ශතකය ක්‍රිකට් ලෝකයට සනත් ජයසූරිය නම් අති භයානක පිතිකරුවාගේ ආගමනයේ සලකුණු පෙන්වූ මුල්ම අවස්ථාව ලෙස සැලකීම වැරැද්දක් නොවන බව මගේ හැඟීමයි.

1994 වසරෙදි මැන්ඩෙලා කුසලාන තරඟාවලිය පැවැත්වූයේ දකුණු අප්‍රිකාවේදීය. ප්‍රබල පකිස්තානය, දකුණු අප්‍රිකා කණ්ඩායම, නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති මේ තරඟාවලියේ 4 වෙනි තරඟය පැවැත්වූයේ දකුණු අප්‍රිකාවේ Bloemfontein හීදීය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කල අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ රොෂාන් මහානාම සමග සනත් ජයසූරියයි.

අවාසනාවකට එසේ පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකුට ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට යෑමට සිදු වූ අතර ඒ රොෂාන් මහනාමයි.

මුල් කඩුල්ල ඉතා ඉක්මනින් දැවී ගිය පසු පිටියට පිවිසි එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ තාප්පය ලෙස හැඳින්වූ අසංක ගුරුසිංහ සමග එකතු වූ සනාබෝයි ස්ථාවර ඉනිමක් ගොඩනැගීමේ පියවර තැබීය.

පිටිය සිසාරා හිතේ හැටියට පහර එල්ල කල සනාබෝයිට අර්ධ ශතකය ලබාගැනීමට වැඩි වේලා ගතවූයේ නැත. 

රසවත් සිද්ධිය සිදුවීම ඇරඹෙන්නේ මේ මොහොතේදීය. 

මෑතකදී තිබූ සාකච්ඡාවකදීද ජයසූරිය සඳහන් කල පරිදි ජයසූරියගේ භාෂාවෙන්ම මම ඒ කොටස ඉදිරිපත් කරමි.

"අර්ධ ශතකයත් පහු කරලා ලකුණු 60ක් වගේ ගහලා ඉන්නකොට මම අනවශ්‍ය පහරකට ගිහින් උඩපන්දුවක් ලබාදුන්නා.

වාසනාවකට ඒ උඩපන්දුව යොමුවුණේ පන්දු රකින්නෙක් නැති තැනකට.

එදා මැච් එකේ සයිඩ් ස්ක්‍රීන් එක කෙලින්ම තමයි අපේ ඩ්‍රෙසින් රූම් එක තිබ්බේ.අර මෝඩ පහර ගහලා ඉවර උනාට පස්සේ මම දැක්කා සයිඩ්ස්ක්‍රීන් එක උඩින් අර්ජුන අයියා ඉන්නවා.

එතන ඉඳන් කියන දෙයක් පිච් එකේ ඉන්න අපිට ඇහෙනවා.

අර්ජුන අයියා මා දිහා බලාගෙනම ඇඳන් හිටපු තුවායත් ගැටගහගෙන නැගිට්ටා.

නැගිටලා අතකුත් උස්සලා කිව්වා,

"@x#x¡x*& උඹ 100ට මෙහායින් අවුට් වෙලා එහෙම ඩ්‍රෙසින් රූම් එකට එහෙම එන්ඩ හිතන්නවත් එපා" කියලා.

ඒක ඇහුනම මගේ මයිල් කෙලින් උනා ඇත්තම කිව්වොත් අර්ජුන අයියගෙන් බැනුම් අහන්න නම් ලේසි නෑ.

ඒ වෙලාවෙදිම මම හිතාගත්තා පුළුවන් උපරිම ගාන මම අද ගහනවා කියලා."

මේ සිද්ධියෙන් පසු ඉතා හොඳ සබඳතාවයන් දෙකක් ගුරුසිංහත්, අරවින්දත් සමඟ පවත්වාගත් සනාබෝයි දැවී යනවිට පන්දු 143කදී ලකුණු 140ක් රැස්කර අවසන්. 

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 288ක් ලබාගැනීමටද සමත්වෙනවා.

සනා - 140

ගුරා - 53

අරා - 55

අර්ජුන - 20*

අවාසනාවකට මේ තරඟයට වර්ෂාවෙන් බාධා වෙනවා.

වර්ෂාව ආරම්භ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්තය පන්දුවාර 14.3ක් අවසානයේ එක විකට්ටුවක් දැවී ලකුණු 68 රැස්කරගෙන අවසන්.

කෙසේ වෙතත් වර්ෂාවෙන් බාධා වූ නිසා දෙපිලටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදෙමින් තරඟය අත්හැර දැමුණා.

සනාබෝයි ශතකයක් ලබාගත් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය නොගත්තේ ඉතාම කලාතුරකින්.

මේ තරඟය ඒ විරල අවස්ථාව මුලින්ම සිදුවූ දිනයයි.

එදායින් ඇරඹුන සනාබෝයිගේ එක්දින ශතක රැස්කිරීමේ ගමනට නැවතීමේ තිත තැබෙන්නේ 2011 වසරේදි ඔහු විශ්‍රාම යන විටදීය.

"අදටත් ඔහු ශ්‍රී ලංකාවේ වැඩිම එක්දින ශතක ලාභියාය...!"

පැරණි ලිපියක් නැවත පළකිරීමකි...!

- හේලිත හෙට්ටිආරච්චි -