Friday, April 12, 2019

කෙප්ලර් වෙසල්ස්ට ශ්‍රී ලංකාවෙන් අමතක නොවන පාඩමක්...!

සතියක විතර කාලයකට පස්සේ නැවතත් ක්‍රිකට් සම්බන්ධ පැරණි ලිපියක් පළකරන්න අදහස් කලේ කාලීන මාතෘකා ගැන ලියන එක අප්‍රියම වෙලා තියෙන නිසාවෙන්මයි.

මේ ලිපිය නම් මීට කලින් පළකරපු එකක්,

ඒත් නොබලපු අය වෙනුවෙන් නැවතත් පළකරන්නේ මේ වගේ සිදුවීම් අදකාලේ නිතරම සිදුවෙනවා දකින්න නොලැබෙන නිසා.

අද කාලේ කෙප්ලර් වෙසල්ස් ගැන දන්න අය සීමිත උනත් මීට ටික කාලෙකට කලින් කෙප්ලර් ගොඩක් ජනප්‍රිය චරිතයක්.

කෙප්ලර් තමයි රටවල් දෙකක ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු පළවෙනි ක්‍රීඩකයා. 

ඒ වගේම කෙප්ලර් කියන්නේ ලංකාවෙදි ටෙස්ට් ශතකයක් ලබාගත්ත පලවෙනි විදේශීය ක්‍රීඩකයා. 

ඒ වගේම කෙප්ලර්ගේ පුතා රිකී වෙසල්ස් ලංකාවේ Club cricket සෙල්ලම් කලා කියන එක බොහෝ අය දැනුවත් කාරණයක්.

ඉතින් එහෙම බැලුවම කෙප්ලර් කියන්නේ ලංකාවේ ක්‍රිකට් වලට නුපුරුදු නමක් නෙවෙයි.

හැබැයි මේ කියන්න යන්නේ නම් ශ්‍රී ලංකාව අවතක්සේරු කරලා කට වරද්දගෙන කෙප්ලර් නාගත්ත තැනක් ගැනයි.

2011 ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය දෙපාර්ශවයේ ප්‍රෙක්ෂකයන්ට බොහොම මිශ්‍ර මතකයන් ගෙනාපු සංචාරයක්.

මේ සංචාරයට කලින් දකුණු අප්‍රිකාවෙදි ශ්‍රී ලංකා කණ්ඩායම ලබලා තිබුණ ලොකුම ජයග්‍රහණය තමයි 2000 වර්ෂයේදී එක ටෙස්ට් තරඟයක් Draw කරගත්ත එක. 

ඒ තරඟයත් වැස්ස නිසා draw උනා කිව්වොත් වඩා නිවැරදියි. 

2011 තරඟාවලියට අපි යන්නේ නවක නායක තිලකරත්න දිල්ශාන්ගේ නායකත්වය යටතේ. තරඟාවලිය පටන් ගන්න කලින් දකුණු අප්‍රිකා කණ්ඩායමට වැඩි වාසි තිබුනා කිව්වොත් නිවැරදියි.

ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි ටෙස්ට් තරඟාවලිය ඇරඹුනා. 

පළවෙනි ටෙස්ට් තරඟය තිබ්බේ සෙන්චූරියන් වල. 

දවස් 2 1/2 යන්න කලින් තරඟය අවසන් උනේ ලංකාවට තවත් ලැජ්ජාශීලී පරාජයක් උරුම කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ පරාජයෙන් පස්සේ කෙප්ලර් වෙසල්ස් ප්‍රකාශයක් කරනවා. හැබැයි ඉතිහාසය වෙනස් වෙන්න මේ ප්‍රකාශය හේතු වෙයි කියලා නම් කෙප්ලර් හිතන්න නැතුව ඇති.

"දැන් තමයි අපිට වෙනස්කමක් කරලා බලන්න තියෙන හොඳම වෙලාව. 

තේරීම් කමිටුවට අනාගතය ගැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

අපි ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව එක්ක. 

මොනාද ශ්‍රී ලංකාවට තියෙන්නේ? 

ඔවුන්ට ඉන්නේ පිතිකරුවෝ දෙන්නෙක් විතරයි.

ඒ 'සංගා - මහේල...!'

ඒ දෙන්නව පරද්දන්න අපේ A කණ්ඩායම හිටියත් ඇති."

කෙප්ලර් මෙහෙම කියපු එක ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලේ ලොකු පිබිදීමකට හේතු උනා.ඒ වෙනකොටත් ලංකා ටෙස්ට් කණ්ඩායමේ හොඳ ක්‍රීඩකයන් ගොඩක් හිටියා. තමන්ව හෑල්ලුවට ගත්ත එකට පිළිතුරක් දෙන්නයි මේ කණ්ඩායමේ හිටපු හැමෝටම ඕන උනේ.

දෙවෙනි ටෙස්ට් තරඟය දෙසැම්බර් 26 වෙනිදා ඩර්බන් වලදී ආරම්භ වෙනවා.

• මුලින්ම පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පලවෙනි ඉනිමට ලකුණු 338ක් ලබාගන්නවා.

තිලාන් සමරවීර - 102

දිනේෂ් චන්දිමාල් - 58

තිලකරත්න දිල්ශාන් - 47

De Lange - 81/7

• දකුණු අප්‍රිකානු පළවෙනි ඉනිම - 168

හෂීම් අම්ලා - 54

චානක වෙලගෙදර - 52/5

රංගන හේරත් - 49/4

• ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම පහරදීලා ලකුණු 279ක් ලබාගන්නවා.

කුමාර් සංගක්කාර - 108

දිනේෂ් චන්දිමාල් - 54

තිලාන් සමරවීර - 43

ඩේල් ස්ටේන් - 73/5

• දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙන්න යන දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරඟය ජයගන්න නම් ලකුණු 450ක් ලබාගන්න අවශ්‍ය උනා.හැබැයි රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවෙනි ඉනිම ලකුණු 241කට සීමා වෙනවා.

ඒ.බී ඩිවිලයර්ස් - 69

හෂීම් අම්ලා - 51

ඩේල් ස්ටේන් - 43

රංගන හේරත් - 79/5

• ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 208කින් තරඟය ජයග්‍රහණය කරනවා.දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා පොත්වල සටහන් උනේ අන්න එහෙමයි.

• තරඟයේ වීරයා - රංගන හේරත්

තරඟය ආරම්භ වෙන්න කලින් අනිවාර්යයෙන්ම පරාජය වෙන තත්වයක ඉඳලා තරඟය ජයග්‍රහණය කරන්න තරම් මානසිකත්වයක් ඇති වුණේ කෙප්ලර් නිසා කිව්වොත් ඇත්තටම වැරදි නෑ.

කෙප්ලර්ට ස්තූති කරන්නත් නායක දිල්ශාන් අමතක කලේ නෑ.

"ඇත්තටම අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා කෙප්ලර් වෙසල්ස් මහත්මයාට අපේ ධෛර්යය වැඩි කරපු එක ගැන. 

අපි ක්‍රීඩා කලේ සැබෑ ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩා කරන ආකාරයටයි. 

ලෝකේ හොඳම කණ්ඩායමක් ඔවුන්ගේ රටේදීම පරාජය කරන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වෙනවා"

ඔන්න ඔහොමයි කට වරද්දගත්ත කෙප්ලර්ට පිළිතුරු දුන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ කතාව අවසන් උනේ.

දැන් කෙසේ වෙතත් අතීතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කියනදේ හෑල්ලුවට ගත්ත කෙනෙක්ව ලේසියෙන් අතාරින්න තරම් අපේ කණ්ඩායමේ හිටිය ක්‍රීඩකයෝ දියාරු චරිත නෙවේ. 

ඒකයි අවුරුදු ගානක් අපි ඒ වගේ ඉහළ මට්ටමක ක්‍රිකට් ක්‍රීඩා කලේ.

අනාගතේ නම් කොහොම වෙයිද මන්දා...? 

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment