Wednesday, April 1, 2020

''ක්‍රිකට් තරඟයකදී යැවූ දුර්වලම පන්දුවාරය''



ක්‍රිකට් තරඟයක යැවූ පන්දුවාරයකදී ලබාගෙන ඇති උපරිම ලකුණු ගණන කොපමණද යන්න ඔබෙන් ඇසුවහොත් බොහෝදෙනෙකුගේ පිළිතුර වන්නේ ඒ ලකුණු 36ක් බවයි.

එහෙත් 1990 වසරේදි නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හීදී පැවැත්වූ ශෙල් ශූරතාවලියේ අවසාන තරඟය වෙලිංටන් හා කැන්ටබරි කණ්ඩායම් අතර පැවතුනු අතර,

එහිදී වෙලිංටන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ බර්ට් වෑන්ස් නම් ක්‍රීඩකයා එක් පන්දුවාරයකදී ලකුණු 77ක් ලබාදී ඇත.

තරඟයේ අවසාන දිනයේදි තම දෙවෙනි ඉනිම සඳහා පහරදුන් වෙලිංටන් කණ්ඩායම ඉනිම අ‍ත්හිටුවමින් කැන්ටබරි කණ්ඩායමට පිතිකරණය සඳහා අවස්ථාව ලබාදුන් අතර,
තරඟය ජයගැනීම සඳහා කැන්ටබරි කණ්ඩායම ලකුණු 291ක් රැස්කල යුතු විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ප්‍රතිවාදී කැන්ටබරි කණ්ඩායම ලකුණු 108කට කඩුළු 8ක් දැවී ඉතා අසීරු තත්වයක සිටියදී ලී ජර්මන්,රොජර් ෆෝඩ් නම් පසුපෙළ පිතිකරුවන් දෙදෙනා එක්ව තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරා පිතිකරණයේ යෙදෙන ලදි.

මෙම සබඳතාවය බිඳ දැමීමට නම් යම් වෙනසක් සිදු කල යුතු බව තේරුම් ගත් වෙලිංටන් කණ්ඩායමේ නායක අර්ව් මැක්ස්වීනි,පන්දුයැවීම සඳහා බර්ට් වෑන්ස් නම් ක්‍රීඩකයා යොදාගැනීමට තීරණය කලේය.

මෙම කාලවකවානුවේදි බර්ට් තම ක්‍රීඩාදිවියේ අවසන් කාලය ගතකරමින් සිටි අතර,
පිතිකරණයේ යෙදෙනු හැර ඔහු පන්දු යැවීම සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ ක්‍රීඩකයෙක් නොවේ.

බර්ට් තම පන්දුවාරය අරඹන විට කැන්ටබරි කණ්ඩායමේ ලකුණු පුවරුව,ලකුණු 196 කට කඩුළු 8ක් ලෙස දිස් වූ අතර බර්ට් තම පන්දුවාරය තුල පන්දු 22ක් යවමින් ලකුණු 77ක් ලබාදුන්නේය.
එම පන්දු 22නුත් ඔහු නීත්‍යානුකූලව යැවූ පන්දු ගණන 5ක් පමණක් වන අතර විනිසුරුවරුන්ගේ මැදිහත් වීමෙන් ඔහුගේ පන්දුවාරය අවසන් කර වෙනත් පන්දුයවන්නෙකුට පන්දුයැවීම සඳහා අවසර ලබාදී ඇත.

බර්ට් වෑන්ස් යැවූ පන්දුවාරය - 0444664614106666600401

මෙතෙක් වේලා තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ක්‍රීඩාකල කැන්ටබරි කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ සිටි අතර,
බර්ට්ගේ දීර්ඝ පන්දුවාරය නිසා තරඟයේ ලකුණු සටහන් කරුවන් අන්ද මන්ද වී,
තම ලකුණු සටහන් වරදවා සටහන් කිරීමද අරඹා තිබිණ.
එම නිසා කැන්ටබරි කණ්ඩායම ලබා තිබූ නිවැරදි ලකුණු ගණන ලකුණු පුවරුවේ සටහන් වී නොතිබිණ.

මේ ජරමර මධ්‍යයේ තරඟයේ අවසන් පන්දුවාරය යැවීමට භාරවූයේ එවාන් ග්‍රේ නම් පන්දුයවන්නාටයි.

තරඟය ජය ගැනීමට කැන්ටබරි කණ්ඩායම ඔහුගේ පන්දුවාරය තුලදී ලකුණු 18ක් ලබාගත යුතු වූ අතර,
එම පන්දුවාරයේ මුල් පන්දු 5දී ලකුණු 17ක් ලබාගනිමින් කැන්ටබරි පිතිකරුවන් තරඟයේ ලකුණු සමකල නමුත් තරඟයේ ලකුණු සටහන් කිරීමේ ඇති වූ දෝෂ නිසා මේ කිසිවක් පිළිබඳව කණ්ඩායම් ද්විත්වයම දැනුවත්ව සිටියේ නැත.

තරඟය ජයගැනීමට අවශ්‍ය වූයේ එක් ලකුණක් බව නොදැන සිටි කැන්ටබරි පිතිකරුවන් අවසන් පන්දුව නිදැල්ලේ යවා තරඟය ජය පරාජයෙන් අවසන් කර ක්‍රීඩාගාරයට ගියෝය.

එදින සිදුවූ සිදුවීමේ ඇත්ත නැත්ත නිසියාකාරව හෙළිවීමෙන් පසු මාස ගණනක් යනතුරුම එම තරඟයේ ලකුණු සටහන් කරුවන්ට කැන්ටබරි කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ අරියාදුවලට ලක්වීමටද සිදුවිය.

තම පන්දුවාරයට ලකුණු 77ක් ලබාදුන් බර්ට් රෙදිපිළි කර්මාන්තයට යොමු විය.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment