Monday, February 10, 2020

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කල පළමු ඉන්දියානු ක්‍රීඩකයා


ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකල පළමු ඉන්දියානුවා වන්නේ K.S රංජිත් සිං නම් ක්‍රීඩකයාය.
එමෙන්ම එංගලන්ත පිළට ක්‍රීඩා කල පළමු සුදු ජාතික නොවන ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේද ඔහුය.

රංජිත් පළමු වරට ටෙස්‍ට් වරම් ලබාගන්නේ 1896 වසරේ ජූනි මාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේදීය.
තමා ක්‍රීඩාකල පළමු ටෙස්ට් තරඟයේ දෙවෙනි ඉනිමේදීම ශතකයක් ලබාගන්නට තරම් 
දක්ෂයෙකු වූ රංජිත්,
කෙටිකලකින්ම එකළ ලොව ක්‍රීඩා කල දක්ෂතම පිතිකරුවන් අතරට එක්වන්නට තරම් හැකියාවක් තිබූ ක්‍රීඩකයෙකි.

පළ වූ වාර්තා වලට අනුව එකළ රංජිත්ට වඩා දක්ෂ පිතිකරුවෙකු සිටියා නම් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස හඳුන්වන W.G ග්‍රේස් පමණි.
ඒ කෙසේ නමුත් වරක් රංජිත් ගැන අදහස් දැක්වූ W.G ග්‍රේස් පවසා තිබුණේ ඔබ තවත් වසර සියයක් ජීවත් වුවද ඔබට රංජිත් වැනි ක්‍රීඩකයෙකු නැවත දැකිය නොහැකිවනු ඇති බවයි.

වර්තමානයේ පිතිකරුවන් බහුල ලෙස භාවිතා කරන Leg Glance පහරේ නිර්මාතෲවරයා වන රංජිත්,
ටෙස්ට් තරඟ 15කදී ඉනිම් 26ක් තුළ ලකුණු 989ක් ලබාගෙන ඇත,
ඔහුගේ පිතිකරණ සාමාන්‍යය ලකුණු 44.95ක් වන අතර ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ලෙස සටහන් වන්නේ ලකුණු 175කි.
1897 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පිදුම් ලබන රංජිත්, එංගලන්ත අධිරාජ්‍යයාගේ ප්‍රියතම ක්‍රීඩකයෙකු වූ බවද සඳහන් වේ.

1907 වසරේ මාර්තුවේ සිට ඉන්දියාවේ නවනගර්හි 'මහරාජා' ලෙස කටයුතු කිරීම ආරම්භ කල රංජිත් එංගලන්ත හමුදා නියෝජනය කරමින් පළමු ලෝක යුද්ධයටද සහභාගි වී ඇත.

වර්තමානයේදි අප ඔබට නිතරම ඇසෙන්නට ලැබෙන ඉන්දියාව තුල පවත්වන 'රංජි කුසලාන ක්‍රිකට් තරඟාවලිය'ට එම නම ලබාදී  ඇත්තේද රංජිත්ට ගෞරව කිරීමක් ලෙසයි.

'රංජිත් සිං' යනු අවිවාදයකින් තොරවම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පුරෝගාමියාය.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment