Wednesday, February 12, 2020

සුද්දන්ටත් නායකත්වය දුන් "සූර වීර ගාමිණි"




'ගාමිණි ගුණසේන'

සමහරක් අය නම් ඒ නම අහලත් ඇති,
ඒත් ගොඩක් අය දන්නේ නෑ කවුද ගාමිණි ගුණසේන කියන්නේ කවුද කියන එක.
ඉතින් ඔය හේතුව නිසාමයි ගාමිණි ගුණසේන කියන ක්‍රිකට් ක්‍රීඩකයාගේ විස්තර ටිකක් ඔයාලත් එක්ක බෙදාහදාගන්න කල්පනා කලේ.

ගාමිණි උපත ලබන්නේ අපේ රට බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ පාලනය යටතේ තිබුණ කාල වකවානුවේ, 
එහෙමත් නැත්නම් අපේ රට සිලෝන් කියන නමින් හඳුන්වපු කාලේ.
හරියටම දින වකවානු වලින් කිව්වොත් ගාමිණි උපත ලබන්නේ 1931 පෙබරවාරි 16 වැනිදා,
උපන් ස්ථානය විදියට සඳහන් වෙන්නේ කොළඹ.

ගාමිණිගේ ළමා කාලය ගතවෙන්නේ කෙන්යාවේ,
ගාමිණිගේ පියා රැකියාව කලේ කෙන්යාවේ වීම තමයි ඒකට හේතුව විදියට සඳහන් වෙන්නේ.
ඒත් ටික කාලෙකට පස්සේ ගාමිණි ලංකාවට ඇවිත් 
කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා.

වයස අවුරුදු 15ක් විතර වෙනකොට අනිත් අයට සාපේක්ෂව ගාමිණි කියන්නේ ඒ තරම් උස මහත ශරීරයක් තිබුණු යෞවනයෙක් නෙවෙයි,
මේ නිසාම රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරපු තමන්ගේ සමකාලීනයෝ බොහොම දෙනෙක් වේග පන්දු යැවීම තෝරගද්දි ගාමිණි තෝරගන්නේ දඟපන්දු යැවීම.
සැලකිය යුතු කාලයක් පාදඟ පන්දු යවන්නෙක් විදියට පාසලේ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් කලත් පාසල් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වෙන්න ගාමිණිට හැකියාව ලැබුණේ නෑ.

ගාමිණිගේ ජීවිතේ හැරවුම් ලක්ෂය උනේ 1947 වසරේ පැවැත්වුන රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟය, මේ තරඟය ආරම්භ වෙන්න සතියක පමණ කාලයක් ඉතුරුවෙලා තියෙද්දි තමන්ගේ අවසාන පුහුණුවීම් කරපු රාජකීය කණ්ඩායමේ පිතිකරුවන්ට නෙට් බෝලර් කෙනෙක් විදියට පන්දු යවන්න ගාමිණිටත් අවස්ථාව ලැබෙනවා.
ඒ කාල වකවානුවේ රාජකීය විද්‍යාලයේ පුහුණුකරු විදියට කටයුතු කලේ F.C ද සේරම් මහත්මයා,
එතුමා ‍රාජකීය විද්‍යාලයේ පුහුණුකරුවෙක් විදියට කටයුතු කරන අතරතුර, සිලෝන් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් විදියටත් ක්‍රීඩා කරපු කෙනෙක්.

පුහුණුවීම් කටයුතු අතරතුර නෙට් වල පන්දු යවන ගාමිණි ගැන අවධානයෙන් හිටපු සේරම් මහත්මයාට, ගාමිණීව වාර්ෂික ක්‍රිකට් තරඟයට රාජකීය කණ්ඩායම් සංයුතියේ බොහොම පෙරළිකාර වෙනසක් සිදුකරන්න පුළුවන් බව තේරුම් යනවා.
ඒ අනුව 1947 වසරේ රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරපු ගාමිණි,
ලකුණු 46කට කඩුළු 4ක් දවාගන්නට සමත්වෙනවා.
දෙවෙනි ඉනිමේදි ගාමිණි විසින් ශාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවාගන්න සමත් වීම විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණයක්.

මේ තරඟය අවසාන වෙන්නේ රාජකීය කණ්ඩායමට කඩුළු 9ක විශිෂ්ඨ ජයක් ලබාදෙමින්!

වාර්ෂික ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කරන්න දායක වුනාට පස්සේ ගාමිණි රාජකීය ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් විදියට ක්‍රීඩා කිරීම ආරම්භ කරනවා විතරක් නෙවෙයි 1948 වසරේ පැවැත්වුන ඊළඟ රාජකීය - ශාන්ත තෝමස් තරඟයේදි ලකුණු 80කට කඩුළු 10ක් දවාගන්නත් ගාමිණිට හැකියාව ලැබෙනවා.

පාසල් අධ්‍යාපනය අවසන් කරපු ගාමිණි එංගලන්තයට සංක්‍රමණය වෙන්න තීරණය කරන්නේ එංගලන්ත රාජකීය ගුවන් හමුදාවට ඇතුළත් වීමේ අදහසෙන්,
රාජකීය ගුවන් හමුදාවට ඇතුළත් වීම ඒ තරම් පහසු දෙයක් නොවුණු නිසා 1953 වසරේදි එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වුන නොටිංහැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගාමිණි තීරණය කරනවා.
නොටිංහැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කරලා වසරක පමණ කාලයක් ගතවීමෙන් පස්සේ ගාමිණිට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබෙනවා.

මේ හේතුව නිසා ප්‍රාන්ත ක්‍රිකට් වලින් ඈත්වෙලා නීතිය හදාරන්න කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුන ගාමිණිට විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නත් අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම 1957 වසරේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලබාගන්නත් ගාමිණිට හැකියාව ලැබෙනවා,
කේම්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදුන්න පළමු ආසියානුවා වෙන්නෙත් ගාමිණිමයි.
ගාමිණිගේ නායකත්වය යටතේ ක්‍රේම්බ්‍රිජ් කණ්ඩායම නියෝජනය කරපු ටෙඩ් ඩෙක්ස්ටර් කියන ක්‍රීඩකයා පසුකාලීනව එංගලන්ත ජාතික කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කිරීමත් සුවිශේෂී කාරණයක්.


ගාමිණි නායකත්වය දුන් 1957 කේම්බ්‍රිජ් කණ්ඩායම


කේම්බ්‍රිජ් කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් 1957 වසරේදි ඔක්ස්ෆර්ඩ් කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ රැස්කල ලකුණු 211,
කේම්බ්‍රිජ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයෙක් ලබාගත් ඉහළම ලකූණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත්වල සටහන් වී තිබෙනවා.

ගාමිණිගේ එම වාර්තාව අදටත් නොබිඳුන වාර්තාවක්!

එමෙන්ම ලෝඩ්ස් පිටියේ ද්විත්ව ශතකයක් ලබාගත් එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේත් ගාමිණි ගුණසේනයි.

ගාමිණි ලකුණු 211ක් රැස්කල ඒ ඉනිමට අනෙක් අන්තයෙන් සහය දුන් ජෙෆ්‍රි කුක් ලකුණු 111ක් රැස්කරන්නටද සමත් වෙනවා,
ගාමිණි හා ජෙෆ්‍රි එක්ව හත්වන කඩුල්ල වෙනුවෙන් ලබාගත් ලකුණු 289 සබඳතාවය අද වනතුරුම ඕනෑම කඩුල්ලක් සඳහා ඔක්ස්ෆර්ඩ් - කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල තරඟ වල වාර්තා වුන ඉහළම සබඳතාවය ලෙසද සටහන් වී තිබෙනවා.
අද වනතුරුම ලෝඩ්ස් ක්‍රීඩාංගනය තුළ පැවැත්වූ පළමු පෙළ තරඟයකදී 7වන කඩුල්ල වෙනුවෙන් වාර්තා වුන හොඳම සබඳතාවයත් මේ සබඳතාවයයි.

පළමු ඉනිමට ඔක්ස්ෆර්ඩ් කණ්ඩායමට වඩා ලකුණු 332ක් ඉදිරියෙන් සිටියදි ඉනිම අත්හිටුවා කේම්බ්‍රිජ් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ නිරත වූ ගාමිණි ලකුණු 40කට කඩුළු 4ක් දවාගන්නත් සමත් වෙනවා.
අවසානයේ ඔක්ස්ෆර්ඩ් කණ්ඩායම ලකුණු 140කට දැවීයාමෙන් පස්සේ කේම්බ්‍රිජ් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 189කින් තරඟය ජයග්‍රහණය කරනවා.

1827 වසරේ සිට ඔක්ස්ෆර්ඩ් - කේම්බ්‍රිජ් තරඟ නියෝජනය කල ක්‍රීඩකයින් අතර හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස හඳුන්වන්නේ ගාමිණි වන අතර ඔහු වසර 3ක් තුල කඩුළු 208ක් හා ලකුණු 2309ක් ලබාගන්නට සමත් වී තිබෙනවා.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වීමෙන් පසු ගාමිණි නැවතත් තමන්ගේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වෙනවා, 
1964 දක්වා නොටිංහැම්ෂයර් කණ්ඩායම නියෝජනය කරන ගාමිණි, ක්‍රීඩා වාර දෙකකදි කඩුළු 100 සහ ලකුණු 1000 බැගින් ලබාගන්නටද සමත් වී තිබෙනවා.
එමෙන්ම එංගලන්තයේ Gentleman vs Players තරඟාවලියට වැඩිම වාරයක් සහභාගි වූ විදේශීය ක්‍රීඩකයා වන්නේද ඔහුයි. 

ගාමිණි 1950 දශකයේ පකිස්තානයට එරෙහිව සිලෝන් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති අතර,
1968 වසරේදි නැවතත් සිලෝන් සංචාරයකට පැමිණි ලෝක කණ්ඩායමකට එරෙහිවද ඔහු ක්‍රීඩා කර තිබෙනවා.
එපමණක් නොව 60 දශකයේදි ඔහු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමද නියෝජනය කල ක්‍රීඩකයෙක්.

විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවරයෙක් වශයෙන්,
ක්‍රීඩා විස්තර විචාරකයෙක් වශයෙන්,
කටයුතු කළ ගාමිණි 2011 වසරේ ඔස්ට්‍රේලියාවේදි මෙළොව හැර යනවා.

ගාමිණි වැනි අති දක්ෂයෙකුගෙන් ලබාගත හැකි අතිමහත් වටිනා දායකත්වය ශ්‍රී ලංකාවට නිසියාකාරව ලබාගැනීමට නොහැකිවීම ඉතා කණගාටුදායක කාරණයක්!

- හේලිත හෙට්ටිආරච්චි --

No comments:

Post a Comment