Thursday, February 6, 2020

මහා භාරතයේ දැවැන්තයින් අන්ත අසරණ කල "තිසේරා සහ සොහොයුරෝ!"


පූර්විකාව!

කණගාටුවට කරුණ නම්,

අග්‍රගණ්‍ය ක්‍රීඩකයින් රැසක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරමින්,
ක්‍රිකට් ලොව වාර්තා පිට වාර්තා පිහිට වූ ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කීවද,

'ඉන්දියානු බිමේදි නිළ වශයෙන් පැවැත්වූ ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කිරීම'

යන්න ශ්‍රී ලාංකිකයින් වන අප හට තවමත් සැබෑකරගත නොහැකි වූ තවත් එක් සිහිනයක් පමණක්ම වීමය..!

ඒ කෙසේ නමුත් නිළ වශයෙන් ටෙස්ට් වරම් හිමිවීමට වසර 15කට පමණ පෙරාතුව එනම් 1964 වසරේදි,
නිළ නොවන ටෙස්ට් තරඟාවලියක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් මයිකල් තිසේරාගේ නායකත්වය යටතේ ඉන්දියාව සංචාරය කල අවම අත්දැකීම් තිබූ ශ්‍රී ලාංකීය (එවකට සිලෝන්) ක්‍රිකට් කණ්ඩායම,

'මන්සූර් අලි ඛාන් පතව්දි' වැනි දැවැන්තයින්ගෙන් සමන්විත වූ ප්‍රබල ඉන්දියානු කණ්ඩායම අහමදාබාද්හිදි පරාජය කිරීමට'

සමත් වූ බව අමතක නොකළ යුතුය!

මයිකල් තිසේරා සහ ඔහුගේ කණ්ඩායම එවකට ක්‍රීඩා කල ආකාරය සජීවීව නැරඹීමට තරම් වාසනාවන්ත නොවූවත්,

- අවම පහසුකම් යටතේ කණ්ඩායමක් වශයෙන් ඔවුන්
පෙන්වූ සටන්කාමී ක්‍රීඩා විලාශයත්,
- තමා වෙත පැමිණි සියළු අභියෝගයන් වලට නොබියව මුහුණදුන් ආකාරය ගැනත්,

යම් තරමකින් හෝ දැනුවත් වී සිටීම වර්තමාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන අප සියළුදෙනාගේම යුතුකමකි!

• මයිකල් තිසේරා නම් නායකයා

මයිකල් තිසේරා සිලෝන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත්වන විට ඔහුගේ වයස යාන්තම් අවුරුදු 24ක් වූවා පමණි!

ජාතික කණ්ඩායමේ නායකත්වය හා එහි වගකීම් තම කරමතට පැටවෙන විටදී අත්දැකීම් අවම ලාබාල වියේ පසු වූ ක්‍රීඩකයෙකු වුවද,
හැකි සෑම විටකදීම තම කණ්ඩායමේ දුර්වලතා මඟහරවා ගෙන දක්ෂතාවයන් ඉස්මතු කරගැනීමට තරම් සූක්ෂම වූ මයිකල් තිසේරාගෙන්,

කණ්ඩායමකට නායකත්වය ලබාදෙන්නෙකුට හෝ අනාගතේදි කණ්ඩායමකට නායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන්නෙකුට ඉගෙනගත හැකි දෑ බොහෝය!

පිටිය තුලදී හා ඉන් පිටතදී සෑමවිටම තම කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකත්ව ගතිගුණ පෙන්නුම් කල ක්‍රීඩකයෙකි.
නායකයෙකු වශයෙන් තමාට අවශ්‍ය දේ,
නිසි වේලාවේදි තම කණ්ඩායමෙන් ලබාගැනීමට
ඔහු දැන සිටියේය.

එපමණමක් නොව,
අභියෝග හමුවේ පසුබැස යාම වෙනුවට ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කිරීම මඟින් ප්‍රතිවාදීන්ගේ මානසිකත්වය බිඳ දැමිය හැකි බව ඔහු නිරන්තරයෙන් විශ්වාස කලේය!

• 1964 වසරේ සිලෝන් ක්‍රිකට් කණ්ඩායම

1964 වසරේදි සිලෝන් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයින් වන්නේ,

- මයිකල් තිසේරා (නායක)
- අනුරුද්ධ පොළොන්නෝවිට
- ස්ටැන්ලි ජයසිංහ
- ඩැරල් ලයිවර්ස්z
- අබු ෆුවාඩ්
- නීල් චන්මුගම්
- D.P ද සිල්වා
- නෝටන් ෆ්‍රෙඩ්රික්
- ලසන්ත රොද්‍රිගෝ 
- මනෝ පොන්නයියා
- ට්‍රෙවලයින් එඩ්වඩ්ස්

පසුපෙළ වමේ සිට - ඩැරල් ලයිවර්ස්z,
මයිකල් තිසේරා,ස්ටැන්ලි ජයසිංහ,
අනුරුද්ධ පොළොන්නෝවිට,අබුු ෆුවාඩ්

ඉදිරිපෙළ වමේ සිට - D.P ද සිල්වා,
නෝටන් ෆ්‍රෙඩ්රික්,ලසන්ත රොද්‍රිගෝ,
මනෝ පොන්නයියා,ට්‍රෙවලයින් එඩ්වඩ්ස්

අහමදාබාද් තරඟයේදි D.P ද සිල්වා වෙනුවට නීල් චන්මුගම් ක්‍රීඩා කරන ලදි.

සාපේක්ෂකව බැලූ කල මෙම සියළුදෙනාම පාහේ අඩු අන්තර්ජාතික අත්දැකීම් ප්‍රමාණයක් ලැබූ වෘත්තිමය නොවන,
ඉතා අවම පහසුකම් තත්වයන් හා මූල්‍යමය වත්කම්  යටතේ ක්‍රීඩාවේ නියැලුණු ක්‍රීඩකයන් වූ අතර, 

එවැනි තත්වයන් යටතේ නොකඩවා ක්‍රීඩාවේ නියැලීමම බෙහෙවින් අගය කල යුත්තකි.

• 1964 වසරේ ඉන්දියානු සංචාරය!

එවැනි ප්‍රාථමික පහසුකම් ලැබූ,
අවම අත්දැකීම් වලින් යුතු කණ්ඩායමක් සමඟ මයිකල් තිසේරා 1964 වසරේදි ඉන්දියාව සංචාරය කරන විටදී,

ප්‍රතිවාදී ඉන්දියානු කණ්ඩායමේ ස්වභාවය සිලෝන් කණ්ඩායමට වඩා හාත්පසින්ම වෙනස් වූ අතර,

ක්‍රිකට් ඉතිහාසය තුල බිහිවූ පතාක යෝධයෙකු ලෙස හඳුන්වන සුප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු වන,
'මන්සූර් අලි ඛාන් පතව්දි' විසින් එවකට සිටි ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට නායකත්වය ලබාදීම සිලෝන් කණ්ඩායමට අමතර පීඩනයක් එක් කිරීමටද හේතු වූ බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත!

බැංගලෝරය,හයිද්‍රාබාදය,අහමදාබාද්,බොම්බේ හා මැඩ්‍රාස් යන නගරයනහි තිබෙන ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ මෙම තරඟාවලිය නිළ නොවන සිව්දින ටෙස්ට් තරඟ 5කින් සමන්විත වූ අතර විචාරකයින් අපේක්ෂා කළ අයුරින්ම බැංගලෝරයේ හා හයිද්‍රාබාදයේදි පැවති මුල් තරඟ දෙකේදීම නවක සිලෝන් කණ්ඩායම ප්‍රබල ඉන්දියානු කණ්ඩායම හමුවේ පරාජය වන ලදි.

එමෙන්ම අහමදාබාද්හි පැවැත්වූ තෙවෙනි තරඟයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවෙන් සේදී ගිය අතර,
දෙවෙනි දිනයේ සන්ධ්‍යා කාලය වනතුරුම තරඟය ආරම්භ කිරීමට නොහැකිවීම නිසා බොහෝවිට මෙම තරඟයත් ඉන්දි‍යාව ජය ලැබීමෙන් හෝ තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇතැයි අදහස් දැක්වූ විචාරකයන් සඳහන් කරන ලදි.

තරඟයට විටින් විට වර්ෂාවෙන් කොතරම්
බාධා සිදු වූවත්,
තරඟයේ දෙවන දිනයේ සන්ධ්‍යා කාලය වන විට අහමදාබාද් ක්‍රීඩාංගනයට 25000කටත් වඩා වැඩි අතිවිශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් එකතු වී සිටි බව තරඟ වාර්තාවන් හි දක්වා ඇත.

එමෙන්ම වර්තමානය හා සසඳන විට,
එම කාල වකවානුවේදි තිබූ ක්‍රීඩාංගන නඩත්තු කිරීමේ තාක්ෂණික ක්‍රම හා මෙවලම් ඉතා ප්‍රාථමික මට්ටමේ ඒවා වීම හේතුවෙන් තරඟයේ දෙවන දිනයේ සන්ධ්‍යා කාලයේදි තරඟය නිසියාකාරව ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාව වන විට අහමදාබාද් පිටියේ තණතිල්ල වටා මඩ ගොහොරුවක් එක් රැස් වී ක්‍රීඩා කිරීමට නුසුදුසු වාතාවරණයක් නිර්මාණය වී තිබී ඇත.

එහෙත් තරඟය නැරඹීමට අතිවිශාල ජනකායක් පැමිණ සිටීම හේතුවෙන්,
මූලිකවම එම හේතුව සලකා බලා මෙම තරඟය පැවැත්වීමට එකඟතාවය පළකරන ලෙස ඉන්දීය කණ්ඩායමේ නායක අලි පතව්දි විසින් සිලෝන් කණ්ඩායමේ නායක මයිකල් තිසේරාගෙන් කාරුණිකව ඉල්ලා ඇති අතර, 
කිසිදු දෙගිඩියාවකින් තොරව එයට පිළිතුරු ලබාදුන් නායක තිසේරා ඇතුළු සිලෝන් කණ්ඩායම,
තරඟයට සහභාගිවීමට තම කැමැත්ත පළකලේ ඒකමතිකවමය.


තරඟයේ කාසිය වාසිය උරගා බැලූ සිලෝන් කණ්ඩායමේ නායක මයිකල් තිසේරා (වමේ) හා ඉන්දීය කණ්ඩායමේ නායක මන්සූර් අලි ඛාන් පතව්දි (දකුණේ)

*මන්සූර් අලි ඛාන් පතව්දි යනු ජනප්‍රිය හින්දි සිනමා නිළි ශර්මිලා තාගෝර්ගේ සැමියාය.
එමෙන්ම ඔහු ජනප්‍රිය හින්දි සිනමා නළු සයිෆ් අලි ඛාන්ගේ පියාද වන්නේය.

ඉතා වාසනාවන්ත අයුරින් මෙම තීරණාත්මක තරඟයේ තීරණාත්මක සාධකයක් වූ කාසියේ වාසිය ලබාගත් සිලෝන් කණ්ඩායම,                                        කාසියෙන් ලබාගත් එම වාසිය පිටියේ වාසියක් බවට පරිවර්තනය කිරීමේ අදහසින් ඉන්දියානු කණ්ඩායමට මුලින් පන්දුවට පහරදෙන ලෙස ආරාධනා කල නමුත්,

තරඟය ආරම්භ වීමෙන් පසු යැවූ පළමු පන්දුවාරයේදීම ඉන්දීය පිතිකරුවෙක් වැරෙන් එල්ල කරන ලද පහරක් හමුවේ විදුලි වේගයෙන් ගමන්කල පන්දුව, 
ඒ වන විට ලෙග් ස්ලිප් කලාපයෙහි පන්දු රකිනු ලැබූ සිලෝන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ට්‍රෙවලයින් එඩ්වඩ්ස්ගේ උපැස් යුවල පොඩිපට්ටම් කරවමින් නොනැවතී,
සැලකිය යුතු තරමේ මැහුම් ගණනක් අවශ්‍ය වන විශාල තුවාලයක් ඔහුගේ මුහුණේ නිර්මාණය කිරීමත්,
ඉන්පසු එම තුවාලය නිසාවෙන් ඔහුට තෙවන සිව්දින ටෙස්ට් තරඟයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සිදුවීම නිසාවෙනුත්,

පිතිකරණයේ යෙදෙන විට,
පිතිකරුවන් දසදෙනෙක් පමණක් යොදාගෙන ක්‍රීඩා කිරීමට සිලෝන් කණ්ඩායමට සිදු වී ඇත.!

දෙවෙනි දිනයේ අවසාන භාගයේදි තම පළමු ඉනිම වෙනූවෙන් පන්දුවට පහරදීම ඇරඹූ ඉන්දියානු කණ්ඩායමේ සියළුම පිතිකරුවන්ව තරඟයේ තෙවන දිනයේ මුල් භාගය අවසන් වීමටත් පෙර දවාගත් සිලෝන් කණ්ඩායමේ පන්දු යවන්නෝ ඉන්දීය පළමු ඉනිම ලකුණු 189කට සීමා කිරීමට සමත් වූ අතර,

පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ,
- ස්ටැන්ලි ජයසිංහ ලකුණු 38කට 
කඩුළු 6ක්ද,
- නෝටන් ෆ්‍රෙඩ්රික් ලකුණු 85කට 
කඩුළු 4ක්ද,
දවාගැනීමට සමත්වන ලදි.

ආබාධයට ලක්වීමෙන් පුරප්පාඩු වූ එඩ්වඩ්ගේ ආරම්භක පිතිකරණ ස්ථානයට ආදේශකයක් ලෙස කණ්ඩායමේ සිටි දඟපන්දු යවන්නා වූ අබු ෆුවාඩ්ගේ  පිතිකරණ ස්ථානයට උසස්වීමක් ලබාදෙමින්,
අවස්ථානුකූලව ඔහුව ආරම්භක පිතිකරුවෙක් ලෙස යොදාගැනීමට නායක මයිකල් තිසේරා විසින් තීරණය කර ඇත්තේ පිතිකරණයේ යෙදෙන විට පන්දුව නිදැල්ලේ යවා කාලය කා දැමීමට ෆුආද්ට තිබූ විශේෂිත හැකියාව නිසාවෙනුයි.

තරඟයේ තුන්වන දිනය අවසාන වන විට සිලෝන් කණ්ඩායම කඩුළු 7කට ලකුණු 144ක් ලබා ඉන්දියානු පළමු ඉනිමට වඩා ලකුණු 45ක් පසුපසින් සිටි අතර,
එදින අවසානයේ අදහස් දැක්වූ සිලෝන් කණ්ඩායමේ නායක මයිකල් තිසේරා පවසා ඇත්තේ,
කණ්ඩායමක් වශයෙන් ඉවසිලිමත් නොවීම හමුවේ දෙවන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට තිබූ අවස්ථාව නිකරුණේ අහිමිකර ගත් නමුත්,

එම තරඟයෙන් ඉගෙනගත් පාඩම් සියල්ලම මෙම තරඟය වෙනුවෙන් යොදවා ඉන්දියානු කණ්ඩායමට උපරිම සටනක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි!

තුන්වන දිනය අවසානයේ පැවසූ අයුරින්ම ක්‍රියා කල සිලෝන් කණ්ඩායමේ නායක තිසේරා,
ඉතා අභියෝගාත්මක අයුරින් තරඟයේ සිව්වන දිනය ආරම්භ වීමටත් පෙර තම කණ්ඩායමේ ඉනිම අත්හිටුවා ඉන්දියානු කණ්ඩායමට තම දෙවෙනි ඉනිම සඳහා පිතිකරණයේ යෙදෙන ලෙස ආරාධනා 
කරන ලදි!

පළමු ඉනිමේදී ඉන්දියාවට වඩා ලකුණු 45ක් පසුපසින් සිටින අවස්ථාවක නායක මයිකල් තිසේරා විසින් ලබාගත් මෙම අභියෝගාත්මක තීරණය ඉතා නිවැරදි බව පසක් කරමින් දෙවෙනි ඉනිමේදි සියල්ලන් දැවී ඉන්දියානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 66ක් පමණක් වන අතර,
දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ප්‍රබල ඉන්දියානු කණ්ඩායමේ පිතිකරුවන් සියළුම දෙනා ඕවර 26.4ක් තුලදි දැවී ගිය බවත් විශේෂයෙන්ම සඳහන් කල යුතුය.

අවම වශයෙන් තරඟයේ සිව්වන දිනය ආරම්භයේ සිට දිවා ආහාරයට ලබාදෙන විවේකය වෙනුවෙන් තරඟය නවත්වන තුරුවත් පිටියේ රැඳී සිටීමට අපොහසත් වූ ප්‍රබල ඉන්දියානු කණ්ඩායම,
සිලෝන්/ශ්‍රී ලංකා කණ්ඩායමක් හමුවේ අන්ත අසරණ වූ පළමු අවස්ථාව ලෙස මෙම තරඟය අවිවාදයකින් තොරව හැඳින්විය හැක.

දෙවෙනි ඉනිම සඳහා සිලෝන් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ෆ්‍රෙඩ්රික්,අනුරුද්ධ හා ජයසිංහ යන පන්දු යවන්නන් තිදෙනාම කඩුළු 3 බැගින් ලබාගැනීමට සමත් විය.

තරඟය ජයගැනීමට සිලෝන් කණ්ඩායමට ලකුණු 112ක් අවශ්‍ය වූ අතර දෙවෙනි ඉනිම වෙනුවෙන් පිතිකරණයේ යෙදුනු සිලෝන් පිතිකරුවන් අතරින්, ආරම්භක පිතිකරු එඩ්වඩ්ස්ගේ අඩුව පිරවූ කණ්ඩායමේ දඟපන්දු යවන්නා වන අබු ෆුවාඩ් ඉතා අනගි ලකුණු 40ක් රැස්කරමින් සුවිශේෂී දක්ෂතාවයක් පෙන්නුම් කරන ලදි.

අබු ෆුවාඩ්ගේ මූලිකත්වයෙන් සිලෝන් කණ්ඩායමේ දෙවෙනි ඉනිම සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත්, ආරම්භක පිතිකරු යුගලය දැවීයාමෙන් පසු පිටියට පිවිසි කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන් කිහිපදෙනෙක්ම ඉතා ඉක්මනින් දැවීයාම නිසා යම් අසීරු තත්වයකට මුහුණ දුන් සිලෝන් කණ්ඩායම එම තත්වයෙන් මුදවාගෙන,
පන්දුවාර 55.2ක් තුලදි තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් ජයග්‍රාහී ලකුණු තම පිත්තෙන්ම රැස්කිරීමට නායක මයිකල් තිසේරා සමත් වූ අතර, 

විකට්ටුවේ අනිත් අන්තයේ සිටි පිතිකරුවා වූ අනුරුද්ධ පොළොන්නෝවිටගෙන්ද නායක මයිකල් තිසේරාට ලැබුනේ නොමඳ සහයකි!

මුල් තරඟ දෙකෙන්ම පරාජය වුවද,
එය නොතකා සටන්කාමී ලෙස තරඟකර තෙවෙනි තරඟය විශිෂ්ඨ අයුරින් ජයග්‍රහණය කිරීමෙන්ද, 
එයින් පමණක් නොනැවතී බොම්බේ හා මැඩ්‍රාස්හි පැවති තරඟ දෙකම ජය පරාජයෙන් තොරව අවසන් කිරීමෙන්ද,

තමාගේ වටිනාකම,
තමා විසින්ම තක්සේරු කොට,
එය මුළු ලොවටම පෙන්වාදීමට, 
සිලෝන් කණ්ඩායමට හැකියාව ලැබුණි..!

සිලෝන් ක්‍රිකට් කණ්ඩායම යනු,

-කණ්ඩායමේ බහුතරය අඩු අත්දැකීම් ඇති 
නවකයින් ගෙන් සමන්විත වූ පමණින්,
- සාපේක්ෂව වඩා වැඩි අත්දැකීම් ඇති ප්‍රබල කණ්ඩායම් ප්‍රතිවාදීන් ලෙස හමුවූ විට නිසියාකාර සටනක් ලබාදීමෙන් තොරව නිවටයින් ලෙස පරාජය භාරගෙන නිහඬවන ගණයට අයත් නොවන,
- සාම්ප්‍රදායික දියාරු ක්‍රිකට් ක්‍රීඩා රටාවලට මුල්තැන දීම නවතා නව අදහස් හා යෝජනා මඟින් දැනට ඇති සම්මත තත්වයන් වැඩිදියුණු කිරීම සඳහා නිරන්තරයෙන්ම අත්හදා බැලීම්වල යෙදෙන,
- කිසිම අවස්ථාවකදි අඩුතක්සේරු නොකළ යුතු පෙරළිකාරයන්ගේ සමූහයක් බව,

ක්‍රිකට් ලොවට ඒත්තු ගැන්වූ දීර්ඝ කාලීන ක්‍රියාවලියක් ආරම්භ වූ සුවිශේෂී ගණයේ සංධිස්ථානයක් ලෙස මෙම තරඟාවලිය හැඳින්විය හැක.

ඒ අයුරින්,
ක්‍රිකට් ඉතිහාසය තුලදී ශ්‍රී ලාංකීය කණ්ඩායමක් ඉන්දියානු බිම තුල ලැබූ පළමු හා එකම නිළ/නිළ නොවන ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්තා කිරීමට සටන්කාමී තිසේරා හා ඔහුගේ සගයින් සමත් වූ අතර,

එදාමෙදාතුර ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයෙන් 
කිසිදා නොමැකෙන ලෙස සටහන් වූ සදා අමරණීය ජයග්‍රහණයන් රාශියක් අතරින්,

තිසේරා හා ඔහුගේ සොහොයුරන් එක්ව ඉන්දියාවට එරෙහිව ලබාගත් මෙම තරඟ ජයග්‍රහණයට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවට නම් කිසිඳු සැකයක් නැත!

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment