Wednesday, February 19, 2020

ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හුවමාරු වූ හාස්‍යජනක දෙබස්! (Funniest Sledging Incidents) - පළමු කොටස

මීට කලිනුත් මම Sledging කතා කිහිපයක් ගැන ලිපි පළකරලා තියෙනවා,
කලින් ලිපිවලින් බෙදාහදාගන්න බැරි උන කතා ටිකක් ගැන ලියන්නයි අදහස් කරගෙන ඉන්නේ.

හැබැයි ක්‍රිකට් පිටියේ Sledging කියනකොට අනිවාර්යයෙන්ම අමතක කරන්න බැරි මර්ව් හියුස්ගේ කතා නම් මේ ලිපි මාලාවට ඇතුළත් වෙන එකක් නැතිවෙයි,
මර්ව්ගේ Sledging ගැන විතරක් වෙනම ලිපියක් කලින් ලියලා පළකලා.
බලන්න බැරි උන අය ඉන්නවනම් කියන්න..!

• "විස්කෝතු බඩා"
                      
- එඩෝ බ්‍රැන්ඩෙස් හා ග්ලේන් මැග්‍රාත් -


සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නෙක් වූ එඩෝ බ්‍රැන්ඩෙස් යනු,
- දක්ෂ ලෙස Inswing පන්දු යැවිය හැකි,
- ක්‍රිකට් පිටියෙන් පිටතදී 'කුකුළ් කොටු - Chicken Farm' අයිතිකරුවෙක් වූ,
- ශරීර සුවතාවය ගැන එතරම් ගණනකට නොගත්,
තරබාරු, විනෝදයට බර ක්‍රීඩකයෙකි.

වරක් ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ අතර තරඟයකදි, පන්දුවට පහරදීම සඳහා බ්‍රැන්ඩෙස් පිටියට පිවිසියේය.

බ්‍රැන්ඩෙස් පිටියට එන බව දුටු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මැග්‍රාත්,

"ඇයි බං උඹ ඔච්චර මහත?"

යැයි ඇසුවේ බ්‍රැන්ඩෙස් සමච්චලයට ලක්කිරීමේ චේතනාව ඇතිවය.

මැග්‍රාත්ගේ ප්‍රශ්නය ඇසුණු බ්‍රැන්ඩෙස් සන්සුන්ව,

"මම උඹේ ගෑණි එක්ක නිදාගන්න හැමපාරම ඒ ගෑණි මට දෙන බිස්කට් එක කාලා තමයි මම මෙහෙම මහත්වුනේ..!"

යැයි කීවේ මැග්‍රාත්ට උන් හිටි තැන් අහිමි කරවමිනි..!

• "ආරේ ගුණ නෑරේ" 

-  රොඩ්නි මාෂ් හා සර් ඉයන් බොතම් -


සර් ඉයන් බොතම් යනු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතළොස්ස අතරේ ඉහළින්ම වැජඹෙන ක්‍රීඩකයාය.

එමෙන්ම රොඩ්නි මාෂ් යනු එකළ ඔස්ට්‍රේලියාව නියෝජනය කළ දක්ෂතම කඩුළු රකින්නෙක් මෙන්ම
කටට බ්‍රේක් නැති නහරකාරයෙක් ලෙසද නම්දරා සිටි ක්‍රීඩකයෙකි.

වරක් අළුබඳුන තරඟයක් අතරතුර පන්දුවට පහරදීම වෙනුවෙන් එංගලන්තයේ සර් ඉයන් බොතම් පිටියට පිවිසියේය.

තණතිල්ලට පැමිණි සර් ඉයන් කෝප කරවන 
අදහසින් මාෂ්,

"උඹේ ගෑණිගෙයි, මගේ ළමයි දෙන්නගෙයි සැප සනීප කොහොමද?"

කියා ඇසුවේය.

සාමාන්‍යයෙන් කුකුළ් කේන්තිකාරයෙකුගේ හැසිරීම් 
තිබූ සර් ඉයන් වෙනදා මෙන් කෝප නොගෙන,

"ගෑණි නම් යහතින් ඉන්නවා, 
හැබැයි ළමයි දෙන්නටම මොංගල්"

යැයි පවසමින් මාෂ්ගේ කට කැඩුණු කතාවට පිළිතුරු දුන්නේ අවට සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ද සිනහ සයුරේ ගිල්වමිනි.

• "කොහෙන් කැපුවත් කිලෝවයි"

- ඩැරල් කලිනන් හා ශේන් වෝන් -


ශේන් වෝන් ගැන නොදන්නා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු සිටින්නට ඉඩක් නැත.
ක්‍රිකට් ඉතිහාසය තුළ මෙතෙක් පහලවූ හොඳම 
පාදඟ පන්දු යවන්නා ඔහු බව අවිවාදයකින් තොරවම 
පිළිගත යුතුය.
වෝන් තමාගේ කට ඉස්සර කරගැනීම නිසා හොඳටම නාගත් අවස්ථාද නැත්තේම නොවේ.

ඒ කෙසේ වෙතත්,
ශේන් වෝන් ඔහුගේ කාර්‍යයේ අතිදක්ෂයෙකි!
ඔහුගේ භයානක පන්දුයැවීම හමුවේ නන්නත්තාර වූ පිතිකරුවන් දුසිම් ගණනකි!
දකුණු අප්‍රිකාවේ ඩැරල් කලිනන් එම පිතිකරුවන් ගොන්නට අයත් වූ තවත් එක් පිතිකරුවෙකි.
කලිනන් සාමාන්‍යයෙන් ගත් කළ දක්ෂ පිතිකරුවෙකි.

නමුත් ඔහු ශේන් වෝන් හමුවේ නිතරම අසාර්ථකය!

දෙරට අතර පැවැත්වූ එක් තරඟාවලියක් අවසන් විය,
තරඟාවලිය පුරාවටම කලිනන් ශේන් වෝන් හමුවේ නන්නත්තාර විය.
නැවතත් දෙරට අතර තරඟාවලියක් පැවැත්වෙන්නේ වසර දෙකක කාලයක් අවසන් වීමෙන් අනතුරුවයි,
ගතවූ වසර දෙක තුළ ශේන් වෝන්ගේ ශරීරයට සැලකිය යුතු කිලෝ ගණනක් එකතු වී ඔහු ජබ්බයෙක් බවට පත්වී ඇත.
ඔහුගේ මව ඔහුට දෙන ශරීර බර අඩුකරගැනීමේ 
පෙති සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේද නැත.

වෝන් - කලිනන් නැවතත් මුණගැසිණි.
කලිනන්ට පන්දු යැවීමට සූදානම් වූ වෝන්,

"ගියපාර කෙලෙව්ව විදියටම ආයෙත් උඹට කෙලවන්න මම අවුරුදු දෙකක් බලාගෙන හිටියා"

යැයි පැවසුවේය.

තරබාරු වෝන් දෙස බලා කට කොනින් සිනා වූ කලිනන්,

"උඹ ඒ අවුරුදු දෙකම ගතකරලා තියෙන්නේ කෑමට!"

යැයි පැවසුවේය.

දෙවන කොටසෙන් නැවත හමුවෙමු.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment