Wednesday, February 19, 2020

ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හුවමාරු වූ හාස්‍යජනක දෙබස්! (Funniest Sledging Incidents) - දෙවන කොටස

• "කෙසෙල් ගසට කෙටූ කොට්ටෝරුවා"

- ග්‍රෙග් තෝමස් සහ සර් විව් රිචඩ්ස් -


සර් විවි රිචඩ්ස් ගැන ඔබට අමුතුවෙන් වටහා දිය යුතු වන්නේ නැත,
70 දශකයේ හා 80 දශකයේ ක්‍රිකට් ලොව ඔටුණු පලන් රජ සර් විව් රිචඩ්ස් බව අවිවාදයකින් තොරවම පිළිගත යුතු කාරණයකි.
සර් විව් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කලේය, 
ඔහු වැඩි කාල වකවානුවක් නියෝජනය කල ප්‍රාන්තය වූයේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමයි.

වරක් ග්ලැමෝගන් ප්‍රාන්තය හා සමර්සෙට් ප්‍රාන්තය අතර තරඟයක් පැවැත්විණි,
පන්දුවට පහරදුන් සමර්සෙට් කණ්ඩායමේ එක් කඩුල්ලක් දැවී ගිය පසු සර් විව් පිටියට පිවිසුණ අතර,
ඒ අවස්ථාව වන විට පන්දු යවමින් සිටියේ ග්‍රෙග් තෝමස් නම් වේග පන්දු යවන්නාය.
ග්‍රෙග් තෝමස් යනු වේල්සයෙන් බිහිව පසුව ග්ලැමෝගන් ප්‍රාන්තය හා එංගලන්ත ටෙස්ට් කණ්ඩායම පවා නියෝජනය කල දක්ෂ වේග පන්දු යවන්නෙකි.

පන්දුවට පහරදීමට පිටියට ආ සර් විව්, 
තෝමස් එවූ තර්ජනාත්මක පන්දු කිහිපයක් හමුවේ නිරුත්තර විය.

ක්‍රිකට් ලොව රජා වූ සර් විව් අමාරුවේ වැටී ඇති බව දුටු තෝමස් සර් විව්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳ දැමීමේ අදහසින්,

"ඒයි විව්,ඒක රවුම්,රතු පාටයි,අවුන්ස 5ක් බරයි.දැන්වත් ඒක අඳුනගෙන පාරක් ගහන්න බලපං!"

යැයි කීවේය.

තෝමස් කියූ දේ ඒ කණෙන් අසා මේ කණෙන් පිටකල සර් විව් ඊළඟ පන්දුවට දැවැන්ත පහරක් එල්ල කලේය. පිත්තේ වැදුණු පන්දුව ඉහළින් ගොස් නතරවන්නේ ප්‍රේක්ෂකාගාරයේය.

පන්දුව ප්‍රේක්ෂකාගාරය වෙත යන අයුරු දෑස අයා බලා සිටි තෝමස් දුටු සර් විව්,

"තෝමස්, උඹ දන්නවා ඒක මොන වගේද කියලා,
දැන් ගිහින් ඒක හොයාගෙන වරෙන්"

යැයි පැවසූ විට,
තෝමස්ට තමා කල ගොන්කමේ ඵලවිපාක හොඳින්ම තේරුම් ගියේය!

• "අසුබ ඵල ගෙනදුන් පාපොච්චාරණය"

- ෆ්‍රෙඩ් ටෲමන් සහ රාමන් සුබ්බාරෝ -


මෙතෙක් මා ලියූ අපහාසාත්මක දෙබස් සියල්ලම ප්‍රතිවාදී කණ්ඩායම් වල ක්‍රීඩකයින් අතර සිදුවූ ඒවා වුවත්, දැන් ලියන්නට සූදානම් වන්නේ එකම කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර ඇති වූ දෙබසකි.

ෆ්‍රෙඩ් ටෲමන් යනු එංගලන්තය බිහිකළ දක්ෂතම වේග පන්දු යවන්නෙකි,
විනෝදකාමී ක්‍රීඩකයෙකු වූ ටෲමන්,
අන් ක්‍රීඩකයින්ට වාචිකව අපහාස කල අවස්ථා කිහිපයක්ම ඇති නමුත්,
ඔහු හා රාමන් අතර සිදුවූ දෙබස අන් සියල්ලම පරයමින් මුල් තැන ගන්නා බව බොහෝ දෙනාගේ අදහස වන්නේය.

තරඟයක් අතරතුර ටෲමන් යැවූ පන්දුවක් පිතිකරුවාගේ පිත්තේ අග දැවටී, 
උඩපන්දුවක් ලෙස පළමු ස්ලිප් කලාපය වෙත වේගයෙන් ඇදී ගියේය.
එම අවස්ථාව වන විට පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස රඳවා තිබුණේ රාමන්ය.
රාමන්ගේ අතින් උඩපන්දුව ගිලිහුණු අතර,
එයට කිසිත් නොකී ටෲමන් නිහඬව නැවතත් පන්දු යැවීම ආරම්භ කලේය.

උඩපන්දුවක් අත්හැරීම විශාල වරදක් බව දත් රාමන්,
එම පන්දුවාරය අවසන් වූ විට ටෲමන් අසලට ගොස්,

''මට තිබුණේ පන්දු රකිනකොට මගේ කකුල් ඈත් කරන්නේ නැතුව ඉන්න, ෆ්‍රෙඩ්!

යැයි කීවේ එසේ කලා නම් උඩපන්දුව බිමට නොවැටී පාද අතර රැඳවෙන නිසාය.

‍රාමන් කියූ කතාව ඇසීමෙන් අසූහාරදාහට තදවූ ටෲමන්,

"නෑ නෑ උඹ නෙවෙයි,කකුල් ලංකරගෙන ඉන්න තිබ්බේ උඹේ අම්මට.උන්දෑ එහෙම කලා නම් උඹ වගේ එකෙක් බිහිවෙන් නෑනේ"

කළ වැරදි ගැන පාපොච්චාරණය කිරීමට යාමෙන් තමා, මරණ මංචකයේදිත් මතක් වන තාලේ නරුම කතාවක් අසාගත් බව රාමන්ට අවබෝධ විය.

• "ශරීරයට මුවා වූ විකට්ටුව"

- මයික් ගැටිං සහ ඩෙනිස් ලිලී -


අනෙකුත් කතා මෙන් නොව,
මෙම කොටසේ අවසාන කතාව වන එංගලන්ත ක්‍රීඩක මයික් ගැටිං හා ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩෙනිස් ලිලී අතර සිදුවූ සිදුවීමේදී ක්‍රීඩකයින් දෙදෙනාම වාචිකව අදහස් දැක්වූ බවක් සඳහන් වී නැත.
සිදුව ඇත්තේ එක් ක්‍රීඩකයෙක් අනෙත් ක්‍රීඩකයාට ඒකපාර්ශ්විකව වාග් ප්‍රහාරයක් එල්ල කිරීම පමණි.

එවකට එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල ක්‍රීඩකයා වූයේ මයික් ගැටිංය.
ගැටිං මදක් තරබාරුය,
මේ තරබාරු බව නිසා ගැටිං අනුන්ගේ උපහාසයට හා අපහාසයට ලක් වූ අවස්ථා කිහිපයක්ම ඇත.

ඩෙනිස් ලිලී යනු එකල ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටි අතිදක්ෂ වේග පන්දුයවන්නෙකි.
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර තරඟයකදී පන්දුවට පහරදීමට ගැටිං පිටියට පැමිණි අතර ඒ වනවිට පන්දු යවමින් සිටියේ ලිලීය.
තණතිල්ල වෙත ආ ගැටිං පන්දුවට පහරදීමට 
සූදානම් වූවේය.

පන්දු යැවීමට සූදානම් වෙමින් තණතිල්ලේ අනෙක් අන්තයේ සිටි ලිලී,

"පොඩ්ඩක් එහාට වෙයන් බං,
උඹේ ඇඟ නිසා මට විකට් එක පේන්නේ නෑ"

යැයි කීවේ අසළ සිටි විනිසුරුවරයාද සිනහ සයුරේ ගිල්වමිනි.

අන්තර්ජාලය ඇසුරෙනි.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment