Tuesday, March 31, 2020

අපිට අගේ නැති අපේ උන්ගේ මනුස්සකම!



මේ දවස්වල ලංකාවේ ඇතුළු මුළු ලෝකයේම උද්ගතවෙලා තියෙන තත්වය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන කියලා මම හිතන්නේ නැහැ.

අපි හැමෝම ඉන්නේ ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව.

මුළු ලෝකෙම අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක,
පිටරටවල ජනප්‍රිය ක්‍රීඩකයින් තම තමන්ට හැකි ආකාරයට අසරණයින්ට පිහිට උන හැටි මහ ඉහළින් වර්ණනා කරලා ලියපු කතන්දර ටිකක් අපි පහුගිය දවස්වල දැක්කා.

ඒවා කියවන ගමන් අපේ ක්‍රීඩකයින්ට බල්ලන්ට වගේ බනිනවත් දැක්කා.

"අපෝ මුන් නම් මහ කුම්මැහි ජාතියක්..!"
"උඹලගේ ඔය සල්ලි ටිකක් හොළවලා මිනිස්සුන්ට උදව් කරපල්ලකෝ..!"
"සල්ලිවලට පෙරේත හැත්ත..!''

ඔන්න ඔය වගේ කතා අපේම මිනිස්සුන්ගේ කටවල් වලින් අපේම ක්‍රීඩකයින්ට කියනවා උඹලත් දකින්න ඇති.

හැබැයි ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකෙන් රුපියල් කෝටි දෙකහමාරක් ආධාර දෙද්දි,
අපේ ක්‍රීඩකයෝ තමන්ගේ වියදමෙන් හෝමාගම රෝහලට,කොළඹ මහ රෝහලට උදව් කරද්දි,

අර කලින් කුඩුකේඩු කතා කියපු උන් අග්ගලා ගිලපු මහසෝන්නු වගේ සද්ද නැතුව ඉන්නවා..!

වැඩේ කැතයි නේද?

හා ඒක පැත්තකින් තියමුකෝ..!

දසුන් ශානක කියන්නේ කවුද කියලා හැමෝම දන්නවනේ.
දිමුත් කරුණාරත්න කියන්නේ කවුද කියලත් හැමෝම දන්නවා.

ඉතින් මේ කියන්න යන්නේ මේ දෙන්නම සම්බන්ධවෙන කතාවක්.

පුබුදු කියන්නේ අපි ඉස්කෝලේ කොට කලිසම අඳින කාලේ ඉඳන් මාත් එක්ක එකට නාලන්දාවේ නේවාසිකාගාරයේ හිටපු සහෝදරයෙක්.
පුබුදුට අද ආරංචියක් ඇවිත් තියෙනවා ගම්බද ප්‍රදේශයක රෝහලකට අවශ්‍ය උපකරණ ගන්න ආධාරයක් අවශ්‍යයි කියන එක.
ඒ ආරංචිය ලැබෙන්නෙත් අපේම නේවාසිකාගාරයේ අපිත් එක්කම හිටපු, පහුගිය දවසක මුරලි ගැන ලියපු යසස් සහෝදරයා හරහා.
තමන්ට තනියෙන් මේ ගේම ගහගන්න බැරි නිසා පුබුදු මුලින්ම කතාකලේ පුබුදුත් එක්ක එක බැංකුවේ සේවය කරන දසුන් ශානකට.
දසුන් තමන්ට පුළුවන් උපරිමය කරන්න පොරොන්දුවෙලා පුබුදුව සම්බන්ධ කරනවා දිමුත්ට.

දිමුත් කියන්නේ අපේ ටෙස්ට්/එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා,
එහෙම කෙනෙක් එක්ක කතාකරනකොට සාමාන්‍යයෙන් ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ හෙණ අලි එකක් දෙයි කියලනේ.

දිමුත් ඒකේ අනිත් පැත්ත.!
හරිම කාරුණික විදියට පුබුදු එක්ක කතාකරලා උපකරණ ටිකට යන වියදම් වලට ආධාර ගන්න අවශ්‍ය ක්‍රමවේදය කතාබහ කරගෙන තමන්ට පුළුවන් උපරිමේ කරලා දෙන්නත් පොරොන්දු වෙනවා.

හැබැයි දසුන්වත්,දිමුත්වත් තමන් කරපු දේවල් අබිලිංලා වගේ තැන් තැන්වල කියව කියව යන්නේ නෑ.

ඒ නිසා අපේ මිනිස්සු ඕවා දන්නෙත් නෑ..!

ඒකයි මේ හැමෝටම දැනගන්න ලියන්නේ.
මේ එක කතාවක් විතරයි.
අපි නොදන්න මේ වගේ කතා කීයක් ඇතිද?

ඒ නිසා කරුණාකරලා අපේම උන්ට බනින්න කලින් පොඩ්ඩක් හොයලා බලපල්ලා.

දැන් ඉන්න ක්‍රීඩකයෝ,ඉස්සර හිටපු ක්‍රීඩකයෝ ඔය හැමෝම තමන්ට ඇති හැකි විදියට අසරණ අයට උදව් කරලා තියෙනවා.

තමන්ගේ පෞද්ගලික සල්ලි වලින් සුනාමියෙන් අවතැන් උන මිනිස්සුන්ට ගෙවල් 1000ක් හදලා දීපු,
Foundation of goodness කියලා ක්‍රමවේදයක් හදන් අදටත් මිනිස්සුන්ට උදව් කරන සංගා,මුරලි,මහේලලා කුණු බැනුම් අහද්දි,

අපේම ඡන්දෙන් පත්වෙලා අපේම සල්ලි ගසාකන දේශපාලුවන්ට අපි මල් මාලා දානවා.!

එතකොට අපි හිතන විදියේ වැරැද්දක් නැද්ද?
දැන්වත් වෙනස්වෙමු.!

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment