Monday, March 25, 2019

'සුප්‍රසිද්ධ මාන්කඩ් ක්‍රමය උපත ලැබීම...!'

- හැඳින්වීම -

'මාන්කඩ්...!'

අවුරුදු ගානකට පස්සේ ආයෙත් අපිට 'මාන්කඩ්' කියන වචනේ ඇහෙන්න පටන් අරන්.

IPL තරඟාවලියේ ඊයේ පැවැත්වුන තරඟයකදි ඉන්දියානු ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විසින් එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර්ව මාන්කඩ් ක්‍රමයට දවාගැනීම තමයි මේ දිව උලුක්වෙන වචනේ ආය කරලියට එන්න ප්‍රධාන හේතුව.

ඉතින් ඊයේ කරපු වැඩේ නිසා මේ වෙනකොටත් අශ්වින්ට දසඅතින්ම සුබපැතුම් ගලා එමිනුයි පවතින්නේ....!

ඒක පැත්තකින් තියමුකෝ...

"ඇත්තටම ඔය මාන්කඩ් වැඩේ ක්‍රිකට් වගේ ක්‍රීඩාවකට සුදුසුද..?"

කියලා කවදාහරි කවුරුහරි එකෙක් මගෙන් ඇහුවොත් මම නම් කෙලින්ම කියන්නේ,

"ඔව් ගැලපෙනවා" කියලා තමයි.

හැබැයි එක කොන්දේසියක් උඩ...!

"අඩුම ගානේ එක පාරක් වත් පිතිකරුවාට අනතුරු ඇඟවීමක් නොකර එකපාරටම ඔය ක්‍රමය භාවිතා කරන්න බෑ..."

හැබැයි එකපාරක් හරි අනතුරු ඇඟෙව්වට පස්සෙත් අහන්නේ නැත්නම් ඒ වගේ උන්ව ආය නලව නලව ඉන්න හොඳ නෑ!

කෙලින්ම පැවිලියන් එකට අරින්නයි තියෙන්නේ!

ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව තමයි.!

හැබැයි අපි මහත්වරු කියලා අනිත් උන් අපෙ ඔලුවට අත හෝදලා යනකන් උඩ බලන් ඉන්න තරමට මෝඩ වෙන්න බැහැ නෙව.

අර ජිප්සීස්ලගේ සිංදුවේ තියෙනවා වගේ,

'පහසුවටත්,වාසියටත් දැන දැන වැරදි කරන'

එකට විරුද්ධ වෙන එකෙන් ක්‍රීඩාවේ මහත්මා ගුණයටවත් ජීව ගුණයටත් අබමල් රේණුවක හානියක් නම් වෙන්නේ නෑ.

ඒ නිසා එකපාරක් දැනුම්දුන්නට පස්සෙත් අහන්නේ නැත්නම් මාන්කඩ් ක්‍රමය පාවිච්චි කරන එකට ඕං මම නම් එකඟයි.

හැබැයි ආරංචි උන විදියට අශ්වින් බට්ලර්ව මාන්කඩ් කලේ නම් පූර්ව දැනුම්දීමක් කරන්නෙත් නැතුව.

එහෙම බැලුවොත් අශ්වින් වැරදියි...!

අනිත් දේ අශ්වින් ඔය වැඩේ කරපු පලවෙනි පාර නෙවෙයි මේ,

2012 වසරේදි අපේ ලහිරු තිරිමාන්නවත් ඔය විදියටම මාන්කඩ් කලා.

හැබැයි ඒ වෙලාවේ ශෙවාග්,සචින් ඇතුළු ඉන්දියන් ටීම් එකේ සීනියර් අය මැදිහත්වෙලා ඒ ඉල්ලීම ඉල්ලා අස්කරවා ගන්නවා.

එතකොට බට්ලර්,

එයාටත් මේක උන පලවෙනි පාර නෙවෙයි මේ.

අපේ කණ්ඩායමේ සචිත්‍ර සේනානායක දෙපාරක් දැනුම් දීලත් ඇහුවේ නැති බට්ලර්ව මාන්කඩ් කලා.

සචිත්‍ර අපේ එකෙක් නිසා කියනවා නෙවෙයි,

සචිත්‍ර ඒ කරපු වැඩේ 100%ක් හරි!

අශ්වින්ට හාත්පසින්ම වෙනස් දෙයක් තමා සචිත්‍ර කලේ, අර ඉස්සෙල්ලත් මම කිව්වා වගේ සචිත්‍ර කරපු දෙයින් ක්‍රීඩාවේ ජීවගුණයට කිසිම හානියක් උනේ නෑ.

හැබැයි සචිත්‍රට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට මාරුවෙන්න වස්තු බීජය උනේ ඔය සිද්ධිය.

ලිපියේ මේ වෙනකන් මම සඳහන් කරපු සිද්ධි හැම එකක්ම බොහොම මෑත කාලේ සිද්ධ වෙච්ච ඒවා.

ඉතින් මේ ලිපිය කියවන,

මාන්කඩ් ක්‍රමය ගැන නොදන්න,

සැබෑ ක්‍රිකට් රසිකයොන්ට නම් මේ වෙනකොට ප්‍රශ්න තොගයක් ඔලුවට ඇවිල්ලා ඇති.

සැබෑ ක්‍රිකට් රසිකයා කියන්නේ මැච් විතරක්ම බලන කෙනෙක්ට නෙවෙයි,

සැබෑ ක්‍රිකට් රසිකයෙක් කියන්නේ,

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසේ නොදන්න දේවල් ටික ටික ඉගෙනගෙන, 

නීති රීති ගැන ගැන කියවලා හෝ කාගෙන්හරි අහලා දැනගෙන හොඳ අවබෝධයකින් ක්‍රීඩාව නරඹන කෙනෙක්‍ට.

කරුමෙට ලංකාවේ එහෙම අය එන්න එන්නම අඩුවෙනවා...!

එහෙනම් තවත් කතාව දිග්ගස්සන්නේ නැතුව ප්‍රධාන මාතෘකාවට එමු....!

- මාන්කඩ් ක්‍රමය මුලින්ම භාවිතා කල ක්‍රීඩකයා පිලිබඳ හැඳින්වීම -

මාන්කඩ් කියන වචනේ හැදුනේ කොහොමද?

ඔය ප්‍රශ්නෙට උත්තරේ බොහොම සරලයි.

හරියට ඩිල්ස්කූප් එකට දිල්ශාන්ගේ නම වැටුනා වගේ මාන්කඩ් කියන්නේ ඔය දවාගැනීමේ ක්‍රමය මුලින්ම භාවිතා කරපු කෙනාගේ නම.

'මුල්වන්ත්‍රායි හිමාචල් මාන්කඩ්' එහෙමත් නැත්නම් 'වීනූ මාන්කඩ්' කියන්නේ ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කල අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

මාන්කඩ් කියන නමට වඩා වීනූ කියන නම යූසර් ෆ්‍රෙන්ඩ්ලි නිසා මෙතනින් එහාට කතානායකයා හඳුන්වන්න ඒ නම පාවිච්චි කරනවා.

ඉන්දියාව ඉංග්‍රීසි ජාතිකයින්ගේ පාලනය යටතේ ඉඳිද්දි තමයි වීනූ ගුජරාට ප්‍රාන්ත සීමාව අස්සේ පිහිටලා තියෙන ජම්නගර් කියන පුංචි නගරයේ උපත ලබන්නේ.

ඒ 1917 අප්‍රේල් 12 වනදා.

කුඩාකාලේ ඉඳලම වීනූ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා පෙන්වන්න පටන් ගන්නවා.

කාලයත් එක්ක වැඩිදියුණු වෙච්ච වීනූ,

• ආරම්භක පිතිකරුවෙක් 

• වමත් පිටදඟ පන්දුයවන්නෙක්

• කඩිසර පන්දුරකින්නෙක්

විදියට සුපිරි දක්ෂතා පෙන්වපු නිසා තමන් උපත ලබපු ගුජරාට ප්‍රාන්තයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතරේ ජනප්‍රිය වෙන්න වීනුට වැඩි කාලයක් ගතවුනේ නෑ.

වීනු මුලින්ම පළමුපෙල තරඟයක් ක්‍රීඩාකරන්නේ බටහිර ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන්.

එතනින් පටන්ගත්ත වීනූ 'නවනගර්,හින්දූස්,

මහරාෂ්ට්‍ර,ගුජරාට්,බෙංගාල්,සෞරෂ්ට්‍ර,

බොම්බේ' වගේ කණ්ඩායම් ගණනාවකම සාමාජිකත්වය දරන්න සමත්වෙන්නේ ඔහුට පිහිටලා තිබ්බ අසාමාන්‍ය ගණයේ දක්ෂතාව නිසා.

- ටෙස්ට් වරම් ලබාගැනීම -

මේ තමන් උපන් ප්‍රදේශයේ කොයිතරම් දක්ෂතා පෙන්නුම් කලත් වීනූට ජාතික කණ්ඩායමට එක්වෙන්න අවස්ථාව ලැබෙන්නේ නම් බොහොම ප්‍රමාද වෙලා. 

අවුරුදු 11ක් පළමු පෙල ක්‍රීඩා කරලා 1946 වසරේ ඉන්දියාව වෙනුවෙන් වීනූ ටෙස්ට් වරම් ලබාගන්න අවස්ථාව වෙනකොට ඔහුගේ වයස අවුරුදු 29 සීමාවත් පහුවෙලා ගිහින් අහවරයි.

කොහොම උනත් ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුල ටෙස්ට් වරම් ලබාගත් 30වෙනි ක්‍රීඩකයා ලෙස සටහන් වෙන්නේ වීනූගේ නම.

1946 වසරේදි ජාතික කණ්ඩායමට ඇතුලත් වෙච්ච වීනූ අවසානයේ 1952 වසරේදි මැඩ්‍රාස් නුවරදී එංගලන්තයට එරෙහිව ලබාගත්ත, ඉන්දියානු කණ්ඩායමේ මංගල ටෙස්ට් ජයග්‍රහණයට විශාලතම දායකත්වය ලබාදීපූ ක්‍රීඩකයා බවට පත්වෙන්න තරම් දක්ෂතා පෙන්වන්න සමත්වෙනවා.

ඒ එම තරඟයේ පලමු ඉනිමේ කඩුළු 8ක්, දෙවැනි ඉනිමේ කඩුළු 4ක් ලබාගනිමින්.

ඒ වසරේදිම පැවැත්වුන ඉන්දියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදිත් වීනූ දක්වපු දක්ෂතා මෙතන නොලියා මඟහරින්න බැරි තරම් විශිෂ්ඨ ගණයේ ඒවා.

මේ එංගලන්ත සංචාරයේ එක් තරඟයකදී වීනූ පන්දුවෙන් කඩුළු 5ක් වගේම පිත්තෙන් ලකුණු 184ක් රැස්කරන්න සමත් වුණත් අනිත් ක්‍රීඩකයන්ගෙන් නිසි දායකත්වයක් නොලැබුණු නිසා ඉන්දියානු කණ්ඩායම එංගලන්තයට පරාජය වෙනවා.

- ටෙස්ට් තරඟයක ආරම්භක කඩුල්ලේ හොඳම සම්බන්ධතාවයට හිමි ලෝක වාර්තාව පිහිටුවීමට දායක වීම -

1956 වසරේදි නවසීලන්තයට එරෙහිව වීනූ සහ පංකජ් රෝයි ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණ  ලකුණු 413ක දැවැන්ත සබඳතාවයක් පිහිටුවීමට සමත් වන අතර එම වාර්තාව 2008 වසරේදි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් වූ ග්‍රැහැම් ස්මිත් හා නීල් මැකන්සි දෙදෙනා විසින් බිඳදමන තුරුම වසර 52ක් තිස්සේ නොබිඳුනු වාර්තාවක් ලෙස වාර්තා පොත් වල සටහන් වී තිබීමට තරම් විශිෂ්ඨ ගණයේ වාර්තාවක් ලෙස අනිවාර්යයෙන්ම සඳහන් කල හැකිය.

- මුල්වරට මාන්කඩින් ක්‍රමය භාවිතා කල අවස්ථාව -

1948 වසරේ ඉන්දියානු කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය තුල වීනූ විසින් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු බිල් බ්‍රවුන්ව දෙවරක් පන්දුයවන අන්තයේදි දුවද්දි දැවීයාමට හසුකරගන්නවා.

• පලමු අවස්ථාව පුහුණු තරඟයේදි

• දෙවන අවස්ථාව දෙවන ටෙස්ට් තරඟයේදි

ඒ අවස්ථාවන් දෙකේදීම කඩුල්ල බිඳදමන්න කලින් වීනූ බිල්ට අනතුරු ඇඟවීමක් කල බව තමා වාර්තාවන් වල සටහන් වෙන්නේ.

කොහොම නමුත් වීනූ පාවිච්චි කරපු මේ ක්‍රම දැඩි විවේචනයට ලක්වෙනවා,

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු පුවත්පත් වීනූගේ මේ ක්‍රියාව හෙලා දැකීමේ අරමුණෙන් පන්දු යවන්නගේ අන්තයෙන් කඩුලු බිඳදමන මේ ක්‍රමයට 'මාන්කඩින්' කියන නම පටබඳිනවා.

බොහොමයක් අය වීනූව විවේචනය කරන අතරවාරයේ අසහාය පිතිකරු සර් ඩොන් බ්‍රැඩ්මන් වීනූගේ මේ ක්‍රියාව 100%ක් නිවැරදි බව සඳහන් කිරීමත් විශේෂත්වයක්.

- වීනූ මාන්කඩ් ක්‍රිකට් දිවියෙන් සමුගැනීම -

වසර 13ක ටෙස්ට් ක්‍රිකට් දිවිය හමාර කරමින් වීනූ 1959 වසරේ පෙබරවාරි මාසයේ විශ්‍රාම යනවිට ටෙස්ට් තරඟ 44කට සහභාගි වී ලකුණු 2109ක්ද, කඩුළු 162ක්ද ලබාගෙන තිබූ අතර අද වනවිටත් ඉන්දියාවෙන් බිහිවූ හොඳම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සලකන්නේ වීනූ වයි.

ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගෙන වසර 19කට පසු ජීවන දිවියෙන්ද සමුගන්නා වීනූගේ නාමය මෙලොව ක්‍රිකට් ක්‍රීඩාව පවතින තාක් අමරණීයව වැජඹේවි.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment