Sunday, March 31, 2019

- මුරලි හා රෂීඩ්ගේ ද්වන්ධ සංග්‍රාමය -

• මාර්තු 28 - 2019

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුවීම් සැසිය අවසාන වූ පසු මා එතනින් ඉවත්ව යෑමට සූදානම් වනවිටම අසහාය දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් පන්දුව එක් අතකින් තවත් අතකට හුවමාරු කරමින් පන්දු යවන්නට සැරසෙන බව දුටු නිසා මදක් නතර වී එය දෙස බලාසිටින්නට අදහස් කලෙමි.

මුරලිගේ පන්දුවලට මුලින්ම මුහුණදෙන්නේ බුවනේෂ්වර් කුමාර්ය.

මුරලිගේ පලවෙනි පන්දුවෙන් බුවනේෂ්වර් ගැලවුනේ අනූනවයෙනි.

එය දුටු මුරලි ඔලුවේ අතගසාගත්තේ බුවනේෂ්වර් එම පන්දුවෙන් ගැලවෙන්නට තරම් වාසනාවන්ත වූයේ කෙසේද යන්න අදහාගත නොහැකිවය.

පන්දුයවන්නන්ගේ අන්තයේ සිටිමින් මුරලි පන්දුයවන ආකාරය දෙස බලාසිටින රෂීඩ්,

"අවුරුද්දෙන් අවුරුද්ද ඔයාගේ වේගය අඩුවෙනවා.ගිය අවුරුද්දේ ඔයා මීට වඩා වේගයෙන් පන්දුයැව්වා...!"

ලෙස පැවසූයේය.

'එම ප්‍රශ්නයට පිලිතුරක් නොදුන් මුරලි අහිංසක ලෙස සිනාසුණා පමණි...!'

මා රැඳී සිටියේ පන්දුයවන අන්තයේ සීමාවට සමාන්තරවය.

මා නිරීක්ෂණය කල ආකාරයට ඒ වනතෙක් පන්දු යැවූ සියළුම පන්දුයවන්නන් පාහේ පන්දුයැවීමේ සීමාවට එපිටින් පාදය තැබීම නිතරම සිදුකල නමුත් මුරලි එක්වරක් හෝ සීමාවට එපිටින් පාදය තැබූ බවක් නම් මා හට දක්නට නොලැබුණි.

"ඔහුගේ සෑම පන්දුවක්ම නීත්‍යානුකූල පන්දුවකි...!"

නැවතත් මුරලි පන්දු යැවීම ඇරඹීය,

මගේ ඇස් ඔහු වෙතම යොමුකරමින් මා බලාසිටියේ රෂීඩ් සඳහන් කල පරිදි ඇත්තෙන්ම මුරලිගේ වේගය අඩු වී ඇතිද යන්න දැනගැනීමේ අරමුණිනි.

මුරලි - "හරි අවුට්...!"

පන්දුයවන්නන්ගේ අන්තයේ රැඳී සිටි මා හට සිතාගැනීමට වත් ඉඩක් නොතබා මුරලි බුවනේෂ්වර්ව දවාගත්තේය...!

දැන් මුරලිගේ පන්දුවලට මුහුණදෙන්නේ රෂීඩ්ය...!

මෙම සිදුවීමේ ඇති වටිනාකම හොඳින්ම දන්නා නිසා එය මදකින් හෝ මඟහැරගැනීමට  ඇති අකමැති ශහ්බාස් නදීම් රැඳීසිටියේ පන්දුයැවීමේ අන්තයේ සිටි මුරලිට ඉදිරියෙනි.

නමුත් මුරලිට ශහ්බාස් රැඳී සිටි කෝණය පන්දුයැවීමට බාධාවකි.

මුරලි - "මචා, සයිඩ් ප්ලීස්, ඕක මගේ ඈන්ගල් එක..."

මුරලි පන්දුයැවීම ඇරඹුවේය...!

පලමු පන්දුව පිටදඟ පන්දුවකි.

පිතිකරු රෂීඩ් ආරක්ෂාකාරී පහරක් එල්ල කලේය.

දෙවෙනි පන්දුව දූස්‍රාවකි.

රෂීඩ් මදක් පසුපසට ගොස් පොයින්ට් කලාපය දෙසින් ඉහලින් පහරක් එල්ල කලේය.

මුරලි - "ඒක ලකුණු 4ක්...!"

ඒත් මා දුටු අන්දමට නම් රෂීඩ් එම පහර එතරම් හොඳින් එල්ල කලේ නැත.

මා මුරලිගෙන් එම පහර පිළිබඳව ඇසුවෙමි.

"රෂීඩ් ඒ පහර හොඳින් එල්ලකලා"

එය මුරලිගේ පිළිතුරය.

මුරලි - (ශහ්බාස්ට) "මම උත්සහ කරන්නේ මෙයාව කඩුල්ල මුවා කිරීමේ වැරැද්දට අහුකරගන්න...!"

මුරලි - "Around the wicket"

ඊළඟ පන්දුව මැදඉන්නත් පාඉන්නත් අතර පතිත වූ වේගවත් පන්දුවකි.

රෂීඩ්ට යාන්තමින් පන්දුව පැමිණෙන වේලාවට පිත්ත පහලට ගෙන ඒමට හැකිවිය.

වසර 10කට පෙර, මේ පන්දුව අනිවාර්යයෙන්ම මුරලිට කඩුල්ලක් ලබාදෙන පන්දුවක් වුවද දැන් මුරලිගේ වයස අවුරුදු 47කි.

මුරලි (ශහ්බාස්ට) - "දැන් මට වේගයෙන් පන්දුයවන්න අමාරුයි"

ඊලඟ පන්දුව දූස්‍රාවකි.

මෙය හඳුනාගත් රෂීඩ් පසුපස පාදයට ගොස් පන්දුව ආරක්ෂාකාරීව පිලිගත්තේය.

වේලාව සවස 6ට ඉතාමත් ආසන්නය.

ප්‍රධාන පුහුණුකරු ටොම් මූඩි,

තව කොතරම් වේලාවක් පන්දුයැවීමට බලාපොරොත්තු වනවාද යන්න මුරලිගෙන් ඇසූවිට මුරලි පැවසුවේ,

"තව විනාඩි 4ක් 5ක් යනකොට අපි මේ වැඩේ ඉවර කරනවා" යන්නය.

සටන නියමාකාරයෙන් ඇරඹෙන්නේ මේ මොහොතේදීය.

මුරලි - "ඔයා එක පන්දුවකට ලකුණු 2ක් ගන්න ඕන.."

රෂීඩ් - "මොකක්ද ඔයාගේ ෆීල්ඩ් එක?"

මුරලි - ෂෝට් තර්ෆ් මෑන්,පොයින්ට්,කවර්ස් හා ලෝන් ඕෆ් කලාප වෙත අත දිගුකරමින්,

"ඕෆ් සයිඩ් එකේ හතරයි, ලෙග් සයිඩ් එකේ පහයි..."

නැවතත් මුරලි වේගවත් පන්දුවක් යොමුකලේය.

රෂීඩ් තරමක් ප්‍රමාද වී රිවර්ස් ස්විප් පහරක් එල්ල කල අතර පිත්තේ අගදාරයේ වැදුන පන්දුව කඩුලු රකින්නාගේ හිසට ඉහලින් ගමන් කලේය.

මුරලි - "ඒක ලකුණු හතරක්, ඔයා දිනුම්..!"

නරඹන්නන් - "රෂීඩ් ඒ වෙලාවේ නම් වාසනාවන්ත උනා, තව පාරක් බලමු!"

මුරලි - "හරි තව එකක්, මේ පාර කීයද?"

රෂීඩ් - "එක පන්දුවට ලකුණු 6ක්"

මුරලි - "ඒක මට ලේසියි, නිකන් ඇවිදගෙන ඇවිල්ලා බෝල් කරන්න විතරයිනේ ඕන..!"

මුරලිගේ ඊලඟ පන්දුව සුපිරි පන්දුවකි,

ස්වීප් පහරක් එල්ල කල රෂීඩ්ගේ පිත්තේ ඇතුළු දාරයේ වැදුනු පන්දුව පාආවරණයේ වැදී මඳක් දුර සෙමෙන් බිමදිගේ ගමන්කලේය.

මුරලි - "හරි, අන්තිම එක.මේකට කීයක්ද?"

ශහ්බාස් - "ලකුණු දෙකක්"

අන්තය නැවතත් මාරුකල මුරලි දූස්‍රා පන්දුවක් යොමුකලේය.

රෂීඩ් මිඩ්විකට් අන්තයට ඉහලින් පන්දුව යොමුකිරීමට උත්සහ කලද පන්දුව තනි කෙලින් ඉහල නැග්ගේය.

මුරලි - "ඒක මට ලේසිම ලේසි උඩපන්දුවක්"

එනමුත් එය රෂීඩ් ලකුණු 6ක් ලෙස සංඥා කලේය.

නරඹන්නන් සියළුදෙනාම එම පහර 6 පහරක් නොවන බව දැන සිටියත් මුරලි,

"හරි ලකුණු 6යි මචා...!"

පුහුණුවීම් අවසාන වී සියළුදෙනාම පිටියෙන් ඉවත්වෙන අතරවාරයේ මුරලි නම් අසහාය පන්දුයවන්නා දෙසම බලාසිටි මාගේ සිත තුල ජනිත වූයේ මෙවන් අදහසකි.

"තමන්ගේ අවසාන ජාත්‍යන්තර තරඟය මීට අවුරුදු 5කට ක්‍රීඩාකලත්,වයස අවුරුදු 47ක් වෙලත් තවමත් මුරලිගේ පන්දුවලට පහරදෙන එක ලේසි වැඩක් නම් නෙවෙයි...!"

Espncricinfo වෙනුවෙන් Hemant Brar ලියූ සටහනක් පරිවර්තනය කලේ,

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment