Sunday, August 25, 2019

ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කොයිබටද? ⇾


වර්තමානයේ පමණක් නොව අතීත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා දත්ත සලකා බැලූ කල, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දී ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය.

- සීමිත ඕවර ක්‍රීඩා කාණ්ඩ වන ඕවර 50 සහ ඕවර් 20 යන කාණ්ඩ යුගලයෙන්ම ලෝක ශූරයන් බවට පත් වුවද,
- ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම වුවද,
- වැඩිම ටෙස්ට් කඩුළු ලබාගත් පන්දුයවන්නා අයිති රට වුවද,
- වමත් දඟ පන්දුයවන්නන් අතර වැඩිම කඩුළු ලබාගත් පන්දුයවන්නා අයිති රට වුවද,
- තරඟ 100කට වඩා ක්‍රීඩා කල පිතිකරුවන් අතරින් ඉහලම සාමාන්‍යයක් පවත්වා ගත් හා සර් දොන් බ්‍රැඩ්මන්ට පමණක් දෙවෙනි වන ලෙස ද්විත්ව ශතක 11ක් ලබාගත් පිතිකරුවා අයිති රට වුවද,
- ඕනෑම විකට්ටුවකට පවත්වාගෙන ඇති හොඳම පිතිකරු යුගල සබඳතාවය පිට පිට දෙවරක් අයිති කරගත් පිතිකරුවන් 4 දෙනෙකු අයිති රට වුවද,
- දකුණත් පිතිකරුවෙක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා අයිති රට වුවද,

අවාසනාවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදි ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික මට්ටමෙන් එතරම් සැලකීමකට ලක්වන්නේ නැත!

මෙයට ප්‍රධාන හේතුන් වන්නේ අප ටෙස්ට් වරම් හිමිකරගැනීම යම් තාක් දුරට ප්‍රමාද වීම සහ අතීතයේදි එංගලන්තයේ හා නවසීලන්තයේදි හැරුණුකොට SENA රටවලදී අපගේ දක්ෂතා දුර්වල මට්ටමක තිබීමයි.

එමෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සීමිත ඕවර කාණ්ඩ වලදී පවත්වාගන්නා දක්ෂතා මට්ටම්,
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදි පවත්වා නොගන්නා බවට මතයක් අතීතයේදි නිර්මාණය වී තිබූ බවද බහුතරයකට මතක ඇතුවා නොඅනුමානය.

එනමුත් අද වාතාවරණය අතීතයට වඩා වෙනස් වී ඇත!

ශ්‍රී ලංකා කණ්ඩායම සීමිත ඕවර තරඟවලදී තරඟ පිට තරඟ පරාජය වුවද, අතීතයට සාපේක්ෂව ටෙස්ට් තරඟවලදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත!

- දකුණු අප්‍රිකාවේ පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයක් ලැබූ පළමු ආසියානු කණ්ඩායම බවට පත් වීමටද,
- පකිස්තානයේ රාජධානිය ලෙස සලකන අබුඩාබි හි ටෙස්ට් තරඟාවලි ජයක් ලැබූ පලමු විදේශීය කණ්ඩායම බවට පත්වීමටද,
- පළමු වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේදී පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලබාගැනීමටද,
- බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලදී ටෙස්ට් තරඟාවලියක සම ශූරයන් වීමටද,
- පරාජය ලැබුවද නවසීලන්තයේදි හා ඉන්දියාවේදි ගෞරවාන්විත ලෙස තරඟාවලි අවසන් කිරීමටද,

පසුගිය කාලවකවානුව තුල ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත...!

එමෙන්ම,
ටෙස්ට් ක්‍රිකට් කාණ්ඩයේදි අපට ලැබෙන කුඩම්මාගේ සැලකිලි වලට තිත තැබීමට මහඟු අවස්ථාවක් දැන් අපට උදා වී ඇත…!

ඒ,

"ටෙස්ට් ලෝක ශූරතාවලියයි!"

කෙසේ හෝ මෙම කුසලානය ජයග්‍රහණය කරගතහොත් තරඟ කාණ්ඩ 3හිම ලෝක ශූරයන් බවට පත් වූ කණ්ඩායමක් ලෙස අප පිළිබඳව ඉතිහාස පොත් වල ලියවෙනවා ඇත!

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාවටද මුහුණදීමට අවශ්‍ය නොවන අතර ලබා දී ඇති තරඟ 13න් උපරිම තරඟ ජයග්‍රහණය කර වැඩි ලකුණු ලබාගත යුතුය!

අපට එය බැරි නැත!

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment