Sunday, January 5, 2020

අප සියළුදෙනාටම අමතක වූ, ඒ සටන්කාමී ඉනිම...!



ඇඟට පතට නොදැනීම මේ වෙනකොට අපි 2019 අවුරුද්ද පහුකරලා අහවර වෙලා,
2020 අවුරුද්ද පටන් අරගෙන දවස් 2කුත් 
ගතකරලා ඉවරයි.

වෙනදට වඩා මේ පාර ටිකක් වෙනස්...

2020දි අළුත් දශකයක් ආරම්භ වෙන නිසා,
දැන් දවස් ගාණක් තිස්සෙම ලෝකේ පුරා ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සැලකිය යුතු තරමින් එකතුවෙලා,
එක එක මාදිලියේ මාතෘකා යටතේ,
වෙනදට වඩා ටිකක් වැඩිපුර වාදකරගන්නවා ඔයාලා බහුතරයක් නම් දකින්නත් ඇති,
එක අවුරුද්දක් ඉවරවෙනකොට වගේ නෙවේනේ දශකයක් ඉවරවෙනකොට,
දශකයකට අදාල පරාසය විශාලයි නෙව.

ඉතින් වාද විවාදත් නිරායාසයෙන්ම වැඩිවෙනවා!

හැමෝටම ඕන තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා,කණ්ඩායම මුළු ලෝකෙන්ම අංක 1 වෙනවා දකින්න!

මේ ගැන දන්න නිසාම සමහරක් ක්‍රිකට් වෙබ් අඩවි වලින් ප්‍රේක්ෂකයන්ට නොයෙක් ගණයේ කාණ්ඩවල දක්ෂතමයන් තෝරාපත් කරගන්න තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නත් අවස්ථාව ලබාදීලා තිබුණා.

ඉතින් ඔය අතරවාරෙම,
පහුගිය 2010/19 දශකය පුරාවට පිතිකරුවෙක් රැස්කල හොඳම ටෙස්ට් ඉනිම මොකක්ද කියන එක ගැන අදහස් දක්වන්න කියලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ෆේස්බුක් පේජ් එකෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලලා තිබුණා කියලත් ඔයාලා දකින්න ඇති...!

ඔයාලා ඒ පෝස්ට් එකට ගිහින් බැලුවනම් දකින්න ඇති,

සැලකිය යුතු තරම් පිරිසක් කියනවා පහුගිය කාලේ එයාලා දැකපු හොඳම ටෙස්ට් ඉනිම මේ පාර ඈශස් වල ස්ටෝක්ස් ගහපු ඉනිමලු...!

තව ඒ වගේම සැලකිය යුතු තරම් පිරිසක් කියනවා එයාලා දැකපු හොඳම ටෙස්ට් ඉනිම KJP දකුණු අප්‍රිකාවට ගහපු ලකුණු 153ලු...!

ඔයාලට මොකද හිතෙන්නේ?

මගෙන් කවුරුහරි ඔය ප්‍රශ්නෙම ආපිට ඇහුවොත්,
සරලයි!
මට නම් කියන්න තියෙන්නේ පෞද්ගලිකව මම දැකපු හොඳම ඉනිම KJPගේ ඉනිම කියන එක තමයි.
හැබැයි මම එහෙම කියන්නේ KJP ලංකාවේ නිසා පැත්තක් අරගෙන නම් නෙවෙයි!

ස්ටෝක්ස්ගේ ඉනිම සුපිරියි තමයි!
ඒත් ස්ටෝක්ස් ඒ ඉනිම සෙල්ලම් කලේ තමන්ගේ රටේදි තමන්ට ක්‍රීඩාකරලා හොඳින් හුරුපුරුදු ක්‍රීඩාංගනයක.
අමතක කරන්න එපා!
ගන්න ලකුණක්,ලකුණක් ගානේ හෝම් ක්‍රවුඩ් එකෙන් ස්ටෝක්ස්ට දිරිමත් කිරීම් ලැබෙනවා කියන එකත්.

KJPගේ ඉනිම ස්ටෝක්ස්ගේ ඉනිමට වඩා හාත්පසින්ම වෙනස් තත්වයන් වල රැස්කරපු එකක්.
KJP මේ ඉනිම රැස්කරන්නේ තමන්ට නුහුරු,නුපුරුදු දකුණු අප්‍රිකානු බිමේදි.
මුළු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයටම දකුණු අප්‍රිකාව තුල ලබාගත්ත ටෙස්ට් තරඟ ජයග්‍රහණ තියෙන්නේ එකක් විතරයි.
අපිට විතරක් නෙවෙයි අනිත් ආසියානු රටවල් හැම එකකටම ටෙස්ට් තරඟාවලියකට දකුණු අප්‍රිකාවට යනවා කියන එකත්,
ගිහිල්ලා තරඟයක් ජයග්‍රහණය කරනවා කියන එකත් කවදාවත් ලේසි වැඩක් නම් උනේ නෑ.

KJP එදා හිටපු තත්වේ ස්ටෝක්ස්ට වඩා ගොඩක් වෙනස් කියන එක පිළිගන්නේ නැත්නම් ඒ හිතේ තියෙන කුහකකමකට හරි,
අපේම එවුන්ව පල්ලෙහාට දාන්න ඕන කියන චේතනාව පෙරදැරි කරගෙන කියන දෙකක් මිසක් වෙන හේතුවක් නිසා නම් නෙවෙයි.

මට දැනෙන විදියට අනුව නම්, KJP දකුණු අප්‍රිකාවෙදි ගත්ත ලකුණු 153* තමයි 'ආසියානුවන්ගේ අපාය' වගේ හැසිරෙන දකුණු අප්‍රිකානු බිමේදි ආසියානු පිතිකරුවෙක් රැස්කරපු හොඳම සහ වටිනාම ඉනිම.

සීසෝ එක වගේ තිබුණු ටෙස්ට් තරඟයක 
4වෙනි ඉනිමෙදි,
පිතිකරණයේ යෙදෙන්න අමාරු තණතිල්ලක, 
කිසිම ක්‍රවුඩ් සපෝට් එකක් නැති වෙලාවක,
ගිනි කසයෝ වගේ පන්දු යවන රාබඩා,
ස්ටේන්,ෆිලෙන්ඩර්,ඔලීවියර් වගේ ලෝකේ ඉන්න හොඳම ෆාස්ට් බෝලර්ස්ලා සෙට් එකකට එයාලගේ ගෙදර වගේ තැනකදිම මුහුණ දෙන ගමන්,
ලැයිස්තුවේ අන්තිම පිතිකරුවා එක්ක ලකුණු 78ක නොබිඳුන සම්බන්ධතාවයක් තියාගෙන ලෝක වාර්තාවකුත් පිහිටුවන අතරවාරේ,
කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කරන්න අවශ්‍ය උන ලකුණු වලින් හරි අඩක්ම ලබාගන්නවා කියන එක,

සුළුපටු දෙයක් නෙවෙයි..!

ඒ නිසයි මම KJPගේ ඉනිම ස්ටෝක්ස්ගේ ඉනිමට වඩා ඉස්සරහින් තියන්නේ,
ඒත් ඉතින් සමහර සුද්දොයි, සුද්දොන්ට කඩේ යන රොඩ්ඩොයි නම් ඕවා පිළිගන්න කැමති වෙන එකක් නෑ.
ඒකට ඉතින් අපිට කරන්න දේකුත් නෑ.

හැබැයි මම මේ මතක් කරන්න හදන්නේ KJP දකුණු අප්‍රිකාවෙදි ගත්ත ලකුණු 153* ගැන නම් නෙවේ,

පහුගිය දශකේ වාර්තා ගැන කතාකරද්දි මේ තරඟේ ගැන නිකමටවත් කවුරුවත් මතක් කරනවාවත් මම නම් දැක්කේ නෑ.
සමහරවිට ලකුණු ගාණ අඩු නිසා වෙන්නත් ඇති!

මතකද අපි 2018 වසරෙදි ටෙස්ට් තරඟ 3ක් ක්‍රීඩා කරන්න කොදෙව් දූපත් සංචාරය කලා?

පළවෙනි ටෙස්ට් එක පැරදුනා!
දෙවෙනි එක දිනන්න පුළුවන්කම තියාගෙන
විහින් ඩ්‍රෝ කරගත්තා!

තුන්වෙනි එකට මොකද උනේ කියලා මතකයිනේ?
අපි ඒක දින්නා!
නිකන් නෙවේ වර්ල්ඩ් රෙකෝඩ් තියලා!

බ්‍රිජ්ටවුන්,බාබඩෝස් වල ටෙස්ට් තරඟයක් දිනපු පළවෙනි ආසියානු කණ්ඩායම වෙන්න අපිට 
පුළුවන් උනා!

හැබැයි තරඟයේ 4වන දවසෙදි KJP නොහිටියා නම් කතාව වෙනස්වෙන්න ගොඩාක් ඉඩ තිබුණා,
තරඟයේ 3 වන දවසේ අවසානයේ KJP කොදෙව් ක්‍රීඩකයක්ගේ උඩපන්දුවක් රැකගන්න ගිහින් ඇඩ්වටීස්මන්ට් බෝඩ් එකක් උඩට වැටුන හැටි ඔයාලට මතක නැතිවෙන්න විදියක් නෑ.

එදා KJP වැටුණු ඒ විදිය දැකලා අපි බයවුණේ නෑ කියලා කියනවනම් ඒක අමු බොරුවක්!

එවෙලේ ටීවී එකෙන් මැච් එක බලපු අපි පවා ගොඩාක් අවුලෙන් හිටියේ,
තරඟේ ප්‍රතිඵලයට වඩා KJPට ලොකු අනතුරක් වෙයිදෝ කියන බය තමයි අපි හැමදෙනාටම තිබුණේ.

ඒත් වාසනාවකට රෝහලට ගිහිල්ලා ප්‍රතිකාර අරගත්ත KJPට තරඟේ 4වෙනි දවසෙදි පන්දුවට පහරදෙන්නත් පුළුවන් උනා!

දිල්රුවන් එක්ක එකතුවෙලා ලකුණු 63ක නොබිඳුනු සබඳතාවයක් රැස්කරපු KJP ඇත්තටම හිටියේ තරඟයක් ක්‍රීඩා කරන්න පුළුවන් ශාරීරික සුවතා මට්ටමක නම් නෙවේ,

ඔය පහල තියෙන ෆොටෝ එක දැක්කම ආය අමුතුවෙන් කියන්න ඕන නෑනේ,
ප්ලාස්ටර්,බැන්ඩේජ් මුළු ඇඟ පුරාම!
ඒ වගේ අමාරුවෙන් ඉඳලත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්න හිතුන එකත් මට නම් ඇති!
ගහන්න තිබුණු ලකුණු ගාන අඩු උනාට,
විකට් 6ක් ගිහින් තියෙන වෙලාවම,
අන්ත අමාරු පිච් එකක අවුට් නොවී ඉඳලා මැච් එක ඉවරකරලම යන එක ලේසි වැඩක් නෙවේ.

KJP කියන්නේ ටිකක් අමුතු ජාතියේ පොරක් කියලා මටනම් මුලින්ම හිතුනේ එදා!
ඊටපස්සේ 153*කුත් ගැහුවම ඒක තහවුරු උනා!

කොහොමහරි ඉඳලා හිටලා ෆෝම් වෙන KJP කෙනෙක් වෙනුවට නිතර ක්ලික් වෙන KJP කෙනෙක්ව හදාගන්න අපේ අයට පුළුවන් උනොත්,

මැච් දිනන එකනම් මහ ගේමක් නෙවේ!

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment