Sunday, January 26, 2020

''චමින්ද වාස්" පිළිබඳ අප්‍රසිද්ධ කරුණු කිහිපයක්..!

- අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කල ක්‍රීඩකයන් අතරින් දීර්ඝතම නාමය හිමි ක්‍රීඩකයා වාස් නොවේ.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් අතර දීර්ඝතම නාමය හිමි ක්‍රීඩකයා වාස් බව මතයක් බොහෝ දෙනා අතර පැවතුනද එය එසේ නොවේ,

අන්තර්ජාතිකව නොව ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් අතරින්ද දිගම නම හිමි ක්‍රීඩකයා වාස් නොවේ.

'වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසෆ් චමින්ද වාස්' යන වාස්ගේ සම්පූර්ණ නමට ඉංග්‍රීසි අකුරු 52ක් අයිති වන අතර,

ගිහාන් රූපසිංහ,අකිල ධනන්ජය,සචිත්‍ර සේනානායක හා හේමන්ත වික්‍රමරත්න යන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ගේ නම් වාස්ගේ නමට වඩා දීර්ඝය.

- කුඩා කාලයේදි වාස් කතෝලික පූජකයෙකු වීමට බලාපොරොත්තුව සිට ඇති අතර පසුකාලීනව එම බලාපොරොත්තුව පසෙකින් තබා ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමුවී ඇත.

- සචින් තෙන්ඩුල්කාර්ට එරෙහිව පන්දු යැවූ සාර්ථකම එක්දින පන්දු යවන්නා වාස්ය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති එක්දින තරඟ 49කදී වාස් විසින් තෙන්ඩුල්කාර්ව 9 වාරයක් දවාගෙන ඇත.

- වාස් විසින් පෞද්ගලිකව තමාගේ දක්ෂතා පිළිබඳව දත්ත වාර්තා පොතක් පවත්වාගෙන ගොස් ඇති අතර ටෙස්ට් කඩුළු 200 ලබාගැනීමේදී එම දත්ත වාර්තා පොතේ සටහන්ව තිබූ අයුරින් කඩුළු 200 සම්පූර්ණ කලා යැයි සිතමින් සෙසු ක්‍රීඩකයින් සමඟ උත්සවාකාරයෙන් එම අවස්ථාව සැමරුවද,

ඒ වනවිට වාස් ලබාගෙන තිබුණේ කඩුළු 196ක් පමණක් වන නිසා නැවතත් නියමාකාරයෙන් කඩුළු 200 ලබාගැනීමෙන් පසුව උත්සවාකාරයෙන් එය සැමරීමට වාස්ට සිදු වී ඇත.

- එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුළු 8 වාස් විසින් ලබාගන්නේ තම බිරිඳගේ උපන්දිනය යෙදී තිබූ දිනකදීය.

- එක්දින තරඟයක මුල් පන්දු 3දී කඩුළු ත්‍රිත්වයක් ලබාගත් ප්‍රථම හා එකම පන්දු යවන්නා වාස්ය.

2003 ලෝක කුසලානයේදි වාස් විසින් බංග්ලාදේශයට එරෙහිව මෙම දස්කම වාර්තා කරන ලදි.

- ටෙස්ට් තරඟයක ඉනිම් දෙකේදි කඩුළු 14ක් ලබාගත් ආසියානු වේගපන්දුයවන්නන් දෙදෙනා අතරට වාස් අයත්වන අතර මෙම දස්කම දැක්වූ අනෙක් පන්දු යවන්නා ඉම්රාන් ඛාන්ය.

වාස් මෙම දස්කම වාර්තාකලේ 2001 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවය.

- වාස් තම 400වැනි එක්දින කඩුල්ල ඉන්දියාවට එරෙහිව කොළඹදී ලබාගත්තේ තම අවසාන එක්දින තරඟයේදීය.

- තම අවසාන එක්දින තරඟය 2008දී ක්‍රීඩා කලද 2011 ලෝක කුසලානයේ අවසාන තරඟය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා වාස් වෙත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කැඳවීමක් ලැබුණු අතර ආබාධිත ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ අඩුපාඩුව මඟහරවා ගැනීම වෙනුවෙන් එය සිදුකරන ලදි.

එනමුත් එම ලෝක කුසලාන අවසන් තරඟය ක්‍රීඩා කිරීමට වාස්ට අවස්ථාවක් ලැබුණේ නැත.

- IPL තරඟාවලියක පළමු තරඟයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් පළමු පන්දුයවන්නා වාස්ය.

ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම නියෝජනය කරමින් 2010 IPL තරඟාවලියේ පළමු පන්දුවෙන්ම මනෝජ් තිවාරි නම් පිතිකරුවා දවාගනිමින් වාස් මෙම දස්කම වාර්තා කලේය.

අන්තර්ජාලය ඇසුරෙන් හේලිත හෙට්ටිආරච්චි ලියූවකි.

No comments:

Post a Comment