Thursday, January 16, 2020

- නාහෙට නාහන නායකයා -


නැසීගිය නවසීලන්ත සුපිරි පිතිකරු 'Martin Crowe' විසින් ලියූ 'The Chef - Arjuna Ranatunga' යන ලිපිය අනුසාරයෙනි.

'නොහොබිනා,උද්‍යෝගිමත් හා උපායෙහි දක්ෂ' අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ,

'අර්ජුන රණතුංග' යනු, 

- ක්‍රිකට් පිටිය තුලදි කිසිවෙකුට නොදෙවනි වන තරමේ ශක්තිමත් මානසිකත්වයක් තිබූ ක්‍රීඩකයෙකු වූ නමුත්,
- පිටියෙන් බැහැරදි එයට හාත්පසින්ම වෙනස් තරමේ සුහදශීලී හැසිරීමක් තිබෙන,

විශ්වාසවන්ත මිත්‍රයෙකි..! "


ඇත්තම කියනවනම්, 
මම තරම් ඔස්ට්‍රේලියාවට වෛර කරපු තවත් කෙනෙක් නම් වෙන කොහෙන්වත් හොයාගන්න බැරිවේවි!

ඒ හේතුව නිසා,
ඔස්ට්‍රේලියාවට වධ දෙන කෙනෙක් ලෝකේ කොහේහරි ඉන්නවනම් එයාව මට පේන්නේ වීරයෙක් විදියටයි!

බාහිර පෙනුම කෙසේ වෙතත්,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු 'අර්ජුන රණතුංග' කියන තරබාරු මොළකාරයාට තරම් දරාගැනීමේ ශක්තියක් තිබුණු වෙනත් කෙනෙක් නම්,

මට කවදාවත් මුණගැහිලා නැහැ!

අර්ජුනයි මායි දෙන්නම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට ආවේ එකම කාලවකවානුවකදි..

තරුණ තුන් ඉරියව් ක්‍රීඩකයෝ විදියට අපි දෙන්නම, ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුව සඵලවීමට මුහුණදුන්නේ බොහොම උද්‍යෝගිමත් විදියට.

අපි දෙන්නගේ රටවල් දෙකේ කණ්ඩායම් වල ඒ කාලසීමාවෙදි තිබුණු වාතාවරණයන් ගැන කිව්වොත්,

80 දශකයේ මුල් භාගයේදි ටෙස්ට් වරම් ලබාගත්ත 
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්,
- වෘත්තිමය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකලත්,
- ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලැබු අත්දැකීම් අවම වුනත්,
දක්ෂතාවයෙන් නම්,
කාටවත් දෙවෙනි වුනේ නැහැ!

නවසීලන්ත කණ්ඩායම ඒ කාලවකවානුවේදි 
වෘත්තිමය හා ආධුනික යන ක්‍රීඩකයින් දෙවර්ගයේම සම්මිශ්‍රණයකින් සමන්විත වුනා.
ඒ වගේම නවසීලන්ත කණ්ඩායමට නායකත්වය 
ලබාදුන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඒ වෙනකොට හිටපු වෘත්තිමය ක්‍රීඩකයින් අතරිනුත් ඉහළම තැනක වැජඹුනු 'සර් රිචඩ් හැඩ්ලි' විසින්.

මුල්මවරට මම අර්ජුනට කතාකලේ 1984 වසරේ
අස්ගිරිය ක්‍රීඩාංගනයේ පැවැත්වුන ටෙස්ට් තරඟයක් අතරවාරයේ හෙල්මට් එකකුත් දාගෙන 'Short Leg' පන්දු රකින ගමන්.

පිතිකරණයේ යෙදෙන ගමන්,
පන්දු රකින අපිව ඉලක්ක කරගෙන වරින් වරට නොහොබිනා දේවල් කියවන්න නම් අර්ජුනට තිබුණේ පුදුම හැකියාවක්!

ඒ විතරක් නෙවෙයි,
මොනම අවස්ථාවකදිවත් පරාජය භාරගෙන පැත්තකට වෙන පුරුද්දක් අර්ජුනට තිබ්බෙත් නෑ!

අර්ජුන පිතිකරණයේ යෙදෙනකොට පාවිච්චි කලේ සීමිත පහරවල් ගණනක්.
Cut, Sweep පහරවල් වලින් ලකුණ දෙක අරගෙන නිතරම වගේ පිතිකරණ අන්ත මාරුකරන්න අර්ජුනට හැකියාව තිබුණා.

මුලින්ම දැකපු වෙලාවට නම් කෙනෙක්ට හිතෙන්නේ අර්ජුන කියන්නේ බොහොම අලස,ක්‍රීඩාවේ යෙදෙන්න අවශ්‍ය ජවය නැති තරබාරු කෙනෙක් කියලා.
ඒත් පන්දුවට පහරදීමේ හැකියාවෙන් වගේම අවසාන මොහොත දක්වාම සටන්කිරීමේ ගුණයෙන් පරිපුර්ණ අර්ජුනට තරඟයක් කනපිට ගැසීමේ හැකියාව තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඇවිත් එහෙමට කාලයක් ගතවෙන්නත් කලින් අර්ජුනට 'Chef' කියන අනවර්ථ නාමය පටබැඳෙනවා.

සුදු ඇඳුම් ඇඳපු,
නිතරම බඩගින්නේ ඉන්නවා වගේ පෙනුණු,
තමන්ගේ නීතියට පිටින් යන ඕනම කෙනෙක්ව අපායට උනත් යවන්න ලෑස්තිවෙලා හිටපු,

අර්ජුනට 'Chef' කියන නම පටබැඳුන එකත් ඒ තරම් පුදුමයක් නෙවෙයි!

අර්ජුනයි මායි කීපවතාවක්ම නොයෙක් දේ ගැන වාද විවාද කරගෙන එදිරිවාදිකම් ඇතිකරගත්තත්, 
අපි දෙන්නටම අපේ හිත් ඇතුලෙන් තමන්ගේ ප්‍රතිවාදියා ගැන විශාල ගෞරවයක් තිබුණා.

අර්ජුනගේ නිර්ව්‍යාජ හිනාව වගේම
අර්ජුන ජීවිතය විඳින ආකාරය ගැන,
පෞද්ගලිකව මට තිබුනේ බොහොම ප්‍රසන්න හැඟීමක්!
අර්ජුන කවදාවත් මාන්නයෙන් ඔලුව උදුම්මවාගෙන හිටපු කෙනෙක් නෙවෙයි!

අර්ජුන කියන්නේ,
බොහොම ලොකු හදවතක් තිබුණු, 
ස්ථානෝචිත ප්‍රඥාව යහමින් පාවිච්චි කරපු,
දක්ෂ ක්‍රීඩකයෙක්.
අර්ජුනට අත්දැකීම් තිබ්බේ බොහොම අඩුවෙන්,
ඒත් ඒ තිබුණු අවම අත්දැකීම් ටික පාවිච්චි කරලා හරි තමන්ගේ කණ්ඩායම අදාල ඉලක්කය වෙත අරන් යන්න  අර්ජුනට පුළුවන්කම තිබුණා.

1996 වසර වෙනකොට අර්ජුන යහමින් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කාලාන්තරයක් තිස්සේ පරිණත වුන ප්‍රඥාවන්තයෙක් වෙලා ඉවරයි,
අර්ජුන තමන්ගේ කණ්ඩායම ගැන මුල ඉඳලා අගටත්,අග ඉඳලා මුලටත් දැනගෙන හිටියා.

අර්ජුන හොඳින්ම දැනගෙන හිටියා තමන්ට ඕන වැඩේ කරවගන්න ඔබන්න ඕන බොත්තම මොකක්ද, 
ඒක ඔබන්න ඕන වෙලාව මොකක්ද, 
කියන එක ගැන.

අර්ජුන ඔස්ට්‍රේලියාව දැක්කේ පහසු ඉලක්කයක් විදියට.
අර්ජුන දැනගෙන හිටියා ඔස්ට්‍රේලියාවේ ඇතුලාන්තය මොනවගේද කියන එක ගැන.
ප්‍රෙෂර් එක වැඩි උන වෙලාවට අනිත් කණ්ඩායමට අපහාස කරලා ඒ ප්‍රෙෂර් එක අඩුකරගන්න තරම් බියගුළු,නිවට ගතිගුණ තිබුණ ඔස්ට්‍රේලියාවට රිද්දන්න ලේසිම ක්‍රමය පෞද්ගලිකව ක්‍රීඩකයින් ඉලක්ක කරලා වාචිකව පහර දීම කියන එකත් අර්ජුන තේරුම් අරගෙනයි හිටියේ.

'වෝන් කියන්නේ සාමාන්‍ය ගණයේ පන්දුයවන්නෙක්' කියලා අර්ජුන කරපු ප්‍රකාශය වෝන් ඇතුළු මුළු ඔස්ට්‍රේලියාවම කුපිත කෙරෙව්වා.
වෝන් ඇතුළු ඔස්ට්‍රේලියාව කුපිතවෙලා,
හැඟීම් වලට වහල්වෙලා පලිගන්න උත්සහ කරන එකෙන් වැඩිම වාසිය ලැබුණේ කණ්ඩායමේ කොඳු නාරටිය එහෙමත් නැත්නම් අර්ජුනගේ දකුණු අත වෙච්ච අරවින්ද ද සිල්වාට.
වෝන් කලබල වුන එකේ වාසිය අරවින්ද තමන්ට පුළුවන් උපරිමයෙන්ම පාවිච්චි කලා.

හරි සරළයි,
එක ගලෙන් අර්ජුන කුරුල්ලෝ දෙන්නෙක්ම ඇල්ලුවා!
තමන්ගේ කපටිකමෙන් මුළු රටකම බලාපොරොත්තු ඉෂ්ඨ කරවන්න අර්ජුනට පුළුවන් උනා!

අර්ජුනයි මායි පිටියෙන් බැහැරදි බොහොම හොඳ මිත්‍රත්වයක් පවත්වගෙන ගියා.
ලංකාවට ආපු හැමවෙලාවකදිම භෝජන සංග්‍රහයක් වෙනුවෙන් මට අර්ජුනගේ ගෙදරට එන්න කියලා ආරධනාවක් ලැබෙනවා.

ක්‍රිකට් සෙල්ලම් කරලා ලබන වින්දනයටත් වඩා,
තමන් කැමති කැමති නොයෙක් ගණයේ 
ආහාර අනුභව කිරීමෙන් ලැබෙන වින්දනයට,
අර්ජුන කැමතියි කියන එකනම් මම අනිවාර්යයෙන්ම දන්නවා..

අර්ජුනත් එක්ක කාලය ගතකරන්න ඇත්තටම මම 
නම් හරිම කැමතියි,
කිසිම කම්මැලිකමක් දැනෙන් නැති වීම වගේම 
හරිම ආරක්ෂාකාරී හැඟීමකුත් අර්ජුන එක්ක කාලය ගතකරන වෙලාවට මට දැනිලා තියෙනවා.
ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම එක්කගෙන ගිහින් අර්ජුන මම ජීවිතේටම දැකලා තිබ්බේ නැති දේවල් මට පෙන්නලා දීලත් තියෙනවා.
පිටරටකදි මම අත්විඳපු හොඳම ආරක්ෂාකාරී හැඟීමත්,නිදහසත් මට ලැබුනේ අර්ජුනත් එක්ක ලංකාවේ ඇවිදිනකොට.
තැන් තැන්වල ඇවිද්දා විතරක් නෙවෙයි,
අර්ජුන මගේ කකුලේ තිබුණු ආබාධය සුවකරන්නත් බොහොම වෙහෙස මහන්සිවෙලා උපකාර කරා කියන එක මට කවමදාවත් අමතකවෙන්නේ නැතිවෙයි!

අර්ජුන කියන්නේ වෛර කරන්න බැරි ප්‍රතිවාදියෙක්,
තමන්ට එරෙහිව ආපු හැම බාධයකටම නොසැලී මුහුණදෙන්න තරම් දැඩි මානසිකත්වයක් හා ආත්ම ශක්තියක් අර්ජුනට තිබුණා.

සුළුතරය නියෝජනය කිරීමේ මහා සංකේතය 
'අර්ජුන රණතුංග' කියන එක ආය අමුතුවෙන් ක්‍රිකට් ඉතිහාසය තුල ලියන්න අවශ්‍ය වෙන එකක් නැතිවේවි!

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment