Thursday, February 28, 2019

- වමත් පාදඟ පන්දු යවන්නෝ "චයිනමන්"ලා වීමට හේතු වූ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Ellis Achong -


කාටද චයිනමන් කෙනෙක් කියන්නේ?

කවුද ඕක ගැන දන්නේ?
ඇත්තම කිව්වොත් හරි උත්තරේ ගොඩක් අය දන්නේ නෑ.
දන්න අයත් දන්නේ බාගෙට.
ඉතින් හිතුනා වමත් පාදඟ පන්දු යවන්නන්ට "චයිනමන්" කියන නම වැටෙන්න හේතු පාදක උන ඒ කතාව ගැන ලියන්න.

1933දී එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟයක් පැවැත්වෙනවා Old Trafford ක්‍රීඩාංගනයේදී.
මේ තරඟයේදී පළමු ඉනිම ක්‍රීඩා කරපු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබාගත්ත ලකුණු 375ට පිලිතුරු දෙන්න එංගලන්ත කණ්ඩායම ඉනිම ආරම්භ කරනවා.

එංගලන්ත කණ්ඩායම ලකුණු 324ක් ලබාගෙන ඉන්න වෙලාවෙදි 6 වෙනි කඩුල්ල දැවී යනවා.

ඊට පස්සේ පිතිකරණයට ක්‍රීඩාංගනයට එන්නේ එංගලන්ත පිතිකරු Walter Robins. Walter අනික් අන්තයේ හිටපු නායක Douglas Jardine එක්ක එකතු වෙලා අගනා ලකුණු 140ක සබඳතාවයක් පවත්වගන්නවා.

මේ සබඳතාවය බිඳ වැටෙන්නේ බටහිර ඉන්දීය වමත් පිටදඟ පන්දු යවන්නෙක් උන Ellis Achong විසින් Walter Robinsට අසාමාන්‍ය ලෙස දඟකැවුනු පාදඟ පන්දුවක් යොමු කරපු නිසා.

Ellis Achong කියන්නේ Trinidad & Tobago දූපතෙන් ආපු චීන සම්භවයක් තියෙන ක්‍රීඩකයෙක්.ඒ වගේම චීන සම්භවයක් තිබුන පලවෙනි ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නෙත් මේ Ellisම තමා.සාමාන්‍යයෙන් Ellis කියන්නේ පිට දඟ පන්දු යවන්නෙක්.තවත් විදියකට කියනවනම් සාමාන්‍යයෙන් ඇඟිලිවලින් පන්දුව දඟ කවන කෙනෙක්.හැබැයි මේ වෙලාවෙදි Ellis විසින් Walterට එවන්නේ මැණික් කටුව යොදාගෙන දඟකවන පාදඟ පන්දුවක්.

Ellis යොමු කරපු මේ පන්දුව නිසා Walter ස්ටම්ප් කිරීමකට ලක්වෙනවා.

එහෙම දැවී ගියාට පස්සේ ආපහු පැවිලියන් එකට යන අතරේ Walter එතන හිටපු Joe Hardstaff Sr. විනිසුරුවරයට කියනවා මෙහෙම,

"අවලං චීනෙක්ගේ බෝලෙකට අවුට් වෙලා යන එකත් හරිම සුන්දරයි"

මේ කතාව ආරංචි උන තවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් උන Learie Constantine අහනවා,

"ඒ කතාව කිව්වේ පන්දු යවන්නටද එහෙමත් නැත්නම් ඒ පන්දු යවන්නා යවපු පන්දුවටද?" කියලා.

Learie කියන්නේ වෘත්තියෙන් නීතිඥයෙක් උන පස්සේ කාලෙක දේශපාලනයටත් යොමුවුන ජනප්‍රිය චරිතයක්.

Walter කියපු දේ නිසාත් Learie අහපු දේ නිසාත් තමයි ඔය කතාව ප්‍රසිද්ධ වෙලා වමත් පාදඟ පන්දුයවන්නන්ට "චයිනමන්" කියන නම වැටුනේ.

තව දෙයක්, වමතින් පාදඟ පන්දු යවපු මුල්ම කෙනා Ellis නෙවේ.මුලින්ම වමතින් පාදඟ පන්දු යවලා තියෙන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Charles Llewellyn විසින්. 

ජය… ✌

- හේලිත හෙට්ටිආරච්චි -

සැබෑ නායකත්වය ගැන අපූරු කතාවක්!


අද මේ ලියන ලිපිය ඈඳෙන්නේ 96 ලෝක කුසලාන ජයග්‍රහණයට...

හැබැයි හදිස්සියෙම මේක ලියන්න අදහස් කලේ මේ කතාව වෙන කොයිදාටත් වඩා හොඳින්ම ගැලපෙන්නේ වර්තමාන කාල සීමාවට කියලා මට හිතෙන නිසා.

ඒක එහෙම වෙන්නේ ඇයි කියලා කතාව කියවලා ඉවරවෙනකොට කියවන හැමෝටමත් අවබෝධ වෙයි කියන එක ගැන මට හොඳින්ම විශ්වාසයි!

සමහරක් අය නම් මේ කතාව අහලත් ඇති.
ඒ උනත් බහුතරයක් අය මේ ගැන දැනුවත් නෑ.

ඒ අය වෙනුවෙනුයි මේ කතාව ලියවෙන්නේ.

එහෙනම් අද කතාව ආරම්භ කරන්න අවසරයි!

එදා මෙදාතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හිටපු 

"හොඳම නායකයා"
කවුද කියන ප්‍රශ්නය කවුරුහරි ඇහුවොත් ඒකට මගේ උත්තරේ වෙන්නේ "මහේල ජයවර්ධන"
කියන නම.

මම එහෙම කියන්නේ හේතූන් ගණනාවක්ම පාදක කරගෙන.

හැබැයි කවුරුහරි ඇහුවොත් ශ්‍රී ලංකාව 
කියන පුංචි රටේ මිනිස්සු ක්‍රිකට් ගහන විදිය

"ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සම්මතකරණය"

කරපු එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පියා විදියට හඳුන්වන්න පුළුවන් නායකයා කවුද කියලා අනිවාර්යයෙන්ම මගේ උත්තරේ වෙන්නේ,

"අර්ජුන රණතුංග" 

කියන අසහාය ක්‍රිකට් ක්‍රීඩකයාගේ නම.

අර්ජුන කියන කෙනා නොහිටියා නම් අපේ ක්‍රිකට් ඉතිහාසය මීට වඩා වෙනස්වෙන්න ඕන තරම් ඉඩ තිබුණා.

යුග දෙකක ක්‍රීඩා කරපු මේ නායකයෝ දෙන්නම සම්පත් කළමනාකරණය කියන නිර්ණායකය යටතේ ගත්තම ක්‍රිකට් ඉතිහාසය පුරාවටම අපිට හිටපු හොඳම නායකයෝ දෙන්නා. 

හැබැයි මහේලට සාපේක්ෂව අර්ජුනට තිබුණු සම්පත් බොහොම අඩුයි.

ඒ වගේම මහේලත් එක්ක බැලුවම අර්ජුන යටතේ ක්‍රීඩා කරපු කණ්ඩායමේ පසුබිමත් බොහොම වෙනස්.

ඒවා එකින් එක ගැන මෙතන ලියලා කතාව දිග්ගස්සලා තේරුමක් නෑ කියලා හිතෙනවා.
මොකද ඒ දේවල් බොහොමයක් ගැන අපි හැමෝම හොඳින් දැනුවත්.

මීට වසර 23කට කලින් අපේ කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කලා උනත් අදාල තරඟාවලිය පටන් ගන්න කලින් 
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කරයි කියලා විශ්වාස කරපු අය නම් හිටියේ බොහොම අඩුවෙන්.
"කෙප්ලර් වෙසල්ස්" වගේ සුළුතරයක් අය ඇරෙන්න අනිත් හැමෝම අපිව සැහැල්ලුවට අරගෙන තිබුණා කිව්වොත් ඒක වැරදි නෑ.
ඉතින් ඒ තරමින් අඩුතක්සේරුවකට ලක්වෙච්ච අපේ කණ්ඩායම ලෝක ශූරයෝ බවට පත්වීම එදා මෙදාතුර මුළු ක්‍රිකට් ඉතිහාසය තුල සිද්ධවෙච්ච 
"විශාලතම පෙරළිය" කියන එක කාට උනත් වර්තමානයේදි පවා පිළිගන්න වෙන කාරණයක්.

ඒ කොහොම උනත් අර්ජුන ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කලේ මල් මාවතක ඇවිදගෙන ගිහින් නම් නෙවේ.

අද කාලේ වගේ නම් නෙවෙයි ඒ කාල වකවානුවේදි අපේ කණ්ඩායමට අවශ්‍ය ප්‍රතිපාදන,පහසුකම් තිබ්බේම නැති තරම්.
හරියට පුහුණුකරුවෙක් වත් නොහිටපු අපේ කණ්ඩායමට පුහුණුකරුවෙක් බඳවාගන්න අවස්ථාවේදි 1996 ලෝක කුසලානයට දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරන්න තරම් කාලය ඉතිරිවෙලා තිබුණේ නැහැ.

ඒ විතරක් නෙවෙයි...

1996 ලෝක කුසලාන තරඟාවලියට පෙරාතුව අර්ජුන,අරවින්ද කියන ක්‍රීඩකයින් දෙදෙනා හැරුණුකොට අපේ කණ්ඩායමේ නම්දරාපු ක්‍රීඩකයින් හිටියේම නැතිතරම්.

ඉතින් එහෙම බැලුවම අපි ලෝක කුසලානය ජයග්‍රහණය කරයි කියලා කවුද හිතන්නේ?

කවුරුවත් බලාපොරොත්තු නොවුන විදියට ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම කණාවට එහෙමත් නැත්නම් අහඹුවකින් සිද්ධ උන දෙයක් නම් නෙවෙයි.

අනෙකුත් රටවලට සාපේක්ෂව පහසුකම්,ප්‍රතිපාදන,තාක්ෂණික සහය අඩුවෙන්ම තිබිලත් අපි ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න හේතු ගණනාවක්ම පාදක උනා.

මගේ මතය අනුව ඒ හේතූන් වලින් කිහිපයක් පහතින් සඳහන් කරන්න හිතුවේ ඒ ගුණාංග වර්තමානයේ දකින්න ලැබෙන්නේ නැති තරමට දුර්ලභ ඒවා නිසයි.

- 1996 ලෝක කුසලානය ජයග්‍රහණයට මූලික වූ හේතූන් -

• කණ්ඩායමේ සාමාජිකයින්ගේ හැකියාවන් පිළිබඳවත් එම හැකියාවන් නිසි ලෙස යොදාගත යුතු ආකාරය පිළිබඳවත් කණ්ඩායමේ නායකයා තුල තිබූ අවබෝධය.
• විනය,කණ්ඩායම් හැඟීම හා කණ්ඩායමේ සියළුදෙනාම එකම අරමුණක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම.
• පෞද්ගලික දක්ෂතා වලට මුල්තැන දීමට වඩා කණ්ඩායමේ අරමුණ සාර්ථක කරගැනීමට එකමුතුව කටයුතු කිරීම.
• "Out of the box thinking" එසේත් නැත්නම් සීමා මායිම්වලට කොටු නොවී වෙනස් මාදිලියේ යෝජනා,තීරණ ක්‍රියාත්මක කිරීම.
• බාහිර යමක් අනුකරණය කිරීම වෙනුවට අපිටම ආවේනික ශෛලියක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය පෙරළිකාර තීරණ ලබාගැනීම.
• වාණිජමය වශයෙන් ලැබෙන වාසි සහගත තත්ව ගැන නොසිතා 'තමාට පෙර රට' සංකල්පය යටතේ ක්‍රීඩා කිරීම.
• නිරන්තරයෙන් වැරදි නිවැරදි කරගැනීම හා අසීමිත කැපවීම.
• කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට අනෙකුත් ක්‍රීඩකයින් දැක්වූ ගෞරවය හා එකිනෙකා පරයා සටන් කිරීම වෙනුවට තමාට බාරදුන් වගකීම ඉෂ්ඨ කිරීම වෙනුවෙන් අවධානය යොමු කිරීම.
• බාහිර බලපෑම් වලදි කණ්ඩායමේ නායකයා කණ්ඩායම වෙනුවෙන් ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීම.

කණ්ඩායමක් විදියට මේ වගේ වටිනා ගුණාංග රාශියක් පවත්වා ගැනීමම අනිවාර්යයෙන් ජයග්‍රහණයට මූලික අඩිතාලම දැමීමක්.

96 ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කරපු අපේ කණ්ඩායමේ මූලික සැලැස්ම වෙලා තිබුණේ තරඟාවලියේ අර්ධ අවසාන තරඟ වටයට සුදුසුකම් ලැබීම.
එතනින් එහාට යන්න අවලැබුනොත් ඒක අතිරේකව ලැබෙන වාසියක් විදියට තමයි මූලික අවස්ථාවේදි තීරණය කරගෙන තිබුණේ.
හැබැයි ඉතින් ඔය කියලු මූලික අරමුණ ගැන අඬබෙර ගහලා ප්‍රසිද්ධ කරන්න තරම් මොළේ අමාරුවක් ඒ මිනිස්සුන්ට තිබුණේ නැහැ.

මම ටිකකට කලින් සඳහන් කලා කණ්ඩායමේ නායකයාට කණ්ඩායමේ සාමාජිකයින්ගේ හැකියාවත් ඒ හැකියාවන් නිසි ආකාරයෙන් යොදාගන්න ආකාරය ගැනත් හොඳ අවබෝධයක් තිබීම අපේ ජයග්‍රහණයට දායක උනා කියන එක.
ඒ කාරණය තහවුරු කරන්න පුළුවන් හොඳම උදාහරණය ගැනයි මේ කියන්න ලෑස්ති වෙන්නේ.

අපි හැමෝම දන්නවා 96 ලෝක කුසලානයේදි සනා - කලූ සුසංයෝගය ක්‍රීඩා කරපු ශෛලිය නිසා ක්‍රිකට් ක්‍රීඩාව සදහටම වෙනස් උන හැටි.

ඒ වෙනස ඇතිකරන්න මූලිකම හේතුව උනේ අර්ජුන කියන නායකයාගේ තිබුණ පෙරළිකාර මානසිකත්වය.

අර්ජුන,දුලිප් මෙන්ඩිස් මහත්මයා ඇතුළු පිරිසක් එක දවසක රාත්‍රී ආහාරය ගන්න කලින් අපේ වචනයෙන්ම කියනවනම් ‍පොඩ්ඩක් සෙට් වෙනවා.

දැන් ඉතින් මගෙ ඇඟට ගොඩ වෙන්න එපා ඒ කාලේ මිනිස්සු එහෙම සෙට් උනේ නෑය අනන් මනන් කියාගෙන.

ඒ කාලේ මිනිස්සුත් ඒ දේවල් කලා හැබැයි ඒක තමන්ගේ වගකීම ඉටු කරන්න බාධාවක් කරගත්තේ නෑ.

ඉතින් මේ සෙට් වෙලා ඉන්න අතරවාරයේ අර්ජුනගේ හිතට එනවා බොහොම රැඩිකල් සිතුවිල්ලක්.

ඒ සිතුවිල්ල තමයි ඒ වෙනකොටත් ආරම්භක පිතිකරුවා විදියට කටයුතු කරපු සනාගේ සහයට කලූව යොදාගන්න එක.
මේක අර්ජුන මුලින්ම කියන්නේ දුලිප් මෙන්ඩිස් මහත්මයාට.

මේක අහපු දුලිප් මෙන්ඩිස් මහත්මයා අර්ජුනට කියනවා අපි ඕක ගැන හෙට උදේට කතා කරමුය කියලා.
එහෙම කියන්නේ අර්ජුන ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි කියලා මෙන්ඩිස් මහත්මයා හිතපු නිසාලු.

ඉතින් ඊළඟ දවසේ උදේ නැවතත් අර්ජුන යනවා මෙන්ඩිස් මහත්මයා එක්ක මේ කාරණේ ගැන සාකච්ඡා කරන්න.
එවෙලේ ගිහින් ඇහුවම ඇත්තටම මෙන්ඩිස් මහත්මයාට පහුගිය දවසේ රෑ එහෙම දෙයක් ගැන කතා කලා කියලවත් මතකයක් 
තිබිලා නැහැ.

ඒ කියන්නේ ඇත්තටම හොඳ සිහියෙන් ඉඳලා නැත්තේ අර්ජුන නෙවේ මෙන්ඩිස් මහත්මයා. 

කොහොමින් හරි මෙන්ඩිස් මහත්මයත් මේ යෝජනාවට එකඟ කරවගත්ත අර්ජුන එවකට අපේ කණ්ඩායමේ පුහුණුකරුවා වෙච්ච ඩේව් වට්මෝර් එක්කත් මේ ගැන සාකච්ඡා කරනවා.

මුලදි නම් වට්මෝර් මේකට කොහෙත්ම එකඟ වෙලා නැහැ.

ඒකට හේතුව කලූ ඒ වකවානුවේ මැදපෙළ පිතිකරණයේදි ඉහල දක්ෂතා පෙන්වීම.
හොඳින් දක්ෂතා දක්වන පිතිකරුවෙක්ගේ පිතිකරණ ස්ථානය මාරු කරලා දැනට තියෙන දක්ෂතාවයත් නැතිවෙයි කියලා වට්මෝර්ට සැකයක් තිබුණත් අවසානයේ කොහොමහරි අර්ජුන වට්මෝර්වත් වැඩේට කැමති කරවගන්නවා.

වැඩේට අවශ්‍ය පසුබිම සකස්කරගත්ත අර්ජුන, සනා - කලූ දෙන්නට එකම එක වගකීමක් බාරදෙනවා.

ඒ තමයි ඉනිම් 15කදී ලකුණු 50 ආරම්භක සබඳතා 2ක් ලබාගැනීම.

ඉනිම් 15කදි ලකුණු 50 සබඳතා 2ක් පමණක් බලාපොරොත්තු වීමෙන්ම තේරුම් යනවා අර්ජුන කියන්නේ මොනතරම් ප්‍රායෝගික නායකයෙක්ද කියන එක.

ඒ විතරක් නෙවෙයි.

සනා - කලූ පිතිකරුවන් දෙපළටම පූර්ණ නිදහස ලැබෙනවා අවදානම් සහගත පහරවල් එල්ල කරලා සැලසුම ක්‍රියාත්මක කරන්න.

සැලසුම ක්‍රියාත්මක කරන අතරවාරයේ වැරදීමක් සිද්ධ උනත් සනා - කලූ දෙදෙනාටම කණ්ඩායමේ සාමාජිකත්වය පිලිබඳ ප්‍රශ්නයක් ඇති නොවන බවටත් අර්ජුන පොරොන්දුවක් ලබාදෙනවා.

ක්‍රිකට් ඉතිහාසයම උඩු යටිකුරු කරවමින් ඉනිමේ මුල් පන්දුවාර 15 ඇතුලත ප්‍රතිවාදී පන්දුයවන්නා හෝ ඒ පන්දුයවන්නා අයිති කණ්ඩායමවත්,
තරඟය පවත්වන ක්‍රීඩාංගනය හෝ වෙනයම් කිසිම කාරණයක් ගැනවත් නොසිතා පන්දු රකින්නන්ගේ හිසට ඉහලින් පන්දුව යොමු වන ලෙස වැරෙන් පහර එල්ල කිරීම නිසියාකාරව,නිරන්තරයෙන් සිදුවීම ආරම්භ වුනේ මේ අයුරින්.

පස්සේ කාලෙක සනා මුළු ලෝකයේම අංක 1 ප්‍රහාරාත්මක පිතිකරුවා බවට පත්වුනත් අර්ජුන බාරදුන්න වැඩේ මේ දෙන්නගෙන් මුලින්ම හරියටම කලේ කලූ.

1995 බෙන්සන් & හෙජස් තුන්කොන් එක්දින තරඟාවලියේදි ග්ලේන් මැග්‍රාත් වගේ සුපිරි ගණයේ වේග පන්දු යවන්නෙක්ට කලූ එලව එලවා පහරදුන්න හැටි සමහර අයට නම් තාමත් මතක ඇති.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාට විතරක්ම නෙවෙයි අර්ජුන අනිත් ප්‍රධාන පිතිකරුවන් සියළුදෙනාටමත් ඉලක්කයක් ලබාදීලා තිබුණා.

• ගුරුසිංහට බාරවෙලා තිබ්බේ අන්තයක් ආරක්ෂා කරගනිමින් ඕවර 40ක් අවසාන වනතුරුම කඩුල්ලේ රැඳී සිටීම.

ඒ තරම් වෙලාවක් කඩුල්ලේ ඉන්නේ නැතුව ඊට කලින් දැවී යන්න ඕන නම් ඒක ගැනත් පණිවිඩයක් යවලා ගුරාට දන්වලා තියෙනවා.

• අරවින්ද කණ්ඩායමේ කොඳු නාරටිය 
විදියට සලකලා කිසිම ආකාරයක
පීඩනයක් ඔහුට ලබාදීලා නැහැ.
අරාව සතුටෙන්,හිත නිදහස්ව තියන

එකලු ප්‍රධානම කාරණය.

• හෂාන්,රොෂාන්,අර්ජුන කියන පිතිකරුවන් තිදෙනාම අවස්ථාව අනුව ඕනෑම තැනක පිතිකරණයේ යෙදෙන්න සූදානම්ව ඉඳලා තියෙනවා.

• පන්දුයවන්නන්ට බාරදුන්න ප්‍රධාන වගකීම උනේ ප්‍රතිවාදී පිල ලබාගන්නා ලකුණු හැකි තරමින් අවම කිරීම.


මේ විදියට කණ්ඩායම් ජයග්‍රහණයක්
ලබාගැනීමට නායකයෙක් විසින් සිදුකල යුතු
නොයෙකුත් අන්දමේ ක්‍රියාකාරකම් අර්ජුන විසින් අකුරටම
සිදු කිරීම නිසාත් කණ්ඩායමේ
සියලුදෙනාම තමාට බාරදුන් රාජකාරි වලට
සාධාරණය ඉටු කිරීම නිසාත් පෙරළිකාර
ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගැනීම
ශ්‍රී ලංකාවට ඒ තරම් අපහසු කාරණයක්
උනේ නැහැ.
දැන් හැමෝටම තේරෙනවා ඇති කවරදාටත් වඩා වර්තමානයට මේ කතාව වැදගත් වෙනවා කියලා මම මුලින්ම කිව්වේ ඇයි කියන එක.

අපේ අයට වෙනස් වෙන්න ඕන නම් තවමත් ප්‍රමාද නැහැ!

ඒත් ඉතින් මේ යන විදිය බැලුවහම නම් 
අපේ අය වෙනස් වෙයි කියලා නම් හිතන්නවත් බැහැ!

- හේලිත හෙට්ටිආරච්චි -

- කැපවීමේ ප්‍රතිමූර්තිය -

"උනන්දුවා ලොව ජයගත් හැටි"

- පූර්විකාව -

මේ ගෙවෙන කාල වකවානුවත්, ගෙවිච්ච පසුගිය වසර 3ක පමණ කාල සීමාවත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදියට අපිට ඒ තරම් සුබ ඵල ගෙනදුන්න කාලසීමාවන් නම් නෙවෙයි...

ඒ කාරණාව සම්පූර්ණ සත්‍යයක් කියලා කියවන හැමෝමත් ඉස්මුදුනින්ම පිළිගන්නවා කියන කාරණේ ගැන කිසිම සැකයක් මේ ලිපිය ලියන මට නම් නැහැ!

අහන,දකින හැමෝටම වගේ ක්‍රිකට් කියන මාතෘකාව තිත්තම වෙලා...

ක්‍රිකට් කියන වචනේ ඇහුනත් ඇති බහුතරයක් අයට නයාට අඳුකොල පෙන්නුවා හා සමානයි!

ඉස්සර පුරුද්දට කාත් එක්ක හරි ක්‍රිකට් ගැන කතාබහ කරන්න පටන් ගත්තම,

"අපෝ ඔය ක්‍රිකට් මගුළ ගැන නම් කතා කරන්න එපා.වෙන මොනාහරි කියපං..!"

"දැන් කවදා ඉඳන්ද අපි මේ අපේ උන්දැලා ගොඩ යනකන් බලන් ඉන්නේ?

කෝ එන්න එන්න වළපල්ලට යනවා මිසක් ගොඩ ඒමක් පේන්නවත් නෑනේ..."

වගේ බොහොම සෘණාත්මක අදහස් තමයි ආපිට අපිට අහන්න ලැබෙන්නේ.

කොටින්ම කියනවනම් මේ මම උනත් ඒ මාදිලියේම තමයි!

වෙනසක් නෑ...!

ඒත් ඉතින් අර කාන්දමට ඇලෙන යකඩ කෑලි වගේ අපිටත් වෙන එල්ලෙන්න වැලක් නැති නිසාත්, 

බහ තෝරන කාලේ ඉඳලම ඇස් කටේ තියාන බලන එකම ක්‍රීඩාව නිසාත්,

මොන දහංගැටේ ගැහුවත් මේ ක්‍රිකට් කෙරුවාව අපිට අතෑරගන්න බෑ බොලව්!

අන්තෙටම කළකිරුණා උනත් තවමත් අපි බහුතරයක් අයගේ හිත්වල හීනියට අබ ඇටේක තරම්වත් බලාපොරොත්තුවක් තියෙනවා කවදා හෝ,

• අපිටම ආවේනික,

• අපේම මාදිලියේ ක්‍රිකට්

මේ ඇස් වලින් නැවත බලන්න වාසනාවක් තියේවි කියන කාරණේ ගැන.

ඒත් ඉතින් ඒ සුන්දර මොහොත කවදා උදාවේවිද කියන එක ගැන දන්න කවුරුත් මේ මිහිපිට නම් නැහැ...

මේ හැම එකටම ප්‍රධාන හේතුව දැන් ඉන්න උන්ට සැප වැඩියි!

දැන් ඉන්න උන් කිව්වේ ක්‍රිකට් ගහන උන් විතරක් නෙවේ,

ක්‍රිකට් බලන උන්ටත් එහෙම තමයි.

දැන් කාලේ සැටලයිට් වහළේ හයිකරන් ටීවී බලන උන්ට මොන දුකක්ද අපි ක්‍රිකට් බලන්න පටන් ගත්ත කාලේ එක්ක බලනකොට?

ඇන්ටනා කණුව උස්සන් මායි මගේ නැසීගිය තාත්තයි ඒ කාලේ ගොම තැම්බක් වගේ හිටපු ඔය මලයණ්ඩියවත් කිහිල්ලේ ගහගෙන කොයිතරම් නම් දහ දුක් විඳින්න ඇතිද චැනල් එකක් අල්ලගන්න?

අමාරුවෙන් චැනල් එක අල්ලගත්තත් පාඩු නෑ ඒ කාලේ ක්‍රීඩකයෝ ඒ මහන්සියට සාධාරණයක් ඉෂ්ඨ කලා.

ඒ හැමදේම දැන් සුන්දර මතකයන් විතරයි!

ඒත් ඒ සුන්දර මතකයන් තවමත් හිතේ තියෙන නිසා දැනටත් ක්‍රීඩකයෙක්ට ගරහන්න,ඇනුම්පද ලියන්න,කියන්න අපේ ඇඟිලි,දිවවල් නැමෙන්නේ නැහැ.

මොන විදියට පැරදුනත් ක්‍රීඩකයෙක්ට කතා කරන්න ඕන විදියක් තියෙනවා.

දැන් ඉන්න බහුතරයක් පොඩි උන් ඒකවත් දන්නේ නැහැ නොව.

ඒකයි දැන් ඉන්න උන්ට සැප වැඩියි කියලා කිව්වේ...!

කොහොමින් කොහොමින් හරි අදත් මාතෘකාවට එන්න කලින් වෙනදා වගේම හිතේ තියෙන දුක වචන වලට පෙරලිලා මෙතන ලියවිලා.

වටේ යනවා නම් නෙවේ, නොලියා බැරි නිසාම ලියවෙනවා මිසක්.

හරි එහෙනම් අපි දැන් දවසේ කතාවට එමු!

2018 වසර තුල ක්‍රිකට් පිටියේ දක්වපු දක්ෂතා සැලකිල්ලට අරගෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සුපුරුදු පරිදි වාර්ෂික ක්‍රිකට් සම්මාන සඳහා තේරී පත් උන අයගේ නම් මෙවරත් ප්‍රසිද්ධ කලේ මීට දින 2කට වගේ ඉහතදී.

කියන්න සතුටුයි,

ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරපු එකම එක ක්‍රීඩකයෙක්වත් ඒ කිසිම සම්මානයක් සඳහා සුදුසුකම් ලබලා නැහැ.

යම් හෝ අස්වැසිල්ලක් තියෙන්නේ වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට 'දිම්මා' තේරීපත් උන එක ගැන විතරමයි.

‍රට නියෝජනය කරන ක්‍රීඩකයින්ගේ කල්ක්‍රියාව ඒ වගේ දුර්වල මට්ටමක තියෙද්දි,

අපේ රටෙන් බිහිවෙච්ච හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට නම් වසර ගණනකට පස්සේ නැවතත් "වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු" ට හිමි ඩේවිඩ් ශෙපර්ඩ් ශූරතාවය ලබාගන්න හැකියාව ලැබිලා.

මේ පුංචි රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදියට අපිට බොහොම ආඩම්බර වෙන්න පුළුවන්,

"ලෝකේ හොඳම ක්‍රිකට් විනිසුරු"

අපේ රටේ එකෙක් කියන එක ගැන.

හැබැයි ලෝකේ හොඳම ක්‍රිකට් විනිසුරු වෙන්න සුදු තොප්පියක් දාගෙන යුනිෆෝම් එක ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා බෑ.

ඒකට අසීමිත ගණයේ වෘත්තීමය කැපවීමක් තියෙන්න ඕන.

ඒක ගැන අමුතුවෙන් මෙතන ලියන්න ඕන කියලා මම හිතන්නේ නැහැ...!

"2018 වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු"

විදියට තේරී පත් වුන අපේ 'උනන්දුවා'

එහෙමත් නැත්නම්,

"දේශබන්ධු කුමාර් ධර්මසේන"

මහතාගේ ජීවිත කතාව හැකි තරමින් බෙදාහදාගන්නයි මේ ලක ලෑස්ති වෙන්නේ.

- කුමාර් ධර්මසේන මහතාගේ මූලික තොරතුරු -

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් තනතුර දැරූ නැසීගිය H.N ධර්මසේන මහතාට සහ චන්ද්‍රා දහනායක මහත්මියට දාව 

හඳුන්නෙත්තිගේ දීප්ති ප්‍රියන්ත කුමාර් ධර්මසේන උපත ලබන්නේ 1971 වසරේ අප්‍රේල් මස 24 වනදා කොළඹදී.

තම පියාගේ ගුරුහරුකම් මැද ජීවිතය ආරම්භ කල කුමාර් තම පියා සතුව තිබූ නීතිගරුක බව හා අවංක බව නොඅඩුව තම ජීවන රටාවටද එක් කරගැනීම පසුකලෙක ඔහු වෘත්තීමය මට්ටමෙන් අතිසාර්ථකත්වයට පත් වීමට මග හසර විවර කර දුන් බව සිහිපත් කල යුතුම කාරණයක් වන අතර කුමාර් සිප්සතර හදෑරු පාසල වන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයයි.

- පාසල් ක්‍රිකට් ක්‍රීඩා දිවිය -

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුවිශේෂී ගණයේ ක්‍රිකට් තරු රැසකට මූලික අඩිතාලම හා මගපෙන්වීම සිදු කල කොළඹ නාලන්දා විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහල ක්‍රිකට් කණ්ඩායම හා එක්වන කුමාර් 1981 හා 1982 වර්ෂයන් වලදී පිට පිටම පළමු කාණ්ඩයේ වයස අවුරුදු 13න් පහල පාසල් ක්‍රිකට් ශූරතාව දිනූ නාලන්දා විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේද වරක් සාමාජිකත්වය දැරූවෙක්.

පාසල් සමයේදි කුමාර්ට මූලික වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඉගැන්වූ ගුරු පියවරුන් දෙදෙනා වන්නේ නැසීගිය C.H ගුණසේකර (කණිෂ්ඨ) සහ ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් වන අතර නිරන්තරයෙන්ම දැක්වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන් 1987 වසරේදි ඔහුට නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ වරම් හිමිවනවා.

එකල නව යොවුන් කුමාර්ට තිබූ කෙසඟ ශරීර ස්වභාවය නිසා පාසලේදි ඔහුව 

"පැන්සල් කුමාරයා" ලෙස හඳුන්වා ඇති අතර පාසල තුල ඉතා ජනප්‍රිය,මිත්‍රශීලී චරිතයක් වූ කුමාර් කුඩා කල පටන්ම ඉතාමත් උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රීඩාවේ නියැලුණු නිසාවෙන්ම පසුකාලීනව ඔහුට "උනන්දුවා" නම් ලොව සුපතල අනවර්ථ නාමයද පටබැඳෙනවා.

පසුකාලීනව ජාත්‍යන්තර මට්ටමේදි ප්‍රධාන වශයෙන්ම පිටදඟ පන්දුයවන්නෙක් ලෙස වර්ගීකරණයට ලක්වූවත් පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුල ඔහු සුප්‍රසිද්ධව සිටියේ,

• ඉහල තාක්ෂණයෙන් යුත් ප්‍රහාරාත්මක පිතිකරුවෙක්

• නිවැරදි ලෙස පන්දුව යොමුකල පිටදඟ පන්දු යවන්නෙක්

• ඉහල ගණයේ පන්දු රැකීම් දක්ෂතා තිබූ

විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි.

මෙලෙස තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ කුමාර්ගේ පාසල් ක්‍රීඩා දිවිය දෙස නැවත බැලූ කල ඔහුගේ ස්වර්ණමය කාලවකවානුව ලෙස 1989 වර්ෂය හැඳින්විය හැකි අතර එම වසරේදි නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතරවාරයේ ඔහු කඩුළු 100කට වඩා දවාගැනීමට සමත්වීම හේතුවෙන්,

"වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා"

සම්මානය තමන් සතු කරගැනීමට සමත්කම් දක්වනවා.

එමෙන්ම 1989 වසරේ ලබාගත් මෙම සම්මානයට අමතරව ඔහු දෙවරක්ම වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයේ අනූශූරතාවයද දිනාගත් බවත් විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.

සෑමවිටම සටන්කාමී එසේත් නැත්නම් 

"Do or Die" මානසිකත්වයකින් ක්‍රීඩා පිටියට පිවිසි කුමාර් කිසිවිටෙකත් තරඟයක් අත්හැර දැමීමට එකඟ නොවූ ඉතා විශිෂ්ඨ එකාග්‍රතා මට්ටමක් පාසල් මට්ටමේ සිටම පෙන්නුම් කල ක්‍රීඩකයෙක්.

- අන්තර් සමාජ ක්‍රිකට් දිවිය ඇරඹීම හා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීම -

කාලාන්තරයක් තිස්සේම විශිෂ්ඨ දක්ෂතා විදහා දැක්වීමෙන් අනතුරුව 1990 වසරේදි පාසල් ගමන අවසන් කල කුමාර් ඉන් පසුව,

• බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය 

(1988 - 2006 වර්ෂ අතරවාරයේ වරින් වර)

• NCC ක්‍රීඩා සමාජය (1992)

• මොරටු ක්‍රීඩා සමාජය (1994)

නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් දිවිය හා සමානව ක්‍රීඩා සමාජ මට්ටමින්ද දක්ෂතා දැක්වීමට සමත්වෙනවා.

NCC සමාජයට ක්‍රීඩා කිරීම ආරම්භ කිරීමෙන් පසුව වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් කුමාර්ට 1993 වසරේ සැප්තැම්බර් 6 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි වූ අතර ඔහු කණ්ඩායමට එක්වන්නේ ශ්‍රී ලංකාවේ 59වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසයි.

තම මංගල ටෙස්ට් තරඟයේදි සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අසමත් වුවත් කුමාර් කෙරෙහි එකල සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් දැක්වූ අවධානය නම් අඩු වන්නේ නැහැ.

මේ හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමට එක්වී මාස 16ක කාලයක් අවසන් වීමෙන් පසුව 1994 වසරේදි කුමාර් පාකිස්තානයට එරෙහිව එක්දින වරම් ලැබගන්නේ 82වැනි ශ්‍රී ලාංකික එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.

- 1996 ලෝක කුසලාන ජයග්‍රහණය -

එලෙස 1994 වසරේදි එක්දින වරම් ලැබූ කුමාර් 1996 වසරේදි ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මංගල හා එකම පන්දුවාර 50 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ඉමහත් කාර්‍යභාරයක් කල ක්‍රීඩකයෙක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකියි.

මාගේ පෞද්ගලික මතය අනුව නම් 1996 ලෝක කුසලාන තරඟාවලිය පුරාවටම තුන් ඉරියව්වෙන්ම කුමාර් දැක්වූ දක්ෂතා ගොන්න අතරේ ඉහලින්ම තැබිය හැකි දක්ෂතාව වන්නේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරඟයේදි,

"ඉන්දීය කණ්ඩායමේ නායක මොහොමඩ් අසාරුදීන්ව ඔහුගේ නිජබිම වූ කල්කටා ඊඩ්න් ගාඩ්න් පිටියේදීම එකදු ලකුණක් වත් ලබා නොදී දවාලීම" යි.

කුමාර්ගේ පන්දුවක් හමුවේ කුමාර්ගේ අතටම උඩපන්දුවක් ලබා දුන් ඉන්දීය නායක අසාරුදීන්ගේ එම දැවීයාම එතෙක් ඉන්දියාවට වාසි සහගත තත්වයක තිබූ අවසන් පූර්ව තරඟය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කිරීමට හේතු පාදක වූ අතර අවසානයේ කෝපයට පත් ඉන්දීය ක්‍රීඩාලෝලීන් අතින්ම කොල්කටා ඊඩ්න් ගාඩ්න් පිටිය ගිනිබත් වී ක්‍රිකට් ඉතිහාසය තුල කිසිදා නොමැකෙන තරමේ කළු පැල්ලමක් සටහන් වූ ඒ ජුගුස්සාජනක ක්‍රියාවලියේ ආරම්භක වෙඩිමුරය සටහන් වීමට හේතු මූලයද සැපයීය.

- පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වීම හා නැවත ක්‍රිකට් පිටියට පිවිසීම -

1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය දැරූ කුමාර්ට 1998 වසරේ පන්දුව දමාගැසීමේ චෝදනාව එල්ල වූවත් එම චෝදනාවලින් නිදොස් වී නැවතත් ඔහු 2000 වසරේදි ක්‍රිකට් පිටියට පිවිසියේය.

එසේ වුවත් මෙම චෝදනාවට ලක්වීමෙන් අනතුරුව නැවත පැමිණි කුමාර්ට ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය අහිමිවීමද,වරින් වර එක්දින කණ්ඩායමේ සාමාජිකත්වය පමණක් හිමිවීමද ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අකාලයේ හමාර වීමට හේතු වූ ප්‍රධානම සාධක ලෙස දැක්විය හැකියි.

- ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීම -

දශකයකට ආසන්න ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ක්‍රීඩා දිවියක් හමාර කරමින් කුමාර් 2004 වසරේ පෙබරවාරි 25 වනදා ඔස්ට්‍රේලියාවට එරෙහිව තම අවසාන එක්දින තරඟය ක්‍රීඩා කල අතර ඉන් දින කිහිපයකට පසුව 2004 වසරේ මාර්තු 8 වනදා ඔස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරඟයකදී තම ටෙස්ට් ක්‍රිකට් දිවියෙන්ද විශ්‍රාම ලැබුවේය.

ජාත්‍යන්තර මට්ටමෙන් විශ්‍රාම ලැබුවද අන්තර් සමාජ ක්‍රිකට් තරඟ තුලදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කල කුමාර් 2006 නොවැම්බර් මස එම ක්‍රීඩා දිවියද හමාර කරන්නේ ඒ වනවිටත් දේශීය මට්ටමෙන් අරඹා තිබූ ඔහුගේ දිගුකාලීන බලාපොරොත්තුව, 

එනම් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු දිවිය සාර්ථක කරගැනීමේ අධිෂ්ඨානය හිතේ පෙර දැරි කරගෙනයි...!

- වසර ගණනක ක්‍රීඩා දිවිය තුල කුමාර් දැක්වූ දක්ෂතා -

• එක්දින තරඟ 

• පන්දුයැවීම

තරඟ - 141

ඉනිම් - 134

කඩුළු - 138

පන්දුවාරයක් තුල ලකුණු ලබාදීමේ 

සාමාන්‍ය අගය - 4.27

හොඳම පන්දු යැවීම - 37/4

• පිතිකරණය 

තරඟ - 141

ඉනිම් - 87

ලබාගත් මුළු ලකුණු - 1222

ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු - 69*

ඉනිමක ලකුණු ලබාගැනීමේ 

සාමාන්‍යය - 22.62

ප්‍රහාරාත්මක වේගය - 65.03

අර්ධ ශතක - 4

නොදැවී සිටි වාර ගණන - 33

• ලබාගත් උඩපන්දු ගණන - 34

• විශේෂ දක්ෂතා - 

- මංගල තරඟයෙන් පසු ලකුණු නොලබා දැවීයාමෙන් තොරව වැඩිම ඉනිම් ගණනක් පිතිකරණයේ නියැලුනු පිතිකරුවා - 

ඉනිම් ගණන 72 (1994 - 2001)

- 8 වන කඩුල්ල සඳහා හොඳම ශ්‍රී ලාංකික පිතිකරණ සබඳතාවය - ලකුණු 91

(දුලිප් ලියනගේ සමග)


...................................................................................

• ටෙස්ට් තරඟ 

• පන්දුයැවීම

තරඟ - 31

ඉනිම් - 53

කඩුළු - 69

පන්දුවාරයක් තුල ලකුණු ලබාදීමේ 

සාමාන්‍ය අගය - 2.52

ඉනිමකදී හොඳම පන්දු යැවීම - 72/6

තරඟයකදී හොඳම පන්දු යැවීම - 8/183

කඩුළු 5 බැගින් දවාගත් අවස්ථා - 3

• පිතිකරණය 

තරඟ - 31

ඉනිම් - 51

ලබාගත් මුළු ලකුණු - 868

ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු - 62*

ඉනිමක ලකුණු ලබාගැනීමේ 

සාමාන්‍යය - 19.72

ප්‍රහාරාත්මක වේගය - 32.57

අර්ධ ශතක - 3

නොදැවී සිටි වාර ගණන - 7

• ලබාගත් උඩපන්දු ගණන - 14

- ක්‍රිකට් විනිසුරු දිවිය ඇරඹීම -

2006 වසරේදි තම අන්තර් සමාජ ක්‍රිකට් දිවිය හමාර කිරීමටත් මත්තෙන් එම වසරේදි දේශීය මට්ටමෙන් පැවති සරා කුසලානයේ තරඟ කිහිපයක් විනිශ්චය කිරීමෙන් නව දිවියට අත්පොත් තැබූ කුමාර් ධර්මසේන මහතා වසර ගණනක් තිස්සේ පෙර පුහුණුවීම් හා අදාල ශ්‍රේණිගත විභාග වලට සහභාගී වී අදාල සුදුසුකම් සැපිරීමෙන් පසුව තම ජාත්‍යන්තර විනිසුරු දිවිය ආරම්භ කරන්නේ 2009 වසරේදීය.

කුමාර් ධර්මසේන මහතා මූලිකවම විනිසුරු දිවියට එළඹීමට හේතුව වන්නේ වසර ගණනක ක්‍රීඩා දිවිය තුල ඔහු ලබාගත් අත්දැකීම් වලට අනුව ක්‍රීඩාවේ සම්මතයන් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට දායකත්වයක් දැක්වීමට ඔහුට තිබූ දැඩි අවශ්‍යතාවය නිසාවෙනි.

ඔහු තම ජාත්‍යන්තර විනිසුරු දිවිය 2009 වසරේදි ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දඹුල්ලේදි පැවති එක්දින තරඟයකට විනිශ්චයකාරීත්වය ලබාදෙමින් ඇරඹූ අතර ඉන් වසර දෙකකට පසු පැවති ලෝක කුසලානයේ විනිසුරු මඩුල්ලට තේරී පත්වන්නට තරම් කෙටි කලකදී ඔහු ලබාදුන් තීරණ නිවැරදි ඒවා වූ අතර 2011 වසර අවසාන වන විට කුමාර් ධර්මසේන මහතා ඉහළ ගණයේ විනිසුරුවන්ගෙන් සැදුම් ලත්

"Elite Panel of ICC Umpires" විනිසුරු මඩුල්ලට තේරී පත්වන්නේ ඔහු අඛණ්ඩව පවත්වාගත් විශිෂ්ඨ ගණයේ නිරවද්‍යතාවය නිසාවෙනි.

- 2012 වසරේ ලොව හොඳම විනිසුරුට හිමි ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානය හිමිකරගැනීම -

විනිසුරුවරයෙක් ලෙස තම මුල්ම ජාත්‍යන්තර තරඟයට 2009 වසරේදි සහභාගී වූ කුමාර් ධර්මසේන මහතා වසර 3ක් වැනි කෙටි කාලයක් තුලදී ලොව හොඳම විනිසුරුවරයාට හිමි සම්මානය ලබාගන්නට තරම් දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට හේතූන් වන්නේ ඔහු තුල තිබූ අසීමිත කැපවීම හා විනයගරුක භාවය බැව් අමුතුවෙන් කිවයුත්තක් ලෙස මා සිතන්නේ නැත.

2012 වසරේ සිට වර්තමානය වනතුරුම ඔහු ලොව හොඳම විනිසුරුවන් තිදෙනා අතර රැඳී සිටින්නේද එම හේතූන් නිසාවෙන්මය.

කෙසේ වෙතත් ගතවූ වසර ගණනක කාල වකවානුව අතරවාරයේ ඔහු අතින් යම් යම් වැරදි සිදු නොවූ බව පවසනවා නම් එය මුසාවකි..!

එහෙත් එම වැරදි නිවැරදි කරගනිමින් ඔහු තව තවත් වෘත්තීමය වශයෙන් වැඩිදියුණු වෙමින් මුළු ක්‍රිකට් ලෝකයේම පැසසුමට ලක්වෙමින් හා විශ්වාසය දිනාගනිමින් තම විනිසුරු දිවිය, ක්‍රීඩා දිවියටත් වඩා අති සාර්ථකව ඉදිරියට ගෙනයන්නේ ඔහු තුල කවදත් තිබූ වටිනා ගුණාංග නිරන්තරව ප්‍රකට කිරීම නිසා වන අතර ලෝක කුසලාන අවසන් තරඟයකට ක්‍රීඩා කල හා ලෝක කුසලානයක අවසන් තරඟයකට විනිසුරුවරයා ලෙස සහභාගි වීමේ විරල අවස්ථාවද ඔහු 2015 වසරේදි තමන් සතු කරගත්තේය.

- වසර 6කට පසුව දෙවන වරටත් ලොව හොඳම විනිසුරුට හිමි ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානය 2018 වසරේදි හිමිකරගැනීම -

පසුගිය වසර තුල වෘත්තීමය මට්ටමෙන් දැක්වූ දක්ෂතා නිසාවෙන් කුමාර් ධර්මසේන මහතා ලොව හොඳම විනිසුරුට හිමි ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානය දෙවන වරටත් දිනාගත් බව මීට දින දෙකකට පමණ පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කලේය.

- කුමාර් ධර්මසේන මහතාගේ විනිසුරු දිවිය -

• ටෙස්ට් තරඟ - 58 (2010 - 2018)

• එක්දින තරඟ - 89 (2009 - 2018)

• T20 තරඟ - 22 (2009 - 2016)

• විශේෂ දක්ෂතා - 

- ජාත්‍යන්තර තරඟයක විනිසුරුවරයා ලෙස කටයුතු කල ලාබාලතම ශ්‍රී ලාංකිකයා

- ලෝක කුසලාන අවසන් තරඟයක ක්‍රීඩා කල හා ලෝක කුසලාන අවසන් තරඟයකට විනිසුරු ලෙස සහභාගී වූ ප්‍රථම හා එකම වෘත්තිකයා

මෙතරම් ජයග්‍රහණ ගොන්නකට හිමිකම් කීවද කුමාර් ධර්මසේන මහතා යනු බෙහෙවින් සරල,තමා ක්‍රිකට් දිවිය ආරම්භ කල ආකාරය ගැන හොඳ මතකයක් ඇති, මහත්මා ගුණ ඇති ශ්‍රී ලාංකිකයෙකි.

ඔහුගේ අසීමිත කැපවීම ආදර්ශයට ගෙන කටයුතු කරන ඕනෑම කෙනෙකුට වරදින්නට හේතුවක්ද නැත...!

සියල්ලටම පෙර ඔහුව ආදර්ශයට ගත යුත්තේ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ය.

උනන්දුවා මෙන් ඒ සියළුදෙනා තම වෘත්තීය වෙනුවෙන් කැපවෙනවා නම් ජයග්‍රහණයද වැඩි ඈතක නැත...!

නැවත හමුවෙමු!

- හේලිත හෙට්ටිආරච්චි -

- ශ්‍රී ලාංකික පසුබිමක් සහිතව විදෙස් කණ්ඩායම් නියෝජනය කල ක්‍රිකට් ක්‍රීඩකයෝ -

ආයුබෝවන්!

අද ලිපිය ලියවෙන්නේ ශ්‍රී ලාංකික පසුබිමක් ඇතිව විදේශීය ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කල ක්‍රීඩකයින් ගැනයි...!

මෙතනදි මම ශ්‍රී ලාංකික 'සම්භවය' කියන වචනය නැතිව ශ්‍රී ලාංකික 'පසුබිම' කියන වචනය පාවිච්චි කරන්න හේතුව,

මේ ලිපියේ නම් ලියවෙන බහුතරයක් ක්‍රීඩකයින් ශ්‍රී ලාංකිකයින් උනත් සමහරක් අය 

එසේ නොවන නිසා.

ශ්‍රී ලාංකිකයින් නොවුනත් ඒ අනෙකුත් ක්‍රීඩකයින් සියළුම දෙනා නොයෙකුත් ගණයේ හේතූන් නිසා ශ්‍රී ලංකාවට සම්බන්ධ උන අය.

විදේශීය නම් සහිත ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට සම්බන්ධ වෙන ආකාරය ගැන පමණක් සුළුවෙන් විග්‍රහ කරලා තිබුණත් කාලය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන නිසා දැනට මේ ක්‍රීඩකයන් සියළුම දෙනා ගැන තනි තනිව වැඩි විස්තර ලියන්න යම් අපහසුතාවක් තියෙනවා.

ඒ උනත් ඉදිරියේදි ඒ වැඩේට අතගහන්නත් බලාපොරොත්තු වෙනවා.

එහෙම නම් මෙන්න ඒ ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව...!

• ඩේව් වට්මෝර් - ඔස්ට්‍රේලියාව

ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවේදීම මූලික අධ්‍යාපනය ලැබීම නිසා

• මයිකල් බෙවන් - ඔස්ට්‍රේලියාව

පූර්වජනකයින් හා දෙමාපියන් ශ්‍රී ලංකාවේ වාසය කිරීම.

• දිමිත්‍රි මැස්කරේනස් - එංගලන්තය

දෙමාපියන් ශ්‍රී ලාංකිකයින් වීම.

• සවීන් පෙරේරා - එංගලන්තය 

• ඈෂ්ටන් ඇගාර් - ඔස්ට්‍රේලියාව 

මව - ශ්‍රී ලාංකිකයෙකු වීම.

• මංජුල ගුරුගේ - එක්සත් අරාබි එමීර් රාජ්‍යය

• තුවාන් අහ්මත් - එක්සත් අරාබි එමීර් රාජ්‍යය

• මයිල්වාගනම් ගනේෂ් - එක්සත් අරාබි එමීර් රාජ්‍යය

• ඉන්දික බටුවිටආරච්චි - එක්සත් අරාබි එමීර් රාජ්‍යය

• ජොහාන් සමරසේකර - එක්සත් අරාබි එමීර් රාජ්‍යය

• සංදීප් සිල්වා - එක්සත් අරාබි එමීර් රාජ්‍යය

• ඇන්ඩි බෙරිංජර් - එක්සත් අරාබි එමීර් රාජ්‍යය

• ෆ්ලේවියන් අපෝන්සෝ - 

කැනඩාව,නෙදර්ලන්තය 

• ටෝනි ඕපාත - නෙදර්ලන්තය 

• පුබුදු දසනායක - කැනඩාව

• රොහාන් ජයසේකර - කැනඩාව

• සංජය තුරේසිංහම් - කැනඩාව

• රුවිඳු ගුණසේකර - කැනඩාව

• ධනුක පතිරණ - කැනඩාව

• ශ්‍රීමන්ත විජේරත්න - කැනඩාව

• මහදේවන් සතාසිවම් - මැලේසියාව,සිංගප්පූරුව

• ප්‍රියංකර වික්‍රමසිංහ - මැලේසියාව

• බුද්ධික මෙන්ඩිස් - සිංගප්පූරුව 

• චමින්ද රුවන් - සිංගප්පූරුව 

• රෝයි සිල්වා - ඇමරිකා එක්සත් ජනපදය

• මොහොමඩ් රිස්ලාන් - කටාර් රාජ්‍යය

මේ අය හැරුණුකොට මේ ලිපියට ඇතුලත් කරන්න හැකියාව ඇති වෙනත් ක්‍රීඩකයින් ගැන කවුරුහරි කෙනෙක් දැනුවත් නම් ඒක පහතින් කමෙන්ට් කරලා සඳහන් කරන්න කියන කාරුණික ඉල්ලීමත් සමගින් දැනට නවතින්නම්.

නැවත හමුවෙමු!

- හේලිත හෙට්ටිආරච්චි -

- ආතල් පප්පා -

"ක්‍රිකට් ක්‍රීඩාවේ පියා කවුද?"

කියන ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 'W.G ග්‍රේස්' නම් ක්‍රීඩකයාගේ නම.

අවුරුදු 35කටත් වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කරපු ග්‍රේස් කියන්නේ ක්‍රිකට් නීති පොතේ අඩු ලුහුඬුකම් නැතිකරන්නත් ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කරන්නත් මහඟු දායකත්වයක් ලබාදීපු ක්‍රීඩකයෙක්.

ඒ වගේම ග්‍රේස් කියන්නේ ආතල් දීමටම උපන් ක්‍රීඩකයෙක්...!

ඉතින් මේ ග්‍රේස් කරපු ආතල් වැඩ දෙකක් ගැනයි මේ ලියන්න යන්නේ.

- පාආවරණයෙන් 6 පහරක් ගැසීම -

තරඟයක් අතරවාරයේ පන්දුවට පහරදීපු ග්‍රේස්ට පන්දුයවන්නා පිරිනමපු පන්දුව පිත්තේ අග වැදුනට පස්සේ පා ආවරණය තුල හිරවෙනවා.

දැන් මේ හිරවෙච්ච පන්දුව බිම නොවැටී පන්දුරකින්නෙක් අතට ගියොත් උඩපන්දුවක් විදියට සලකන නිසා කඩුළු රකින්නා ඇතුළු බහුතරයක් පන්දුරකින්නෝ දුවන් එනවා ග්‍රේස් දිහාවට.

මේක දැකපු ග්‍රේස් ඔරේ රන් එකක් දෙනවා බවුන්ඩ්‍රි ලයින් එක පැත්තට.

අන්තිමට මේ දිවීමේ තරඟෙන් පන්දුරකින්නෝ පරාජය කරපු ග්‍රේස් හිරවෙලා තිබ්බ බෝලේ හලන්නේ බවුන්ඩ්‍රි ලයින් එකෙන් එහාට ගිහින්.

මේක මහ කුණුහබ්බ වැඩක් උනත් නීතිය අනුව බෝලේ බිම නොවැටී බවුන්ඩ්‍රි ලයින් එක පහුකරපු නිසා ලකුණු පුවරුවේ ග්‍රේස්ගේ නමට ලකුණු 6ක් එකතුවෙනවා.

- අම්පයර්ට කොකා පෙන්නීම -

එක තරඟයකදී පන්දුවට පහරදෙන්න ආපු ග්‍රේස් පළවෙනි පන්දුවෙන්ම දැවී යනවා.

දැවී යන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදට අසුවෙලා.

ග්‍රේස්ගේ දැවීයාම සනාථ කරන්නේ විනිසුරුවරයා විසින්.

ඒ ඉතින් අර අපි හැමෝම දන්න විදියටම තමා.

"ඇඟිල්ල උස්සලා..!"

විනිසුරු ඇඟිල්ල ඉස්සුවට පස්සේ ග්‍රේස් යනවා විනිසුරු ගාවට.

"මේ.. මිනිස්සු මෙතනට එන්නේ තමුසේ ඇඟිල්ල උස්සනවා බලන්න නෙවේ.

මම ගහනවා බලන්න...!"

විනිසුරු තීරණය අධෝවාතයක් තරම්වත් ගණන් ගත්තේ නැති ග්‍රේස් අන්තිමට නතරවෙන්නේ ශතකයකුත් රැස්කරලා.

සුද්දා ඔය අපේ උන්ට සද්දේ දැම්මට උන්ගෙම ජාතියේ අලි පත ඩයල් වලට සද්දේ දාන්න බය නිසා 'ගෝරිං අප්පු' වගේ හිටපු ග්‍රේස්ගෙන් ගේමක් ඉල්ලන්න කවුරුත් ඉඳලා නෑ.

හැබැයි මේවගේ දේවල් ඒ කාලේ උන නිසා තමයි පසුකාලීනව,

"විනිසුරු තීරණය අවසාන තීරණය"

විදියට දැඩිව සලකන්න මූලික උනේ.

- හේලිත හෙට්ටිආරච්චි -

Wednesday, February 27, 2019

නිරන්තර පරිහානිය" ට "ස්වේච්ඡාවෙන් දායක වන්නෝ...!"


ශ්‍රී ලංකාව කියන රටේ ක්‍රිකට් තරම් ජනප්‍රිය වෙන ක්‍රීඩාවක් නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ.
ඒ වගේම ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බලන්න ගත්තේ අද ඊයෙත් නෙවෙයි.
හැබැයි ඉස්සර මිනිස්සු ක්‍රිකට් බැලුවේ අවබෝධයක් ඇතුව.

උදාහරණයක් විදියට කියනවනම්,

ග්‍රවුන්ඩ් එකේ ෆීල්ඩින් පොසිශන් ටික,
පිච් එකක දිග - පළල,
ලෙදර් බෝලෙක බර,
දඟපන්දු යවනවා නම් හරි වේගපන්දු යවනවා නම් හරි ඒ ඒ විදියට බෝලේ අල්ලන්න ඕන විදිය පවා සාමාන්‍ය මිනිස්සු දැනගෙන හිටියා.

ක්‍රිකට් බලන්න ඕවා දැනගන්නම ඕන නෑ...!

ඒත් ඉතින් ඉස්සර මිනිස්සුන්ට ක්‍රිකට් වල සාමාන්‍ය දැනීම තිබුණු නිසා දැන් කාලේ ඇතිවෙන ළාමක ගණයේ ප්‍රශ්න ඒ කාලේ ඇති උනේ නෑ.

අතීතයේදි ක්‍රිකට් බලපු මිනිස්සු ඔයතරම් දැනුමකින් සන්නද්ධ වෙන්න හේතුව ඒ කාලේ ක්‍රීඩා මාධ්‍යය උසස් මට්ටමක තිබිච්ච එක.

ඒ උනත්,

• සමාජ මාධ්‍ය වල ආගමනය - අවභාවිතාව,
• ජාතික කණ්ඩායම කාලාන්තරයක් තිස්සේ නිතරම පරාජය වීමත්,
• ඉන්දියානු ටෙලිනාට්‍ය වලින්,
කාටූන් වලින් අපේ රටේ මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කලා වගේම IPL වගේ ටී20 තරඟාවලි වලට නවක පරපුර උවමනාවට වඩා ඇබ්බැහි වීමත්,

වගේ හේතු නිසා පහුගිය අවුරුදු 5දි සැලකිය යුතු මට්ටමකින් ලංකාවේ ක්‍රිකට් බලන මිනිස්සු හැසිරෙන විදිය වෙනස් වෙලා කියන එක අනිවාර්යයෙන්ම පිළිගන්න වෙන දෙයක්.

"ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මොට වෙනවා කියන්නේ  අනිවාර්යයෙන්ම වක්‍රාකාරව ක්‍රිකට් ක්‍රීඩාවත් පරිහානියට ලක්වෙනවා කියන එකයි..!"

ඉන්දියාවේ ක්‍රිකට් බලන මිනිස්සු,

ක්‍රීඩකයින්ගේ ගෙවල් වලට ගල් ගහනකොට,
ක්‍රීඩකයොන්ට සමාන කරලා හදපු පඹයෝ මහපාර මැද්දේ පුච්චනකොට,
ක්‍රීඩාංගණ ගිනි තියලා ඒ මදිවට තමන්ගේ රටේදි තමන්ට වඩා දක්ෂතා පෙන්නපු ප්‍රතිවාදීන්ට අහුවෙන එකෙන් ගහනකොට,

පකිස්තානේ මිනිස්සු තරඟයක් පැරදුන ගමන් ගෙදර තියෙන ටීවී එක කුඩුකරනකොට,

දකුණු ආසියාවේම රටක් වෙලත් අසල්වැසියෝ කරනවා වගේ අන්ත ගොන් මාදිලියේ වැඩ නොකර පාඩුවේ ක්‍රිකට් ක්‍රීඩාව විඳින තරමේ සැබෑ ක්‍රිකට් රසයක් ඉස්සර ලංකාවේ ක්‍රිකට් බලපු මිනිස්සුන්ට  තිබුණා...!

ඒ වගේම රට නියෝජනය කරපු ක්‍රීඩකයෝ හැමදෙනාමත් ප්‍රේක්ෂකයින්ට,රටට තමන්ගේ උපරිමය ලබාදුන්නා...!

හැබැයි එදිනෙදා පේන,ඇහෙන දේවල් එක්ක ගත්තම අද කාලේ ක්‍රිකට් බලන අපේම සමහරක් අයට ඉස්සර මිනිස්සුන්ට තිබුණු අර ක්‍රිකට් රසය කෙසේ වෙතත් ඒ වචනේ අහලා තියෙනවා කියලවත් හිතන්න බැහැ.

සමහරක් කිව්වට සමාජ මාධ්‍යය භාවිතා කරන අයගෙන් බහුතරයක් දෙනා එහෙමයි.

90 දශකයේ ඉන්දියාවේ මිනිස්සු හැසිරුණ විදියටත් වඩා අන්ත තත්වයකට අපේ මිනිස්සු වර්තමානය වෙනකොට ඇදවැටිලා අහවරයි.

නවක පරපුරේ බහුතරයක් අය හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ පෝරු ගාන විදියට බැට් එක වනලා හරි 6,4 ඒවා ගහන එකට කියලා...!

ඇත්තටම ඒක නෙවෙයි ක්‍රිකට් කියන්නේ.

සමහර අයට නම් විහිළුවක් වෙයි මේ කතාව,

ක්‍රිකට් කියන්නේ සම්භාව්‍ය ගණයේ ක්‍රීඩාවක්.
අනිත් ක්‍රීඩාවල නැති නැති අමුතුම ලාලිත්‍යයක් තියෙනවා ක්‍රිකට් වල.

ඒ වගේම ක්‍රිකට් කියන්නේ තනි පුද්ගලයෙක්ගේ වගේම පුද්ගලයන් කීපදෙනෙක්ගේ එකතුවෙන් හැදෙන කණ්ඩායමක්,

• ඉවසීම
• හැකියාව
• තාක්ෂණය,
• සැලසුම් - උපායමාර්ග භාවිතා කිරීම
• දරාගැනීමේ ශක්තිය
• ජීවගුණය ආරක්ෂා කිරීම

වගේ අංශ ගණනාවකම දක්වන දක්ෂතාවයන් හරිම විදියට මැනගන්න ඉහළම අවස්ථාවක් තියෙන ක්‍රීඩාව.

ක්‍රිකට් මැච් එකක් දවස් 5ක් තිස්සේ ගහලත් ප්‍රතිඵලයක් නැති එකට ඇමෙරිකාව එංගලන්තයට හිනා උනා තමයි...!

හැබැයි ඒ කාලේ ඇමෙරිකාවට විකාරයක් වගේ පෙනුනා කියලා ක්‍රිකට් ක්‍රීඩාව නැතිවෙලා ගියේ නෑනේ.

කිලෝමීටර් සිය ගණන් ඇවිදගෙන ගිහින්  තරඟයක් දිහා බලන් ඉන්න තරමේ පිස්සුවකින් ක්‍රිකට් වලට ආදරය කරපු මිනිස්සු කොයිතරම් නම් ඉන්න ඇතිද සහ ඉන්නවා ඇතිද?

දැන් කෙසේ වෙතත් ඉස්සර මිනිස්සු ඒ තරම් පිස්සුවකින් ක්‍රිකට් වලට ඇබ්බැහි වෙන්න ප්‍රධාන හේතුව නම් අර කියපු අනිත් ක්‍රීඩාවල නැති ක්‍රිකට් වලටම ආවේනික ගණයේ ලාලිත්‍යය.

ක්‍රිකට් තරඟයක් දිහා බලලා ලබන ඒ හැඟීම අනිත් කණ්ඩායම් ක්‍රීඩා දිහා බලන් ඉඳලා ලබාගන්න බැහැ.

ඒ නිසා කෙනෙක්ට සැබෑ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්ට ලැබෙන වින්දනය,හැඟීම ලබන්න අවශ්‍ය නම් ක්‍රිකට් වලට ආවේනික ඒ අමුතු ලාලිත්‍යවත් ගතිය දකින්න ඇහැ හුරුකරගන්නම වෙනවා...

මතක් කරන්න අවශ්‍ය දෙයක්,

"ක්‍රිකට් විතරක් නෙවෙයි ඕනම ක්‍රීඩාවක් කියන්නේ විඳින්න ඕන දෙයක් මිසක් හැමවෙලේම ජය,පැරදුම කියන කොන් දෙකේ එල්ලිලා ලේ රත් කරගන්න හේතුවක් වෙන දේකට නෙවේ...!"

ඔය කියපු මාදිලිය විතරක් නෙවේ අපේ රටේ තවත් නොයෙක් මාදිලියේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්නවා,

සැලකිය යුතු තරමින් ව්‍යාප්ත වෙන ප්‍රේක්ෂකයින් මාදිලියක් තමයි,
කල්ලිවාදී ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කියන්නේ.
ඒ අයව අඳුනගන්න හරිම ලේසියි.
මොකද එයාලා කැමති ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක්ට විතරයි.

ඒක නම් තමන්ගේ පෞද්ගලික කැමැත්ත නිසා වෙන දෙයක් කියමුකෝ,

අවුල තියෙන්නේ මේ අය තමන් කැමති දෙතුන් දෙනා ඇරෙන්න අනිත් අය ඔක්කෝටම අකමැතියි..!

ඔතනින් වෙන නරකම දේ තමයි ඒගොල්ලන්ට අනිත් හැමදේටම වඩා උවමනාව තියෙන්නේ තමන් අකමැති අය අසාර්ථක වෙනවා බලන්න.

අකමැති අයට කෙළවෙනවා නම් එතනින් එහාට ඕන එකක්.

එහෙම වෙලා ලංකාව මැච් එකක් පරාද උනත් ඒ අයට දැනෙන්නේ නැහැ.

ඒ විතරක් නෙවෙයි,
මේ කැටගරියේ අයට සමාජ මාධ්‍ය වලදි තමන් අකමැති කෙනෙක්ගේ ෆොටෝ එකක් දැක්කත් ඇති,ඒගොල්ලොම එකතු වෙලා සම්මත කරපු අර මඩ නාම වලින් දමලා ගහනවා.
ඔය බහුතරයක් මඩ නාම වල භාගයක් අසභ්‍යයි.

පෞද්ගලිකව මගේ අදහස නම් කොයිතරම් අසාර්ථක උනත් ක්‍රීඩකයොන්ට මඩ ගහන්න ප්‍රේක්ෂකයෙක්ට සදාචාරාත්මක අයිතියක් නැහැ කියන එකයි...
විහිළුවක් කරලා විනෝදයක් ලබන එක වෙනයි,මඩ ගහන එක වෙනයි.

මඩ ගහන මිනිස්සු,තැන් තමන්ගේ ජීවිතයෙන් බැහැර කරන එක කාට උනත් වාසිදායකයි,
මොකද බාල වැඩවලට සම්බන්ධ වීම  පරිහානියට පත් වීම ඇරඹෙන්න ප්‍රධාන හේතුවක්.

ටිකක් හිතලා බලන්න,

ෆෝන් එකට ඩේටා කාඩ් එකක් දාගෙන
ගෙදර ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳගෙන මැච් එකක් දිහා බලන් ඉන්න කෙනෙක්,

මිනිස්සු දහස් ගාණක් තමන් දිහා බලාගෙන ඉන්න වෙලාවක අධිවේගෙකින් එන යකඩ වගේ පන්දුවකට මූණදෙන කෙනෙක්ට 'කැඳයෙක්' කියන නම පාවිච්චි කරන එක සාධාරණයිද?

හරි විදියට බැලුවොත් එහෙම නම් පටබඳින අය අර කැඳයොන්ට වඩා කැඳයෝ නෙවෙයිද?

වරදවා වටහාගන්න එපා...!

මේ කියන්නේ ක්‍රීඩකයෝ කරන හැමදේම හරි කියලා හිතන්න කියලා නෙවෙයි.
වැරැද්දක් තියෙනවනම් හංගන්නේ නැතුව සාධාරණ විවේචනයක් කරන්න ඕන කෙනෙක්ට අනිවාර්යයෙන්ම සදාචාරාත්මක අයිතියක් තියෙනවා.

ඒ වගේම තමන්ගේ රටේ ක්‍රිකට් දියුණු කරන්න වචනයකින් හරි දායක වෙන්න හැම ප්‍රේක්ෂකයෙක්ටම යුතුකමක්,වගකීමක් තියෙනවා.

කණ්ඩායම දිනන වෙලාවට විතරක් 'හුරේ' දාන ප්‍රේක්ෂකයින්ගෙන් ඇත්තටම වැඩක් නෑ,
ගොඩක් වෙලාවට සැබෑ ජීවිතයෙදිත් ඒ වගේ අය අනුගමනය කරන්නේ 'වාසි පැත්තට හෝයියා' ක්‍රමය.

සීමිත පිරිසකට විතරක් කැමති වෙලා අනිත් අයට මඩ ගහන්න ඕනමයි කියලා හිතෙන අයට කරන්න පුළුවන් හොඳම දේ තමයි ක්‍රිකට් බලන එක අතෑරලා ටෙනිස්,චෙස්,බැඩ්මින්ටන්,කැරම් වගේ එක්කෙනෙක් හෝ දෙන්නෙක්ගෙන් කරන ක්‍රීඩාවල් තෝරගන්න එක.

"මොකද කවුරුහරි කෙනෙක් ක්‍රිකට් වගේ කණ්ඩායම් ක්‍රීඩාවක් අස්සේ කුඩා කණ්ඩායම් බෙදාගෙන ඒක පස්සේ එලවනවා නම් ඒ කෙනා ක්‍රිකට් බලන්න දන්නේ නෑ...!"

අපේම අයට මඩ ගහලා,
දවස් ගානේ ටීම් මාරු කරන්න කියලා ඉල්ලලා,
අපේ ක්‍රිකට් ගොඩ දාන්න අමාරුයි.
මේ තියෙන තත්වය අනුව නම් ආයේ කාලෙකට අපිට ගොඩ එන්න බෑ.

ගොඩ එන්න නම් ක්‍රියාවලියේ ලොකු වෙනසක් කරන්න වෙනවා.
එහෙම නොකර පැලැස්තර ගහලා කවදාවත් හරි යන්නේ නෑ.

ඒ නිසා අපේ ක්‍රිකට් තවත් වලපල්ලටම ඇදලා දාන්න කාලය වැය කරන් නැතුව ක්‍රිකට් ගැන නොදන්නා දේවල් දැනගන්න ඒ කාලය යෙදෙව්වා නම් අඩුමගානේ තමන්ගේ දැනුම වත් වැඩිදියුණු වේවි.

- හේලිත හෙට්ටිආරච්ච් -

මාටින් සුදු මහතාගේ ගජ මිතුරා වූ "පපඩම්" පර්සි

"පපඩම්" පර්සි?

මේ වචන දෙක දැක්ක ගමන් ,

"අප්පට සිරි මේන් අපේ පර්සි අංකල්ට අනන් මනන් නම් කියලා කිංඩි දාන එකෙක් ඇවිල්ලෝ..."

කියලා එකපාරට මගේ මුළු පරම්පරාවම මතක් කරලා බනින්න එපා ඉතින්.

ඇයි මම ඒ වචනේ පාවිච්චි කලේ කියන ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යයෙන්ම මේ කතාව කියවලා ඉවරවෙනකොට ඔයාලට දැනගන්න ලැබෙයි..!

අද කතාවට කතා නායකයෝ දෙන්නෙක් ඉන්නවා.

එක්කෙනෙක් පර්සි අබේසේකර මහත්මයා.
මුලින්ම ඒ කතා නායකයා ගැන පොඩ්ඩක් කතා කරමු..!

පර්සි අබේසේකර මහත්මයා එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ පුරෝගාමියා විදියට හඳුන්වන 'පර්සි අංකල්'
කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වුනු තවත් එක්තරා විරල ගණයේ පුරාවෘත්තයක් කියලා කිව්වොත් ඒක හරියටම හරි.

පර්සි අංකල් ලංකාවේ කොඩියත් උස්සගෙන ලෝකේ වටේ ගියේ ලංකාව ලෝක ශූරයෝ උනාට පස්සේ නම් නෙවෙයි.

"ශ්‍රී ලංකා ක්‍රිකට්" කිව්වම මුළු ක්‍රිකට් ලෝකයම සැහැල්ලුවෙන් බාරගත්ත කාල වකවානුවක තමයි පර්සි අංකල් ලංකාවේ ක්‍රිකට් වලට සහය දෙන්න පටන් ගත්තේ.

ඒ දේ කලෙත් කිසිම වාසියක් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි.

කවුරු මොන දේ දෙනවා කිව්වත් පර්සි අංකල් කවදාවත් වෙනස් උනේ නැහැ.

කොහේ ගියත් පර්සි අංකල් හැමදාම මුල්තැන දුන්නේ අපේ රටේ ක්‍රිකට් වලට සහය දෙන කාර්‍යභාරයට තමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුංචිම පුංචි තැනින් පටන් අරගෙන ලෝක ශූරයෝ වනතුරුමත්,
එතනින් පස්සෙත් පර්සි අංකල් තමන්ගේ වගකීම අපේ රටට ඉටුකලේ එක දශමයකින් වත් අඩු කරන්නේ නැතිව.

ඇත්තම කිව්වොත් තමන්ගේ රට වෙනුවෙන් අන්තිම මොහොත වෙනකල්ම එකම විදියට උගුර ලේ රහ වෙනකන් කෑ ගහ ගහ,
ඒ රටේ කොඩියත් උස්සන් හැම තරඟයක්,තරඟයක් ගානේම ගිහින් තමන්ගේ කණ්ඩායමට සහය දෙන ප්‍රේක්ෂකයින් බොහොම අඩුයි.

ඔය හේතුව නිසා ඒ ගතිගුණ හැම එකකින්ම සන්නද්ධ පර්සි අංකල්,
දවසෙන් දවස,ටිකෙන් ටික මුළු ක්‍රිකට් ලෝකයම දන්න,ආදරය කරන ජනප්‍රිය චරිතයක් බවට පත් උනා.

විශේෂයෙන්ම වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩකයෝ බහුතරයක් දෙනා නිතර මුණගැහෙන විහිළු තහලු කරලා සැහැල්ලුවෙන් ජීවත් වෙන පර්සි අංකල් එක්ක හිතවත් වෙන්න පටන් ගත්තා.

පර්සි අංකල් ගැන නම් පුංචි හැඳින්වීමක් කරලා ඉවරයි...!

එතකොට කවුද අනිත් කතා නායකයා?

අනිත් කතා නායකයා වෙනත් රටක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු සුපිරිම ගණයේ ක්‍රීඩකයෙක්.
ඒ සුපිරි ක්‍රීඩකයා මේ කතාවට සම්බන්ධ වෙන්නේ මහත්මාවරුන්ගේ ක්‍රීඩාව වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව මහත්මයෙක් විදියට ක්‍රීඩා කරපු නිරහංකාර පුද්ගලයෙක් වීම නිසා.

ඒ ක්‍රීඩකයා,

නවසීලන්තයෙන් බිහිවුණ සුපිරිම පිතිකරුවෙක් ලෙස සලකන "මාටින් ක්‍රෝ"

මාටින් ක්‍රෝ කියන ක්‍රීඩකයා ගැන මෑතකාලෙදි ක්‍රිකට් බලන්න පටන් අය නම් වැඩිපුර අහලා නැතිවෙන්නත් ඉඩ තියෙනවා.
ඒ උනත් 80/90 දශක වල ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාව බලපු අයට නම් ක්‍රෝ කියන්නේ නුපුරුදු චරිතයක් නෙවෙයි.

මාටින් ක්‍රෝගේ පවුලේ විස්තර කෙටියෙන් කිව්වොත් මාටින්ගේ පවුලේ අය කීපදෙනෙක්ම ක්‍රිකට් වලට සම්බන්ධ ප්‍රසිද්ධ ක්‍රීඩකයින්.
මාටින්ගේ ලොකු අයියා ජෙෆ් ක්‍රෝ නවසීලන්ත ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්.
ඒ වගේම තාත්තා ඩේව් ක්‍රෝ කැන්ටබරි සහ වෙලිංටන් ක්‍රිකට් කණ්ඩායම් වල පළමු පෙළ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්.
ඒ වගේම ඉංග්‍රීසි චිත්‍රපටි බලන ඕන කෙනෙක් හොඳින්ම දන්න 'ග්ලැඩියේටර්' චිත්‍රපටියේ ප්‍රධාන නළුවා රසල් ක්‍රෝ කියන්නෙත් මාටින්ගේ ඥාති සහෝදරයෙක්.

මාටින් කියන්නේ පාසල් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන අතරවාරයේ පාසල් රගර් කණ්ඩායමේ පවා ක්‍රීඩා කරපු අති දක්ෂ ක්‍රීඩකයෙක්.
ඒ වගේම මාටින් කියන්නේ නවසීලන්තයේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න මුල් වුන ක්‍රීඩකයෙක් වෙච්ච ෆ්‍රැන්සිස් ජාවිස්ගේ මී මුණුපුරෙක්.
මාටින්ගේ පවුල් පසුබිම දිහා බලනකොට මාටින්ට ක්‍රීඩාව කියන දේ උපතින්ම පිහිටලා තිබුණු එක ගැන පුදුම වෙන්න ඕන නැහැ.

පවුලේ අනිත් සාමාජිකයින්ටත් වඩා පාසලේදි වගේම පළමු පෙළ තරඟවලදී පෙන්නපු ඉහළ දක්ෂතා නිසාම බොහොම අඩු වයසකදි මාටින්ට ජාතික කණ්ඩායමට එක්වෙන්න අවස්ථාව හිමිවෙනවා.

මාටින් ක්‍රීඩා කල මුල්ම එක්දින ජාත්‍යන්තර තරඟය පැවැත්වෙන්නේ 1982 පෙබරවාරි 13 ඔස්ට්‍රේලියාවට එරෙහිව.
එක්දින වරම් ලැබිලා දින කිහිපයක් ගත උනාට පස්සේ මාටින්ට ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරන්නත් අවස්ථාව උදාවෙනවා.
මාටින් මුලින්ම නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමට එක්වෙන්නේ 1982 පෙබරවාරි 16 වනදා ඔස්ට්‍රේලියාවටම එරෙහිව පැවති තරඟයකදි.
ඒ වෙනකොට මාටින්ගේ වයස අවුරුදු 19ක් විතරයි.
1982දි ජාතික කණ්ඩායමට එක්වෙච්ච මාටින්
බොහොම කෙටි කාලයකින් එහෙමත් නැත්නම් අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුලත මුළු ලෝකයේම අවධානය දිනාගන්න සමත්වෙනවා.
1985 වසරේදි 'වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා'
සම්මානය හිමිකරගත්ත මාටින් ඒ කාල වකවානුවේදි ලෝකයේ සිටි හොඳම තරුණ පිතිකරුවන් අතරේ ඉහලින්ම රැඳී සිටි ක්‍රීඩකයෙක්.

වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩක‍යා සම්මානය ජයග්‍රහණය කරලා අවුරුදු 5කට පස්සේ ඒ කියන්නේ 1990 වසරේදි මාටින්ට නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය හිමිවෙනවා.
මාටින් ක්‍රෝ ඉනිමක ලබාගත්ත වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව නම් බොහොම සුවිශේෂී ගණයේ ලකුණු සංඛ්‍යාවක්.

"ඒකට හේතුව ඔහු ත්‍රිත්ව ශතකය පෙනි පෙනී අවාසනාවන්ත ලෙස ලකුණු 299කට දැවීයෑම"

ඔහුගේ අවාසනාවන්තකම නිසා ඔහු ලකුණු 299කට දැවී ගියත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් වෙච්ච අපේ අවාසනාවකට ත්‍රිත්ව ශතකය පෙනි පෙනී දැවීයන්න පෙරාතුව ලබාගත්ත ඒ ලකුණු 299 ඔහු වාර්තා කරන්නේ 1991 වසරේදි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව.
මේ ලකුණු 299ට අමතරව මේ තරඟයේදි ඒ කාල වකවානුවේ ටෙස්ට් තරඟයක වාර්තා වෙච්ච හොඳම සම්බන්ධතාවය විදියට වාර්තා පොත් වල කාලාන්තරයක් සටහන් වෙලා තිබුණු ලකුණු 467ක සම්බන්ධතාවය ඇන්ඩෲ ජෝන්ස් එක්ක එකතුවෙලා පිහිටවන්නත් මාටින් සමත්වෙනවා.

ඒ විතරක් නෙවෙයි,

ලකුණු 467ක යෝධ ලකුණු සබඳතාවය වාර්තා කිරීමෙන් වසරක කාලයක් ගත උනාට පස්සේ පැවත්වෙච්ච 1992 බෙන්සන් & හෙජස් ලෝක කුසලානයේ තරඟාවලියේ වීරයා වෙන්නෙත් මාටින් ක්‍රෝම තමයි.

මම මාටින්ට 'සුපිරි' ගණයේ ක්‍රීඩකයෙක් කියලා කියන්න හේතුව දැන් නම් ඔයාලට පැහැදිලි වෙනවා ඇති.
මේ ලිපියේ මාටින් දක්වපු දක්ෂතා සියල්ලම නම් ලියන්න බලාපොරොත්තුවක් නෑ.
ඒ උනත් මාටින් ගැන නොදන්නා කෙනෙක්ට මම කරපු කෙටි හැඳින්වීමෙන් යම්කිසි අවබෝධයක් නම් ලැබෙන්න ඇති කියලා නම් විශ්වාස කරනවා...!

අද ලිපියට අදාල කතාවේ කතා නායකයෝ දෙන්නා ගැනම හැඳින්වීමක් කරලා පසුබිම හදලා නම් අහවරයි!

කතා නායකයෝ දෙන්නාගේම පසුබිම දැනගත්තා උනත් රටවල් දෙකක හාත්පසින්ම වෙනස් පසුබිම් වලින් බිහිවෙච්ච,

'සුපිරි ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්' වුන
- පර්සි අංකල් -

සහ

'සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්' වුන
- මාටින් ක්‍රෝ -

ගජ මිතුරන් උනේ කොහොමද කියන එක දැනගන්න තමයි කියවන හැමෝම මේ වෙනකොට බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ.

එහෙනම් තවත් වෙලාව වැය නොකර ඒ ම්ත්‍රත්වය ආරම්භ උන හැටි ලියන්නයි මේ ලෑස්තිවෙන්නේ.

පර්සි අංකල්ට මුලින්ම මාටින්ව මුණගැහෙන්නේ 1984 වසරේ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදි.
1984 වසරේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම බොහොම ශක්තිමත්, සුපිරි ගණයේ ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක්.
මේ කාලවකවානුවේ සර් රිචඩ් හැඩ්ලි පවා නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩා කලා කියන එක අමතක කරන්න බැරි කාරණයක්.

1984 වසරේදි වයස අවුරුදු 21ක තරුණයෙක් විදියට ශ්‍රී ලංකාව සංචාරය කරපු මාටින් දිනපතා ක්‍රීඩාංගණයට ඇවිත් තනියම මහන්සිවෙන පර්සි අංකල්ට තිබුණු ජාතික හැඟීම,කැපවීම ගැන බොහොම පැහැදෙනවා.
1984 සංචාරයේදි ඒ තරම් දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගුණේ නැති උනත් මේ පුද්ගලයින් දෙන්නා අතර අන්‍යොන්‍යය සුහදත්වය ඇතිවීම පටන් ගන්නේ මේ සංචාරයේදි.

1984 වසරේ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් වසර 2ක් ගතවුනාට පස්සේ 1986 වසරේදි නැවතත් නවසීලන්තය ශ්‍රී ලංකාව සංචාරය කරනවා.
ඒ ශ්‍රී ලංකාව - නවසීලන්තය - පකිස්තානය අතර පැවත්වුන ජෝන් ප්ලේයර් තුන්කොන් එක්දින තරඟාවලියට.

1984 වසරේදි ආරම්භ වෙච්ච මේ පුද්ගලයින් දෙන්නාගේ අන්‍යොන්‍යය සුහදත්වය දැඩි මිත්‍රත්වයකට පරිවර්තනය වෙන්නේ 1986 වසරේ පවත්වපු මේ සංචාරයේදි කිව්වොත් ඒක හරියටම හරි...!

තමන්ට සුපුරුදු විදියට ජෝන් ප්ලේයර් තුන්කොන් තරඟාවලියට අදාලව පැවැත්වෙච්ච තරඟ සියල්ලම නරඹන්නත් පර්සි අංකල් ක්‍රීඩාපිටියට පැමිණෙනවා.
ක්‍රීඩා පිටියට ඇවිත් කලින් සංචාරයේදි වගේම මේ සංචාරයේදිත් අබමල් රේණුවක වෙනසක් නැතිව පුදුමාකාර ජාතික හැඟීමක් ඇතිව තමන්ගේ රටට සහය දෙන්න කට්ට අව්වේ කෑගහලා මහන්සිවෙන පර්සි අංකල්ව මාටින් ක්‍රෝට කීපසැරයක්ම මුණගැහෙනවා.
තමන්ට කිසි ලාභ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති බව දැන දැන පර්සි අංකල් තමන්ගේ රට වෙනුවෙන් මහන්සි වෙන හැටි දැක්කම මාටින් කලින් සැරේටත් වඩා වැඩිපුර පර්සි අංකල්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදෙනවා.

මේ විදියට පර්සි අංකල් කොයිතරම් මහන්සිවෙලා සහය දුන්නා උනත් අවාසනාවකට මේ තුන්කොන් තරඟාවලියේ අවසාන තරඟයට සුදුසුකම් ලබන්න සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ නම් නෑ.
1986 අප්‍රේල් 7 වනදා SSC පිටියේදි පකිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්වුන අවසාන තරඟය ජයගන්න සමත්වෙන්නේ පකිස්තාන කණ්ඩායම ව්සින්.
ජෝන් ප්ලේයර් තුන්කොන් එක්දින තරඟාවලියේ ශූරතාවය පකිස්තානයට හිමි වුනත් අවසාන තරඟයේ වීරයා සම්මානය දිනාගන්න සමත් වෙන්නේ පන්දු 84කට ලකුණු 75ක් ලබාගෙන සටන්කාමී ඉනිමක් දියත්කරපු මාටින් ක්‍රෝ විසින්.

කාලාන්තරයක් තිස්සේ පර්සි අංකල්ගේ හැසිරීම දිහා බලන් උන්න මාටින්ට හිතෙනවා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව තමන්ගේ රට වෙනුවෙන් මහන්සි වෙන පර්සි අංකල්ව ඇගයීමක් විදියට තමන්ට ලැබුණු මේ කුසලානයත්,ත්‍යාග මුදලත් ඔහුට ලබාදෙන්න.

*මාටින් ක්‍රෝ විසින් 1986 වසරේ ජෝන් ප්ලේයර් තුන්කොන් තරඟාවලියේ අවසාන තරඟයේ වීරයා කුසලානය පර්සි අබේසේකරට ලබාදුන් අවස්ථාවේ ඡායාරූපය ලිපියට අමුණා ඇත.

මාටින් තමන්ට ලැබුණු සම්මානයත්,
ත්‍යාග මුදලත් පර්සි අංකල්ට දුන්නා උනත් පර්සි අංකල් මුදල් ත්‍යාගය භාරගන්නේ නැහැ.

ඒ විතරක් නෙවෙයි,

මාටින් ලබාදුන්න කුසලානය පවා පර්සි අංකල් භාරගන්නේ ඔහු ශ්‍රී ලංකාවෙන් පිටවෙන්න කලින් ආපිට ලබාදෙන පොරොන්දුව උඩ.
මොකද පර්සි අංකල් දැනගෙන හිටියා මේ කුසලානය පෞද්ගලිකව මාටින්ට බොහොම වටිනා සිහිවටනයක් කියන කාරණය ගැන.

ඉතින් මේ විදියට තමන් ලබාදීපු පොරොන්දුව ඉෂ්ඨ කරන්න පර්සි අංකල් මාටින් ලබාදීපු කුසලානයත් අරගෙන ඔබරෝයි හෝටලයට යන්නේ නවසීලන්ත කණ්ඩායම ලංකාවෙන් පිටත්වෙන්න හරියටම දවසකට කලින්.
පර්සි අංකල් ඔබරෝයි හෝටලයට යන වෙලාවෙදි දකිනවා මාටින් ක්‍රෝ,සර් රිචඩ් හැඩ්ලි එක්ක සිදත් වෙත්තමුණි දහවල් ආහාරය සඳහා කෑම මේසයේ වාඩිවෙලා ඉන්න හැටි.

පර්සි අංකල්ව දැකපු මාටින් පර්සි අංකල්ටත් දහවල් ආහාරය ගන්න එකතුවෙන්න ආරාධනා කරනවා.

මාටින් කරන මේ ආරාධනාව පර්සි අංකල් භාරගන්නේ නෑ.

මේ ක්‍රීඩකයින් තිදෙනා අතරට ගිහින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා කරන්න අකමැති නිසා පර්සි අංකල් එහෙම කලා උනත් පර්සි අංකල්ට මාටින් ක්‍රෝ,සර් රිචඩ් හැඩ්ලි එක්ක යම් කාලයක් ගතකරන්න ඉඩදෙන අදහසින් සිදත් වෙත්තමුණි මහත්මයා එතනින් පිටත් වෙනවා.
සිදත් වෙත්තමුණි මහත්මයා එතනින් පිටත් උනාට පස්සේ පර්සි අංකල් රැගෙන ආපු කුසලානය නැවත මාටින්ට ලබාදෙන්න උත්සහා කලත් මාටින් කුසලානය නැවත භාරගැනීම එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා.

කුසලානයත් නැවත එපා කියපු මාටින් කෑම මේසයෙන් නැගිටලා තමන්ගේ කාමරයට ගිහින් ඔහු මුල් ටෙස්ට් තරඟ 10දි පාවිච්චි කරපු තොප්පිය අරගෙන ඇවිත් ඒ තොප්පිය මතක සටහනක් විදියට පර්සි අංකල්ට ලබාදෙනවා.
මාටින් ඒ විදියට තමන්ගේ වටිනා දේවල් පර්සි අංකල්ට ලබාදෙන අතරවාරයේ සර් රිචඩ් හැඩ්ලිත් නිකන්ම ඉන්නේ නෑ.
සර් හැඩ්ලි පර්සි අංකල්ට නවසීලන්ත කණ්ඩායමේ නිළ ටයි පටියක්,
ක්‍රීඩකයින් විසින් අත්සන් යොදන ලද නවසීලන්ත කණ්ඩායමේ වර්ණ ඡායාරූපයක් ලබාදෙනවා.

මේ ලැබිච්ච තෑගි නිසා පුදුම වෙන පර්සි අංකල් නවසීලන්ත ක්‍රීඩකයින්ගෙන් අහනවා,

"ඇයි ඔයාලා මේ තරම් තෑගි මට දෙන්නේ?"

කියන ප්‍රශ්නය.

ඒ ප්‍රශ්නෙට උත්තරේ විදියට නවසීලන්ත ක්‍රීඩකයොන්ගෙන් පර්සි අංකල්ට අහන්න ලැබිලා තියෙන්නේ,

"ඒ ඔබේ ක්‍රීඩාශීලිත්වය,මහත්මාගුණය,
සත්කාරත්වය හා දේශප්‍රේමී ගතිගුණ නිසා"

කියන වචන ටික.

1986 වසරේ ජෝන් ප්ලේයර් තුන්කොන් එක්දින තරඟාවලිය වෙනුවෙන් සංචාරය කලාට පස්සේ නැවතත් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සංචාරය කරන්නේ 1992 වසරේ ලෝක කුසලානය පැවැත්වුනාටත් පසුකාලීනව.
නැවත ලංකාව සංචාරය කරන මාටින් පර්සි අංකල්ට 1992 ලෝක කුසලාන තරඟයකදි තමන්ට ලැබුණු තරඟයේ වීරයා සම්මානයක් පවා අරගෙන එනවා.
රන්,රිදී මිශ්‍ර බොහොම වටින මේ සම්මානය පර්සි අංකල්ට දීපු මාටින් පර්සි අංකල්ගේ සමරු සටහන් පොතේ 1992 ලෝක කුසලාන තරඟාවලිය ගැන සටහනක් තියනවා.
ආසන්න වශයෙන් ඒ සටහන සිංහලට පරිවර්තනය කලාට පස්සේ කියවෙන්නේ මේ විදියට,

දයාබර පර්සි පපඩම්,
නවසීලන්තය ඉන්නේ උඩින්,
ශ්‍රී ලංකාව ඉන්නේ පහලින්,
පර්සි ඉන්නේ පැත්තකින්,
උඩින් එකක් ඇරෝ කියමින්,

ඔබ නියම පුද්ගලයෙක්...!

මේක දැකපු පර්සි අංකල් මාටින්ගෙන් අහනවා තමන්ව 'පපඩම්' කියලා හඳුන්වන්න හේතුව මොකද්ද කියලා.

මාටින් පර්සි අංකල්ට කියනවා,

"ඒ ඔයා හැමවෙලේම ග්‍රවුන්ඩ් එකේ කර කර ගාන සද්දෙන් කෑගහන නිසා" කියලා.

මේ දෙන්නගේ අපූරු මිත්‍රත්වය මාටින් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ උනත් නතර වෙන්නේ නැහැ.
දිගින් දිගටම ඊමේල් පණිවුඩ වලින්,දුරකතනයෙන් මේ දෙදෙනා මිත්‍රත්වය පවත්වාගෙන යනවා.
පසුකාලීනව විස්තර විචාරකයෙක්,ක්‍රීඩා ලේඛකයෙක්,පුහුණුකරුවෙක් විදියට මාටින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන නිසා පර්සි අංකල් පුළුවන් හැම අවස්ථාවකම මාටින්ව මුණගැහෙන්නත් අමතක කරන්නේ නැහැ.

ඒත්,

2014 සැප්තැම්බර් 23 වනදා පර්සි අංකල්ට මාටින්ගෙන් ඊමේල් පණිවිඩයක් ලැබෙනවා.
මේ ඒ පණිවිඩයේ සිංහල පරිවර්තනය.

"දයාබර පර්සි පපඩම්,

මේ අවුරුද්ද ශ්‍රී ලංකාවට අති සාර්ථක අවුරුද්දක්.

සුපිරි ජයග්‍රහණ රැසක්,
ආදර්ශමත් නායකත්වයක්,
අති ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් දෙපළකට සුවිශේෂී නික්මයෑමක්.

ඒ විතරක් නෙවෙයි.

මේ ලෝකේ මොන ක්‍රිකට් ප්‍රේක්ෂකයාටත් වඩා හොඳින් සුපුරුදු විදියටම අදත් ඔබ පිටිය මායිමේ ආඩම්බරයෙන්,උජාරුවෙන් ඔබේ කණ්ඩායමට සහය දෙන හැටි ඕන කෙනෙකුට ලේසියෙන්ම බලාගන්න පුළුවන්.

ඔබ තමා ලෝකේ අංක 1 ක්‍රිකට් ප්‍රේක්ෂකයා.

නත්තල් කාලය ලං වෙනකොට මගේ දෛවය අනුව මට මේ සේරම දේවල් අතෑරලා දාල යන්න වෙලාව ඇවිත් තියේවි.

ඒත් මම ආඩම්බරයි,

මම හොඳ තාත්තා කෙනෙක්,
හොඳ ස්වාමියෙක්,
හොඳ දරුවෙක්,
හොඳ සහෝදරයෙක්,
හොඳ යහළුවෙක්,

විදියට මගේ ජීවිත කාලය ගතකරපු එක ගැන.
බොහොම ස්තූතියි ඔබ හැමදාමත් මට කරපු උදව් වලට.
මම ගැන හිතලා ඔබ දුක් වෙන්න එපා..!

ලෝකේ අංක 1 ක්‍රිකට් ප්‍රේක්ෂකයා විදියට දිගටම රැඳී සිටින්න...!"

- මාටින් ක්‍රෝ -

පර්සි අංකල්ට අදහා ගන්න බැරි උනා මේ පණිවිඩය.

2012 වසරේදි මාටින් ලිම්ෆෝමා නම් ලේ පිළිකාවට ගොදුරු වෙනවා.
නමුත් 2013 වසර වගේ වෙනකොට එයින් ඔහු සුවය ලබනවා.
ඒත් අවාසනාවන්ත විදියට 2014 වසරේදි මේ ලේ පිළිකාව නැවතත් ඔහු සොයා එනවා.

2014 වසරෙන් පස්සේ පර්සි අංකල් මාටින් වෙනුවෙන් බෝධි පූජා පවා පවත්වමින් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා ක‍රමින් නිතරම ආගමික වතාවත් සිද්ධ කරනවා.

ඒත් අවාසනාවන්ත ලෙස මේ ලේ පිළිකා රෝගය නිසා මාටින් 2016 වසරේ මාර්තු 3 වනදා අකාලයේ මෙලොව හැරයනවා.
ඒ වනවිට ඔහුට වයස අවුරුදු 53ක්.

ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ බිහිවුණ අග්‍රගණ්‍ය පිතිකරුවෙක් විදියට මාටින් ක්‍රෝ නාමය හැමදාමත් ඉහලින්ම වැජඹේවි...!

වයස අවුරුදු 83ක් වන ලෝකේ හොඳම ක්‍රිකට් ප්‍රේක්ෂකයා පර්සි අංකල් අදටත් මාටින්ගේ අවසාන ඉල්ලීම ක්‍රීඩාංගනය මායිමේ සිට තමාට හැකි උපරිම ආකාරයෙන් ඉටුකරන හැටි වරින් වර අපිට දකින්න ලැබීමත් කොයිතරම් නම් භාග්‍යයක්ද?

පර්සි අංකල් ඔබට දීර්ඝායුෂ ලැබේවා...!

- හේලිත හෙට්ටිආරච්චි -

අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට නයිට් පදවිය ලබා දී තිබේද?



අපේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් 'සර්' පට්ටම හෙවත් නයිට් පදවිය ලැබූ අවස්ථාවන් තිබේද?

පහුගිය දවසක එලිසබෙත් මහ රැජිණගේ සුරතින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටයාර් කුක්ට 'සර්' පට්ටම හෙවත් නයිට් පදවිය ලැබුණා කියන පුවත ගැන මේ වෙනකොට බොහොමයක් දෙනා දැනුවත් ඇති.

ඔය හේතුව නිසාම,

අපේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ට

• මේ පට්ටම ලැබිලා තියෙනවද?
• එහෙම ලැබුනනම් ඒ කාටද?

කියන ප්‍රශ්න මේ දවස්වල බොහොම සුලභයි.

කියන්න කණගාටුයි,

සමහර අය හරිහැටි හොයලා බලන්නේ නැතුව මේ සම්බන්ධයෙන් එක එක අදහස් පල කරලා තියෙනවා කීප තැනකම දකින්න ලැබුණා.

• ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට නයිට් පදවිය ලැබුණාලු...

• ඔහු එංගලන්තයේ පදිංචියට යෑමට පවා ඉඩ තිබෙනවාලු..

ඉතින් මේ කතා ඇත්තද?

අමු බොරු...!

• සංගාට එහෙම පදවියක් ලැබුණේ නැහැ.

• එහෙම ලැබෙන්න ක්‍රමයකුත් නැහැ.

හේතුව?

• නයිට් පදවියට හිමිකාරත්වය ලබන්නේ රැජිණගේ පාලනයට යටත් වෙලා ඉන්න පුරවැසියන්ට පමණයි.

"ඒ කියන්නේ සංගා හෝ අපේ රටේ වෙනයම් කෙනෙක්ට ක්‍රිකට් ක්‍රීඩාව නිසා නයිට් පදවිය ලැබුනානම් ලැබෙන්නේ 1956 වර්ෂයේ බ්‍රිතාන්‍ය ගෞරව නාම අපේ රටට ලබාදීම නවත්වන්න පෙර...!"

ඒ කොහොම උනත් මම දැනුවත් විදියට නම් 1956 වර්ෂයේදි බ්‍රිතාන්‍ය ගෞරව නාම අපේ රටේ පුරවැසියන්ට ලබාදීම නවත්වන්න කලින්වත් ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපේ රටේ කෙනෙක්ට නයිට් පදවිය හිමිවෙලා නම් නැහැ.

ඒක ගැන නම් දැනගත්තා කියමුකෝ...!

එතනින් නවතින්නේ නැතිව තවත් මේ ගැන විස්තර ටිකක් දැනගන්න එක කෝකටත් හොඳ නිසා මේ සම්බන්ධව තව පුංචි විස්තරයක් පහතින් සඳහන් කරන්න කල්පනා කලා.

° ක්‍රිකට් ක්‍රීඩාවට අදාලව කෙනෙකුට නයිට් පදවිය ලැබෙන්නේ කොහොමද?

ක්‍රම 02 ක් තිබෙනවා.

• ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කල් පරිපාලකයින්,පුහුණුකරුවන්,ක්‍රීඩකයින් සහ විනිසුරුවන්ට නයිට් පදවිය ලබාදීම.

• ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් මට්ටමේ සිට පළමු පෙල මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු ක්‍රීඩකයින් නොයෙකුත් ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කල සේවය වෙනුවෙන් නයිට් පදවිය ලබාදීම.

° නයිට් පදවිය ලබාදෙන්නේ කවුරුන් විසින්ද?

• එංගලන්‍තයේ මහරැජිණ විසින් සෘජුවම.

• එංගලන්ත මහරැජිණගේ පාලනය යටතේ පවතින රටවල් වල රජයන් විසින් වක්‍රාකාරව.
(මෙම ක්‍රමය භාවිතා කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පමණි)

° නයිට් පදවිය ලැබූ එංගලන්ත පුරවැසියන් ගණන කොපමණද?

- ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කල් පරිපාලකයින්,පුහුණුකරුවන්,ක්‍රීඩකයින් සහ විනිසුරුවන් - 11

- ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් - 03

° එංගලන්තයේ පුරවැසියන් හැරුණුකොට නයිට් පදවිය ලැබූ වෙනත් රටවල පුරවැසියන් ගණන සහ ඔවුන් අයත් වන රටවල් මොනවාද?

• 1947 වසරේ නිදහස ලැබීමට පෙර ඉන්දියාව

- ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රීඩකයින් - 01

• ඔස්ට්‍රේලියාව

- ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කල් පරිපාලකයින්,පුහුණුකරුවන්,ක්‍රීඩකයින් සහ විනිසුරුවන් - 01

• නවසීලන්තය

- ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රීඩකයින් - 01

• බටහිර ඉන්දීය කොදෙව් දූපත්

- ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කල් පරිපාලකයින්,පුහුණුකරුවන්,ක්‍රීඩකයින් සහ විනිසුරුවන් - 11
* මහරැජිණ විසින් - 04
* නයිට් පදවිය ලැබූ පුද්ගලයාට අදාල බටහිර ඉන්දීය කොදෙව් දූපත් රජයන් විසින් - 7

- ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රීඩකයින් - 01
* මහරැජිණ විසින් - 01

• දකුණු අප්‍රිකාව

- ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රීඩකයින් - 02

නයිට් පදවිය එහෙමත් නැත්නම් 'සර්' පට්ටම ගැන යම් අවබෝධයක් මේ ලිපිය හරහා ඔබ සියළුදෙනාටම ලබාගන්න ඇති කියන විශ්වාසය මත දැනට නවතින්නම්.

ඒ වගේම ඉදිරියේදි නයිට් පදවිය ලැබූ පුද්ගලයින් කවුරුන්ද යන්නත් ඔවුන් එම පදවිය ලැබීමට සුදුසුකම් ලැබුවේ කෙසේද යන්නත් ගැන තවත් ලිපියක් ඔබ සැමට ගෙන එන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාලව අපේ රටේ නයිට් පදවිය ලැබූ අය නැති එක ගැන නම් දුක් වෙන්න එපා.

මොකද කෙනෙක් මොනයම් හේතුවක් නිසා හෝ නයිට් පදවිය ලබනවා කියන්නේ සරලවම ඒ කෙනා මහරැජිණගේ වහලෙක් බවට පත්වෙනවා කියන එකයි.

ඒ නිසා අබමල් රේණුවක් තරම් වත් ඒ දේ ගැන නම් පසුතැවිලි වෙන්න එපා...!

- හේලිත හෙට්ටිආරච්චි -