ශ්‍රී ලංකාව කියන රටේ ක්‍රිකට් තරම් ජනප්‍රිය වෙන ක්‍රීඩාවක් නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ.
ඒ වගේම ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බලන්න ගත්තේ අද ඊයෙත් නෙවෙයි.
හැබැයි ඉස්සර මිනිස්සු ක්‍රිකට් බැලුවේ අවබෝධයක් ඇතුව.
උදාහරණයක් විදියට කියනවනම්,
ග්‍රවුන්ඩ් එකේ ෆීල්ඩින් පොසිශන් ටික,
පිච් එකක දිග - පළල,
ලෙදර් බෝලෙක බර,
දඟපන්දු යවනවා නම් හරි වේගපන්දු යවනවා නම් හරි ඒ ඒ විදියට බෝලේ අල්ලන්න ඕන විදිය පවා සාමාන්‍ය මිනිස්සු දැනගෙන හිටියා.
ක්‍රිකට් බලන්න ඕවා දැනගන්නම ඕන නෑ...!
ඒත් ඉතින් ඉස්සර මිනිස්සුන්ට ක්‍රිකට් වල සාමාන්‍ය දැනීම තිබුණු නිසා දැන් කාලේ ඇතිවෙන ළාමක ගණයේ ප්‍රශ්න ඒ කාලේ ඇති උනේ නෑ.
අතීතයේදි ක්‍රිකට් බලපු මිනිස්සු ඔයතරම් දැනුමකින් සන්නද්ධ වෙන්න හේතුව ඒ කාලේ ක්‍රීඩා මාධ්‍යය උසස් මට්ටමක තිබිච්ච එක.
ඒ උනත්,
• සමාජ මාධ්‍ය වල ආගමනය - අවභාවිතාව,
• ජාතික කණ්ඩායම කාලාන්තරයක් තිස්සේ නිතරම පරාජය වීමත්,
• ඉන්දියානු ටෙලිනාට්‍ය වලින්,
කාටූන් වලින් අපේ රටේ මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කලා වගේම IPL වගේ ටී20 තරඟාවලි වලට නවක පරපුර උවමනාවට වඩා ඇබ්බැහි වීමත්,
වගේ හේතු නිසා පහුගිය අවුරුදු 5දි සැලකිය යුතු මට්ටමකින් ලංකාවේ ක්‍රිකට් බලන මිනිස්සු හැසිරෙන විදිය වෙනස් වෙලා කියන එක අනිවාර්යයෙන්ම පිළිගන්න වෙන දෙයක්.
"ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මොට වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම වක්‍රාකාරව ක්‍රිකට් ක්‍රීඩාවත් පරිහානියට ලක්වෙනවා කියන එකයි..!"
ඉන්දියාවේ ක්‍රිකට් බලන මිනිස්සු,
ක්‍රීඩකයින්ගේ ගෙවල් වලට ගල් ගහනකොට,
ක්‍රීඩකයොන්ට සමාන කරලා හදපු පඹයෝ මහපාර මැද්දේ පුච්චනකොට,
ක්‍රීඩාංගණ ගිනි තියලා ඒ මදිවට තමන්ගේ රටේදි තමන්ට වඩා දක්ෂතා පෙන්නපු ප්‍රතිවාදීන්ට අහුවෙන එකෙන් ගහනකොට,
පකිස්තානේ මිනිස්සු තරඟයක් පැරදුන ගමන් ගෙදර තියෙන ටීවී එක කුඩුකරනකොට,
දකුණු ආසියාවේම රටක් වෙලත් අසල්වැසියෝ කරනවා වගේ අන්ත ගොන් මාදිලියේ වැඩ නොකර පාඩුවේ ක්‍රිකට් ක්‍රීඩාව විඳින තරමේ සැබෑ ක්‍රිකට් රසයක් ඉස්සර ලංකාවේ ක්‍රිකට් බලපු මිනිස්සුන්ට තිබුණා...!
ඒ වගේම රට නියෝජනය කරපු ක්‍රීඩකයෝ හැමදෙනාමත් ප්‍රේක්ෂකයින්ට,රටට තමන්ගේ උපරිමය ලබාදුන්නා...!
හැබැයි එදිනෙදා පේන,ඇහෙන දේවල් එක්ක ගත්තම අද කාලේ ක්‍රිකට් බලන අපේම සමහරක් අයට ඉස්සර මිනිස්සුන්ට තිබුණු අර ක්‍රිකට් රසය කෙසේ වෙතත් ඒ වචනේ අහලා තියෙනවා කියලවත් හිතන්න බැහැ.
සමහරක් කිව්වට සමාජ මාධ්‍යය භාවිතා කරන අයගෙන් බහුතරයක් දෙනා එහෙමයි.
90 දශකයේ ඉන්දියාවේ මිනිස්සු හැසිරුණ විදියටත් වඩා අන්ත තත්වයකට අපේ මිනිස්සු වර්තමානය වෙනකොට ඇදවැටිලා අහවරයි.
නවක පරපුරේ බහුතරයක් අය හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ පෝරු ගාන විදියට බැට් එක වනලා හරි 6,4 ඒවා ගහන එකට කියලා...!
ඇත්තටම ඒක නෙවෙයි ක්‍රිකට් කියන්නේ.
සමහර අයට නම් විහිළුවක් වෙයි මේ කතාව,
ක්‍රිකට් කියන්නේ සම්භාව්‍ය ගණයේ ක්‍රීඩාවක්.
අනිත් ක්‍රීඩාවල නැති නැති අමුතුම ලාලිත්‍යයක් තියෙනවා ක්‍රිකට් වල.
ඒ වගේම ක්‍රිකට් කියන්නේ තනි පුද්ගලයෙක්ගේ වගේම පුද්ගලයන් කීපදෙනෙක්ගේ එකතුවෙන් හැදෙන කණ්ඩායමක්,
• ඉවසීම
• හැකියාව
• තාක්ෂණය,
• සැලසුම් - උපායමාර්ග භාවිතා කිරීම
• දරාගැනීමේ ශක්තිය
• ජීවගුණය ආරක්ෂා කිරීම
වගේ අංශ ගණනාවකම දක්වන දක්ෂතාවයන් හරිම විදියට මැනගන්න ඉහළම අවස්ථාවක් තියෙන ක්‍රීඩාව.
ක්‍රිකට් මැච් එකක් දවස් 5ක් තිස්සේ ගහලත් ප්‍රතිඵලයක් නැති එකට ඇමෙරිකාව එංගලන්තයට හිනා උනා තමයි...!
හැබැයි ඒ කාලේ ඇමෙරිකාවට විකාරයක් වගේ පෙනුනා කියලා ක්‍රිකට් ක්‍රීඩාව නැතිවෙලා ගියේ නෑනේ.
කිලෝමීටර් සිය ගණන් ඇවිදගෙන ගිහින් තරඟයක් දිහා බලන් ඉන්න තරමේ පිස්සුවකින් ක්‍රිකට් වලට ආදරය කරපු මිනිස්සු කොයිතරම් නම් ඉන්න ඇතිද සහ ඉන්නවා ඇතිද?
දැන් කෙසේ වෙතත් ඉස්සර මිනිස්සු ඒ තරම් පිස්සුවකින් ක්‍රිකට් වලට ඇබ්බැහි වෙන්න ප්‍රධාන හේතුව නම් අර කියපු අනිත් ක්‍රීඩාවල නැති ක්‍රිකට් වලටම ආවේනික ගණයේ ලාලිත්‍යය.
ක්‍රිකට් තරඟයක් දිහා බලලා ලබන ඒ හැඟීම අනිත් කණ්ඩායම් ක්‍රීඩා දිහා බලන් ඉඳලා ලබාගන්න බැහැ.
ඒ නිසා කෙනෙක්ට සැබෑ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්ට ලැබෙන වින්දනය,හැඟීම ලබන්න අවශ්‍ය නම් ක්‍රිකට් වලට ආවේනික ඒ අමුතු ලාලිත්‍යවත් ගතිය දකින්න ඇහැ හුරුකරගන්නම වෙනවා...
මතක් කරන්න අවශ්‍ය දෙයක්,
"ක්‍රිකට් විතරක් නෙවෙයි ඕනම ක්‍රීඩාවක් කියන්නේ විඳින්න ඕන දෙයක් මිසක් හැමවෙලේම ජය,පැරදුම කියන කොන් දෙකේ එල්ලිලා ලේ රත් කරගන්න හේතුවක් වෙන දේකට නෙවේ...!"
ඔය කියපු මාදිලිය විතරක් නෙවේ අපේ රටේ තවත් නොයෙක් මාදිලියේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්නවා,
සැලකිය යුතු තරමින් ව්‍යාප්ත වෙන ප්‍රේක්ෂකයින් මාදිලියක් තමයි,
කල්ලිවාදී ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කියන්නේ.
ඒ අයව අඳුනගන්න හරිම ලේසියි.
මොකද එයාලා කැමති ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක්ට විතරයි.
ඒක නම් තමන්ගේ පෞද්ගලික කැමැත්ත නිසා වෙන දෙයක් කියමුකෝ,
අවුල තියෙන්නේ මේ අය තමන් කැමති දෙතුන් දෙනා ඇරෙන්න අනිත් අය ඔක්කෝටම අකමැතියි..!
ඔතනින් වෙන නරකම දේ තමයි ඒගොල්ලන්ට අනිත් හැමදේටම වඩා උවමනාව තියෙන්නේ තමන් අකමැති අය අසාර්ථක වෙනවා බලන්න.
අකමැති අයට කෙළවෙනවා නම් එතනින් එහාට ඕන එකක්.
එහෙම වෙලා ලංකාව මැච් එකක් පරාද උනත් ඒ අයට දැනෙන්නේ නැහැ.
ඒ විතරක් නෙවෙයි,
මේ කැටගරියේ අයට සමාජ මාධ්‍ය වලදි තමන් අකමැති කෙනෙක්ගේ ෆොටෝ එකක් දැක්කත් ඇති,ඒගොල්ලොම එකතු වෙලා සම්මත කරපු අර මඩ නාම වලින් දමලා ගහනවා.
ඔය බහුතරයක් මඩ නාම වල භාගයක් අසභ්‍යයි.
පෞද්ගලිකව මගේ අදහස නම් කොයිතරම් අසාර්ථක උනත් ක්‍රීඩකයොන්ට මඩ ගහන්න ප්‍රේක්ෂකයෙක්ට සදාචාරාත්මක අයිතියක් නැහැ කියන එකයි...
විහිළුවක් කරලා විනෝදයක් ලබන එක වෙනයි,මඩ ගහන එක වෙනයි.
මඩ ගහන මිනිස්සු,තැන් තමන්ගේ ජීවිතයෙන් බැහැර කරන එක කාට උනත් වාසිදායකයි,
මොකද බාල වැඩවලට සම්බන්ධ වීම පරිහානියට පත් වීම ඇරඹෙන්න ප්‍රධාන හේතුවක්.
ටිකක් හිතලා බලන්න,
ෆෝන් එකට ඩේටා කාඩ් එකක් දාගෙන
ගෙදර ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳගෙන මැච් එකක් දිහා බලන් ඉන්න කෙනෙක්,
මිනිස්සු දහස් ගාණක් තමන් දිහා බලාගෙන ඉන්න වෙලාවක අධිවේගෙකින් එන යකඩ වගේ පන්දුවකට මූණදෙන කෙනෙක්ට 'කැඳයෙක්' කියන නම පාවිච්චි කරන එක සාධාරණයිද?
හරි විදියට බැලුවොත් එහෙම නම් පටබඳින අය අර කැඳයොන්ට වඩා කැඳයෝ නෙවෙයිද?
වරදවා වටහාගන්න එපා...!
මේ කියන්නේ ක්‍රීඩකයෝ කරන හැමදේම හරි කියලා හිතන්න කියලා නෙවෙයි.
වැරැද්දක් තියෙනවනම් හංගන්නේ නැතුව සාධාරණ විවේචනයක් කරන්න ඕන කෙනෙක්ට අනිවාර්යයෙන්ම සදාචාරාත්මක අයිතියක් තියෙනවා.
ඒ වගේම තමන්ගේ රටේ ක්‍රිකට් දියුණු කරන්න වචනයකින් හරි දායක වෙන්න හැම ප්‍රේක්ෂකයෙක්ටම යුතුකමක්,වගකීමක් තියෙනවා.
කණ්ඩායම දිනන වෙලාවට විතරක් 'හුරේ' දාන ප්‍රේක්ෂකයින්ගෙන් ඇත්තටම වැඩක් නෑ,
ගොඩක් වෙලාවට සැබෑ ජීවිතයෙදිත් ඒ වගේ අය අනුගමනය කරන්නේ 'වාසි පැත්තට හෝයියා' ක්‍රමය.
සීමිත පිරිසකට විතරක් කැමති වෙලා අනිත් අයට මඩ ගහන්න ඕනමයි කියලා හිතෙන අයට කරන්න පුළුවන් හොඳම දේ තමයි ක්‍රිකට් බලන එක අතෑරලා ටෙනිස්,චෙස්,බැඩ්මින්ටන්,කැරම් වගේ එක්කෙනෙක් හෝ දෙන්නෙක්ගෙන් කරන ක්‍රීඩාවල් තෝරගන්න එක.
"මොකද කවුරුහරි කෙනෙක් ක්‍රිකට් වගේ කණ්ඩායම් ක්‍රීඩාවක් අස්සේ කුඩා කණ්ඩායම් බෙදාගෙන ඒක පස්සේ එලවනවා නම් ඒ කෙනා ක්‍රිකට් බලන්න දන්නේ නෑ...!"
අපේම අයට මඩ ගහලා,
දවස් ගානේ ටීම් මාරු කරන්න කියලා ඉල්ලලා,
අපේ ක්‍රිකට් ගොඩ දාන්න අමාරුයි.
මේ තියෙන තත්වය අනුව නම් ආයේ කාලෙකට අපිට ගොඩ එන්න බෑ.
ගොඩ එන්න නම් ක්‍රියාවලියේ ලොකු වෙනසක් කරන්න වෙනවා.
එහෙම නොකර පැලැස්තර ගහලා කවදාවත් හරි යන්නේ නෑ.
ඒ නිසා අපේ ක්‍රිකට් තවත් වලපල්ලටම ඇදලා දාන්න කාලය වැය කරන් නැතුව ක්‍රිකට් ගැන නොදන්නා දේවල් දැනගන්න ඒ කාලය යෙදෙව්වා නම් අඩුමගානේ තමන්ගේ දැනුම වත් වැඩිදියුණු වේවි.
- හේලිත හෙට්ටිආරච්ච් -
No comments:
Post a Comment