Thursday, February 28, 2019

- කැපවීමේ ප්‍රතිමූර්තිය -

"උනන්දුවා ලොව ජයගත් හැටි"

- පූර්විකාව -

මේ ගෙවෙන කාල වකවානුවත්, ගෙවිච්ච පසුගිය වසර 3ක පමණ කාල සීමාවත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදියට අපිට ඒ තරම් සුබ ඵල ගෙනදුන්න කාලසීමාවන් නම් නෙවෙයි...

ඒ කාරණාව සම්පූර්ණ සත්‍යයක් කියලා කියවන හැමෝමත් ඉස්මුදුනින්ම පිළිගන්නවා කියන කාරණේ ගැන කිසිම සැකයක් මේ ලිපිය ලියන මට නම් නැහැ!

අහන,දකින හැමෝටම වගේ ක්‍රිකට් කියන මාතෘකාව තිත්තම වෙලා...

ක්‍රිකට් කියන වචනේ ඇහුනත් ඇති බහුතරයක් අයට නයාට අඳුකොල පෙන්නුවා හා සමානයි!

ඉස්සර පුරුද්දට කාත් එක්ක හරි ක්‍රිකට් ගැන කතාබහ කරන්න පටන් ගත්තම,

"අපෝ ඔය ක්‍රිකට් මගුළ ගැන නම් කතා කරන්න එපා.වෙන මොනාහරි කියපං..!"

"දැන් කවදා ඉඳන්ද අපි මේ අපේ උන්දැලා ගොඩ යනකන් බලන් ඉන්නේ?

කෝ එන්න එන්න වළපල්ලට යනවා මිසක් ගොඩ ඒමක් පේන්නවත් නෑනේ..."

වගේ බොහොම සෘණාත්මක අදහස් තමයි ආපිට අපිට අහන්න ලැබෙන්නේ.

කොටින්ම කියනවනම් මේ මම උනත් ඒ මාදිලියේම තමයි!

වෙනසක් නෑ...!

ඒත් ඉතින් අර කාන්දමට ඇලෙන යකඩ කෑලි වගේ අපිටත් වෙන එල්ලෙන්න වැලක් නැති නිසාත්, 

බහ තෝරන කාලේ ඉඳලම ඇස් කටේ තියාන බලන එකම ක්‍රීඩාව නිසාත්,

මොන දහංගැටේ ගැහුවත් මේ ක්‍රිකට් කෙරුවාව අපිට අතෑරගන්න බෑ බොලව්!

අන්තෙටම කළකිරුණා උනත් තවමත් අපි බහුතරයක් අයගේ හිත්වල හීනියට අබ ඇටේක තරම්වත් බලාපොරොත්තුවක් තියෙනවා කවදා හෝ,

• අපිටම ආවේනික,

• අපේම මාදිලියේ ක්‍රිකට්

මේ ඇස් වලින් නැවත බලන්න වාසනාවක් තියේවි කියන කාරණේ ගැන.

ඒත් ඉතින් ඒ සුන්දර මොහොත කවදා උදාවේවිද කියන එක ගැන දන්න කවුරුත් මේ මිහිපිට නම් නැහැ...

මේ හැම එකටම ප්‍රධාන හේතුව දැන් ඉන්න උන්ට සැප වැඩියි!

දැන් ඉන්න උන් කිව්වේ ක්‍රිකට් ගහන උන් විතරක් නෙවේ,

ක්‍රිකට් බලන උන්ටත් එහෙම තමයි.

දැන් කාලේ සැටලයිට් වහළේ හයිකරන් ටීවී බලන උන්ට මොන දුකක්ද අපි ක්‍රිකට් බලන්න පටන් ගත්ත කාලේ එක්ක බලනකොට?

ඇන්ටනා කණුව උස්සන් මායි මගේ නැසීගිය තාත්තයි ඒ කාලේ ගොම තැම්බක් වගේ හිටපු ඔය මලයණ්ඩියවත් කිහිල්ලේ ගහගෙන කොයිතරම් නම් දහ දුක් විඳින්න ඇතිද චැනල් එකක් අල්ලගන්න?

අමාරුවෙන් චැනල් එක අල්ලගත්තත් පාඩු නෑ ඒ කාලේ ක්‍රීඩකයෝ ඒ මහන්සියට සාධාරණයක් ඉෂ්ඨ කලා.

ඒ හැමදේම දැන් සුන්දර මතකයන් විතරයි!

ඒත් ඒ සුන්දර මතකයන් තවමත් හිතේ තියෙන නිසා දැනටත් ක්‍රීඩකයෙක්ට ගරහන්න,ඇනුම්පද ලියන්න,කියන්න අපේ ඇඟිලි,දිවවල් නැමෙන්නේ නැහැ.

මොන විදියට පැරදුනත් ක්‍රීඩකයෙක්ට කතා කරන්න ඕන විදියක් තියෙනවා.

දැන් ඉන්න බහුතරයක් පොඩි උන් ඒකවත් දන්නේ නැහැ නොව.

ඒකයි දැන් ඉන්න උන්ට සැප වැඩියි කියලා කිව්වේ...!

කොහොමින් කොහොමින් හරි අදත් මාතෘකාවට එන්න කලින් වෙනදා වගේම හිතේ තියෙන දුක වචන වලට පෙරලිලා මෙතන ලියවිලා.

වටේ යනවා නම් නෙවේ, නොලියා බැරි නිසාම ලියවෙනවා මිසක්.

හරි එහෙනම් අපි දැන් දවසේ කතාවට එමු!

2018 වසර තුල ක්‍රිකට් පිටියේ දක්වපු දක්ෂතා සැලකිල්ලට අරගෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සුපුරුදු පරිදි වාර්ෂික ක්‍රිකට් සම්මාන සඳහා තේරී පත් උන අයගේ නම් මෙවරත් ප්‍රසිද්ධ කලේ මීට දින 2කට වගේ ඉහතදී.

කියන්න සතුටුයි,

ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරපු එකම එක ක්‍රීඩකයෙක්වත් ඒ කිසිම සම්මානයක් සඳහා සුදුසුකම් ලබලා නැහැ.

යම් හෝ අස්වැසිල්ලක් තියෙන්නේ වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට 'දිම්මා' තේරීපත් උන එක ගැන විතරමයි.

‍රට නියෝජනය කරන ක්‍රීඩකයින්ගේ කල්ක්‍රියාව ඒ වගේ දුර්වල මට්ටමක තියෙද්දි,

අපේ රටෙන් බිහිවෙච්ච හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට නම් වසර ගණනකට පස්සේ නැවතත් "වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු" ට හිමි ඩේවිඩ් ශෙපර්ඩ් ශූරතාවය ලබාගන්න හැකියාව ලැබිලා.

මේ පුංචි රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදියට අපිට බොහොම ආඩම්බර වෙන්න පුළුවන්,

"ලෝකේ හොඳම ක්‍රිකට් විනිසුරු"

අපේ රටේ එකෙක් කියන එක ගැන.

හැබැයි ලෝකේ හොඳම ක්‍රිකට් විනිසුරු වෙන්න සුදු තොප්පියක් දාගෙන යුනිෆෝම් එක ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා බෑ.

ඒකට අසීමිත ගණයේ වෘත්තීමය කැපවීමක් තියෙන්න ඕන.

ඒක ගැන අමුතුවෙන් මෙතන ලියන්න ඕන කියලා මම හිතන්නේ නැහැ...!

"2018 වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු"

විදියට තේරී පත් වුන අපේ 'උනන්දුවා'

එහෙමත් නැත්නම්,

"දේශබන්ධු කුමාර් ධර්මසේන"

මහතාගේ ජීවිත කතාව හැකි තරමින් බෙදාහදාගන්නයි මේ ලක ලෑස්ති වෙන්නේ.

- කුමාර් ධර්මසේන මහතාගේ මූලික තොරතුරු -

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් තනතුර දැරූ නැසීගිය H.N ධර්මසේන මහතාට සහ චන්ද්‍රා දහනායක මහත්මියට දාව 

හඳුන්නෙත්තිගේ දීප්ති ප්‍රියන්ත කුමාර් ධර්මසේන උපත ලබන්නේ 1971 වසරේ අප්‍රේල් මස 24 වනදා කොළඹදී.

තම පියාගේ ගුරුහරුකම් මැද ජීවිතය ආරම්භ කල කුමාර් තම පියා සතුව තිබූ නීතිගරුක බව හා අවංක බව නොඅඩුව තම ජීවන රටාවටද එක් කරගැනීම පසුකලෙක ඔහු වෘත්තීමය මට්ටමෙන් අතිසාර්ථකත්වයට පත් වීමට මග හසර විවර කර දුන් බව සිහිපත් කල යුතුම කාරණයක් වන අතර කුමාර් සිප්සතර හදෑරු පාසල වන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයයි.

- පාසල් ක්‍රිකට් ක්‍රීඩා දිවිය -

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුවිශේෂී ගණයේ ක්‍රිකට් තරු රැසකට මූලික අඩිතාලම හා මගපෙන්වීම සිදු කල කොළඹ නාලන්දා විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහල ක්‍රිකට් කණ්ඩායම හා එක්වන කුමාර් 1981 හා 1982 වර්ෂයන් වලදී පිට පිටම පළමු කාණ්ඩයේ වයස අවුරුදු 13න් පහල පාසල් ක්‍රිකට් ශූරතාව දිනූ නාලන්දා විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේද වරක් සාමාජිකත්වය දැරූවෙක්.

පාසල් සමයේදි කුමාර්ට මූලික වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඉගැන්වූ ගුරු පියවරුන් දෙදෙනා වන්නේ නැසීගිය C.H ගුණසේකර (කණිෂ්ඨ) සහ ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් වන අතර නිරන්තරයෙන්ම දැක්වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන් 1987 වසරේදි ඔහුට නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ වරම් හිමිවනවා.

එකල නව යොවුන් කුමාර්ට තිබූ කෙසඟ ශරීර ස්වභාවය නිසා පාසලේදි ඔහුව 

"පැන්සල් කුමාරයා" ලෙස හඳුන්වා ඇති අතර පාසල තුල ඉතා ජනප්‍රිය,මිත්‍රශීලී චරිතයක් වූ කුමාර් කුඩා කල පටන්ම ඉතාමත් උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රීඩාවේ නියැලුණු නිසාවෙන්ම පසුකාලීනව ඔහුට "උනන්දුවා" නම් ලොව සුපතල අනවර්ථ නාමයද පටබැඳෙනවා.

පසුකාලීනව ජාත්‍යන්තර මට්ටමේදි ප්‍රධාන වශයෙන්ම පිටදඟ පන්දුයවන්නෙක් ලෙස වර්ගීකරණයට ලක්වූවත් පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුල ඔහු සුප්‍රසිද්ධව සිටියේ,

• ඉහල තාක්ෂණයෙන් යුත් ප්‍රහාරාත්මක පිතිකරුවෙක්

• නිවැරදි ලෙස පන්දුව යොමුකල පිටදඟ පන්දු යවන්නෙක්

• ඉහල ගණයේ පන්දු රැකීම් දක්ෂතා තිබූ

විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි.

මෙලෙස තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ කුමාර්ගේ පාසල් ක්‍රීඩා දිවිය දෙස නැවත බැලූ කල ඔහුගේ ස්වර්ණමය කාලවකවානුව ලෙස 1989 වර්ෂය හැඳින්විය හැකි අතර එම වසරේදි නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතරවාරයේ ඔහු කඩුළු 100කට වඩා දවාගැනීමට සමත්වීම හේතුවෙන්,

"වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා"

සම්මානය තමන් සතු කරගැනීමට සමත්කම් දක්වනවා.

එමෙන්ම 1989 වසරේ ලබාගත් මෙම සම්මානයට අමතරව ඔහු දෙවරක්ම වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයේ අනූශූරතාවයද දිනාගත් බවත් විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.

සෑමවිටම සටන්කාමී එසේත් නැත්නම් 

"Do or Die" මානසිකත්වයකින් ක්‍රීඩා පිටියට පිවිසි කුමාර් කිසිවිටෙකත් තරඟයක් අත්හැර දැමීමට එකඟ නොවූ ඉතා විශිෂ්ඨ එකාග්‍රතා මට්ටමක් පාසල් මට්ටමේ සිටම පෙන්නුම් කල ක්‍රීඩකයෙක්.

- අන්තර් සමාජ ක්‍රිකට් දිවිය ඇරඹීම හා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීම -

කාලාන්තරයක් තිස්සේම විශිෂ්ඨ දක්ෂතා විදහා දැක්වීමෙන් අනතුරුව 1990 වසරේදි පාසල් ගමන අවසන් කල කුමාර් ඉන් පසුව,

• බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය 

(1988 - 2006 වර්ෂ අතරවාරයේ වරින් වර)

• NCC ක්‍රීඩා සමාජය (1992)

• මොරටු ක්‍රීඩා සමාජය (1994)

නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් දිවිය හා සමානව ක්‍රීඩා සමාජ මට්ටමින්ද දක්ෂතා දැක්වීමට සමත්වෙනවා.

NCC සමාජයට ක්‍රීඩා කිරීම ආරම්භ කිරීමෙන් පසුව වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් කුමාර්ට 1993 වසරේ සැප්තැම්බර් 6 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි වූ අතර ඔහු කණ්ඩායමට එක්වන්නේ ශ්‍රී ලංකාවේ 59වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසයි.

තම මංගල ටෙස්ට් තරඟයේදි සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අසමත් වුවත් කුමාර් කෙරෙහි එකල සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් දැක්වූ අවධානය නම් අඩු වන්නේ නැහැ.

මේ හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමට එක්වී මාස 16ක කාලයක් අවසන් වීමෙන් පසුව 1994 වසරේදි කුමාර් පාකිස්තානයට එරෙහිව එක්දින වරම් ලැබගන්නේ 82වැනි ශ්‍රී ලාංකික එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.

- 1996 ලෝක කුසලාන ජයග්‍රහණය -

එලෙස 1994 වසරේදි එක්දින වරම් ලැබූ කුමාර් 1996 වසරේදි ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මංගල හා එකම පන්දුවාර 50 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ඉමහත් කාර්‍යභාරයක් කල ක්‍රීඩකයෙක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකියි.

මාගේ පෞද්ගලික මතය අනුව නම් 1996 ලෝක කුසලාන තරඟාවලිය පුරාවටම තුන් ඉරියව්වෙන්ම කුමාර් දැක්වූ දක්ෂතා ගොන්න අතරේ ඉහලින්ම තැබිය හැකි දක්ෂතාව වන්නේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරඟයේදි,

"ඉන්දීය කණ්ඩායමේ නායක මොහොමඩ් අසාරුදීන්ව ඔහුගේ නිජබිම වූ කල්කටා ඊඩ්න් ගාඩ්න් පිටියේදීම එකදු ලකුණක් වත් ලබා නොදී දවාලීම" යි.

කුමාර්ගේ පන්දුවක් හමුවේ කුමාර්ගේ අතටම උඩපන්දුවක් ලබා දුන් ඉන්දීය නායක අසාරුදීන්ගේ එම දැවීයාම එතෙක් ඉන්දියාවට වාසි සහගත තත්වයක තිබූ අවසන් පූර්ව තරඟය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කිරීමට හේතු පාදක වූ අතර අවසානයේ කෝපයට පත් ඉන්දීය ක්‍රීඩාලෝලීන් අතින්ම කොල්කටා ඊඩ්න් ගාඩ්න් පිටිය ගිනිබත් වී ක්‍රිකට් ඉතිහාසය තුල කිසිදා නොමැකෙන තරමේ කළු පැල්ලමක් සටහන් වූ ඒ ජුගුස්සාජනක ක්‍රියාවලියේ ආරම්භක වෙඩිමුරය සටහන් වීමට හේතු මූලයද සැපයීය.

- පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වීම හා නැවත ක්‍රිකට් පිටියට පිවිසීම -

1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය දැරූ කුමාර්ට 1998 වසරේ පන්දුව දමාගැසීමේ චෝදනාව එල්ල වූවත් එම චෝදනාවලින් නිදොස් වී නැවතත් ඔහු 2000 වසරේදි ක්‍රිකට් පිටියට පිවිසියේය.

එසේ වුවත් මෙම චෝදනාවට ලක්වීමෙන් අනතුරුව නැවත පැමිණි කුමාර්ට ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය අහිමිවීමද,වරින් වර එක්දින කණ්ඩායමේ සාමාජිකත්වය පමණක් හිමිවීමද ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අකාලයේ හමාර වීමට හේතු වූ ප්‍රධානම සාධක ලෙස දැක්විය හැකියි.

- ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීම -

දශකයකට ආසන්න ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ක්‍රීඩා දිවියක් හමාර කරමින් කුමාර් 2004 වසරේ පෙබරවාරි 25 වනදා ඔස්ට්‍රේලියාවට එරෙහිව තම අවසාන එක්දින තරඟය ක්‍රීඩා කල අතර ඉන් දින කිහිපයකට පසුව 2004 වසරේ මාර්තු 8 වනදා ඔස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරඟයකදී තම ටෙස්ට් ක්‍රිකට් දිවියෙන්ද විශ්‍රාම ලැබුවේය.

ජාත්‍යන්තර මට්ටමෙන් විශ්‍රාම ලැබුවද අන්තර් සමාජ ක්‍රිකට් තරඟ තුලදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කල කුමාර් 2006 නොවැම්බර් මස එම ක්‍රීඩා දිවියද හමාර කරන්නේ ඒ වනවිටත් දේශීය මට්ටමෙන් අරඹා තිබූ ඔහුගේ දිගුකාලීන බලාපොරොත්තුව, 

එනම් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු දිවිය සාර්ථක කරගැනීමේ අධිෂ්ඨානය හිතේ පෙර දැරි කරගෙනයි...!

- වසර ගණනක ක්‍රීඩා දිවිය තුල කුමාර් දැක්වූ දක්ෂතා -

• එක්දින තරඟ 

• පන්දුයැවීම

තරඟ - 141

ඉනිම් - 134

කඩුළු - 138

පන්දුවාරයක් තුල ලකුණු ලබාදීමේ 

සාමාන්‍ය අගය - 4.27

හොඳම පන්දු යැවීම - 37/4

• පිතිකරණය 

තරඟ - 141

ඉනිම් - 87

ලබාගත් මුළු ලකුණු - 1222

ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු - 69*

ඉනිමක ලකුණු ලබාගැනීමේ 

සාමාන්‍යය - 22.62

ප්‍රහාරාත්මක වේගය - 65.03

අර්ධ ශතක - 4

නොදැවී සිටි වාර ගණන - 33

• ලබාගත් උඩපන්දු ගණන - 34

• විශේෂ දක්ෂතා - 

- මංගල තරඟයෙන් පසු ලකුණු නොලබා දැවීයාමෙන් තොරව වැඩිම ඉනිම් ගණනක් පිතිකරණයේ නියැලුනු පිතිකරුවා - 

ඉනිම් ගණන 72 (1994 - 2001)

- 8 වන කඩුල්ල සඳහා හොඳම ශ්‍රී ලාංකික පිතිකරණ සබඳතාවය - ලකුණු 91

(දුලිප් ලියනගේ සමග)


...................................................................................

• ටෙස්ට් තරඟ 

• පන්දුයැවීම

තරඟ - 31

ඉනිම් - 53

කඩුළු - 69

පන්දුවාරයක් තුල ලකුණු ලබාදීමේ 

සාමාන්‍ය අගය - 2.52

ඉනිමකදී හොඳම පන්දු යැවීම - 72/6

තරඟයකදී හොඳම පන්දු යැවීම - 8/183

කඩුළු 5 බැගින් දවාගත් අවස්ථා - 3

• පිතිකරණය 

තරඟ - 31

ඉනිම් - 51

ලබාගත් මුළු ලකුණු - 868

ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු - 62*

ඉනිමක ලකුණු ලබාගැනීමේ 

සාමාන්‍යය - 19.72

ප්‍රහාරාත්මක වේගය - 32.57

අර්ධ ශතක - 3

නොදැවී සිටි වාර ගණන - 7

• ලබාගත් උඩපන්දු ගණන - 14

- ක්‍රිකට් විනිසුරු දිවිය ඇරඹීම -

2006 වසරේදි තම අන්තර් සමාජ ක්‍රිකට් දිවිය හමාර කිරීමටත් මත්තෙන් එම වසරේදි දේශීය මට්ටමෙන් පැවති සරා කුසලානයේ තරඟ කිහිපයක් විනිශ්චය කිරීමෙන් නව දිවියට අත්පොත් තැබූ කුමාර් ධර්මසේන මහතා වසර ගණනක් තිස්සේ පෙර පුහුණුවීම් හා අදාල ශ්‍රේණිගත විභාග වලට සහභාගී වී අදාල සුදුසුකම් සැපිරීමෙන් පසුව තම ජාත්‍යන්තර විනිසුරු දිවිය ආරම්භ කරන්නේ 2009 වසරේදීය.

කුමාර් ධර්මසේන මහතා මූලිකවම විනිසුරු දිවියට එළඹීමට හේතුව වන්නේ වසර ගණනක ක්‍රීඩා දිවිය තුල ඔහු ලබාගත් අත්දැකීම් වලට අනුව ක්‍රීඩාවේ සම්මතයන් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට දායකත්වයක් දැක්වීමට ඔහුට තිබූ දැඩි අවශ්‍යතාවය නිසාවෙනි.

ඔහු තම ජාත්‍යන්තර විනිසුරු දිවිය 2009 වසරේදි ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දඹුල්ලේදි පැවති එක්දින තරඟයකට විනිශ්චයකාරීත්වය ලබාදෙමින් ඇරඹූ අතර ඉන් වසර දෙකකට පසු පැවති ලෝක කුසලානයේ විනිසුරු මඩුල්ලට තේරී පත්වන්නට තරම් කෙටි කලකදී ඔහු ලබාදුන් තීරණ නිවැරදි ඒවා වූ අතර 2011 වසර අවසාන වන විට කුමාර් ධර්මසේන මහතා ඉහළ ගණයේ විනිසුරුවන්ගෙන් සැදුම් ලත්

"Elite Panel of ICC Umpires" විනිසුරු මඩුල්ලට තේරී පත්වන්නේ ඔහු අඛණ්ඩව පවත්වාගත් විශිෂ්ඨ ගණයේ නිරවද්‍යතාවය නිසාවෙනි.

- 2012 වසරේ ලොව හොඳම විනිසුරුට හිමි ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානය හිමිකරගැනීම -

විනිසුරුවරයෙක් ලෙස තම මුල්ම ජාත්‍යන්තර තරඟයට 2009 වසරේදි සහභාගී වූ කුමාර් ධර්මසේන මහතා වසර 3ක් වැනි කෙටි කාලයක් තුලදී ලොව හොඳම විනිසුරුවරයාට හිමි සම්මානය ලබාගන්නට තරම් දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට හේතූන් වන්නේ ඔහු තුල තිබූ අසීමිත කැපවීම හා විනයගරුක භාවය බැව් අමුතුවෙන් කිවයුත්තක් ලෙස මා සිතන්නේ නැත.

2012 වසරේ සිට වර්තමානය වනතුරුම ඔහු ලොව හොඳම විනිසුරුවන් තිදෙනා අතර රැඳී සිටින්නේද එම හේතූන් නිසාවෙන්මය.

කෙසේ වෙතත් ගතවූ වසර ගණනක කාල වකවානුව අතරවාරයේ ඔහු අතින් යම් යම් වැරදි සිදු නොවූ බව පවසනවා නම් එය මුසාවකි..!

එහෙත් එම වැරදි නිවැරදි කරගනිමින් ඔහු තව තවත් වෘත්තීමය වශයෙන් වැඩිදියුණු වෙමින් මුළු ක්‍රිකට් ලෝකයේම පැසසුමට ලක්වෙමින් හා විශ්වාසය දිනාගනිමින් තම විනිසුරු දිවිය, ක්‍රීඩා දිවියටත් වඩා අති සාර්ථකව ඉදිරියට ගෙනයන්නේ ඔහු තුල කවදත් තිබූ වටිනා ගුණාංග නිරන්තරව ප්‍රකට කිරීම නිසා වන අතර ලෝක කුසලාන අවසන් තරඟයකට ක්‍රීඩා කල හා ලෝක කුසලානයක අවසන් තරඟයකට විනිසුරුවරයා ලෙස සහභාගි වීමේ විරල අවස්ථාවද ඔහු 2015 වසරේදි තමන් සතු කරගත්තේය.

- වසර 6කට පසුව දෙවන වරටත් ලොව හොඳම විනිසුරුට හිමි ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානය 2018 වසරේදි හිමිකරගැනීම -

පසුගිය වසර තුල වෘත්තීමය මට්ටමෙන් දැක්වූ දක්ෂතා නිසාවෙන් කුමාර් ධර්මසේන මහතා ලොව හොඳම විනිසුරුට හිමි ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානය දෙවන වරටත් දිනාගත් බව මීට දින දෙකකට පමණ පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කලේය.

- කුමාර් ධර්මසේන මහතාගේ විනිසුරු දිවිය -

• ටෙස්ට් තරඟ - 58 (2010 - 2018)

• එක්දින තරඟ - 89 (2009 - 2018)

• T20 තරඟ - 22 (2009 - 2016)

• විශේෂ දක්ෂතා - 

- ජාත්‍යන්තර තරඟයක විනිසුරුවරයා ලෙස කටයුතු කල ලාබාලතම ශ්‍රී ලාංකිකයා

- ලෝක කුසලාන අවසන් තරඟයක ක්‍රීඩා කල හා ලෝක කුසලාන අවසන් තරඟයකට විනිසුරු ලෙස සහභාගී වූ ප්‍රථම හා එකම වෘත්තිකයා

මෙතරම් ජයග්‍රහණ ගොන්නකට හිමිකම් කීවද කුමාර් ධර්මසේන මහතා යනු බෙහෙවින් සරල,තමා ක්‍රිකට් දිවිය ආරම්භ කල ආකාරය ගැන හොඳ මතකයක් ඇති, මහත්මා ගුණ ඇති ශ්‍රී ලාංකිකයෙකි.

ඔහුගේ අසීමිත කැපවීම ආදර්ශයට ගෙන කටයුතු කරන ඕනෑම කෙනෙකුට වරදින්නට හේතුවක්ද නැත...!

සියල්ලටම පෙර ඔහුව ආදර්ශයට ගත යුත්තේ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ය.

උනන්දුවා මෙන් ඒ සියළුදෙනා තම වෘත්තීය වෙනුවෙන් කැපවෙනවා නම් ජයග්‍රහණයද වැඩි ඈතක නැත...!

නැවත හමුවෙමු!

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment