Thursday, February 28, 2019

- වමත් පාදඟ පන්දු යවන්නෝ "චයිනමන්"ලා වීමට හේතු වූ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Ellis Achong -


කාටද චයිනමන් කෙනෙක් කියන්නේ?

කවුද ඕක ගැන දන්නේ?
ඇත්තම කිව්වොත් හරි උත්තරේ ගොඩක් අය දන්නේ නෑ.
දන්න අයත් දන්නේ බාගෙට.
ඉතින් හිතුනා වමත් පාදඟ පන්දු යවන්නන්ට "චයිනමන්" කියන නම වැටෙන්න හේතු පාදක උන ඒ කතාව ගැන ලියන්න.

1933දී එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟයක් පැවැත්වෙනවා Old Trafford ක්‍රීඩාංගනයේදී.
මේ තරඟයේදී පළමු ඉනිම ක්‍රීඩා කරපු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබාගත්ත ලකුණු 375ට පිලිතුරු දෙන්න එංගලන්ත කණ්ඩායම ඉනිම ආරම්භ කරනවා.

එංගලන්ත කණ්ඩායම ලකුණු 324ක් ලබාගෙන ඉන්න වෙලාවෙදි 6 වෙනි කඩුල්ල දැවී යනවා.

ඊට පස්සේ පිතිකරණයට ක්‍රීඩාංගනයට එන්නේ එංගලන්ත පිතිකරු Walter Robins. Walter අනික් අන්තයේ හිටපු නායක Douglas Jardine එක්ක එකතු වෙලා අගනා ලකුණු 140ක සබඳතාවයක් පවත්වගන්නවා.

මේ සබඳතාවය බිඳ වැටෙන්නේ බටහිර ඉන්දීය වමත් පිටදඟ පන්දු යවන්නෙක් උන Ellis Achong විසින් Walter Robinsට අසාමාන්‍ය ලෙස දඟකැවුනු පාදඟ පන්දුවක් යොමු කරපු නිසා.

Ellis Achong කියන්නේ Trinidad & Tobago දූපතෙන් ආපු චීන සම්භවයක් තියෙන ක්‍රීඩකයෙක්.ඒ වගේම චීන සම්භවයක් තිබුන පලවෙනි ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නෙත් මේ Ellisම තමා.සාමාන්‍යයෙන් Ellis කියන්නේ පිට දඟ පන්දු යවන්නෙක්.තවත් විදියකට කියනවනම් සාමාන්‍යයෙන් ඇඟිලිවලින් පන්දුව දඟ කවන කෙනෙක්.හැබැයි මේ වෙලාවෙදි Ellis විසින් Walterට එවන්නේ මැණික් කටුව යොදාගෙන දඟකවන පාදඟ පන්දුවක්.

Ellis යොමු කරපු මේ පන්දුව නිසා Walter ස්ටම්ප් කිරීමකට ලක්වෙනවා.

එහෙම දැවී ගියාට පස්සේ ආපහු පැවිලියන් එකට යන අතරේ Walter එතන හිටපු Joe Hardstaff Sr. විනිසුරුවරයට කියනවා මෙහෙම,

"අවලං චීනෙක්ගේ බෝලෙකට අවුට් වෙලා යන එකත් හරිම සුන්දරයි"

මේ කතාව ආරංචි උන තවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් උන Learie Constantine අහනවා,

"ඒ කතාව කිව්වේ පන්දු යවන්නටද එහෙමත් නැත්නම් ඒ පන්දු යවන්නා යවපු පන්දුවටද?" කියලා.

Learie කියන්නේ වෘත්තියෙන් නීතිඥයෙක් උන පස්සේ කාලෙක දේශපාලනයටත් යොමුවුන ජනප්‍රිය චරිතයක්.

Walter කියපු දේ නිසාත් Learie අහපු දේ නිසාත් තමයි ඔය කතාව ප්‍රසිද්ධ වෙලා වමත් පාදඟ පන්දුයවන්නන්ට "චයිනමන්" කියන නම වැටුනේ.

තව දෙයක්, වමතින් පාදඟ පන්දු යවපු මුල්ම කෙනා Ellis නෙවේ.මුලින්ම වමතින් පාදඟ පන්දු යවලා තියෙන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Charles Llewellyn විසින්. 

ජය… ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment