Wednesday, February 27, 2019

මාටින් සුදු මහතාගේ ගජ මිතුරා වූ "පපඩම්" පර්සි

"පපඩම්" පර්සි?

මේ වචන දෙක දැක්ක ගමන් ,

"අප්පට සිරි මේන් අපේ පර්සි අංකල්ට අනන් මනන් නම් කියලා කිංඩි දාන එකෙක් ඇවිල්ලෝ..."

කියලා එකපාරට මගේ මුළු පරම්පරාවම මතක් කරලා බනින්න එපා ඉතින්.

ඇයි මම ඒ වචනේ පාවිච්චි කලේ කියන ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යයෙන්ම මේ කතාව කියවලා ඉවරවෙනකොට ඔයාලට දැනගන්න ලැබෙයි..!

අද කතාවට කතා නායකයෝ දෙන්නෙක් ඉන්නවා.

එක්කෙනෙක් පර්සි අබේසේකර මහත්මයා.
මුලින්ම ඒ කතා නායකයා ගැන පොඩ්ඩක් කතා කරමු..!

පර්සි අබේසේකර මහත්මයා එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ පුරෝගාමියා විදියට හඳුන්වන 'පර්සි අංකල්'
කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වුනු තවත් එක්තරා විරල ගණයේ පුරාවෘත්තයක් කියලා කිව්වොත් ඒක හරියටම හරි.

පර්සි අංකල් ලංකාවේ කොඩියත් උස්සගෙන ලෝකේ වටේ ගියේ ලංකාව ලෝක ශූරයෝ උනාට පස්සේ නම් නෙවෙයි.

"ශ්‍රී ලංකා ක්‍රිකට්" කිව්වම මුළු ක්‍රිකට් ලෝකයම සැහැල්ලුවෙන් බාරගත්ත කාල වකවානුවක තමයි පර්සි අංකල් ලංකාවේ ක්‍රිකට් වලට සහය දෙන්න පටන් ගත්තේ.

ඒ දේ කලෙත් කිසිම වාසියක් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි.

කවුරු මොන දේ දෙනවා කිව්වත් පර්සි අංකල් කවදාවත් වෙනස් උනේ නැහැ.

කොහේ ගියත් පර්සි අංකල් හැමදාම මුල්තැන දුන්නේ අපේ රටේ ක්‍රිකට් වලට සහය දෙන කාර්‍යභාරයට තමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුංචිම පුංචි තැනින් පටන් අරගෙන ලෝක ශූරයෝ වනතුරුමත්,
එතනින් පස්සෙත් පර්සි අංකල් තමන්ගේ වගකීම අපේ රටට ඉටුකලේ එක දශමයකින් වත් අඩු කරන්නේ නැතිව.

ඇත්තම කිව්වොත් තමන්ගේ රට වෙනුවෙන් අන්තිම මොහොත වෙනකල්ම එකම විදියට උගුර ලේ රහ වෙනකන් කෑ ගහ ගහ,
ඒ රටේ කොඩියත් උස්සන් හැම තරඟයක්,තරඟයක් ගානේම ගිහින් තමන්ගේ කණ්ඩායමට සහය දෙන ප්‍රේක්ෂකයින් බොහොම අඩුයි.

ඔය හේතුව නිසා ඒ ගතිගුණ හැම එකකින්ම සන්නද්ධ පර්සි අංකල්,
දවසෙන් දවස,ටිකෙන් ටික මුළු ක්‍රිකට් ලෝකයම දන්න,ආදරය කරන ජනප්‍රිය චරිතයක් බවට පත් උනා.

විශේෂයෙන්ම වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩකයෝ බහුතරයක් දෙනා නිතර මුණගැහෙන විහිළු තහලු කරලා සැහැල්ලුවෙන් ජීවත් වෙන පර්සි අංකල් එක්ක හිතවත් වෙන්න පටන් ගත්තා.

පර්සි අංකල් ගැන නම් පුංචි හැඳින්වීමක් කරලා ඉවරයි...!

එතකොට කවුද අනිත් කතා නායකයා?

අනිත් කතා නායකයා වෙනත් රටක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු සුපිරිම ගණයේ ක්‍රීඩකයෙක්.
ඒ සුපිරි ක්‍රීඩකයා මේ කතාවට සම්බන්ධ වෙන්නේ මහත්මාවරුන්ගේ ක්‍රීඩාව වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව මහත්මයෙක් විදියට ක්‍රීඩා කරපු නිරහංකාර පුද්ගලයෙක් වීම නිසා.

ඒ ක්‍රීඩකයා,

නවසීලන්තයෙන් බිහිවුණ සුපිරිම පිතිකරුවෙක් ලෙස සලකන "මාටින් ක්‍රෝ"

මාටින් ක්‍රෝ කියන ක්‍රීඩකයා ගැන මෑතකාලෙදි ක්‍රිකට් බලන්න පටන් අය නම් වැඩිපුර අහලා නැතිවෙන්නත් ඉඩ තියෙනවා.
ඒ උනත් 80/90 දශක වල ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාව බලපු අයට නම් ක්‍රෝ කියන්නේ නුපුරුදු චරිතයක් නෙවෙයි.

මාටින් ක්‍රෝගේ පවුලේ විස්තර කෙටියෙන් කිව්වොත් මාටින්ගේ පවුලේ අය කීපදෙනෙක්ම ක්‍රිකට් වලට සම්බන්ධ ප්‍රසිද්ධ ක්‍රීඩකයින්.
මාටින්ගේ ලොකු අයියා ජෙෆ් ක්‍රෝ නවසීලන්ත ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්.
ඒ වගේම තාත්තා ඩේව් ක්‍රෝ කැන්ටබරි සහ වෙලිංටන් ක්‍රිකට් කණ්ඩායම් වල පළමු පෙළ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්.
ඒ වගේම ඉංග්‍රීසි චිත්‍රපටි බලන ඕන කෙනෙක් හොඳින්ම දන්න 'ග්ලැඩියේටර්' චිත්‍රපටියේ ප්‍රධාන නළුවා රසල් ක්‍රෝ කියන්නෙත් මාටින්ගේ ඥාති සහෝදරයෙක්.

මාටින් කියන්නේ පාසල් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන අතරවාරයේ පාසල් රගර් කණ්ඩායමේ පවා ක්‍රීඩා කරපු අති දක්ෂ ක්‍රීඩකයෙක්.
ඒ වගේම මාටින් කියන්නේ නවසීලන්තයේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න මුල් වුන ක්‍රීඩකයෙක් වෙච්ච ෆ්‍රැන්සිස් ජාවිස්ගේ මී මුණුපුරෙක්.
මාටින්ගේ පවුල් පසුබිම දිහා බලනකොට මාටින්ට ක්‍රීඩාව කියන දේ උපතින්ම පිහිටලා තිබුණු එක ගැන පුදුම වෙන්න ඕන නැහැ.

පවුලේ අනිත් සාමාජිකයින්ටත් වඩා පාසලේදි වගේම පළමු පෙළ තරඟවලදී පෙන්නපු ඉහළ දක්ෂතා නිසාම බොහොම අඩු වයසකදි මාටින්ට ජාතික කණ්ඩායමට එක්වෙන්න අවස්ථාව හිමිවෙනවා.

මාටින් ක්‍රීඩා කල මුල්ම එක්දින ජාත්‍යන්තර තරඟය පැවැත්වෙන්නේ 1982 පෙබරවාරි 13 ඔස්ට්‍රේලියාවට එරෙහිව.
එක්දින වරම් ලැබිලා දින කිහිපයක් ගත උනාට පස්සේ මාටින්ට ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරන්නත් අවස්ථාව උදාවෙනවා.
මාටින් මුලින්ම නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමට එක්වෙන්නේ 1982 පෙබරවාරි 16 වනදා ඔස්ට්‍රේලියාවටම එරෙහිව පැවති තරඟයකදි.
ඒ වෙනකොට මාටින්ගේ වයස අවුරුදු 19ක් විතරයි.
1982දි ජාතික කණ්ඩායමට එක්වෙච්ච මාටින්
බොහොම කෙටි කාලයකින් එහෙමත් නැත්නම් අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුලත මුළු ලෝකයේම අවධානය දිනාගන්න සමත්වෙනවා.
1985 වසරේදි 'වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා'
සම්මානය හිමිකරගත්ත මාටින් ඒ කාල වකවානුවේදි ලෝකයේ සිටි හොඳම තරුණ පිතිකරුවන් අතරේ ඉහලින්ම රැඳී සිටි ක්‍රීඩකයෙක්.

වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩක‍යා සම්මානය ජයග්‍රහණය කරලා අවුරුදු 5කට පස්සේ ඒ කියන්නේ 1990 වසරේදි මාටින්ට නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය හිමිවෙනවා.
මාටින් ක්‍රෝ ඉනිමක ලබාගත්ත වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව නම් බොහොම සුවිශේෂී ගණයේ ලකුණු සංඛ්‍යාවක්.

"ඒකට හේතුව ඔහු ත්‍රිත්ව ශතකය පෙනි පෙනී අවාසනාවන්ත ලෙස ලකුණු 299කට දැවීයෑම"

ඔහුගේ අවාසනාවන්තකම නිසා ඔහු ලකුණු 299කට දැවී ගියත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් වෙච්ච අපේ අවාසනාවකට ත්‍රිත්ව ශතකය පෙනි පෙනී දැවීයන්න පෙරාතුව ලබාගත්ත ඒ ලකුණු 299 ඔහු වාර්තා කරන්නේ 1991 වසරේදි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව.
මේ ලකුණු 299ට අමතරව මේ තරඟයේදි ඒ කාල වකවානුවේ ටෙස්ට් තරඟයක වාර්තා වෙච්ච හොඳම සම්බන්ධතාවය විදියට වාර්තා පොත් වල කාලාන්තරයක් සටහන් වෙලා තිබුණු ලකුණු 467ක සම්බන්ධතාවය ඇන්ඩෲ ජෝන්ස් එක්ක එකතුවෙලා පිහිටවන්නත් මාටින් සමත්වෙනවා.

ඒ විතරක් නෙවෙයි,

ලකුණු 467ක යෝධ ලකුණු සබඳතාවය වාර්තා කිරීමෙන් වසරක කාලයක් ගත උනාට පස්සේ පැවත්වෙච්ච 1992 බෙන්සන් & හෙජස් ලෝක කුසලානයේ තරඟාවලියේ වීරයා වෙන්නෙත් මාටින් ක්‍රෝම තමයි.

මම මාටින්ට 'සුපිරි' ගණයේ ක්‍රීඩකයෙක් කියලා කියන්න හේතුව දැන් නම් ඔයාලට පැහැදිලි වෙනවා ඇති.
මේ ලිපියේ මාටින් දක්වපු දක්ෂතා සියල්ලම නම් ලියන්න බලාපොරොත්තුවක් නෑ.
ඒ උනත් මාටින් ගැන නොදන්නා කෙනෙක්ට මම කරපු කෙටි හැඳින්වීමෙන් යම්කිසි අවබෝධයක් නම් ලැබෙන්න ඇති කියලා නම් විශ්වාස කරනවා...!

අද ලිපියට අදාල කතාවේ කතා නායකයෝ දෙන්නා ගැනම හැඳින්වීමක් කරලා පසුබිම හදලා නම් අහවරයි!

කතා නායකයෝ දෙන්නාගේම පසුබිම දැනගත්තා උනත් රටවල් දෙකක හාත්පසින්ම වෙනස් පසුබිම් වලින් බිහිවෙච්ච,

'සුපිරි ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්' වුන
- පර්සි අංකල් -

සහ

'සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්' වුන
- මාටින් ක්‍රෝ -

ගජ මිතුරන් උනේ කොහොමද කියන එක දැනගන්න තමයි කියවන හැමෝම මේ වෙනකොට බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ.

එහෙනම් තවත් වෙලාව වැය නොකර ඒ ම්ත්‍රත්වය ආරම්භ උන හැටි ලියන්නයි මේ ලෑස්තිවෙන්නේ.

පර්සි අංකල්ට මුලින්ම මාටින්ව මුණගැහෙන්නේ 1984 වසරේ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදි.
1984 වසරේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම බොහොම ශක්තිමත්, සුපිරි ගණයේ ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක්.
මේ කාලවකවානුවේ සර් රිචඩ් හැඩ්ලි පවා නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩා කලා කියන එක අමතක කරන්න බැරි කාරණයක්.

1984 වසරේදි වයස අවුරුදු 21ක තරුණයෙක් විදියට ශ්‍රී ලංකාව සංචාරය කරපු මාටින් දිනපතා ක්‍රීඩාංගණයට ඇවිත් තනියම මහන්සිවෙන පර්සි අංකල්ට තිබුණු ජාතික හැඟීම,කැපවීම ගැන බොහොම පැහැදෙනවා.
1984 සංචාරයේදි ඒ තරම් දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගුණේ නැති උනත් මේ පුද්ගලයින් දෙන්නා අතර අන්‍යොන්‍යය සුහදත්වය ඇතිවීම පටන් ගන්නේ මේ සංචාරයේදි.

1984 වසරේ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් වසර 2ක් ගතවුනාට පස්සේ 1986 වසරේදි නැවතත් නවසීලන්තය ශ්‍රී ලංකාව සංචාරය කරනවා.
ඒ ශ්‍රී ලංකාව - නවසීලන්තය - පකිස්තානය අතර පැවත්වුන ජෝන් ප්ලේයර් තුන්කොන් එක්දින තරඟාවලියට.

1984 වසරේදි ආරම්භ වෙච්ච මේ පුද්ගලයින් දෙන්නාගේ අන්‍යොන්‍යය සුහදත්වය දැඩි මිත්‍රත්වයකට පරිවර්තනය වෙන්නේ 1986 වසරේ පවත්වපු මේ සංචාරයේදි කිව්වොත් ඒක හරියටම හරි...!

තමන්ට සුපුරුදු විදියට ජෝන් ප්ලේයර් තුන්කොන් තරඟාවලියට අදාලව පැවැත්වෙච්ච තරඟ සියල්ලම නරඹන්නත් පර්සි අංකල් ක්‍රීඩාපිටියට පැමිණෙනවා.
ක්‍රීඩා පිටියට ඇවිත් කලින් සංචාරයේදි වගේම මේ සංචාරයේදිත් අබමල් රේණුවක වෙනසක් නැතිව පුදුමාකාර ජාතික හැඟීමක් ඇතිව තමන්ගේ රටට සහය දෙන්න කට්ට අව්වේ කෑගහලා මහන්සිවෙන පර්සි අංකල්ව මාටින් ක්‍රෝට කීපසැරයක්ම මුණගැහෙනවා.
තමන්ට කිසි ලාභ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති බව දැන දැන පර්සි අංකල් තමන්ගේ රට වෙනුවෙන් මහන්සි වෙන හැටි දැක්කම මාටින් කලින් සැරේටත් වඩා වැඩිපුර පර්සි අංකල්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදෙනවා.

මේ විදියට පර්සි අංකල් කොයිතරම් මහන්සිවෙලා සහය දුන්නා උනත් අවාසනාවකට මේ තුන්කොන් තරඟාවලියේ අවසාන තරඟයට සුදුසුකම් ලබන්න සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ නම් නෑ.
1986 අප්‍රේල් 7 වනදා SSC පිටියේදි පකිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්වුන අවසාන තරඟය ජයගන්න සමත්වෙන්නේ පකිස්තාන කණ්ඩායම ව්සින්.
ජෝන් ප්ලේයර් තුන්කොන් එක්දින තරඟාවලියේ ශූරතාවය පකිස්තානයට හිමි වුනත් අවසාන තරඟයේ වීරයා සම්මානය දිනාගන්න සමත් වෙන්නේ පන්දු 84කට ලකුණු 75ක් ලබාගෙන සටන්කාමී ඉනිමක් දියත්කරපු මාටින් ක්‍රෝ විසින්.

කාලාන්තරයක් තිස්සේ පර්සි අංකල්ගේ හැසිරීම දිහා බලන් උන්න මාටින්ට හිතෙනවා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව තමන්ගේ රට වෙනුවෙන් මහන්සි වෙන පර්සි අංකල්ව ඇගයීමක් විදියට තමන්ට ලැබුණු මේ කුසලානයත්,ත්‍යාග මුදලත් ඔහුට ලබාදෙන්න.

*මාටින් ක්‍රෝ විසින් 1986 වසරේ ජෝන් ප්ලේයර් තුන්කොන් තරඟාවලියේ අවසාන තරඟයේ වීරයා කුසලානය පර්සි අබේසේකරට ලබාදුන් අවස්ථාවේ ඡායාරූපය ලිපියට අමුණා ඇත.

මාටින් තමන්ට ලැබුණු සම්මානයත්,
ත්‍යාග මුදලත් පර්සි අංකල්ට දුන්නා උනත් පර්සි අංකල් මුදල් ත්‍යාගය භාරගන්නේ නැහැ.

ඒ විතරක් නෙවෙයි,

මාටින් ලබාදුන්න කුසලානය පවා පර්සි අංකල් භාරගන්නේ ඔහු ශ්‍රී ලංකාවෙන් පිටවෙන්න කලින් ආපිට ලබාදෙන පොරොන්දුව උඩ.
මොකද පර්සි අංකල් දැනගෙන හිටියා මේ කුසලානය පෞද්ගලිකව මාටින්ට බොහොම වටිනා සිහිවටනයක් කියන කාරණය ගැන.

ඉතින් මේ විදියට තමන් ලබාදීපු පොරොන්දුව ඉෂ්ඨ කරන්න පර්සි අංකල් මාටින් ලබාදීපු කුසලානයත් අරගෙන ඔබරෝයි හෝටලයට යන්නේ නවසීලන්ත කණ්ඩායම ලංකාවෙන් පිටත්වෙන්න හරියටම දවසකට කලින්.
පර්සි අංකල් ඔබරෝයි හෝටලයට යන වෙලාවෙදි දකිනවා මාටින් ක්‍රෝ,සර් රිචඩ් හැඩ්ලි එක්ක සිදත් වෙත්තමුණි දහවල් ආහාරය සඳහා කෑම මේසයේ වාඩිවෙලා ඉන්න හැටි.

පර්සි අංකල්ව දැකපු මාටින් පර්සි අංකල්ටත් දහවල් ආහාරය ගන්න එකතුවෙන්න ආරාධනා කරනවා.

මාටින් කරන මේ ආරාධනාව පර්සි අංකල් භාරගන්නේ නෑ.

මේ ක්‍රීඩකයින් තිදෙනා අතරට ගිහින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා කරන්න අකමැති නිසා පර්සි අංකල් එහෙම කලා උනත් පර්සි අංකල්ට මාටින් ක්‍රෝ,සර් රිචඩ් හැඩ්ලි එක්ක යම් කාලයක් ගතකරන්න ඉඩදෙන අදහසින් සිදත් වෙත්තමුණි මහත්මයා එතනින් පිටත් වෙනවා.
සිදත් වෙත්තමුණි මහත්මයා එතනින් පිටත් උනාට පස්සේ පර්සි අංකල් රැගෙන ආපු කුසලානය නැවත මාටින්ට ලබාදෙන්න උත්සහා කලත් මාටින් කුසලානය නැවත භාරගැනීම එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා.

කුසලානයත් නැවත එපා කියපු මාටින් කෑම මේසයෙන් නැගිටලා තමන්ගේ කාමරයට ගිහින් ඔහු මුල් ටෙස්ට් තරඟ 10දි පාවිච්චි කරපු තොප්පිය අරගෙන ඇවිත් ඒ තොප්පිය මතක සටහනක් විදියට පර්සි අංකල්ට ලබාදෙනවා.
මාටින් ඒ විදියට තමන්ගේ වටිනා දේවල් පර්සි අංකල්ට ලබාදෙන අතරවාරයේ සර් රිචඩ් හැඩ්ලිත් නිකන්ම ඉන්නේ නෑ.
සර් හැඩ්ලි පර්සි අංකල්ට නවසීලන්ත කණ්ඩායමේ නිළ ටයි පටියක්,
ක්‍රීඩකයින් විසින් අත්සන් යොදන ලද නවසීලන්ත කණ්ඩායමේ වර්ණ ඡායාරූපයක් ලබාදෙනවා.

මේ ලැබිච්ච තෑගි නිසා පුදුම වෙන පර්සි අංකල් නවසීලන්ත ක්‍රීඩකයින්ගෙන් අහනවා,

"ඇයි ඔයාලා මේ තරම් තෑගි මට දෙන්නේ?"

කියන ප්‍රශ්නය.

ඒ ප්‍රශ්නෙට උත්තරේ විදියට නවසීලන්ත ක්‍රීඩකයොන්ගෙන් පර්සි අංකල්ට අහන්න ලැබිලා තියෙන්නේ,

"ඒ ඔබේ ක්‍රීඩාශීලිත්වය,මහත්මාගුණය,
සත්කාරත්වය හා දේශප්‍රේමී ගතිගුණ නිසා"

කියන වචන ටික.

1986 වසරේ ජෝන් ප්ලේයර් තුන්කොන් එක්දින තරඟාවලිය වෙනුවෙන් සංචාරය කලාට පස්සේ නැවතත් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සංචාරය කරන්නේ 1992 වසරේ ලෝක කුසලානය පැවැත්වුනාටත් පසුකාලීනව.
නැවත ලංකාව සංචාරය කරන මාටින් පර්සි අංකල්ට 1992 ලෝක කුසලාන තරඟයකදි තමන්ට ලැබුණු තරඟයේ වීරයා සම්මානයක් පවා අරගෙන එනවා.
රන්,රිදී මිශ්‍ර බොහොම වටින මේ සම්මානය පර්සි අංකල්ට දීපු මාටින් පර්සි අංකල්ගේ සමරු සටහන් පොතේ 1992 ලෝක කුසලාන තරඟාවලිය ගැන සටහනක් තියනවා.
ආසන්න වශයෙන් ඒ සටහන සිංහලට පරිවර්තනය කලාට පස්සේ කියවෙන්නේ මේ විදියට,

දයාබර පර්සි පපඩම්,
නවසීලන්තය ඉන්නේ උඩින්,
ශ්‍රී ලංකාව ඉන්නේ පහලින්,
පර්සි ඉන්නේ පැත්තකින්,
උඩින් එකක් ඇරෝ කියමින්,

ඔබ නියම පුද්ගලයෙක්...!

මේක දැකපු පර්සි අංකල් මාටින්ගෙන් අහනවා තමන්ව 'පපඩම්' කියලා හඳුන්වන්න හේතුව මොකද්ද කියලා.

මාටින් පර්සි අංකල්ට කියනවා,

"ඒ ඔයා හැමවෙලේම ග්‍රවුන්ඩ් එකේ කර කර ගාන සද්දෙන් කෑගහන නිසා" කියලා.

මේ දෙන්නගේ අපූරු මිත්‍රත්වය මාටින් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ උනත් නතර වෙන්නේ නැහැ.
දිගින් දිගටම ඊමේල් පණිවුඩ වලින්,දුරකතනයෙන් මේ දෙදෙනා මිත්‍රත්වය පවත්වාගෙන යනවා.
පසුකාලීනව විස්තර විචාරකයෙක්,ක්‍රීඩා ලේඛකයෙක්,පුහුණුකරුවෙක් විදියට මාටින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන නිසා පර්සි අංකල් පුළුවන් හැම අවස්ථාවකම මාටින්ව මුණගැහෙන්නත් අමතක කරන්නේ නැහැ.

ඒත්,

2014 සැප්තැම්බර් 23 වනදා පර්සි අංකල්ට මාටින්ගෙන් ඊමේල් පණිවිඩයක් ලැබෙනවා.
මේ ඒ පණිවිඩයේ සිංහල පරිවර්තනය.

"දයාබර පර්සි පපඩම්,

මේ අවුරුද්ද ශ්‍රී ලංකාවට අති සාර්ථක අවුරුද්දක්.

සුපිරි ජයග්‍රහණ රැසක්,
ආදර්ශමත් නායකත්වයක්,
අති ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් දෙපළකට සුවිශේෂී නික්මයෑමක්.

ඒ විතරක් නෙවෙයි.

මේ ලෝකේ මොන ක්‍රිකට් ප්‍රේක්ෂකයාටත් වඩා හොඳින් සුපුරුදු විදියටම අදත් ඔබ පිටිය මායිමේ ආඩම්බරයෙන්,උජාරුවෙන් ඔබේ කණ්ඩායමට සහය දෙන හැටි ඕන කෙනෙකුට ලේසියෙන්ම බලාගන්න පුළුවන්.

ඔබ තමා ලෝකේ අංක 1 ක්‍රිකට් ප්‍රේක්ෂකයා.

නත්තල් කාලය ලං වෙනකොට මගේ දෛවය අනුව මට මේ සේරම දේවල් අතෑරලා දාල යන්න වෙලාව ඇවිත් තියේවි.

ඒත් මම ආඩම්බරයි,

මම හොඳ තාත්තා කෙනෙක්,
හොඳ ස්වාමියෙක්,
හොඳ දරුවෙක්,
හොඳ සහෝදරයෙක්,
හොඳ යහළුවෙක්,

විදියට මගේ ජීවිත කාලය ගතකරපු එක ගැන.
බොහොම ස්තූතියි ඔබ හැමදාමත් මට කරපු උදව් වලට.
මම ගැන හිතලා ඔබ දුක් වෙන්න එපා..!

ලෝකේ අංක 1 ක්‍රිකට් ප්‍රේක්ෂකයා විදියට දිගටම රැඳී සිටින්න...!"

- මාටින් ක්‍රෝ -

පර්සි අංකල්ට අදහා ගන්න බැරි උනා මේ පණිවිඩය.

2012 වසරේදි මාටින් ලිම්ෆෝමා නම් ලේ පිළිකාවට ගොදුරු වෙනවා.
නමුත් 2013 වසර වගේ වෙනකොට එයින් ඔහු සුවය ලබනවා.
ඒත් අවාසනාවන්ත විදියට 2014 වසරේදි මේ ලේ පිළිකාව නැවතත් ඔහු සොයා එනවා.

2014 වසරෙන් පස්සේ පර්සි අංකල් මාටින් වෙනුවෙන් බෝධි පූජා පවා පවත්වමින් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා ක‍රමින් නිතරම ආගමික වතාවත් සිද්ධ කරනවා.

ඒත් අවාසනාවන්ත ලෙස මේ ලේ පිළිකා රෝගය නිසා මාටින් 2016 වසරේ මාර්තු 3 වනදා අකාලයේ මෙලොව හැරයනවා.
ඒ වනවිට ඔහුට වයස අවුරුදු 53ක්.

ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ බිහිවුණ අග්‍රගණ්‍ය පිතිකරුවෙක් විදියට මාටින් ක්‍රෝ නාමය හැමදාමත් ඉහලින්ම වැජඹේවි...!

වයස අවුරුදු 83ක් වන ලෝකේ හොඳම ක්‍රිකට් ප්‍රේක්ෂකයා පර්සි අංකල් අදටත් මාටින්ගේ අවසාන ඉල්ලීම ක්‍රීඩාංගනය මායිමේ සිට තමාට හැකි උපරිම ආකාරයෙන් ඉටුකරන හැටි වරින් වර අපිට දකින්න ලැබීමත් කොයිතරම් නම් භාග්‍යයක්ද?

පර්සි අංකල් ඔබට දීර්ඝායුෂ ලැබේවා...!

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment