Thursday, February 28, 2019

සැබෑ නායකත්වය ගැන අපූරු කතාවක්!


අද මේ ලියන ලිපිය ඈඳෙන්නේ 96 ලෝක කුසලාන ජයග්‍රහණයට...

හැබැයි හදිස්සියෙම මේක ලියන්න අදහස් කලේ මේ කතාව වෙන කොයිදාටත් වඩා හොඳින්ම ගැලපෙන්නේ වර්තමාන කාල සීමාවට කියලා මට හිතෙන නිසා.

ඒක එහෙම වෙන්නේ ඇයි කියලා කතාව කියවලා ඉවරවෙනකොට කියවන හැමෝටමත් අවබෝධ වෙයි කියන එක ගැන මට හොඳින්ම විශ්වාසයි!

සමහරක් අය නම් මේ කතාව අහලත් ඇති.
ඒ උනත් බහුතරයක් අය මේ ගැන දැනුවත් නෑ.

ඒ අය වෙනුවෙනුයි මේ කතාව ලියවෙන්නේ.

එහෙනම් අද කතාව ආරම්භ කරන්න අවසරයි!

එදා මෙදාතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හිටපු 

"හොඳම නායකයා"
කවුද කියන ප්‍රශ්නය කවුරුහරි ඇහුවොත් ඒකට මගේ උත්තරේ වෙන්නේ "මහේල ජයවර්ධන"
කියන නම.

මම එහෙම කියන්නේ හේතූන් ගණනාවක්ම පාදක කරගෙන.

හැබැයි කවුරුහරි ඇහුවොත් ශ්‍රී ලංකාව 
කියන පුංචි රටේ මිනිස්සු ක්‍රිකට් ගහන විදිය

"ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සම්මතකරණය"

කරපු එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පියා විදියට හඳුන්වන්න පුළුවන් නායකයා කවුද කියලා අනිවාර්යයෙන්ම මගේ උත්තරේ වෙන්නේ,

"අර්ජුන රණතුංග" 

කියන අසහාය ක්‍රිකට් ක්‍රීඩකයාගේ නම.

අර්ජුන කියන කෙනා නොහිටියා නම් අපේ ක්‍රිකට් ඉතිහාසය මීට වඩා වෙනස්වෙන්න ඕන තරම් ඉඩ තිබුණා.

යුග දෙකක ක්‍රීඩා කරපු මේ නායකයෝ දෙන්නම සම්පත් කළමනාකරණය කියන නිර්ණායකය යටතේ ගත්තම ක්‍රිකට් ඉතිහාසය පුරාවටම අපිට හිටපු හොඳම නායකයෝ දෙන්නා. 

හැබැයි මහේලට සාපේක්ෂව අර්ජුනට තිබුණු සම්පත් බොහොම අඩුයි.

ඒ වගේම මහේලත් එක්ක බැලුවම අර්ජුන යටතේ ක්‍රීඩා කරපු කණ්ඩායමේ පසුබිමත් බොහොම වෙනස්.

ඒවා එකින් එක ගැන මෙතන ලියලා කතාව දිග්ගස්සලා තේරුමක් නෑ කියලා හිතෙනවා.
මොකද ඒ දේවල් බොහොමයක් ගැන අපි හැමෝම හොඳින් දැනුවත්.

මීට වසර 23කට කලින් අපේ කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කලා උනත් අදාල තරඟාවලිය පටන් ගන්න කලින් 
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කරයි කියලා විශ්වාස කරපු අය නම් හිටියේ බොහොම අඩුවෙන්.
"කෙප්ලර් වෙසල්ස්" වගේ සුළුතරයක් අය ඇරෙන්න අනිත් හැමෝම අපිව සැහැල්ලුවට අරගෙන තිබුණා කිව්වොත් ඒක වැරදි නෑ.
ඉතින් ඒ තරමින් අඩුතක්සේරුවකට ලක්වෙච්ච අපේ කණ්ඩායම ලෝක ශූරයෝ බවට පත්වීම එදා මෙදාතුර මුළු ක්‍රිකට් ඉතිහාසය තුල සිද්ධවෙච්ච 
"විශාලතම පෙරළිය" කියන එක කාට උනත් වර්තමානයේදි පවා පිළිගන්න වෙන කාරණයක්.

ඒ කොහොම උනත් අර්ජුන ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කලේ මල් මාවතක ඇවිදගෙන ගිහින් නම් නෙවේ.

අද කාලේ වගේ නම් නෙවෙයි ඒ කාල වකවානුවේදි අපේ කණ්ඩායමට අවශ්‍ය ප්‍රතිපාදන,පහසුකම් තිබ්බේම නැති තරම්.
හරියට පුහුණුකරුවෙක් වත් නොහිටපු අපේ කණ්ඩායමට පුහුණුකරුවෙක් බඳවාගන්න අවස්ථාවේදි 1996 ලෝක කුසලානයට දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරන්න තරම් කාලය ඉතිරිවෙලා තිබුණේ නැහැ.

ඒ විතරක් නෙවෙයි...

1996 ලෝක කුසලාන තරඟාවලියට පෙරාතුව අර්ජුන,අරවින්ද කියන ක්‍රීඩකයින් දෙදෙනා හැරුණුකොට අපේ කණ්ඩායමේ නම්දරාපු ක්‍රීඩකයින් හිටියේම නැතිතරම්.

ඉතින් එහෙම බැලුවම අපි ලෝක කුසලානය ජයග්‍රහණය කරයි කියලා කවුද හිතන්නේ?

කවුරුවත් බලාපොරොත්තු නොවුන විදියට ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම කණාවට එහෙමත් නැත්නම් අහඹුවකින් සිද්ධ උන දෙයක් නම් නෙවෙයි.

අනෙකුත් රටවලට සාපේක්ෂව පහසුකම්,ප්‍රතිපාදන,තාක්ෂණික සහය අඩුවෙන්ම තිබිලත් අපි ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න හේතු ගණනාවක්ම පාදක උනා.

මගේ මතය අනුව ඒ හේතූන් වලින් කිහිපයක් පහතින් සඳහන් කරන්න හිතුවේ ඒ ගුණාංග වර්තමානයේ දකින්න ලැබෙන්නේ නැති තරමට දුර්ලභ ඒවා නිසයි.

- 1996 ලෝක කුසලානය ජයග්‍රහණයට මූලික වූ හේතූන් -

• කණ්ඩායමේ සාමාජිකයින්ගේ හැකියාවන් පිළිබඳවත් එම හැකියාවන් නිසි ලෙස යොදාගත යුතු ආකාරය පිළිබඳවත් කණ්ඩායමේ නායකයා තුල තිබූ අවබෝධය.
• විනය,කණ්ඩායම් හැඟීම හා කණ්ඩායමේ සියළුදෙනාම එකම අරමුණක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම.
• පෞද්ගලික දක්ෂතා වලට මුල්තැන දීමට වඩා කණ්ඩායමේ අරමුණ සාර්ථක කරගැනීමට එකමුතුව කටයුතු කිරීම.
• "Out of the box thinking" එසේත් නැත්නම් සීමා මායිම්වලට කොටු නොවී වෙනස් මාදිලියේ යෝජනා,තීරණ ක්‍රියාත්මක කිරීම.
• බාහිර යමක් අනුකරණය කිරීම වෙනුවට අපිටම ආවේනික ශෛලියක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය පෙරළිකාර තීරණ ලබාගැනීම.
• වාණිජමය වශයෙන් ලැබෙන වාසි සහගත තත්ව ගැන නොසිතා 'තමාට පෙර රට' සංකල්පය යටතේ ක්‍රීඩා කිරීම.
• නිරන්තරයෙන් වැරදි නිවැරදි කරගැනීම හා අසීමිත කැපවීම.
• කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට අනෙකුත් ක්‍රීඩකයින් දැක්වූ ගෞරවය හා එකිනෙකා පරයා සටන් කිරීම වෙනුවට තමාට බාරදුන් වගකීම ඉෂ්ඨ කිරීම වෙනුවෙන් අවධානය යොමු කිරීම.
• බාහිර බලපෑම් වලදි කණ්ඩායමේ නායකයා කණ්ඩායම වෙනුවෙන් ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීම.

කණ්ඩායමක් විදියට මේ වගේ වටිනා ගුණාංග රාශියක් පවත්වා ගැනීමම අනිවාර්යයෙන් ජයග්‍රහණයට මූලික අඩිතාලම දැමීමක්.

96 ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කරපු අපේ කණ්ඩායමේ මූලික සැලැස්ම වෙලා තිබුණේ තරඟාවලියේ අර්ධ අවසාන තරඟ වටයට සුදුසුකම් ලැබීම.
එතනින් එහාට යන්න අවලැබුනොත් ඒක අතිරේකව ලැබෙන වාසියක් විදියට තමයි මූලික අවස්ථාවේදි තීරණය කරගෙන තිබුණේ.
හැබැයි ඉතින් ඔය කියලු මූලික අරමුණ ගැන අඬබෙර ගහලා ප්‍රසිද්ධ කරන්න තරම් මොළේ අමාරුවක් ඒ මිනිස්සුන්ට තිබුණේ නැහැ.

මම ටිකකට කලින් සඳහන් කලා කණ්ඩායමේ නායකයාට කණ්ඩායමේ සාමාජිකයින්ගේ හැකියාවත් ඒ හැකියාවන් නිසි ආකාරයෙන් යොදාගන්න ආකාරය ගැනත් හොඳ අවබෝධයක් තිබීම අපේ ජයග්‍රහණයට දායක උනා කියන එක.
ඒ කාරණය තහවුරු කරන්න පුළුවන් හොඳම උදාහරණය ගැනයි මේ කියන්න ලෑස්ති වෙන්නේ.

අපි හැමෝම දන්නවා 96 ලෝක කුසලානයේදි සනා - කලූ සුසංයෝගය ක්‍රීඩා කරපු ශෛලිය නිසා ක්‍රිකට් ක්‍රීඩාව සදහටම වෙනස් උන හැටි.

ඒ වෙනස ඇතිකරන්න මූලිකම හේතුව උනේ අර්ජුන කියන නායකයාගේ තිබුණ පෙරළිකාර මානසිකත්වය.

අර්ජුන,දුලිප් මෙන්ඩිස් මහත්මයා ඇතුළු පිරිසක් එක දවසක රාත්‍රී ආහාරය ගන්න කලින් අපේ වචනයෙන්ම කියනවනම් ‍පොඩ්ඩක් සෙට් වෙනවා.

දැන් ඉතින් මගෙ ඇඟට ගොඩ වෙන්න එපා ඒ කාලේ මිනිස්සු එහෙම සෙට් උනේ නෑය අනන් මනන් කියාගෙන.

ඒ කාලේ මිනිස්සුත් ඒ දේවල් කලා හැබැයි ඒක තමන්ගේ වගකීම ඉටු කරන්න බාධාවක් කරගත්තේ නෑ.

ඉතින් මේ සෙට් වෙලා ඉන්න අතරවාරයේ අර්ජුනගේ හිතට එනවා බොහොම රැඩිකල් සිතුවිල්ලක්.

ඒ සිතුවිල්ල තමයි ඒ වෙනකොටත් ආරම්භක පිතිකරුවා විදියට කටයුතු කරපු සනාගේ සහයට කලූව යොදාගන්න එක.
මේක අර්ජුන මුලින්ම කියන්නේ දුලිප් මෙන්ඩිස් මහත්මයාට.

මේක අහපු දුලිප් මෙන්ඩිස් මහත්මයා අර්ජුනට කියනවා අපි ඕක ගැන හෙට උදේට කතා කරමුය කියලා.
එහෙම කියන්නේ අර්ජුන ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි කියලා මෙන්ඩිස් මහත්මයා හිතපු නිසාලු.

ඉතින් ඊළඟ දවසේ උදේ නැවතත් අර්ජුන යනවා මෙන්ඩිස් මහත්මයා එක්ක මේ කාරණේ ගැන සාකච්ඡා කරන්න.
එවෙලේ ගිහින් ඇහුවම ඇත්තටම මෙන්ඩිස් මහත්මයාට පහුගිය දවසේ රෑ එහෙම දෙයක් ගැන කතා කලා කියලවත් මතකයක් 
තිබිලා නැහැ.

ඒ කියන්නේ ඇත්තටම හොඳ සිහියෙන් ඉඳලා නැත්තේ අර්ජුන නෙවේ මෙන්ඩිස් මහත්මයා. 

කොහොමින් හරි මෙන්ඩිස් මහත්මයත් මේ යෝජනාවට එකඟ කරවගත්ත අර්ජුන එවකට අපේ කණ්ඩායමේ පුහුණුකරුවා වෙච්ච ඩේව් වට්මෝර් එක්කත් මේ ගැන සාකච්ඡා කරනවා.

මුලදි නම් වට්මෝර් මේකට කොහෙත්ම එකඟ වෙලා නැහැ.

ඒකට හේතුව කලූ ඒ වකවානුවේ මැදපෙළ පිතිකරණයේදි ඉහල දක්ෂතා පෙන්වීම.
හොඳින් දක්ෂතා දක්වන පිතිකරුවෙක්ගේ පිතිකරණ ස්ථානය මාරු කරලා දැනට තියෙන දක්ෂතාවයත් නැතිවෙයි කියලා වට්මෝර්ට සැකයක් තිබුණත් අවසානයේ කොහොමහරි අර්ජුන වට්මෝර්වත් වැඩේට කැමති කරවගන්නවා.

වැඩේට අවශ්‍ය පසුබිම සකස්කරගත්ත අර්ජුන, සනා - කලූ දෙන්නට එකම එක වගකීමක් බාරදෙනවා.

ඒ තමයි ඉනිම් 15කදී ලකුණු 50 ආරම්භක සබඳතා 2ක් ලබාගැනීම.

ඉනිම් 15කදි ලකුණු 50 සබඳතා 2ක් පමණක් බලාපොරොත්තු වීමෙන්ම තේරුම් යනවා අර්ජුන කියන්නේ මොනතරම් ප්‍රායෝගික නායකයෙක්ද කියන එක.

ඒ විතරක් නෙවෙයි.

සනා - කලූ පිතිකරුවන් දෙපළටම පූර්ණ නිදහස ලැබෙනවා අවදානම් සහගත පහරවල් එල්ල කරලා සැලසුම ක්‍රියාත්මක කරන්න.

සැලසුම ක්‍රියාත්මක කරන අතරවාරයේ වැරදීමක් සිද්ධ උනත් සනා - කලූ දෙදෙනාටම කණ්ඩායමේ සාමාජිකත්වය පිලිබඳ ප්‍රශ්නයක් ඇති නොවන බවටත් අර්ජුන පොරොන්දුවක් ලබාදෙනවා.

ක්‍රිකට් ඉතිහාසයම උඩු යටිකුරු කරවමින් ඉනිමේ මුල් පන්දුවාර 15 ඇතුලත ප්‍රතිවාදී පන්දුයවන්නා හෝ ඒ පන්දුයවන්නා අයිති කණ්ඩායමවත්,
තරඟය පවත්වන ක්‍රීඩාංගනය හෝ වෙනයම් කිසිම කාරණයක් ගැනවත් නොසිතා පන්දු රකින්නන්ගේ හිසට ඉහලින් පන්දුව යොමු වන ලෙස වැරෙන් පහර එල්ල කිරීම නිසියාකාරව,නිරන්තරයෙන් සිදුවීම ආරම්භ වුනේ මේ අයුරින්.

පස්සේ කාලෙක සනා මුළු ලෝකයේම අංක 1 ප්‍රහාරාත්මක පිතිකරුවා බවට පත්වුනත් අර්ජුන බාරදුන්න වැඩේ මේ දෙන්නගෙන් මුලින්ම හරියටම කලේ කලූ.

1995 බෙන්සන් & හෙජස් තුන්කොන් එක්දින තරඟාවලියේදි ග්ලේන් මැග්‍රාත් වගේ සුපිරි ගණයේ වේග පන්දු යවන්නෙක්ට කලූ එලව එලවා පහරදුන්න හැටි සමහර අයට නම් තාමත් මතක ඇති.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාට විතරක්ම නෙවෙයි අර්ජුන අනිත් ප්‍රධාන පිතිකරුවන් සියළුදෙනාටමත් ඉලක්කයක් ලබාදීලා තිබුණා.

• ගුරුසිංහට බාරවෙලා තිබ්බේ අන්තයක් ආරක්ෂා කරගනිමින් ඕවර 40ක් අවසාන වනතුරුම කඩුල්ලේ රැඳී සිටීම.

ඒ තරම් වෙලාවක් කඩුල්ලේ ඉන්නේ නැතුව ඊට කලින් දැවී යන්න ඕන නම් ඒක ගැනත් පණිවිඩයක් යවලා ගුරාට දන්වලා තියෙනවා.

• අරවින්ද කණ්ඩායමේ කොඳු නාරටිය 
විදියට සලකලා කිසිම ආකාරයක
පීඩනයක් ඔහුට ලබාදීලා නැහැ.
අරාව සතුටෙන්,හිත නිදහස්ව තියන

එකලු ප්‍රධානම කාරණය.

• හෂාන්,රොෂාන්,අර්ජුන කියන පිතිකරුවන් තිදෙනාම අවස්ථාව අනුව ඕනෑම තැනක පිතිකරණයේ යෙදෙන්න සූදානම්ව ඉඳලා තියෙනවා.

• පන්දුයවන්නන්ට බාරදුන්න ප්‍රධාන වගකීම උනේ ප්‍රතිවාදී පිල ලබාගන්නා ලකුණු හැකි තරමින් අවම කිරීම.


මේ විදියට කණ්ඩායම් ජයග්‍රහණයක්
ලබාගැනීමට නායකයෙක් විසින් සිදුකල යුතු
නොයෙකුත් අන්දමේ ක්‍රියාකාරකම් අර්ජුන විසින් අකුරටම
සිදු කිරීම නිසාත් කණ්ඩායමේ
සියලුදෙනාම තමාට බාරදුන් රාජකාරි වලට
සාධාරණය ඉටු කිරීම නිසාත් පෙරළිකාර
ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගැනීම
ශ්‍රී ලංකාවට ඒ තරම් අපහසු කාරණයක්
උනේ නැහැ.
දැන් හැමෝටම තේරෙනවා ඇති කවරදාටත් වඩා වර්තමානයට මේ කතාව වැදගත් වෙනවා කියලා මම මුලින්ම කිව්වේ ඇයි කියන එක.

අපේ අයට වෙනස් වෙන්න ඕන නම් තවමත් ප්‍රමාද නැහැ!

ඒත් ඉතින් මේ යන විදිය බැලුවහම නම් 
අපේ අය වෙනස් වෙයි කියලා නම් හිතන්නවත් බැහැ!

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment