Sunday, December 22, 2019

- ජීවිතේම ක්‍රිකට් -


"අඩේ මේකත් කයි වගේ මචං,
මෙහෙම ගිහින් අපේ ක්‍රිකට් නැත්තටම නැතිවේවිද..?"
ඊයේ දවසෙදි විතරක් ඔය ප්‍රශ්නේ කී සැරයක් නම් ඇහෙන්න ඇතිද?

"අපෝ අපේ උන් නම් අප්පිරියයි..!"
කියලා කීසැරයක් නම් හිතෙන්න ඇතිද?

මේක ලියන මටත් උඹලා හැමෝටම වගේම තමයි,
වෙලාවකට නම් මේ ක්‍රිකට් කියන බඩකඩිත්තුව 
'තූ නොදකින්' කියන තරමට අප්පිරියම වෙනවා!

ඒත් ඉතින් කෙලවෙන වෙලාවට එහෙම උනාට,
මෙහෙම නෙවේ තව කොච්චර පැරදුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන දේ අතාරින්න නම් මට බැරිවෙයි! 

මට වගේම කියවන උඹලගෙන් බහුතරයකටත්,
ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක තියෙන්නේ අසමසම බැඳීමක් කියන එකත් මම හොඳටම දන්නවා.

අනාගතේ දවසකදි ක්‍රිකට් සදහටම අතාරින්න ඕන කියලා නිකමට හිතුනා කියමුකෝ!

අතෑරගන්න පුළුවන්ද?

මීට සෑහෙන කාලෙකට කලින්ම,
ගලවන්න බැරි තරමින්,
අපි ක්‍රිකට් වලට බැඳිලා ඉවරයි!

අපි බහුතරයක් දෙනා යාන්තං දණගාන කාලේ ඉඳලා අද වෙනකන් ගතවුනු තමන්ගේ මුළු ජීවිතකාලෙදිම,

ක්‍රිකට් වලින් ඈත්වෙලා, 
ක්‍රිකට් අතෑරලා දාලා,

ඉඳලා නෑ!

ක්‍රිකට් කියන්නේ,
හරියට නිකන් අපේ ලේ නෑයෙක් වගේ කවදාවත් ගලවන්න බැරිතරමට අපිටම බද්ධ උන දෙයක්!

බහුතරයක් අය එහෙම උනාට මම මේ කතාව ලියන වෙලාවෙදිත්,

- කාලයක් තිස්සේම ලංකාවේ ක්‍රිකට් ඉවරයි ආය කවදාවත්ම ගොඩගන්න බෑ කියලා හිතාගෙන ඉන්න,
- මෙච්චර කාලයක් අමාරුවෙන් අල්ලන් ඉඳලත් දැන් දැන් මේ වෙන දේවල් දැකලා අළුතින් එහෙම හිතන්න පටන් ගත්ත අයත්,

සැලකිය යුතු තරමින් අපේ ෆෑන්බේස් අස්සේ අපිත් එක්කම ඉන්නවා කියන එකත් ඉතින් ආය පුදුම වෙන්න කාරණයක් එහෙම නම් නෙවෙයි!
එහෙම වෙන එක අසාධාරණයි කියන්න බෑ!

පරදිනකොට දුකයි තමයි,
පරදින වෙලාවට තරහා ගියාට,
අපේ උන්ගේ ඊළඟ ටුවර් එක පටන්ගත්තම,

"මේකවත් ගහපියව් යකුනේ"

කිය කිය අපි ආයෙත් බලන්න පටන්ගන්නවා!

සාමාන්‍යයෙන් ලංකාවේ ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ ෆෑන් කෙනෙක් නම් කරන්නේ අපේ උන් මේ වැටිලා ඉන්න තැනින් ගොඩ ගන්න එකට ෆෑන්ස්ලා විදියට අපි මොනාද කරන්න ඕන කියලා හිතලා තමන්ට පුළු පුළුවන් විදියට උදව්වක් කරන එක,
නැතුව තමන් අකමැති ප්ලේයර්ස්ලට කෙලවෙනකන් ඉඳලා 'හූ ඇද්ද' කිය කිය ඇරියස් කවර් කරන එක නෙවෙයි.

සමහරුන්ට නම් මෙහෙම කිව්වම රිදෙයි!

මැච් පරදිනකොට කෙනෙක්ට හිතෙනවනම් ටීම් එකේ සෙල්ලම් කරන අයට ගරහන්න,
මහා අසික්කිත විදියට මඩ ගහන්න,
ශ්‍රී ලංකා ක්‍රිකට් කියන දේට වෛර කරන්න,

අන්න එහෙම අය ලංකාවේ ක්‍රිකට් බලන්න එපා!
කැමති වෙන ඕන රටකට සපෝට් කරගන්න,
හැබැයි එහෙම කියලා අරුන් මෙහෙමයි ගහන්නේ අපේ උන් මෙහෙමයි ගහන්නේ ගගා වැලලෙන්ඩත් එපා!

තමන්ට ක්‍රිකට් වලට ආසාව ඇතිකරපු තමන්ගෙම රටේ ක්‍රිකට් වලට අමාරු කාලෙදි අතාරින්න තරම් ගුණමකු ෆෑන්ස්ලගෙන් මෙලෝ වැඩක් නෑ!

බුකියේ උඩ පහල යනකොට පේනවා අපේ සමහරක් අය තමන්ට ක්‍රිකට් එපා වේගෙන එද්දි අහක ඉන්න අනිත් අයටත් බලෙන් ක්‍රිකට් එපා කරවන්න හදනවා!
මඩ ගහන වැඩවලට සම්මාදම් ගන්නවා!
එක එක ප්ලේයර්ස්ලා කාලෙන් කාලෙට ෆේල් වෙනකොට,

"අනේ මූ වාහනේකටවත් යටවෙලා මැරිලා යන්නෑනේ..!!" 

කිය කිය සාප කරනවා!
මේ හොඳ වැදගත් ඉගෙනගත්ත උදවිය,
ක්‍රීඩාවක් නිසා තිරිසන්නු වගේ හැසිරෙන්නේ..!

අර කතාවට කියනවා වගේ,
ජයග්‍රහණයට පියවරු ඉසේ කෙස් ගාණට හිටියත්,

පරාජය කියන්නේ හැම වෙලේම අවජාතකයෙක්..!!!

'අවජාතකයා' වගේ වචනයක් මෙතනදි පාවිච්චි කලාට මට සමාවෙන්න!
හැබැයි ඒ වචනේ කිව්වේ නැත්නම් මට මෙතනදි කියන්න ඕන දේ කියවෙන්නෙත් නෑ,
මේක කියවන අයට මම කියන්න හදන දේ එහෙමට දැනෙන එකකුත් නෑ!

ක්‍රිකට් එපාවෙච්ච,දැන් දැන් එපා වේගෙන එන හැමෝම එක දෙයක් හොඳට මතක තියාගන්න!

පරදින එක බලන්න බැරිකම නිසා සෙල්ලම් කරන අයට බලු බැනුම් බැනලා ශ්‍රී ලංකා ක්‍රිකට් අතාරින කෙනෙක්ට,
දැනට හොඳට සෙල්ලම් කරන වෙන රටකට සපෝට් කරන ගමන් අපේම රටට ගරහන කෙනෙක්ට,

"කවමදාකහරි අපි ආයෙත් ඉස්සර වගේ ක්‍රිකට් ලෝකේ හොල්ලන්න පටන්ගත්ත දවසකට...!"

ආපහු රෙද්දක් ඇඳගෙන ඇවිත් හුරේ දාන්න අයිතියක් තියෙන්න කොහෙත්ම විදියක් නෑ!

දිනනකොට විතරක් සපෝට් කරනවා නම් එහෙම ෆෑන්ස්ලා මොනම ක්‍රීඩාවකටවත් ඕනේ නෑ!

අපේ රටේ ක්‍රිකට් මැරිලා නෑ,
එහෙම මැරෙන්නෙත් නෑ,
ටැලන්ට් එක ඕන තරම්,
හැබැයි තාමත් සිස්ටම් එක අවුල්,
ප්‍රේක්ෂකයන් විදියට එකතුවෙලා ඒක වෙනස් කරන්න පුළුවන් නම්,
ක්‍රිකට් පරිපාලනයට පැලැස්තර වෙනුවට ස්ථාවර ක්‍රමවේදයක් එනවනම්,

අන්න ඒක තමා අපේ නියම ජයග්‍රහණය!

මේ තියෙන විදියටනම්,
අනිවාර්යයෙන්ම ගොඩ එන්න යම් කාලයක් යනවා,
ඒත් මේ පකිස්තාන් ටුවර් එකේ උනත් ගන්න පොසිටිව් දේවල් ගොඩක් තියෙනවා.
අනාගතේදි ශ්‍රී ලංකා ක්‍රිකට් අනිවාර්යයෙන් ධනාත්මක විදියට වෙනස් වෙනවා කියන එක නම් ඒකාන්තයි.

එතකන් ඉවසන් ඉන්න බැරිනම් අඩුමගානේ ගරහන එකවත් නතර කරගන්න,
ප්ලේයර්ස්ලට ගැරහුවා කියලා අපේ ක්‍රිකට් දියුණුවෙන්නේ නෑ,
දැනට අපේ ක්‍රමවේදයේ තියෙන අඩුපාඩු නිතරම පෙන්නලා දීලා ඒවා අවම කරවාගන්න බලධාරීන්ට ප්‍රේක්ෂකයන් විදියට නිසි ආකාරයෙන් බලපෑම් කරන තමයි අපෙන් වෙන්න ඕන හොඳම දේ.

අනිත් දේ ෆේල් උනාම මොනම ප්ලේයර් 
කෙනෙක්වවත් පාච්චල් කරලා, 
එක එක ගොන් ආතල් හද හද තම තමන්ගේ බුකී වෝල් වල දාලා ටීම් එකට කිංඩියට හිනාවෙන්න කෝචොක් කරන්න අපි කාටවත් අයිතියක් නෑ.

මොකද අපිට ටීම් එකේ ඉන්න අයට වඩා ක්‍රිකට් ගහන්න පුළුවන් නම් මෙහෙම බුකියේ කොට කොට ඉන්න වෙන්නේ නෑනේ.

වැරදියට ගන්න එපා,
සාධාරණ විවේචනය අනිවාර්යයෙන්ම දෙයක් වැඩිදියුණු වෙන්න අවශ්‍යයි,
ඒක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්!
ගරහන්න,මඩගහන්න,අපේම උන්ට හිනාවෙන්න එපා!
දුර්වල තැන් හදාගමු,
තව තව අපේම උන්ව වලටම තල්ලු නොකරමු!

ජයවේවා!

- හේලිත හෙට්ටිආරච්චි -

Friday, December 13, 2019

'Glamour Quizzard' Cricket Quiz Program 2019/20

We are starting our 'Glamour Quizzard' Cricket quiz program again!

If anyone interested please join our facebook group by just clicking the below link,
Quiz will be held on each saturday at 9.30 p.m. in Sri Lankan time.

Join the Facebook group - https://www.facebook.com/groups/925816091100078/




Thursday, October 31, 2019

පුංචි පැහැදිලි කිරීමක්!


පුංචි පැහැදිලි කිරීමක්!

මේක මේ සෑහෙන්න දවසක් තිස්සේ ලියන්න උන්න දෙයක්,
අදත් මේ කතාවට අදාල දෙයක් දැක්ක නිසයි මේක හදිස්සියෙම ලියලා දාන්න හිතුනේ.

කණගාටුයි කියන්න,
තාමත් ලංකාවේ සමහරු හිතන් ඉන්නවා ලංකාවේ ක්‍රිකට් ටීම් එක නඩත්තු වෙන්නේ ජනතා බදු මුදලින් කියලා!

ඒක ඇත්තද?

මෙහෙමයි,

වාර්ෂික අයවැයෙන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යම් මුදලක් වෙන්කරනවා.
හැබැයි ඒ ප්‍රධානවම පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය හා සමගාමී ක්‍රියාකාරකම් වෙනුවෙන්.

ජාතික කණ්ඩායම ඇතුළු කාර්‍ය මණ්ඩලය නඩත්තු වෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රාග්ධනයෙන්.
ක්‍රිකට් පාලක මණ්ඩලයට දේශපාලනය කියන දේ සෘජුවම සම්බන්ධ වෙන්න බැහැ කියලා දන්න අය දන්නවා.

සිම්බාබ්වෙට උන දේ මතකනේ?

අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රාග්ධනය ගලා එන ක්‍රම රාශියක් තියෙනවා.

1. රූපවාහිනී,රේඩියෝ විකාශන අයිතීන් හා අන්තර්ජාලයේ තරඟ විකාශනය කිරීමෙන් ලැබෙන මුදල්.
2. පූර්ණ සාමාජිකත්වය හිමි රටක් වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟවල නියැලීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ලබාදෙන මුදල්.
3. Sponsorships එහෙමත් නැත්නම් විවිධ අනුග්‍රාහකයින්ගෙන්,
නිළ සන්නාම නියෝජනය කිරීම වෙනුවෙන් ලැබෙන මුදල්.
4.තරඟ අවසරපත් විකිණීම මගින් ලැබෙන මුදල්.
5.තරඟ/තරඟාවලි ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලැබෙන මුදල්.

මේ ටිකක් විතරයි.
තව ගොඩක් ක්‍රම තියෙනවා.

කෙනෙක් ක්‍රිකට් බලන්නේ නැත්නම් ඒ කෙනාගේ සල්ලි මහලොකු ගාණක් ක්‍රිකට් වලට යෙදවෙන්නෙත් නෑ.
බලනවනම් කිව්වේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා.
ගෙදර ඉඳන් බැලුවොත් චැනල් එකට ගෙවන ගාන තමයි.

ඒ නිසා කියන්නන් වාලේ ඔහේ රැල්ලට අපේ සල්ලි උඹලා ක්‍රිකට් ගහලා නැතිකරනවා කියලා කියන්න එපා.

එහෙම කියන්නම ඕන නම් 
ඕන්න ඕක ගැන නොදන්න අය ඉස්සරහ ඒක කිව්වට කමක් නෑ!
 
හැබැයි හරි විස්තර දන්න කෙනෙක් ඉස්සරහ කිව්වොත් රෙද්ද වැලේ!

- හේලිත හෙට්ටිආරච්චි -

Thursday, October 3, 2019

- ඈශස් ආතල් -



ජේම්ස් ඕමන්ඩ් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙයි...

මාක් වෝ -
ෆ* මී,
මේ එන්නේ කවුද බලපන්කෝ,
මොනාද උඹ මෙහේ කරන්නේ?

උඹ එංගලන්තෙට සෙල්ලම් කරන්න තරම් හොඳ එකෙක් නෙවේ බං!

ජේම්ස් ඕමන්ඩ් -
වෙන්න ඇති!

ඒත් අඩුමගානේ අපේ පවුලේ උන්ගෙන් හොඳටම ක්‍රිකට් ගහන්න පුළුවන් එකා මමනේ බං!

Thursday, September 19, 2019

අකිල මලයා උඹට පුළුවන්...!


දයාබර අකිල මලේ,

උඹට වරක් දෙවරක් වැරදුනා මිස,
උඹ සදාකාලිකව පැරදුනේ නැත!
එයද සමහරුන්ට ලැබෙන පටු වාසි වෙනුවෙන් උඹව බිල්ලට දුන් නිසා සිදු වූවක් මිස උඹේ අතින් හිතාමතා වූ දෙයක් නොවේය!

එබැවින් ඒ ගැන උඹ කම්පා නොවිය යුතුය!

ගිය දේ ගියේය!
අතීතය අතීතයමය!
අමතක කල යුතු තැන් අමතක කල යුතුමය!
කෙල වූ විට,
කෙලවීමට හේතු වූ කාරණා සොයා එය නිරවුල් කරගන්නවා මිසක,
කෙල වූ තැන නැවතී සෙස්සන්ට දිනුම දිය යුතු වන්නේ නැත.

කාලාන්තරයක් තිස්සේ උඹව දකින අපිට,
ක්‍රිකට් ගහන්න උඹට ඇති ඇම්ම ගැන අමුතුවෙන් කිවයුතු වන්නේ නැත!
ෆීනික්ස් කුරුල්ලාද අළු මතින් නැවත ජීවය ලැබුවා නම් එහෙව් අසීමිත ඇම්මක් ඇති උඹට අනිවාර්යයෙන්ම ගොඩ ඒමට හැකිය!
එය ස්ථීරය!

අම්මාගෙන් සල්ලි ඉල්ලා බුකියට එන සමහර සිඟිති පාතාලේ කල්ලතෝනින් කියන්නාසේ උඹේ ක්‍රිකට් අහවර වී නැත!
උන් දන්නා ක්‍රිකටක් නැත!

උඹේ ක්‍රිකට් මේ ඇරඹුණා පමණි!

ලෝක පූජිත මුරලිටද ලොරි ගණන් බාල්දි වැටුනානම් උඹටද එසේ වීම ගැන උඹ පුදුම විය යුතු නැත.

අනිවාර්යයෙන්ම වැරැද්දක් වී ඇත.
ඒත් එය අවසානය නොවේ!

අනික මේ උඹේ අසීරු වේලාවක් මිස උඹ නැත්තට නැතිවූ වේලාවක් නොවේ!
මිනිසුන් ශක්තිමත් වන්නේ බාධක කම්කටොළු හමුවේ මිස රෝස මල් ඇතිරූ මාවතක සුවපහසු ලෙස ගමන් කිරීමෙන්ද නොවේ.
ගල්මුල් බාධක ඇති රළු පාරක් ලැබීමද එක්තරා අන්දමක වාසනාවකි.

එපමණක් නොවේ,
වංචාකරුවෙක් ලෙස උඹව පට්ට පතුරු හංවඩු ගසන්නන් දෙස උඹ උපේක්ෂාවෙන් බැලිය යුතුය!

උඹ සදාකාලිකව වැටුනොත් උන් ඉහටත් දිනුම්ය!

උඹ වැටෙන තුරු බලා සිට දැන් සේරම හරියැයි කියා උඹට සිනාසෙන අපේම කාලකණ්ණින් වෙනුවෙන් උඹ අනිවාර්යයෙන්ම කල යුතු දෙයක් ඇත.

ඒ පෙර සිටියාටත් වඩා හොඳින් නැවත පිටියේ දස්කම් දැක්වීමයි!

ගෙඩි පිටින් අවුරුද්දක්ම ඇත!
ඉන්තේරුවෙන්ම උඹට මේ අවුරුද්ද අහවර වන විට ගොඩ ආ හැක!

මුළු ක්‍රිකට් ලෝකය පුරාම විසිරී සිටින ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනක් තවමත් උඹ ගැන දහසක් බලාපොරොත්තු දල්වාගෙන බලාසිටී!

උඹට බැරි නැත!
අනිවාර්යයෙන්ම උඹ ගොඩ එනවා ඇත!
කාට නැතත් එය අපට විශ්වාසය!

උඹට ජයෙන් ජයම ලැබේවා!

- හේලිත හෙට්ටිආරච්චි -

Wednesday, September 11, 2019

- මා දුටු මුල්ම නිහඬ විප්ලවවාදියා -



විප්ලවය කියන වචනේ ඇහුණත් ඇති මේ දවස්වල නම් අපේ ඔළුවට එන්නේ දේශපාලනේ ගැන තමයි.

ඒත් මේ කියන්න යන කතාව නම් දේශපාලනයට අදාල නැහැ.
මේ කතාව අදාල වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට.

හරි, මෙහෙම අහන්නම්කෝ!

උඹලට හිතෙන විදියට 'විප්ලවයක්' කරනවා කියන්නේ මොකක්ද?
විප්ලවයක් කියන්නේ උද්ඝෝෂණය කරන එකට විතරමද?

මම නම් හිතන්නේ විප්ලවයක් කියන්නේ,

වෙන කවුරුහරි හදපු සීමා මායිම්,
රාමුවලට කොටු වෙන්නේ නැතුව,
අළුත්,වෙනස් විදියට හිතන,
දැනට තියෙන තත්වය වෙනස් කරලා වැඩි දියුණු කරන්න කැපවෙන එක!

ඒක දේශපාලනයටම විතරක් සීමාවෙන දෙයක් නෙවෙයි!

කොටින්ම කියනවනම් ක්‍රිකට් ගහනකොටත් විප්ලව කරපු අය ඉන්නවා.
හොඳම උදාහරණේ මේ අපේ රට!

බාධක කම්කටොළු එක්ක හැප්පිලා,
මහා විප්ලවයක් කරලා තමයි අපේ ක්‍රිකට් කණ්ඩායම 1996 අවුරුද්දෙදි ලෝක කුසලානයක් ජයග්‍රහණය කලේ.

1996 ලෝක කුසලාන ජයග්‍රහණය ගැන කතාකරනකොට මුලින්ම කියවෙන්නේ කලූ - සනා දෙන්නා ගැන.

ඒ දෙන්නා එකතුවෙලා, 
සීමිත ඕවර ක්‍රිකට් තරඟවල මුල් ඕවර වලදි පන්දුවට පහරදෙන විදිය සදහටම වෙනස් කලා.

ඒත් අද නම් මේ ලියන්නේ කලූ - සනා ගැන නෙවෙයි.

අද කතාව ලියවෙන්නේ 'මෑඩ් මැක්ස්' ගැන...!
මෑඩ් මැක්ස් නිහඬව කරපු විප්ලවේ ගැන!

කලූ - සනා බය නැතුව බෝලෙට රිදෙන්න ගහලා ලෝකේ පෙරලුව එක ඇත්ත.
ඒත් ඒ දෙන්නට බය නැතුව ඒ දේ කරන්න පුළුවන්කම තිබ්බේ ගුරා,අරා,අර්ජුන,
මහනාම,හෂාන් වගේ අයගේ බැකප් එක නිසා.

විශේෂයෙන්ම අරා නිසා!
ඒ කාලේ අපේ ටීම් එකේ කොඳු නාරටිය අරා!
ආපු දවස්වල එච්චර වගකීමකින් පන්දුවට පහර දුන්නේ නැති උනත් පසුකාලීනව අරා ඒක වෙනස් කරගත්තා.
විප්ලවයක් කරලා ලෝක කුසලානයක් ජයග්‍රහණය කරපු ඒ ගමනේ ප්‍රධාන කොටස්කරුවෙක් උනා.

හරියට කියනවනම් අරා තමයි ලංකාවේ ලංකාවේ බිහිවුණ පළවෙනි ක්‍රිකට් සුපර්ස්ටාර්!

ඊට කලින් අපෙ රටේ ක්‍රිකට් ගහපු මිනිස්සු අදක්ෂයෝ කියනවා නෙවෙයි.
ටෙස්ට් වරම් ලැබෙන්න කලිනුත්,
ලැබිලා අවුරුදු 10ක් විතර යනකනුත්,
අපේ රටේ හිටිය දක්ෂයොන්ට ඒ තරම් තැනක් ජාත්‍යන්තරයෙන් නම් ලැබුණේ නැහැ.

අපිට ලැබුණු ඒ කුඩම්මගේ සැලකිල්ල වෙනස්කරන්න මුල්වුණේ අරා!

වැඩි සද්ද බද්ද නැතුව බැට් එකෙන් විතරක් වැඩ පෙන්නපු,
සිස්ටම් චේන්ජ් කරපු,
අනිත් අයට තිබුණු සීමා මායිම් නොතිබුණු අරා,

නිහඬ විප්ලවවාදියෙක් කියලා මම කිව්වේ ඒකයි!

මට මතක විදියට අරා පිතිකරණයේ යෙදෙන හැටි මම මුලින්ම දැක්කේ 1995 අවුරුද්දෙදි.

එතකොට මම ඉස්කෝලේ 1 වසරේ ඉගෙනගන්න කාලේ.

ඒත් එදා අරා කෙන්ට් ප්‍රාන්තය වෙනුවෙන් බෙන්සන් & හෙජස් කවුන්ට්‍රි ෆයිනල් එකක ශතකයක් ලබාගත්ත හැටි කලු සුදු ටීවී එකක දැකපු විදිය නිකන් හීනයක් වගේ තාමත් මතකයි.

ඒත් කවදාවත් අමතක වෙන්නේ නැති අරාගේ හොඳම ඉනිම වගේම,
පෞද්ගලිකව මම වැඩිපුරම කැමති ඉනිම නම් දැක්කේ 1996 අවුරුද්දෙදි.

ඒ 1996 ලෝක කුසලානේ අවසාන පූර්ව තරඟයෙදි අරා රැස්කරපු ලකුණු 66 ඉනිම.

අදකාලේ හැදෙන උන්දැලට නම් මේ මම කියන දේ විහිළුවක් වගේ පේන්නත් පුළුවන්!

කොටින්ම කියනවනම්,

අපෝ උඹේ ඔය මහලොකු වැඩ්ඩගේ හොඳම ඉනිම ලකුණු 66යිද?

කියලා හිතෙන,අහන අය ඕනතරම් ඉඳීවි.

ඒත් ඒ ලකුණු 66 ලකුණු 200කටත් වඩා වටිනවා කියලා ඒක දැකපු,අහපු අය නම් ඉහටත් උඩින්ම පිළිගනීවි.

සැමන් ටින් එකක සැමන් පැක් කරනවා වගේ මිනිස්සු පුරෝපු කල්කටා වල ඊඩ්න් ගාඩ්න් පිටියේ සත්කාරක ඉන්දියාවත් එක්ක තරඟවැදුනු ලෝක කුසලාන අවසාන පූර්ව තරඟෙකදි, 
කලූ,සනා දෙන්නම පළවෙනි ඕවරේම ආපිට හැරිලා පැවිලියන් එකට ගියපු වෙලාවක,

අරා ඇවිල්ලා බැට් කරේ නිකන් අනන්තයෙන් ආ තරු කුමරා වගේ!

කොහේදෝ ඉඳන් නිකන් පාවෙලා වගේ
හදිස්සියෙන් හදිස්සියෙන් ග්‍රවුන්ඩ් එකට ආවා!
දාන දාන බෝලෙට රිදෙන්න ගැහුවා!
අපේ පැත්තට හැරිලා තිබුණු ප්‍රෙෂර් එක විනාඩි 10ක් විතර යනකොට ආයේ ඉන්දියාව පැත්තට හරවන්න අරාට පුළුවන් උනා!

අනිවාර්යයෙන්ම ලෝක කුසලාන තරඟෙකදි පිතිකරුවෙක් වාර්තා කරපු හොඳම කවුන්ටර් ඇටෑකින් ඉනිම විදියට තේරෙන්න අරාගේ ඒ ලකුණු 66 ඉනිමට ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා.

ඒ විතරක් යෑ,

ඊට දවස් කීපයකට පස්සේ ඔස්ට්‍රේලියාවත් එක්ක තිබුණු ලෝක කුසලාන අවසාන තරඟෙදි පන්දු යවලා විකට් 3ක්,කැච් දෙකක් අරගෙන, අන්තිමට පිත්තෙන් ශතකයකුත් රැස්කරලා,

අපේ පුංචි රටට ලෝක කුසලානයකුත් අරන් දීලා තමයි අරා නතර උනේ.

1996දි ක්‍රිකට් ලෝක කුසලානයක් දින්නට පස්සේ තමයි සමහර පිටරටවල මිනිස්සු මෙහෙම රටක් තියෙනවද කියලවත් අපේ රට ගැන දැනගත්තේ.

අර්ජුන,අරා ඇතුළු ඒ ක්‍රීඩකයින් හැමදෙනාටම අපි හැමෝම ණයගැති වෙන්නේ ඒ නිසයි!

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව කාලාන්තරයක් තිස්සේ ජාත්‍යන්තර මට්ටමේදි ඉහළින්ම වැජඹෙන්න 96න් ලැබුණු ඒ පන්නරය ප්‍රධාන හේතුවක් උනා.

ඔය මම කිව්වේ අවස්ථා දෙකක් ගැන විතරයි.
තව කොච්චර නම් අරා වැඩ පෙන්නපු මැච් අපි බලන්න ඇතිද?
ඒවා ගැන ලියන්න ගියොත් නම් අද ඉවරකරන්න වෙන්නේ නැහැ.

අරා කියන්නේ ඒ තරම් වැඩ පෙන්නපු කෙනෙක්!

එක එක අයට එක එක දේවල් හිතෙයි ඒත් මට හිතෙන විදියට නම් දක්ෂතාවය,හැකියාව අතින් ගත්තම ලංකාවේ බිහිවුණ සුපිරිම පිතිකරුවා අරා.
ඇවරේජ් බලලා අරා වගේ කෙනෙක් ගැන තීරණය කරන්න අමාරුයි.

පළවෙනි ඉනිමේ එක ඉරියව්වකින් පන්දුවට පහරදීලා,
දෙවෙනි ඉනිමෙදි ඊට හාත්පසින්ම වෙනස් ඉරියව්වකින් ඉඳගෙන පන්දුවට පහරදෙන්න හැමෝටම බැහැ.

ඒ විතරක් නෙවෙයි,

බැට් එක අල්ලන තැන,
පෑඩ්ස් දාපු විදිය,

පවා තැනට සුදුසු විදියට අරා වෙනස් කරගෙන තමන්ගේ රාජකාරිය උපරිමයෙන්ම කරපු කෙනෙක් තමයි අරා කියන්නේ.

ඒ වගේම ලංකාවෙන් බිහිවුන කාට උනත් ලෙජන්ඩ් කියන්න කලින් කටපුරා 'ලෙජන්ඩ්' කියලා කතාකරන්න පුළුවන් කෙනෙක්!

- හේලිත හෙට්ටිආරච්චි -

Tuesday, September 3, 2019

- මූලික ක්‍රිකට් නීති අමතක කල ලගාන් -


ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වන ඔබ බහුතරයක් දෙනා 2001 වසරේදි නිකුත් වූ ලගාන් හින්දි චිත්‍රපටය නරඹා ඇති බව උපකල්පනය කරමි.

ක්‍රීඩා ලෝලීන් වශයෙන් ඉතා කැමැත්තෙන් මෙම චිත්‍රපටය නැරඹුවද ඔබ සියල්ලන්ටම මඟහැරුණු කාරණයක් ඇත.

ලගාන් චිත්‍රපටය තුල දිගහැරෙන සිදුවීම් පාදක වනු ලබන්නේ 1892 වසරටය.

එහෙත් චිත්‍රපටය තුල පෙන්වන අයුරින් එකල එක් පන්දුවාරයකට පන්දු 6ක් අන්තර්ගත වූයේ නැත.
1892 වසරේදි එක් පන්දුවාරයකට පන්දු 5ක් ඇතුලත් වූ අතර එංගලන්ත ජාතිකයින් විසින් පන්දු 6 ඕවරය භාවිතා කිරීම ඇරඹුවේ 1900 වසරේදීය.
එය 1939 වසරේදි පන්දු 8 දක්වා ඉහල නැංවූ අතර 1946 වසරේ සිට නැවතත් පන්දුවාරයකට පන්දු 6ක් ලෙස සම්මතකරණය කරන ලදි.

එමෙන්ම පන්දු වාරයකට පන්දු 6ක් අන්තර්ගත වන එම නීතිය අන්තර්ජාතිකව සම්මතකරණය වන්නේ එක්දහස් නවසිය අසූව දශකයේය.

- හේලිත හෙට්ටිආරච්චි -

Sunday, August 25, 2019

ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කොයිබටද? ⇾


වර්තමානයේ පමණක් නොව අතීත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා දත්ත සලකා බැලූ කල, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දී ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය.

- සීමිත ඕවර ක්‍රීඩා කාණ්ඩ වන ඕවර 50 සහ ඕවර් 20 යන කාණ්ඩ යුගලයෙන්ම ලෝක ශූරයන් බවට පත් වුවද,
- ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම වුවද,
- වැඩිම ටෙස්ට් කඩුළු ලබාගත් පන්දුයවන්නා අයිති රට වුවද,
- වමත් දඟ පන්දුයවන්නන් අතර වැඩිම කඩුළු ලබාගත් පන්දුයවන්නා අයිති රට වුවද,
- තරඟ 100කට වඩා ක්‍රීඩා කල පිතිකරුවන් අතරින් ඉහලම සාමාන්‍යයක් පවත්වා ගත් හා සර් දොන් බ්‍රැඩ්මන්ට පමණක් දෙවෙනි වන ලෙස ද්විත්ව ශතක 11ක් ලබාගත් පිතිකරුවා අයිති රට වුවද,
- ඕනෑම විකට්ටුවකට පවත්වාගෙන ඇති හොඳම පිතිකරු යුගල සබඳතාවය පිට පිට දෙවරක් අයිති කරගත් පිතිකරුවන් 4 දෙනෙකු අයිති රට වුවද,
- දකුණත් පිතිකරුවෙක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා අයිති රට වුවද,

අවාසනාවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදි ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික මට්ටමෙන් එතරම් සැලකීමකට ලක්වන්නේ නැත!

මෙයට ප්‍රධාන හේතුන් වන්නේ අප ටෙස්ට් වරම් හිමිකරගැනීම යම් තාක් දුරට ප්‍රමාද වීම සහ අතීතයේදි එංගලන්තයේ හා නවසීලන්තයේදි හැරුණුකොට SENA රටවලදී අපගේ දක්ෂතා දුර්වල මට්ටමක තිබීමයි.

එමෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සීමිත ඕවර කාණ්ඩ වලදී පවත්වාගන්නා දක්ෂතා මට්ටම්,
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදි පවත්වා නොගන්නා බවට මතයක් අතීතයේදි නිර්මාණය වී තිබූ බවද බහුතරයකට මතක ඇතුවා නොඅනුමානය.

එනමුත් අද වාතාවරණය අතීතයට වඩා වෙනස් වී ඇත!

ශ්‍රී ලංකා කණ්ඩායම සීමිත ඕවර තරඟවලදී තරඟ පිට තරඟ පරාජය වුවද, අතීතයට සාපේක්ෂව ටෙස්ට් තරඟවලදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත!

- දකුණු අප්‍රිකාවේ පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයක් ලැබූ පළමු ආසියානු කණ්ඩායම බවට පත් වීමටද,
- පකිස්තානයේ රාජධානිය ලෙස සලකන අබුඩාබි හි ටෙස්ට් තරඟාවලි ජයක් ලැබූ පලමු විදේශීය කණ්ඩායම බවට පත්වීමටද,
- පළමු වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේදී පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලබාගැනීමටද,
- බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලදී ටෙස්ට් තරඟාවලියක සම ශූරයන් වීමටද,
- පරාජය ලැබුවද නවසීලන්තයේදි හා ඉන්දියාවේදි ගෞරවාන්විත ලෙස තරඟාවලි අවසන් කිරීමටද,

පසුගිය කාලවකවානුව තුල ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත...!

එමෙන්ම,
ටෙස්ට් ක්‍රිකට් කාණ්ඩයේදි අපට ලැබෙන කුඩම්මාගේ සැලකිලි වලට තිත තැබීමට මහඟු අවස්ථාවක් දැන් අපට උදා වී ඇත…!

ඒ,

"ටෙස්ට් ලෝක ශූරතාවලියයි!"

කෙසේ හෝ මෙම කුසලානය ජයග්‍රහණය කරගතහොත් තරඟ කාණ්ඩ 3හිම ලෝක ශූරයන් බවට පත් වූ කණ්ඩායමක් ලෙස අප පිළිබඳව ඉතිහාස පොත් වල ලියවෙනවා ඇත!

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාවටද මුහුණදීමට අවශ්‍ය නොවන අතර ලබා දී ඇති තරඟ 13න් උපරිම තරඟ ජයග්‍රහණය කර වැඩි ලකුණු ලබාගත යුතුය!

අපට එය බැරි නැත!

- හේලිත හෙට්ටිආරච්චි -

Thursday, August 15, 2019

- දියමන්ති ක්‍රිකට් පන්දුව -



ක්‍රිකට් ක්‍රීඩාවේදි රතු,රෝස,සුදු ලෙදර් පන්දු භාවිතා කරන අයුරු ඔබ සියළුදෙනාම දැක ඇති බවට කිසිම සැකයක් නැත!

එහෙත් ඔබට හුරුපුරුදු ඒ ලෙදර් පන්දුවල හැඩයට සැකසූ 'දියමන්ති පන්දුවක්' කවදා හෝ ඔබ දැක තිබෙනවාද?

ඉහළ ඡායාරූපයේ ඇත්තේ ඒ අයුරින් දියමන්ති හා රත්‍රන් යොදා නිමකරන ලද ප්‍රථම ක්‍රිකට් පන්දු අනුරුව වන අතර මෙය සාමාන්‍ය ක්‍රිකට් පන්දුවේ ප්‍රමාණයට 100%ක්ම සමානය.

මෙම ක්‍රිකට් පන්දු අනුරුව දියමන්ති 2704ක් හා කැරට් 18 රත්‍රන් භාවිතා කොට නිමවා ඇත්තේ ඔස්ට්‍රේලියානු ස්වර්ණාභරණ සමාගමක් වන 'ෆියෝ ඩ්‍රිසාජ්' නම් සමාගමේ  ශාඛාවක් 2004 වසරේදි මෙල්බර්න් නගරය තුල විවෘත කිරීම වෙනුවෙනි.

පසුකාලීනව ගිනස් වාර්තාපොතට පවා එක් වූ මෙම දියමන්ති ක්‍රිකට් පන්දු අනුරුවේ බර කැරට් 53.83ක් වන අතර,
ග්‍රෑම් 125ක පිරිසිදු රත්‍රන් දාරයක්ද මෙහි අන්තර්ගත වී ඇත.

එපමණක් නොව,
නාසා ආයතනය අභ්‍යාවකාශ යානා නිපදවීමේදි භාවිතා කරන විරල ගණයේ අමුද්‍රව්‍යයක් මෙම ක්‍රිකට් පන්දු අනුරුව මත දියමන්ති රැඳවීමට යොදාගෙන තිබීමද විශේෂත්වයකි.

ඒ සියල්ලටම වඩා සුවිශේෂි කරුණ නම්,

මෙම අනුරුව නිෂ්පාදනය කර ඇත්තේ 
ශ්‍රී ලංකාව නම් වන අප මව්බිමේ වීමත්,

ඒ පිළිබඳව හාංකවිසියක්වත් අප නොදැන සිටීමත්ය.


  1. - හේලිත හෙට්ටිආරච්චි -

Monday, August 12, 2019

ක්‍රිකට් ක්‍රීඩා කල තරබාරුම ක්‍රීඩකයින් 13 දෙනෙක්...!

අංක යොදා ඇත්තේ තරබාරුකම අනුව නොවේ.

1. අර්ජුන රණතුංග


2. ඩේවිඩ් ශෙපර්ඩ්


3. රමේෂ් පවාර්


4. ඩේවිඩ් බූන්


5. මයික් ගැටින්


6. ඉන්සමාම් උල් හක්


7. සමිත් පටේල්


8. කොලින් මිල්බර්න්


9. ඩ්වේන් ලෙවරොක්


10. රකීම් කෝන්වෝල්


11. ජෙසී රයිඩර්


12. තිළිණ කණ්ඩම්බි


13. මොහොමඩ් ශේෂාඩ්



- හේලිත හෙට්ටිආරච්චි -

Wednesday, August 7, 2019

- නීති ලේන්සුව -


ක්‍රිකට් යනු වසර 500කට වඩා පැරණි ඉතිහාසයක් ඇති,
කාලයත් සමඟ කෙමෙන් කෙමෙන් වැඩිදියුණු වූ සංකීර්ණ ගණයේ ක්‍රීඩාවකි.

කාලාන්තරයක් තිස්සේ පරිණාමය වී වර්තමානය වන විට ක්‍රිකට් යනු,

- නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා අධි තාක්ෂණික ක්‍රම භාවිතා කරන, 
- නීති හා රීති සිය දහස් ගණනින් භාවිතාවට ගන්නා,
- තරඟ විනිශ්චයකාරීත්වයට පවා අහියෝග කිරීමට අවස්ථාව ලබාදෙන,

ක්‍රීඩාවක් බවට පත් වී ඇත...!

කෙටියෙන්ම සඳහන් කරතොත වර්තමානය වන විට ක්‍රිකට්, 

නිසි මූලික දැනුමක් නොමැති ආධුනිකයෙකුට එකවර සරළව තේරුම් ගත නොහැකි තරම් සංකීර්ණ ක්‍රීඩාවක් බවට පත් වී ඇත...!

වර්තමාන වාතාවරණය එසේ වුවද,

ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කල මුල්ම අවදියේදි මෙතරම් නීති ප්‍රමාණයක් සම්පාදනය වී නොතිබුණු බව අමුතුවෙන් පෙන්වා දී කිවයුත්තක් ලෙස සැලකිය නොහැක.

අද මෙන් නොව,
ක්‍රීඩාවේ මූලික සමතුලිතතාවය පවත්වාගැනීම වෙනුවෙන් සම්පාදනය කල අතැඟිලි ගණනටත් වඩා අඩු ඉතා සරළ නීති හා රීති ප්‍රමාණය පවා සම්මතකරණය කිරීමේදි නිතරම විවිධ ගණයේ ගැටළු හා අපහසුතා වලට මුහුණදීමට එකල ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව ක්‍රියා කල ක්‍රීඩකයන්ට හා නිළධාරීන්ට සිදු වී ඇත.

මින් ප්‍රධාන ගැටළු වී ඇත්තේ,

පිටියේ පන්දු රකින්නන් රඳවන ස්ථාන නිසියාකාරව මතක තබාගැනීම ක්‍රීඩකයින්ට අපහසු වීමත්,

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සම්පාදනය කල මුල්ම නීති 6 පවා නිතරම ක්‍රීඩකයන්ට අමතක වීමත්ය.

දිගින් දිගටම ඇති වූ මෙම ගැටළු වලට පිළියමක් ලෙස,

1744 වසරේදි සෙන්ටිමීටර් 70*70 ක් වූ ලේන්සුවක් නිර්මාණය කරනු ලැබ ඇත!

මෙම ලේන්සුවේ ඇති ප්‍රධාන විශේෂත්වයන් වන්නේ,

- ක්‍රිකට් ක්‍රීඩාවේදී භාවිතා කල මුල්ම නීති 6 මෙම ලේන්සුවේ අග දාරයන් වල දක්වා තිබීමත්,

- ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූ මුල් කාලයේදි භාවිතා වූ පන්දු රැකීමේ ස්ථාන සියල්ලම රූපසටහනක් ආධාරයෙන් මෙහි නිවැරදිව දක්වා තිබීමත්ය.

නිෂ්පාදන කටයුතු අවසන් වූ පසු එකල එංගලන්තයේ සිටි සියළුම ක්‍රිකට් ක්‍රීඩක‍යන්ට මෙම ලේන්සුව බැගින් ලබා දී ඇති අතර,

මා ඉහත සඳහන් කල,

ක්‍රීඩකයින් පිටියේදි මුහුණදුන් ගැටළු හා අපහසුතාවයන් අවම කරවීමට මෙම ලේන්සු බෙදාදීමේ කර්තව්‍යය මහඟු ලෙස දායක වී ඇත!
 
අපගේ වාසනාවකට අදින් වසර 245කට පෙර එනම් 1744 වසරේදි නිෂ්පාදනය කර බෙදාදුන් මෙම ලේන්සු වලින් ලේන්සු 3ක් තවමත් සුරක්ෂිත ලෙස ඉතිරිව ඇති අතර,

- ඉන් එක ලේන්සුවක් ලෝඩ්ස් ක්‍රීඩාගාරයේද,
- තවත් ලේන්සුවක් මෙල්බර්න් ක්‍රීඩාගාරයේද,
- ඉතිරි ලේන්සුව නම සඳහන් නොවන පුද්ගලයෙකුගේ පෞද්ගලික එකතුවකද,

තබා ඇත.

- හේලිත හෙට්ටිආරච්චි -

Golden Wisden Memories!



One of the five 'Wisden' cricketers of the year - 1996 
Aravinda De Silva

One of the five 'Wisden' cricketers of the year - 1997
Sanath Jayasuriya 

#goldenmemories

Tuesday, August 6, 2019

Arrival of Slinga - The Legend!



Guys, 

Anyone remember this spell?

This maybe a forgotten spell, 
but one of the greatest ever in test cricket history as my pov!
This spell gave a special message to the whole cricket world about Malinga!

Yokers! Yokers! Yokers!

5 wickets for 68 runs and in this spell Malinga continuously bowled like throwing grenades to the Kiwi's and most of the Kiwi batsman were clueless infront of his world class bowling!

Also love the discussion of Shastri & Akram at the end.
Akram was spot on about Malinga's future!

Agree or not,
International Cricket is definitely missing Ravi Shastri as a commentator.

His voice is amazingly clear & powerful,
Plus he was genuinely neutral commentator.

Ravi & Tony's commentary tops the list of most loved things in our wonderful childhood!

Sadly those lovely days will never come again...!


- Helitha Hettiarachchi -

Saturday, August 3, 2019

මුල්වරට ටෙස්‍ට් තරඟයක ලකුණු සම වූ අවස්ථාව!



1960 දෙසැම්බර් 14 වනදා ඔස්ට්‍රේලියාවේ ගැබා 
ක්‍රීඩාංගනයේදි ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත් වූ ටෙස්ට් තරඟය ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වරට ලකුණු සමවූ ටෙස්ට් තරඟය ලෙස වාර්තා පොත් අතරට එකතු වී ඇත.

- හේලිත හෙට්ටිආරච්චි -

Thursday, August 1, 2019

A vibrant cricketer who left all of us too early - Disal Jayawardene


Disal & Mahela at their childhood.

Each & every cricket fan from all around the world knows well about Mahela Jayawardene.
Mahela was a batting artist and was a treat to watch when he is in full flow.

But most of those fans who loves Mahela doesn't know anything about Mahela's younger brother Disal Jayawardene & his  abilities.

Disal was a flamboyant left hand batsman who played cricket up to u15 level in Nalanda College - Colombo while his brother is leading the first xi team in the same school.

According to the school coaches and many cricket analysts Disal was a better batsman than Mahela at that time.
Even they predicted that Disal will play at the national level before Mahela.

Sadly Disal was passed away at the age of 16 due to a brain cancer and still his big brother Mahela cannot control his emotions when someone is recalling memories about Disal.

- Helitha Hettiarachchi -

Tuesday, July 30, 2019

ක්‍රිකට් ඉතිහාසය තුල සිදු වූ වඩාත්ම ආන්දෝලනාත්මක ක්‍රිකට් පිති හඳුන්වාදීම්!

1. Monster පිත්ත - 1771 වසරේදි,
එංගලන්තයේ තෝමස් වයිට් විසින්.


2. ඇලුමීනියම් Combat පිත්ත - 
1979 වසරේදි,
ඔස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී විසින්.


3. Kookaburra Carbon Graphite පිත්‍ත - 
2005 වසරේදි, ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් විසින්.


4. Mongoose mimi3 පිත්ත - 2010 වසරේදි,
ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න් විසින් IPL තරඟාවලියේදි.


5. Spartan Golden/Black Coated පිති -

Golden Coated පිත්ත - 2015 වසරේදි, බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩක ක්‍රිස් ගේල් විසින් Big Bash තරඟාවලියේදි.


Black Coated පිත්ත - 2016 වසරේදි,
බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් විසින් Big Bash තරඟාවලියේදි.


- හේලිත හෙට්ටිආරච්චි -

'Cricket Quizzard' Competition


• What is this 'Cricket Quizzard'?
It's a Cricket Quiz Tournament 

• Total Tournament Duration - 10 Weeks

• Starting From - Today @ 8.00 p.m

• Do You Wanna Participate? 
It's Simple!
Put a comment here!

We will circulate all the rules & regulations in details before the starting time of program.

• Admission Deadline - Today @ 5.00 p.m 

• Top 3 winners will receive exiting gifts after 10 weeks.

• Program Hosting By - Glamour Cricket Admin Crew.

Join Our Facebook Group - 

1837 වසරේදි ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය දිස්වූ අයුරු!

අදින් වසර 182කට පෙර,

එනම් 1837 වසරේදි ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස හඳුන්වන එංගලන්තයේ 'ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය' දිස්වූයේ මෙසේය!

Monday, July 29, 2019

අංකල් පර්සිට 83යි!



• LTTE ත්‍රස්තවාදීන්ගේ මරණ තර්ජන නොතකා 1982 වසරේ මදුරාසියේ චෙපොක් ක්‍රීඩාංගනයෙහි පැවැත් වූ ඉන්දු - ලංකා ටෙස්ට් තරඟයේදි බන්දුල වර්ණපුර ඇතුළු කණ්ඩායමට දිරි දුන්,

• 1983 වසරේ ඇති වූ කළු ජූලියේදි සර් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ ජීවිතය බේරා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව මහා අපවාදයකට ලක්වීම නවතාලූ,

• 1983 වසරේ පැවැත් වූ ලෝක කුසලානය අවසන් වී ගුවනින් නැවත මව්බිම කරා පියාසර කරන විට ගුවන්යානය තුල සර් ගාෆීල්ඩ් සෝබස් සමඟ නර්තනයේ යෙදුණු,

• බ්‍රිතාන්‍ය පොලිසියේ අණ නොතකා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදි ශ්‍රී ලංකාව ක්‍රීඩා කල මුල්ම ටෙස්ට් තරඟයේදි නොනවත්වා තම කණ්ඩායමට තනිවම සහය දුන්,

• දැක් වූ අතිමහත් ජාතිමාමකත්වය නිසා ත්‍යාගයක් ලෙස නවසීලන්තයේ මාටින් ක්‍රෝ වෙත ලැබුණු තරඟයේ වීරයා සම්මානයක් ඔහුගේ අතින්ම ලැබීමට තරම් වාසනාවන්ත වූ,

ශ්‍රේෂ්ඨ ක්‍රීඩාලෝලියා ඔහුයි...!

පර්සි අංකල් ඔබට සුබ උපන්දිනක් වේවා!

ප්‍රේක්ෂකයාගේ විළි වසන ග්‍රේග් චැපල්!



වසර - 1979

ස්ථානය - ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය

සිදුවීම - ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වූ එක්දින තරඟයකදි ක්‍රීඩාංගනයට දිව ආ නිරුවත් ප්‍රේක්ෂකයෙකුගේ විතේන්ද්‍රිය ආවරණය කිරීමට උත්සහ කරන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක 'ග්‍රේග් චැපල්'

විශේෂ සටහන් - ග්‍රේග් චැපල් මෙවැනි සිදුවීමකට මැදිවූ මුල්ම අවස්ථාව මෙය නොවන අතර,
1977 වසරේදි නවසීලන්තයේ ඕක්ලන්ඩ් හීදීද මෙවැනිම අවස්ථාවකට මුහුණ දීමට ඔහුට සිදුවිය.

මෙම ඡායාරූපයේ පෙනෙන පරිදි ඔස්ට්‍රේලියාවේදි ප්‍රේක්ෂකයාගේ විළි වැසීමට ඔහු උත්සහ කලද,

නවසීලන්තයේදි ඔහු තරඟයට බාධා කල ප්‍රේක්ෂකයාට පිත්තෙන් පහර දී,
නවසීලන්ත ඩොලර් 25ක දඩ මුදලක්ද ගෙවනු ලබා ඇත.

එමෙන්ම එම ප්‍රේක්ෂකයාගේ බාධා කිරීම නිසා මානසික එකාග්‍රතාවයද අහිමි වී ඔහු දුවද්දී දැවී යාමටද ලක්විය.

- හේලිත හෙට්ටිආරච්චි -

Sunday, July 28, 2019

නව යුගයක ඇරඹුම!


Testද ODIද T20ද ආය මොන මාදිලියේ Series එකක්ද කියන එක නම් අදාලම නෑ,
ක්‍රිකට් ගහන්න කියලා හිතාගෙන ලංකාවට ගොඩබැහැපු ඕනම ටීම් එකකට බඩ කට පුරා සලකලා ආපිට ගෙදර යවපු අතීතයක් තමයි අපිට තිබුණේ.

ඒත් අපේ අවාසනාවකට හරි පරිපාලනයක් නැතිකම නිසා අපේ වැයික්කියේදි චණ්ඩි වගේ හිටපු අපි පහුගිය කාලේ පට්ට පජාති විදියට හැමෝගෙන්ම කාලා කාලා නොන්ඩි වෙලා හොම්බෙන් ගිහින් හිටියේ.

කොටින්ම කියනවනම් සිම්බාබ්වෙත් ගෙදරටම ඇවිත් ගහලා ගියා මතක ඇතිනේ.

ඕන් වැටිලා වැටිලා වැටිලා හෙම්බත් වෙලා හිටපු අපි මාස 44කට පස්සේ අද සීරීස් එකක් දින්නා.
දැන් කියන්න එපා බංගලිදේශෙටනේ ඕක ගැහුවේ කියලා.

ඒ ඉස්සර හිටපු බංගලි නෙවේ දැන් ඉන්නේ!

අනිවාර්යයෙන්ම පහුගිය කාලේ ලබපු ප්‍රගතියේ වැඩි ප්‍රතිශතයකට අයිතිය තියෙන්නේ දිමුත්ට.
ඒක එහෙම නෑ කියලා කවුරුහරි කියනවනම් එයා අර එළියේ ඉන්න කාගේ හරි පෑන්ටියෙක්.
මාලි,මැතිව්ස්,KJP,නුවන් වගේ සීනියර්ස්ලත් පහුගිය කාලේ තමන්ගේ උපරිමේ ටීම් එකට දුන්නා.

ඒකට හේතුව දිමුත්!

අනිත් කාරණේ තමයි,
මේ සෙට් එකට තව ඕෂධ,ශානක,කමිඳු,
ඇඹුල්දෙනිය වගේ නවකයෝ ටික දෙනාත් ලංකරලා අත්දැකීම් දුන්නා නම් අපිට චැම්පියන් සයිඩ් එකක් හදාගන්න පුළුවන්.

අනාගතය අඳුරුම නෑ!

ගොඩ එන්න පුළුවන් කියලත්,
අපිව වැටිලා තියෙන තැනින් ගොඩට ගන්න පුළුවන් හයියක් තියෙන උනුත් ඉන්නවා කියලා දැන් දැන් හිතෙන්න ගන්නවා.
තමන්ට එදිනෙදා වෙන වැරදි එදිනෙදාම හදාගන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ අයට ලොකු ගමනක් යන්න පුළුවන්.

ඒ නිසා කරුණාකරලා තමන් ආස එකා ටීම් එකේ නෑ කියලා චූටි චූටි මල්ජංගි කේස් අල්ලගෙන ටීම් එකේ උන්ට මඩ ගහන්න එපා.

අපි ආස උන් හිටියත් එකයි නැතත් එකයි!

අපිට ඕන මොකා දාලා හරි ලංකාව මැච් දිනනවා බලන්න!

ඔය පෑන්ටිවාදියෝ හැමෝටම ඒ දේ හිතට ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් සහ අනිත් අයට කරන උදව්වක්.

එහෙනම් ඉතින් මාස 44කට පස්සේ ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරමු!

- හේලිත හෙට්ටිආරච්චි -

Thursday, July 25, 2019

1979 වසරේ සිට 2018 වසර වනතුරු වාර්ෂික 'ඔබ්සර්වර්' සම්මානය දිනූ විශිෂ්ඨතම ශ්‍රී ලාංකික පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයෝ!


1979 - රංජන් මඩුගල්ලේ,
රාජකීය විද්‍යාලය කොළඹ.

1980 & 82 - අර්ජුන රණතුංග,
ආනන්ද විද්‍යාලය කොළඹ.

1981 - රොහාන් බුල්ජන්ස්,
ශාන්ත පීතර විද්‍යාලය කොළඹ.

1983 & 84 - රොෂාන් මහානාම,
නාලන්දා විද්‍යාලය කොළඹ.


1985 - අසංක ගුරුසිංහ,
නාලන්දා විද්‍යාලය කොළඹ.

1986 - රොෂාන් ජුරම්පති,
රාජකීය විද්‍යාලය කොළඹ.

1987 - රොහාන් වීරක්කොඩි,
ශාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ.

1988 - සංජීව රණතුංග,
ආනන්ද විද්‍යාලය කොළඹ.


1989 - කුමාර ධර්මසේන,
නාලන්දා විද්‍යාලය කොළඹ.

1990 - මාවන් අතපත්තු,
ආනන්ද විද්‍යාලය කොළඹ.

1991 - මුත්තයියා මුරලිදරන්,
ශාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට.

1992 - සජිත් ෆර්නෑන්ඩෝ,
ශාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට.


1993 - නවීඩ් නවාස්,
ඩී.එස් සේනානායක විද්‍යාලය කොළඹ.

1994 & 95 - තිලාන් සමරවීර,
ආනන්ද විද්‍යාලය කොළඹ.

1996 - නිමේෂ් පෙරේරා,
ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලය මොරටුව.

1997 - චින්තක ජයසිංහ,
ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය.


1998 - ප්‍රදීප් හේවගේ,
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය කොටහේන.

1999 - මුතුමුදලිගේ පුෂ්පකුමාර,
ආනන්ද විද්‍යාලය කොළඹ.

2000 - කෞෂල්‍ය වීරරත්න,
ත්‍රිත්ව විද්‍යාලය මහනුවර.

2001 - කෞෂාල් ලොකුආරච්චි,
ශාන්ත පීතර විද්‍යාලය කොළඹ.


2002 - සහන් විජේරත්න,
වේල්ස් කුමර විද්‍යාලය මොරටුව.

2003 - ෆර්වීස් මහරුෆ්,
වෙස්ලි විද්‍යාලය කොළඹ.

2004 & 05 - ළහිරු පීරිස්,
ශාන්ත පීතර විද්‍යාලය කොළඹ.

2006 - ගිහාන් රූපසිංහ,
නාලන්දා විද්‍යාලය කොළඹ.


2007 - මලිත් ගුණතිලක,
ආනන්ද විද්‍යාලය කොළඹ.

2008 - උමේෂ් කරුණාරත්න,
තර්ස්ටන් විද්‍යාලය කොළඹ.

2009 - දිනේශ් චන්දිමාල්,
ආනන්ද විද්‍යාලය කොළඹ.

2010 & 11 - භානුක රාජපක්ෂ,
රාජකීය විද්‍යාලය කොළඹ.


2012 - නිරෝෂන් දික්වැල්ල,
ත්‍රිත්ව විද්‍යාලය මහනුවර.

2013 - කුසල් මෙන්ඩිස්,
වේල්ස් කුමර විද්‍යාලය මොරටුව.

2014 - සදීර සමරවික්‍රම,
ශාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ.

2015 & 16 - චරිත් අසලංක,
රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල.


2017 - නිපුන් රංසික,
පී ද එස් කුලරත්න විද්‍යාලය අම්බලන්ගොඩ.

2018 - හසිත බෝයගොඩ,
ත්‍රිත්ව විද්‍යාලය මහනුවර.


ඡායාරූප අන්තර්ජාලයෙනි.

- හේලිත හෙට්ටිආරච්චි -