Wednesday, April 1, 2020

''ක්‍රිකට් තරඟයකදී යැවූ දුර්වලම පන්දුවාරය''



ක්‍රිකට් තරඟයක යැවූ පන්දුවාරයකදී ලබාගෙන ඇති උපරිම ලකුණු ගණන කොපමණද යන්න ඔබෙන් ඇසුවහොත් බොහෝදෙනෙකුගේ පිළිතුර වන්නේ ඒ ලකුණු 36ක් බවයි.

එහෙත් 1990 වසරේදි නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හීදී පැවැත්වූ ශෙල් ශූරතාවලියේ අවසාන තරඟය වෙලිංටන් හා කැන්ටබරි කණ්ඩායම් අතර පැවතුනු අතර,

එහිදී වෙලිංටන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ බර්ට් වෑන්ස් නම් ක්‍රීඩකයා එක් පන්දුවාරයකදී ලකුණු 77ක් ලබාදී ඇත.

තරඟයේ අවසාන දිනයේදි තම දෙවෙනි ඉනිම සඳහා පහරදුන් වෙලිංටන් කණ්ඩායම ඉනිම අ‍ත්හිටුවමින් කැන්ටබරි කණ්ඩායමට පිතිකරණය සඳහා අවස්ථාව ලබාදුන් අතර,
තරඟය ජයගැනීම සඳහා කැන්ටබරි කණ්ඩායම ලකුණු 291ක් රැස්කල යුතු විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ප්‍රතිවාදී කැන්ටබරි කණ්ඩායම ලකුණු 108කට කඩුළු 8ක් දැවී ඉතා අසීරු තත්වයක සිටියදී ලී ජර්මන්,රොජර් ෆෝඩ් නම් පසුපෙළ පිතිකරුවන් දෙදෙනා එක්ව තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරා පිතිකරණයේ යෙදෙන ලදි.

මෙම සබඳතාවය බිඳ දැමීමට නම් යම් වෙනසක් සිදු කල යුතු බව තේරුම් ගත් වෙලිංටන් කණ්ඩායමේ නායක අර්ව් මැක්ස්වීනි,පන්දුයැවීම සඳහා බර්ට් වෑන්ස් නම් ක්‍රීඩකයා යොදාගැනීමට තීරණය කලේය.

මෙම කාලවකවානුවේදි බර්ට් තම ක්‍රීඩාදිවියේ අවසන් කාලය ගතකරමින් සිටි අතර,
පිතිකරණයේ යෙදෙනු හැර ඔහු පන්දු යැවීම සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ ක්‍රීඩකයෙක් නොවේ.

බර්ට් තම පන්දුවාරය අරඹන විට කැන්ටබරි කණ්ඩායමේ ලකුණු පුවරුව,ලකුණු 196 කට කඩුළු 8ක් ලෙස දිස් වූ අතර බර්ට් තම පන්දුවාරය තුල පන්දු 22ක් යවමින් ලකුණු 77ක් ලබාදුන්නේය.
එම පන්දු 22නුත් ඔහු නීත්‍යානුකූලව යැවූ පන්දු ගණන 5ක් පමණක් වන අතර විනිසුරුවරුන්ගේ මැදිහත් වීමෙන් ඔහුගේ පන්දුවාරය අවසන් කර වෙනත් පන්දුයවන්නෙකුට පන්දුයැවීම සඳහා අවසර ලබාදී ඇත.

බර්ට් වෑන්ස් යැවූ පන්දුවාරය - 0444664614106666600401

මෙතෙක් වේලා තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ක්‍රීඩාකල කැන්ටබරි කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ සිටි අතර,
බර්ට්ගේ දීර්ඝ පන්දුවාරය නිසා තරඟයේ ලකුණු සටහන් කරුවන් අන්ද මන්ද වී,
තම ලකුණු සටහන් වරදවා සටහන් කිරීමද අරඹා තිබිණ.
එම නිසා කැන්ටබරි කණ්ඩායම ලබා තිබූ නිවැරදි ලකුණු ගණන ලකුණු පුවරුවේ සටහන් වී නොතිබිණ.

මේ ජරමර මධ්‍යයේ තරඟයේ අවසන් පන්දුවාරය යැවීමට භාරවූයේ එවාන් ග්‍රේ නම් පන්දුයවන්නාටයි.

තරඟය ජය ගැනීමට කැන්ටබරි කණ්ඩායම ඔහුගේ පන්දුවාරය තුලදී ලකුණු 18ක් ලබාගත යුතු වූ අතර,
එම පන්දුවාරයේ මුල් පන්දු 5දී ලකුණු 17ක් ලබාගනිමින් කැන්ටබරි පිතිකරුවන් තරඟයේ ලකුණු සමකල නමුත් තරඟයේ ලකුණු සටහන් කිරීමේ ඇති වූ දෝෂ නිසා මේ කිසිවක් පිළිබඳව කණ්ඩායම් ද්විත්වයම දැනුවත්ව සිටියේ නැත.

තරඟය ජයගැනීමට අවශ්‍ය වූයේ එක් ලකුණක් බව නොදැන සිටි කැන්ටබරි පිතිකරුවන් අවසන් පන්දුව නිදැල්ලේ යවා තරඟය ජය පරාජයෙන් අවසන් කර ක්‍රීඩාගාරයට ගියෝය.

එදින සිදුවූ සිදුවීමේ ඇත්ත නැත්ත නිසියාකාරව හෙළිවීමෙන් පසු මාස ගණනක් යනතුරුම එම තරඟයේ ලකුණු සටහන් කරුවන්ට කැන්ටබරි කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ අරියාදුවලට ලක්වීමටද සිදුවිය.

තම පන්දුවාරයට ලකුණු 77ක් ලබාදුන් බර්ට් රෙදිපිළි කර්මාන්තයට යොමු විය.

- හේලිත හෙට්ටිආරච්චි -

යෝධ ටෙස්ට් ඉනිම!



1997 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ලකුණු 952ක් වාර්තාකර ටෙස්ට් ඉනිමකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව
හිමිකරගන්නා තුරු,

කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 1938 වසරේ අළු බඳුන තරඟාවලියේ තුන්වන තරඟයේදි වොලී හැමන්ඩ් නායකත්වය දැරූ එංගලන්තය,
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුළු 7ක් දැවී ලබාගත් ලකුණු 903 වන අතර මෙම තරඟයේදි ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 579කින් එංගලන්ත කණ්ඩායමට පරාජය වීම සුවිශේෂී කරුණකි.

එමෙන්ම මෙම ටෙස්ට් තරඟය දින ගණනකට සීමා නොවූ 'Timeless' එසේත් නැත්නම් තරඟයේ ප්‍රතිඵලයක් ලැබෙන තුරු ක්‍රීඩාකල ටෙස්ට් තරඟයකි.

- මරණ දඬුවම ලැබූ එකම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා -



යම් පුද්ගලයෙක් තමාට මරණ දඬුවම හිමිවන තරමේ දරුණු අපරාධයක් සිදුකරන තැනට ඇදවැටීම කණගාටුවට කරුණකි.

සමාජයේ වැදගත් පුරවැසියෙක් හා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස නම්දරා සිටි පුද්ගලයෙකුට එවැනි දඬුවමක් හිමිවීම ඊටත් වඩා කණගාටුදායක දෙයකි.

ඉතිහාසය තුලදි මරණ දඬුවම හිමිවූ එකම එක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සඳහන් වන්නේ ජැමෙයිකාවෙන් බිහිව 1935/39 වසර තුලදී ටෙස්‍ට් තරඟ 6ක් සඳහා ක්‍රීඩාකල ලෙස්ලි ජෝර්ජ් හිල්ටන් නම් ක්‍රීඩකයාය.

දක්ෂ වේගපන්දුයවන්නෙක් ලෙස නම්දරා සිටි ලෙස්ලි,
තම බිරිඳට තිබූ අනියම් පෙම් සබඳතාවයක් හෙළිදරව් කරගැනීමෙන් අනතුරුව ඇයට හත්වරක් වෙඩි තබා ඝාතනය කිරීමට වරදකරු වීම නිසා 1955 වසරේ මැයි 17 වනදා ජැමෙයිකාවේ ස්පැනිශ් ටවුන් හීදී පෝරකයෙන් තම ජීවන ගමන අවසන් කලේය.

Tuesday, March 31, 2020

''පිත්තෙන් තැනූ මායිම''


ඔස්ට්‍රේලියාවේ දකුණු හෙමිෂ්ෆියර් ප්‍රදේශයේ ඇති නැරිකැප් නම් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මායිම අනෙකුත් ක්‍රීඩාංගනයන්හි මායිම් වලට වඩා සුවිශේෂී වන්නේ එම ක්‍රීඩාංගනයේ මායිම සකස් කිරීමට සිය ගණනක් ක්‍රිකට් පිති භාවිතා කිරීම හේතුවෙනි.

සුප්‍රසිද්ධ ක්‍රීඩකයින්ගේ සමරු අත්සන් සහිත ක්‍රිකට් පිති,විවිධ වර්ණයෙන් හා විවිධ වර්ගයෙන් යුතු ක්‍රිකට් පිති මෙය තැනීම සඳහා භාවිත කර ඇති අතර,

එම ප්‍රදේශයේ ඇති විශාලම ක්‍රිකට් පිති අනුරුවද ඇත්තේ මෙම නැරිකැප් ක්‍රීඩාංගනයේය!

ක්‍රීඩාවට අතිදක්ෂ වූ විධායක ජනපති!


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පළමු විධායක ජනාධිපති ධූරය දැරූ,

“දිවංගත අතිගරු J.R ජයවර්ධන මහතා”

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ
එනම් 1924/25 වසර වලදී,

පාසල් පාපන්දු කණ්ඩායමේ උපනායක තනතුර,
පාසල් ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය,
පාසල් රග්බි කණ්ඩායමේ නායකත්වය,
දැරූ අතිදක්ෂ ක්‍රීඩකයෙක් බව ඔබ දන්නවාද?

ඡායාරූපය – ලක්ෂික ආටිගල

අපිට අගේ නැති අපේ උන්ගේ මනුස්සකම!



මේ දවස්වල ලංකාවේ ඇතුළු මුළු ලෝකයේම උද්ගතවෙලා තියෙන තත්වය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන කියලා මම හිතන්නේ නැහැ.

අපි හැමෝම ඉන්නේ ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව.

මුළු ලෝකෙම අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක,
පිටරටවල ජනප්‍රිය ක්‍රීඩකයින් තම තමන්ට හැකි ආකාරයට අසරණයින්ට පිහිට උන හැටි මහ ඉහළින් වර්ණනා කරලා ලියපු කතන්දර ටිකක් අපි පහුගිය දවස්වල දැක්කා.

ඒවා කියවන ගමන් අපේ ක්‍රීඩකයින්ට බල්ලන්ට වගේ බනිනවත් දැක්කා.

"අපෝ මුන් නම් මහ කුම්මැහි ජාතියක්..!"
"උඹලගේ ඔය සල්ලි ටිකක් හොළවලා මිනිස්සුන්ට උදව් කරපල්ලකෝ..!"
"සල්ලිවලට පෙරේත හැත්ත..!''

ඔන්න ඔය වගේ කතා අපේම මිනිස්සුන්ගේ කටවල් වලින් අපේම ක්‍රීඩකයින්ට කියනවා උඹලත් දකින්න ඇති.

හැබැයි ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකෙන් රුපියල් කෝටි දෙකහමාරක් ආධාර දෙද්දි,
අපේ ක්‍රීඩකයෝ තමන්ගේ වියදමෙන් හෝමාගම රෝහලට,කොළඹ මහ රෝහලට උදව් කරද්දි,

අර කලින් කුඩුකේඩු කතා කියපු උන් අග්ගලා ගිලපු මහසෝන්නු වගේ සද්ද නැතුව ඉන්නවා..!

වැඩේ කැතයි නේද?

හා ඒක පැත්තකින් තියමුකෝ..!

දසුන් ශානක කියන්නේ කවුද කියලා හැමෝම දන්නවනේ.
දිමුත් කරුණාරත්න කියන්නේ කවුද කියලත් හැමෝම දන්නවා.

ඉතින් මේ කියන්න යන්නේ මේ දෙන්නම සම්බන්ධවෙන කතාවක්.

පුබුදු කියන්නේ අපි ඉස්කෝලේ කොට කලිසම අඳින කාලේ ඉඳන් මාත් එක්ක එකට නාලන්දාවේ නේවාසිකාගාරයේ හිටපු සහෝදරයෙක්.
පුබුදුට අද ආරංචියක් ඇවිත් තියෙනවා ගම්බද ප්‍රදේශයක රෝහලකට අවශ්‍ය උපකරණ ගන්න ආධාරයක් අවශ්‍යයි කියන එක.
ඒ ආරංචිය ලැබෙන්නෙත් අපේම නේවාසිකාගාරයේ අපිත් එක්කම හිටපු, පහුගිය දවසක මුරලි ගැන ලියපු යසස් සහෝදරයා හරහා.
තමන්ට තනියෙන් මේ ගේම ගහගන්න බැරි නිසා පුබුදු මුලින්ම කතාකලේ පුබුදුත් එක්ක එක බැංකුවේ සේවය කරන දසුන් ශානකට.
දසුන් තමන්ට පුළුවන් උපරිමය කරන්න පොරොන්දුවෙලා පුබුදුව සම්බන්ධ කරනවා දිමුත්ට.

දිමුත් කියන්නේ අපේ ටෙස්ට්/එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා,
එහෙම කෙනෙක් එක්ක කතාකරනකොට සාමාන්‍යයෙන් ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ හෙණ අලි එකක් දෙයි කියලනේ.

දිමුත් ඒකේ අනිත් පැත්ත.!
හරිම කාරුණික විදියට පුබුදු එක්ක කතාකරලා උපකරණ ටිකට යන වියදම් වලට ආධාර ගන්න අවශ්‍ය ක්‍රමවේදය කතාබහ කරගෙන තමන්ට පුළුවන් උපරිමේ කරලා දෙන්නත් පොරොන්දු වෙනවා.

හැබැයි දසුන්වත්,දිමුත්වත් තමන් කරපු දේවල් අබිලිංලා වගේ තැන් තැන්වල කියව කියව යන්නේ නෑ.

ඒ නිසා අපේ මිනිස්සු ඕවා දන්නෙත් නෑ..!

ඒකයි මේ හැමෝටම දැනගන්න ලියන්නේ.
මේ එක කතාවක් විතරයි.
අපි නොදන්න මේ වගේ කතා කීයක් ඇතිද?

ඒ නිසා කරුණාකරලා අපේම උන්ට බනින්න කලින් පොඩ්ඩක් හොයලා බලපල්ලා.

දැන් ඉන්න ක්‍රීඩකයෝ,ඉස්සර හිටපු ක්‍රීඩකයෝ ඔය හැමෝම තමන්ට ඇති හැකි විදියට අසරණ අයට උදව් කරලා තියෙනවා.

තමන්ගේ පෞද්ගලික සල්ලි වලින් සුනාමියෙන් අවතැන් උන මිනිස්සුන්ට ගෙවල් 1000ක් හදලා දීපු,
Foundation of goodness කියලා ක්‍රමවේදයක් හදන් අදටත් මිනිස්සුන්ට උදව් කරන සංගා,මුරලි,මහේලලා කුණු බැනුම් අහද්දි,

අපේම ඡන්දෙන් පත්වෙලා අපේම සල්ලි ගසාකන දේශපාලුවන්ට අපි මල් මාලා දානවා.!

එතකොට අපි හිතන විදියේ වැරැද්දක් නැද්ද?
දැන්වත් වෙනස්වෙමු.!

- හේලිත හෙට්ටිආරච්චි -

පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩා කල ලාබාලතම ක්‍රීඩකයා!



ක්‍රිකට් ඉතිහාසය තුළ පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩා කල ලාබාලතම ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය සඳහා ක්‍රීඩා කල අලීම්උද්දීන් නම් ක්‍රීඩකයාය.

ඔහු මුල්වරට රාජස්ථානය සඳහා ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවුරුදු 12ක් සහ දින 73ක් විය.

ඉන්දියාවේ රාජස්ථානයෙන් පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි නමුත් අලීම්උද්දීන් අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රීඩා කලේ පකිස්තාන කණ්ඩායමට වන අතර ඔහු ටෙස්ට් තරඟ 25කදී ලකුණු 25.37ක සාමාන්‍යයක් ඇතිව ලකුණු 1091ක් රැස්කිරීමටද සමත් වී ඇත.

පහත ඡායාරූපයේ වම්පස සිටින්නේ අලීම්උද්දීන්ය.

Saturday, March 28, 2020

මුරලිගේ අසාමාන්‍ය අත!



සාමාන්‍ය පුද්ගලයෙක්ගේ අත් හා ලෝක පූජිත දඟපන්දුයවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ අත් අතර ඇති වෙනස හොඳින්ම පැහැදිලි වන ඡායාරූපය මෙය ලෙස හැඳින්වුවහොත් එය අතිශෝක්තියක් නොවේ.

එමෙන්ම මුරලි තමා වංචාකරුවෙක් නොවන බව නීත්‍යානුකූලව සහතික කරවීම සඳහා අවශ්‍ය වන පරීක්ෂණ සඳහා කිහිපවරක්ම නොපැකිලිව ඉදිරිපත් වූ ක්‍රීඩකයෙක් බව අනිවාර්යයෙන්ම ඔබ සිහියේ තබා ගත යුත්තකි.

ශරීර අසාමාන්‍යතාවයක් ඇතිව ක්‍රිකට් ක්‍රීඩා කිරීම යනු වංචා කිරීමක් නොවේ.

Thursday, February 27, 2020

''අපි යන්නේ කොයි පාරේ..? අපි යන්නේ හරි පාරේ...!''


ඕන්න කාලෙකට පස්සේ ලංකාව, 
ලංකාවෙදි ගහපු ODI 5ක් එකදිගට දින්නා,
මේක නම් සතුටු වෙන්න ඕන කාරණයක්!

හැබැයි ඉතින් ඔය සමහර අය දැනටම ගිහින් ඉන්නවා වගේ හඳට යන්න නම් හොඳ නෑ..!
මොකද නිකන් හරි ආපහු එන්න උනොත් එන්න වෙන්නෙත් හඳේ ඉඳලනේ!

සරළව මට තේරෙන විදියට නම්,
අපි ඔහොම දිනන්න හේතු උන ප්‍රධානම කාරණය තමයි කාලයක් තිස්සේ අපේ අය නොකරපු,
Cricket වලදි අනුගමනය කරන්න ඕන මූලික දේවල් ටික මේ මැච් 5දිම වගේ හරියට අනුගමනය කරපු එක!

ස්ථාවර Batting line up එකක් හදාගෙන,
6 ඒවා 4 ඒවා මතම යැපෙන්නේ නැතුව හරියට Strike Rotate කරනවානම්,
ශරීර හොරු වගේ භාගෙට නොකර කඩුළු අතර දිවීම හොඳට කරනවා නම්,
Batsmanලා තමන් ගන්න Start එක capitalize කරලා ලොකු ඉනිම් වලට යනවානම්,
අතට එන Catch ටික බිම නොදා හරියට Fielding කරලා අනිත් ටීම් එකට pressure එක දෙනවානම්,
Bowling වලදි control එක තියාගෙන අවශ්‍ය වෙලාවට Wicket ගන්නවා නම්,

මැච් දිනන එක මහ කජ්ජක් නෙවේ!

මේ කරපු විදියටම ඉස්සරහටත් කරන්න පුළුවන් නම්,
අනිවාර්යයෙන්ම අපිට ආයෙත් 2015ට කලින් හිටපු තැනටත් වඩා තැනකට යන්න පුළුවන් වේවි!

එකම අවුල අපේ Spin Bowling තාමත් හරියට සෙට් වෙලා නැති එක.
සඳකැන් විකට් ගත්තත් ලකුණු ගොඩාක් දීලයි ඒ විකට් ටික ගන්නේ,
සඳකැන්ට තමන්ගේ Control එක හදාගන්න පුළුවන් නම් සහ අකිලට ආය එන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නෙත් ගොඩක් දුරට විසඳේවි.

අනවශ්‍ය විදියට ටීම් එක ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉඳලා,
එකක් දෙකක් පැරදුන ගමන් අපේම උන්ට බල්ලන්ට වගේ නොබැන පොඩ්ඩක් ඉවසලා බලමු!

එක එක ප්ලේයර්ස්ලට සපෝට් නොකර අපේ මුළු ටීම් එකටම සපෝට් කරමු!
තමන් ආස එවුන්ව ඇතුළට රිංගවන්න දඟලන්නේ නැතුව මේ ඉන්න කට්ටියට ටික කාලයක් යන්න දෙමු!
මඩ ගහලා වට්ටන්නේ නැතුව විවේචනය කරන්න ඕන වෙලාවෙදි හරි විදියට ඒක කරලා අපේ උන්ට ගොඩ එන්න අපෙන් වෙන්න ඕන දේ අපි කරමු!

මේ වගේම ඉස්සරහටත් වෙන්න ඕන දේ හරියට උනොත් වසන්ත නවතින්නම එන එක නවත්තන්න කාටවත් බැරිවේවි!

- හේලිත හෙට්ටිආරච්චි -

Friday, February 21, 2020

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තම ග්‍රහණයට නතුකරගෙන සිටි,

'ම'යනු පහේ කල්ලිය..!

• මුත්තයියා මුරලිදරන්


• මහේල ජයවර්ධන


• ලසිත් මාලිංග


• අජන්ත මෙන්ඩිස්


• ඇන්ජෙලෝ මැතිව්ස්



මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනාම,

- එකම කාලසීමාවකදී,
- එකවර ජාතික කණ්ඩායම නියෝජනය කල, 
- එකිනෙකාට හාත්පසින්ම වෙනස්ව සුවිශේෂි ගණයේ දක්ෂතා දැක්වූ,

ක්‍රීඩකයින් වීමයි!

Thursday, February 20, 2020

Popeye The Sailor - Sanath Jayasuriya


සනාට වැදුණොත් අනිවාර්යයෙන්ම
මැච් එක දිනුම්,
සනා කලින් අවුට් උනොත් ටීවී එක වහලා දාපු අය ඕනතරම් ඒ කාලේ ලංකාවේ හිටියා,
සමහරවිට වෙන රටවලත් ඉන්න ඇති.
විශේෂයෙන්ම ඉන්දියාවේ.

සනා මැච් එකක් ඇදන් යනවා බලන් ඉන්න එකෙන් ලැබෙන ‍රසවින්දනය නම් ආයෙත් ලැබෙයි කියලා හිතන්නත් බෑ.
ඒක වෙනමම අමුතු ජාතියක හැඟීමක්.
ලංකාවේ මිනිස්සුන්ගෙන් 70%කටවත් එකපාර බඩ කූල් වෙලා ඇති සනා නිසා.

සනා ගහනකොට ඒ පාරවල් වල තිබුණ පුදුමාකාර ශක්තිය වර්ණනා කරන්න ටෝනි ග්‍රේග් මහත්මයා
'පපායි ද සේලර්' කියන ජනප්‍රිය කාටූන් චරිතයත් පාවිච්චි කලා කියලා සමහර අයට නම් මතක ඇති.
ටෝනි ග්‍රේග් මහත්මයා එහෙම කලේ පපායිගේ අත්, සනාගේ අත්වලට සමාන නිසා.
සනාගේ අත්වල යටිබාහු එහෙමත් නැත්නම් Forearm වල පුදුමාකාර හයියක් තිබුණා.

යකඩ වගේ හයිය ඒ Forearm,
ඇස් හා අත්වල සමායෝජනය - Hand Eye Coordination,
තමයි සනා පිතිකරණයේදි වැඩිපුරම තමන්ගේ ප්‍රයෝජනයට ගත්තේ.

කාටූන් එකේ පපායිට නම් ඇඟට හයිය හත්තිය එන්න නිවිති කන්න ඕන,

සනාට එහෙමද?

සනා වගේ අය බිහිවෙන්නේ කාලාන්තරයකට
සැරයක් විතරයි!

Wednesday, February 19, 2020

ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හුවමාරු වූ හාස්‍යජනක දෙබස්! (Funniest Sledging Incidents) - දෙවන කොටස

• "කෙසෙල් ගසට කෙටූ කොට්ටෝරුවා"

- ග්‍රෙග් තෝමස් සහ සර් විව් රිචඩ්ස් -


සර් විවි රිචඩ්ස් ගැන ඔබට අමුතුවෙන් වටහා දිය යුතු වන්නේ නැත,
70 දශකයේ හා 80 දශකයේ ක්‍රිකට් ලොව ඔටුණු පලන් රජ සර් විව් රිචඩ්ස් බව අවිවාදයකින් තොරවම පිළිගත යුතු කාරණයකි.
සර් විව් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කලේය, 
ඔහු වැඩි කාල වකවානුවක් නියෝජනය කල ප්‍රාන්තය වූයේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමයි.

වරක් ග්ලැමෝගන් ප්‍රාන්තය හා සමර්සෙට් ප්‍රාන්තය අතර තරඟයක් පැවැත්විණි,
පන්දුවට පහරදුන් සමර්සෙට් කණ්ඩායමේ එක් කඩුල්ලක් දැවී ගිය පසු සර් විව් පිටියට පිවිසුණ අතර,
ඒ අවස්ථාව වන විට පන්දු යවමින් සිටියේ ග්‍රෙග් තෝමස් නම් වේග පන්දු යවන්නාය.
ග්‍රෙග් තෝමස් යනු වේල්සයෙන් බිහිව පසුව ග්ලැමෝගන් ප්‍රාන්තය හා එංගලන්ත ටෙස්ට් කණ්ඩායම පවා නියෝජනය කල දක්ෂ වේග පන්දු යවන්නෙකි.

පන්දුවට පහරදීමට පිටියට ආ සර් විව්, 
තෝමස් එවූ තර්ජනාත්මක පන්දු කිහිපයක් හමුවේ නිරුත්තර විය.

ක්‍රිකට් ලොව රජා වූ සර් විව් අමාරුවේ වැටී ඇති බව දුටු තෝමස් සර් විව්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳ දැමීමේ අදහසින්,

"ඒයි විව්,ඒක රවුම්,රතු පාටයි,අවුන්ස 5ක් බරයි.දැන්වත් ඒක අඳුනගෙන පාරක් ගහන්න බලපං!"

යැයි කීවේය.

තෝමස් කියූ දේ ඒ කණෙන් අසා මේ කණෙන් පිටකල සර් විව් ඊළඟ පන්දුවට දැවැන්ත පහරක් එල්ල කලේය. පිත්තේ වැදුණු පන්දුව ඉහළින් ගොස් නතරවන්නේ ප්‍රේක්ෂකාගාරයේය.

පන්දුව ප්‍රේක්ෂකාගාරය වෙත යන අයුරු දෑස අයා බලා සිටි තෝමස් දුටු සර් විව්,

"තෝමස්, උඹ දන්නවා ඒක මොන වගේද කියලා,
දැන් ගිහින් ඒක හොයාගෙන වරෙන්"

යැයි පැවසූ විට,
තෝමස්ට තමා කල ගොන්කමේ ඵලවිපාක හොඳින්ම තේරුම් ගියේය!

• "අසුබ ඵල ගෙනදුන් පාපොච්චාරණය"

- ෆ්‍රෙඩ් ටෲමන් සහ රාමන් සුබ්බාරෝ -


මෙතෙක් මා ලියූ අපහාසාත්මක දෙබස් සියල්ලම ප්‍රතිවාදී කණ්ඩායම් වල ක්‍රීඩකයින් අතර සිදුවූ ඒවා වුවත්, දැන් ලියන්නට සූදානම් වන්නේ එකම කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර ඇති වූ දෙබසකි.

ෆ්‍රෙඩ් ටෲමන් යනු එංගලන්තය බිහිකළ දක්ෂතම වේග පන්දු යවන්නෙකි,
විනෝදකාමී ක්‍රීඩකයෙකු වූ ටෲමන්,
අන් ක්‍රීඩකයින්ට වාචිකව අපහාස කල අවස්ථා කිහිපයක්ම ඇති නමුත්,
ඔහු හා රාමන් අතර සිදුවූ දෙබස අන් සියල්ලම පරයමින් මුල් තැන ගන්නා බව බොහෝ දෙනාගේ අදහස වන්නේය.

තරඟයක් අතරතුර ටෲමන් යැවූ පන්දුවක් පිතිකරුවාගේ පිත්තේ අග දැවටී, 
උඩපන්දුවක් ලෙස පළමු ස්ලිප් කලාපය වෙත වේගයෙන් ඇදී ගියේය.
එම අවස්ථාව වන විට පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස රඳවා තිබුණේ රාමන්ය.
රාමන්ගේ අතින් උඩපන්දුව ගිලිහුණු අතර,
එයට කිසිත් නොකී ටෲමන් නිහඬව නැවතත් පන්දු යැවීම ආරම්භ කලේය.

උඩපන්දුවක් අත්හැරීම විශාල වරදක් බව දත් රාමන්,
එම පන්දුවාරය අවසන් වූ විට ටෲමන් අසලට ගොස්,

''මට තිබුණේ පන්දු රකිනකොට මගේ කකුල් ඈත් කරන්නේ නැතුව ඉන්න, ෆ්‍රෙඩ්!

යැයි කීවේ එසේ කලා නම් උඩපන්දුව බිමට නොවැටී පාද අතර රැඳවෙන නිසාය.

‍රාමන් කියූ කතාව ඇසීමෙන් අසූහාරදාහට තදවූ ටෲමන්,

"නෑ නෑ උඹ නෙවෙයි,කකුල් ලංකරගෙන ඉන්න තිබ්බේ උඹේ අම්මට.උන්දෑ එහෙම කලා නම් උඹ වගේ එකෙක් බිහිවෙන් නෑනේ"

කළ වැරදි ගැන පාපොච්චාරණය කිරීමට යාමෙන් තමා, මරණ මංචකයේදිත් මතක් වන තාලේ නරුම කතාවක් අසාගත් බව රාමන්ට අවබෝධ විය.

• "ශරීරයට මුවා වූ විකට්ටුව"

- මයික් ගැටිං සහ ඩෙනිස් ලිලී -


අනෙකුත් කතා මෙන් නොව,
මෙම කොටසේ අවසාන කතාව වන එංගලන්ත ක්‍රීඩක මයික් ගැටිං හා ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩෙනිස් ලිලී අතර සිදුවූ සිදුවීමේදී ක්‍රීඩකයින් දෙදෙනාම වාචිකව අදහස් දැක්වූ බවක් සඳහන් වී නැත.
සිදුව ඇත්තේ එක් ක්‍රීඩකයෙක් අනෙත් ක්‍රීඩකයාට ඒකපාර්ශ්විකව වාග් ප්‍රහාරයක් එල්ල කිරීම පමණි.

එවකට එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල ක්‍රීඩකයා වූයේ මයික් ගැටිංය.
ගැටිං මදක් තරබාරුය,
මේ තරබාරු බව නිසා ගැටිං අනුන්ගේ උපහාසයට හා අපහාසයට ලක් වූ අවස්ථා කිහිපයක්ම ඇත.

ඩෙනිස් ලිලී යනු එකල ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටි අතිදක්ෂ වේග පන්දුයවන්නෙකි.
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර තරඟයකදී පන්දුවට පහරදීමට ගැටිං පිටියට පැමිණි අතර ඒ වනවිට පන්දු යවමින් සිටියේ ලිලීය.
තණතිල්ල වෙත ආ ගැටිං පන්දුවට පහරදීමට 
සූදානම් වූවේය.

පන්දු යැවීමට සූදානම් වෙමින් තණතිල්ලේ අනෙක් අන්තයේ සිටි ලිලී,

"පොඩ්ඩක් එහාට වෙයන් බං,
උඹේ ඇඟ නිසා මට විකට් එක පේන්නේ නෑ"

යැයි කීවේ අසළ සිටි විනිසුරුවරයාද සිනහ සයුරේ ගිල්වමිනි.

අන්තර්ජාලය ඇසුරෙනි.

- හේලිත හෙට්ටිආරච්චි -

ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හුවමාරු වූ හාස්‍යජනක දෙබස්! (Funniest Sledging Incidents) - පළමු කොටස

මීට කලිනුත් මම Sledging කතා කිහිපයක් ගැන ලිපි පළකරලා තියෙනවා,
කලින් ලිපිවලින් බෙදාහදාගන්න බැරි උන කතා ටිකක් ගැන ලියන්නයි අදහස් කරගෙන ඉන්නේ.

හැබැයි ක්‍රිකට් පිටියේ Sledging කියනකොට අනිවාර්යයෙන්ම අමතක කරන්න බැරි මර්ව් හියුස්ගේ කතා නම් මේ ලිපි මාලාවට ඇතුළත් වෙන එකක් නැතිවෙයි,
මර්ව්ගේ Sledging ගැන විතරක් වෙනම ලිපියක් කලින් ලියලා පළකලා.
බලන්න බැරි උන අය ඉන්නවනම් කියන්න..!

• "විස්කෝතු බඩා"
                      
- එඩෝ බ්‍රැන්ඩෙස් හා ග්ලේන් මැග්‍රාත් -


සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නෙක් වූ එඩෝ බ්‍රැන්ඩෙස් යනු,
- දක්ෂ ලෙස Inswing පන්දු යැවිය හැකි,
- ක්‍රිකට් පිටියෙන් පිටතදී 'කුකුළ් කොටු - Chicken Farm' අයිතිකරුවෙක් වූ,
- ශරීර සුවතාවය ගැන එතරම් ගණනකට නොගත්,
තරබාරු, විනෝදයට බර ක්‍රීඩකයෙකි.

වරක් ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ අතර තරඟයකදි, පන්දුවට පහරදීම සඳහා බ්‍රැන්ඩෙස් පිටියට පිවිසියේය.

බ්‍රැන්ඩෙස් පිටියට එන බව දුටු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මැග්‍රාත්,

"ඇයි බං උඹ ඔච්චර මහත?"

යැයි ඇසුවේ බ්‍රැන්ඩෙස් සමච්චලයට ලක්කිරීමේ චේතනාව ඇතිවය.

මැග්‍රාත්ගේ ප්‍රශ්නය ඇසුණු බ්‍රැන්ඩෙස් සන්සුන්ව,

"මම උඹේ ගෑණි එක්ක නිදාගන්න හැමපාරම ඒ ගෑණි මට දෙන බිස්කට් එක කාලා තමයි මම මෙහෙම මහත්වුනේ..!"

යැයි කීවේ මැග්‍රාත්ට උන් හිටි තැන් අහිමි කරවමිනි..!

• "ආරේ ගුණ නෑරේ" 

-  රොඩ්නි මාෂ් හා සර් ඉයන් බොතම් -


සර් ඉයන් බොතම් යනු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතළොස්ස අතරේ ඉහළින්ම වැජඹෙන ක්‍රීඩකයාය.

එමෙන්ම රොඩ්නි මාෂ් යනු එකළ ඔස්ට්‍රේලියාව නියෝජනය කළ දක්ෂතම කඩුළු රකින්නෙක් මෙන්ම
කටට බ්‍රේක් නැති නහරකාරයෙක් ලෙසද නම්දරා සිටි ක්‍රීඩකයෙකි.

වරක් අළුබඳුන තරඟයක් අතරතුර පන්දුවට පහරදීම වෙනුවෙන් එංගලන්තයේ සර් ඉයන් බොතම් පිටියට පිවිසියේය.

තණතිල්ලට පැමිණි සර් ඉයන් කෝප කරවන 
අදහසින් මාෂ්,

"උඹේ ගෑණිගෙයි, මගේ ළමයි දෙන්නගෙයි සැප සනීප කොහොමද?"

කියා ඇසුවේය.

සාමාන්‍යයෙන් කුකුළ් කේන්තිකාරයෙකුගේ හැසිරීම් 
තිබූ සර් ඉයන් වෙනදා මෙන් කෝප නොගෙන,

"ගෑණි නම් යහතින් ඉන්නවා, 
හැබැයි ළමයි දෙන්නටම මොංගල්"

යැයි පවසමින් මාෂ්ගේ කට කැඩුණු කතාවට පිළිතුරු දුන්නේ අවට සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ද සිනහ සයුරේ ගිල්වමිනි.

• "කොහෙන් කැපුවත් කිලෝවයි"

- ඩැරල් කලිනන් හා ශේන් වෝන් -


ශේන් වෝන් ගැන නොදන්නා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු සිටින්නට ඉඩක් නැත.
ක්‍රිකට් ඉතිහාසය තුළ මෙතෙක් පහලවූ හොඳම 
පාදඟ පන්දු යවන්නා ඔහු බව අවිවාදයකින් තොරවම 
පිළිගත යුතුය.
වෝන් තමාගේ කට ඉස්සර කරගැනීම නිසා හොඳටම නාගත් අවස්ථාද නැත්තේම නොවේ.

ඒ කෙසේ වෙතත්,
ශේන් වෝන් ඔහුගේ කාර්‍යයේ අතිදක්ෂයෙකි!
ඔහුගේ භයානක පන්දුයැවීම හමුවේ නන්නත්තාර වූ පිතිකරුවන් දුසිම් ගණනකි!
දකුණු අප්‍රිකාවේ ඩැරල් කලිනන් එම පිතිකරුවන් ගොන්නට අයත් වූ තවත් එක් පිතිකරුවෙකි.
කලිනන් සාමාන්‍යයෙන් ගත් කළ දක්ෂ පිතිකරුවෙකි.

නමුත් ඔහු ශේන් වෝන් හමුවේ නිතරම අසාර්ථකය!

දෙරට අතර පැවැත්වූ එක් තරඟාවලියක් අවසන් විය,
තරඟාවලිය පුරාවටම කලිනන් ශේන් වෝන් හමුවේ නන්නත්තාර විය.
නැවතත් දෙරට අතර තරඟාවලියක් පැවැත්වෙන්නේ වසර දෙකක කාලයක් අවසන් වීමෙන් අනතුරුවයි,
ගතවූ වසර දෙක තුළ ශේන් වෝන්ගේ ශරීරයට සැලකිය යුතු කිලෝ ගණනක් එකතු වී ඔහු ජබ්බයෙක් බවට පත්වී ඇත.
ඔහුගේ මව ඔහුට දෙන ශරීර බර අඩුකරගැනීමේ 
පෙති සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේද නැත.

වෝන් - කලිනන් නැවතත් මුණගැසිණි.
කලිනන්ට පන්දු යැවීමට සූදානම් වූ වෝන්,

"ගියපාර කෙලෙව්ව විදියටම ආයෙත් උඹට කෙලවන්න මම අවුරුදු දෙකක් බලාගෙන හිටියා"

යැයි පැවසුවේය.

තරබාරු වෝන් දෙස බලා කට කොනින් සිනා වූ කලිනන්,

"උඹ ඒ අවුරුදු දෙකම ගතකරලා තියෙන්නේ කෑමට!"

යැයි පැවසුවේය.

දෙවන කොටසෙන් නැවත හමුවෙමු.

- හේලිත හෙට්ටිආරච්චි -

Tuesday, February 18, 2020

ක්‍රිකට් ලොවේ ප්‍රතිවාදීන් දුටු, ''මුරලි නම් මායාකරුවා..!''


• මැතිව් හේඩ්න්

මුරලිගේ එක පන්දුවකට මුහුණදෙන එක හරියට 
නිකන් එකපාරකට පන්දු 14කට මුහුණ දෙනවා වගේ භයංකාරයි.
අපිට මුහුණ දෙන්න සිද්ධ වුණු ප්‍රතිවාදි පන්දු යවන්නන් හැමදෙනෙක්ම අතරින් වැඩිම වාරයක් අපේ කතාබහට ලක්වුන පන්දු යවන්නා වෙන්නේ මුරලි.
මුරලිගේ පන්දුවලට පහරදෙන්නේ කොහොමද කියන එක ඒ තරම් අමාරු ප්‍රශ්නයක්.

මුරලි කියන්නේ අතිදක්ෂයෙක්,
මගේ සම්පූර්ණ ගෞරවය මම ඔහුට ලබාදෙනවා!

• කුමාර් සංගක්කාර

මුරලි අනිත් කණ්ඩායම් වල පිතිකරුවන්ව මෝඩයා කරපු අවස්ථා ගොඩක් තියෙනවා,
හැබැයි මුරලිගේ පන්දු වලට කඩුළු රැකපු මම මෝඩයෙක් උන අවස්ථා ගාණ ඊටත් වඩා වැඩියි!

• ජස්ටින් ලැන්ගර්

මුරලි පන්දු යවනකොට පන්දුව එන්නේ 'Magic Dust ' එකක් අහසින් පියාඹගෙන එනවා වගේ!

මුරලි පිටදඟ පන්දු යවන්නෙක් නිසා පන්දුව යන්නේ 
මේ පැත්‍තටයි කියලා මගේ හිත දන්නවා,
ඒත් මුරලිගේ අත දැක්කම මට ආයෙත් හිතෙනවා මුරලි එවන්නේ පාදඟ පන්දුවක්, 
ඒ නිසා පන්දුව යන්නේ අනිත් පැත්තටයි කියලා.
ඉතින් ඔය දෙක එකට පැටලිලා පන්දුවට පහර දෙන්න බලාගෙන ඉන්න මගේ ඔළුව විකාර වෙනවා.

අනිත් පන්දු යවන්නෝ හැමදෙනාටම වඩා මගේ නින්ද නැති කරපු පන්දු යවන්නා තමයි මුරලි!

• මයිකල් ඇතර්ටන්

දක්ෂ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කලා උනත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාකරනවා නම්,
ශ්‍රී ලංකාව ශක්තිමත් ටෙස්ට් කණ්ඩායමක් විදියට සලකන්න මූලිකම හේතුව උනේ මුරලි!

• සක්ලේන් මුෂ්ඨාක්

ඔස්ට්‍රේලියාවයි,ශ්‍රී ලංකාවයි තිබුණේ අහසයි,
පොළවයි වගේ වෙනස් තැන් දෙකක.
එහෙම බලනකොට මුරලි ගියපු දුර ගැන
මට නම් විශ්වාස කරන්නත් බැහැ,

ශේන් වෝන්ගෙන් මම ගොඩක් ඉගෙනගෙන තියෙනවා, ඒ වගේම ශේන් වෝන්ට මම ගොඩක් ගරු කරනවා,

ඒත් මගේ වීරයා මුරලි!

• විරේන්ද්‍ර ශෙවාග්

පන්දුවට පහරදෙන වෙලාවෙදි මාව බයකරපු එකම පන්දු යවන්නා මුරලි.
මුරලි යවන පන්දුවලට මුහුණ දෙන පිතිකරුවෙක්ට ඒ වෙලාවෙදි හිතෙන්නේ තමන්ගේ අවසාන මොහොත උදාවෙලා 'මෝත් ආයා මුරලිදරන්'  කියන එක තමයි.

• මයිකල් හසී

සාමාන්‍යයෙන් මුරලිගේ පන්දුවලට මුහුණ දෙන්න
මම නම් හරිම බයයි, 
ඒකට හේතු කීපයක්ම තියෙනවා!

- පළවෙනිම හේතුව එයාගේ ඇස්, 
ඔයාලා දන්නවා පන්දු යවනකොට එයාගේ ඇස් කොච්චර ලොකු වෙනවද කියලා?
- දෙවෙනි හේතුව තමයි පන්දුව මොන පැත්තට දඟකැවෙයිද කියන එක තෝරගන්න එක,
ඒක හරිම බියජනකයි.
-  ඊළඟ හේතුව පන්දුව දඟකැවිලා පිත්ත ලඟට එනකොට ඇහෙන ශබ්දය,
මුරලිගේ පන්දුවලට මුහුණදෙන වෙලාවෙදි ඕනම කෙනෙක්ට අනිවාර්යයෙන්ම පන්දුව දඟකැවෙන 'ර්ර්ර්ර්..' කියන ශබ්දේ ඇහේවි.
- අවසාන හේතුව තමයි පිතිකරුවා ළඟම ඉන්න ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ කච කච ශබ්දේ.
මුරලි පන්දු යවනකොට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පන්දු රකින්නෝ රොත්තක් පිතිකරුවා වටේ ඉඳන් පන්දු රකිනවා.හැමවෙලේම වගේ පිත්තේ අග පන්දුව වැදිලා උඩපන්දු විදියට එයාලගේ අතට යනවා.

මුරලිගේ පන්දු වලට මුහුණ දෙන එක ලොකු අභියෝගයක්!

අන්තර්ජාලය ඇසුරෙනි.

- හේලිත හෙට්ටිආරච්චි -

Saturday, February 15, 2020

Cricketers who share their Surnames with Professions!

• Bert Ironmonger – Australia (1928/33)


• Vijay Merchant – India (1933/51)


• Nari Contractor – India (1955/62)


• Bob Barber – England (1960/68)


• Farokh Engineer – India (1961/75)


• Ian Bishop – West Indies (1988/98)


• Mark Priest – New Zealand (1990/98)


• Mark Butcher – England (1997/2004)


• Michael Mason – New Zealand (2003/10)


• Michael Clarke – Australia (2003/15)


• Ross Taylor – New Zealand (Since 2006)


• Sir Alastair Cook – England (2006/18)


• Jesse Ryder – New Zealand (2008/14)


• Lionel Sionne Baker – West Indies (2008/09)


• David Miller – South Africa (Since 2010)


• Ashley Nurse – West Indies (Since 2011)


• Jos Buttler – England (Since 2012)


• Ollie Pope – England (Since 2018)


• Jofra Archer - England (Since 2018)



Thursday, February 13, 2020

ඕවල් පිටියේ උද්ඝෝෂණයක්?



දැන් කාලේ ටීම් සිලෙක්ශන් ගැන ෆේස්බුක් එකේ මරාගත්තට ඉස්සර ඕවා කරන්න හරි ක්‍රමයක් තිබුණේ නෑනේ.

1975 ලෝක කුසලානය නියෝජනය කරපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ තෝරාගැනීම්වලට ජාති භේදය,පක්ෂපාතීත්වය අදාල කරගත්තාය කියන එකට විරෝධය දක්වන්න,
එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වුන
1975 ලෝක කුසලාන ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා තරඟය පැවැත්වෙන අතරේ ඒක මැද්දට පැනලා පිච් එකේ බුදියගත්ත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ කීපදෙනෙක්ව අල්ලන්න පොලිස් නිළධාරීන් දඟලන වෙලාවක ගත්ත ඡායාරූපයක් තමයි මේ!

ඒ කාලේ එයාලා එහෙම කලාට අදකාලේ ඔයාලා නම් මේක කරන්න යන්න එපා හොඳේ!

Wednesday, February 12, 2020

1927 වසරේදි සිලෝන් හා නවසීලන්තය අතර CCC පිටියේදි පැවැත්වූ ක්‍රිකට් තරඟයක තතු!



1927 වසරේදි පැවැත්වූ එංගලන්ත සංචාරයකට සහභාගි වී නැවතත් තම මව්බිම කරා යන නවසීලන්ත කණ්ඩායම සිලෝන්හි නිළ නොවන ක්‍රිකට් තරඟයක් ක්‍රීඩා කරන ලදි.

1927 ඔක්තෝබර් 8 වනදා CCC ක්‍රීඩාංගනයේ පැවැත්වූ මෙම තරඟයේදි මුලින් පන්දුවට පහරදුන් සිලෝන් කණ්ඩායම සියල්ලන් දැවී පන්දුවාර 63ක් තුල ලකුණු 211ක් ලබාගෙන ඇත.

සිලෝන් කණ්ඩායම වෙනුවෙන්,
මොහොට්ටි ඇල්බට් ලකුණු 49ක්,
එඩ්වඩ් කෙලාට් ලකුණු 48ක් හා
හෙක්ටර් ගුණසේකර ලකුණු 47ක්
ලබාගැනීමට සමත්වී ඇත.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායම අසීරු තත්වයක සිටියදි,
ස්ටීව් ඩෙම්ස්ටර් විසින් ලකුණු 87ක් හා කෙන් ජේම්ස් විසින් ලකුණු 45 ක් ලබාගනිමින් දැක්වූ දායකත්වය නිසා තරඟය අවසන් වන විට නවසීලන්ත පිළ කඩුළු 9කට ලකුණු 197ක් ලබාගැනීමට සමත් වී ඇති අතර තරඟය ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙනි.

- හේලිත හෙට්ටිආරච්චි -

සුද්දන්ටත් නායකත්වය දුන් "සූර වීර ගාමිණි"




'ගාමිණි ගුණසේන'

සමහරක් අය නම් ඒ නම අහලත් ඇති,
ඒත් ගොඩක් අය දන්නේ නෑ කවුද ගාමිණි ගුණසේන කියන්නේ කවුද කියන එක.
ඉතින් ඔය හේතුව නිසාමයි ගාමිණි ගුණසේන කියන ක්‍රිකට් ක්‍රීඩකයාගේ විස්තර ටිකක් ඔයාලත් එක්ක බෙදාහදාගන්න කල්පනා කලේ.

ගාමිණි උපත ලබන්නේ අපේ රට බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ පාලනය යටතේ තිබුණ කාල වකවානුවේ, 
එහෙමත් නැත්නම් අපේ රට සිලෝන් කියන නමින් හඳුන්වපු කාලේ.
හරියටම දින වකවානු වලින් කිව්වොත් ගාමිණි උපත ලබන්නේ 1931 පෙබරවාරි 16 වැනිදා,
උපන් ස්ථානය විදියට සඳහන් වෙන්නේ කොළඹ.

ගාමිණිගේ ළමා කාලය ගතවෙන්නේ කෙන්යාවේ,
ගාමිණිගේ පියා රැකියාව කලේ කෙන්යාවේ වීම තමයි ඒකට හේතුව විදියට සඳහන් වෙන්නේ.
ඒත් ටික කාලෙකට පස්සේ ගාමිණි ලංකාවට ඇවිත් 
කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා.

වයස අවුරුදු 15ක් විතර වෙනකොට අනිත් අයට සාපේක්ෂව ගාමිණි කියන්නේ ඒ තරම් උස මහත ශරීරයක් තිබුණු යෞවනයෙක් නෙවෙයි,
මේ නිසාම රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරපු තමන්ගේ සමකාලීනයෝ බොහොම දෙනෙක් වේග පන්දු යැවීම තෝරගද්දි ගාමිණි තෝරගන්නේ දඟපන්දු යැවීම.
සැලකිය යුතු කාලයක් පාදඟ පන්දු යවන්නෙක් විදියට පාසලේ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් කලත් පාසල් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වෙන්න ගාමිණිට හැකියාව ලැබුණේ නෑ.

ගාමිණිගේ ජීවිතේ හැරවුම් ලක්ෂය උනේ 1947 වසරේ පැවැත්වුන රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟය, මේ තරඟය ආරම්භ වෙන්න සතියක පමණ කාලයක් ඉතුරුවෙලා තියෙද්දි තමන්ගේ අවසාන පුහුණුවීම් කරපු රාජකීය කණ්ඩායමේ පිතිකරුවන්ට නෙට් බෝලර් කෙනෙක් විදියට පන්දු යවන්න ගාමිණිටත් අවස්ථාව ලැබෙනවා.
ඒ කාල වකවානුවේ රාජකීය විද්‍යාලයේ පුහුණුකරු විදියට කටයුතු කලේ F.C ද සේරම් මහත්මයා,
එතුමා ‍රාජකීය විද්‍යාලයේ පුහුණුකරුවෙක් විදියට කටයුතු කරන අතරතුර, සිලෝන් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් විදියටත් ක්‍රීඩා කරපු කෙනෙක්.

පුහුණුවීම් කටයුතු අතරතුර නෙට් වල පන්දු යවන ගාමිණි ගැන අවධානයෙන් හිටපු සේරම් මහත්මයාට, ගාමිණීව වාර්ෂික ක්‍රිකට් තරඟයට රාජකීය කණ්ඩායම් සංයුතියේ බොහොම පෙරළිකාර වෙනසක් සිදුකරන්න පුළුවන් බව තේරුම් යනවා.
ඒ අනුව 1947 වසරේ රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරපු ගාමිණි,
ලකුණු 46කට කඩුළු 4ක් දවාගන්නට සමත්වෙනවා.
දෙවෙනි ඉනිමේදි ගාමිණි විසින් ශාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවාගන්න සමත් වීම විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණයක්.

මේ තරඟය අවසාන වෙන්නේ රාජකීය කණ්ඩායමට කඩුළු 9ක විශිෂ්ඨ ජයක් ලබාදෙමින්!

වාර්ෂික ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කරන්න දායක වුනාට පස්සේ ගාමිණි රාජකීය ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් විදියට ක්‍රීඩා කිරීම ආරම්භ කරනවා විතරක් නෙවෙයි 1948 වසරේ පැවැත්වුන ඊළඟ රාජකීය - ශාන්ත තෝමස් තරඟයේදි ලකුණු 80කට කඩුළු 10ක් දවාගන්නත් ගාමිණිට හැකියාව ලැබෙනවා.

පාසල් අධ්‍යාපනය අවසන් කරපු ගාමිණි එංගලන්තයට සංක්‍රමණය වෙන්න තීරණය කරන්නේ එංගලන්ත රාජකීය ගුවන් හමුදාවට ඇතුළත් වීමේ අදහසෙන්,
රාජකීය ගුවන් හමුදාවට ඇතුළත් වීම ඒ තරම් පහසු දෙයක් නොවුණු නිසා 1953 වසරේදි එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වුන නොටිංහැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගාමිණි තීරණය කරනවා.
නොටිංහැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කරලා වසරක පමණ කාලයක් ගතවීමෙන් පස්සේ ගාමිණිට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබෙනවා.

මේ හේතුව නිසා ප්‍රාන්ත ක්‍රිකට් වලින් ඈත්වෙලා නීතිය හදාරන්න කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුන ගාමිණිට විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නත් අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම 1957 වසරේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලබාගන්නත් ගාමිණිට හැකියාව ලැබෙනවා,
කේම්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදුන්න පළමු ආසියානුවා වෙන්නෙත් ගාමිණිමයි.
ගාමිණිගේ නායකත්වය යටතේ ක්‍රේම්බ්‍රිජ් කණ්ඩායම නියෝජනය කරපු ටෙඩ් ඩෙක්ස්ටර් කියන ක්‍රීඩකයා පසුකාලීනව එංගලන්ත ජාතික කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කිරීමත් සුවිශේෂී කාරණයක්.


ගාමිණි නායකත්වය දුන් 1957 කේම්බ්‍රිජ් කණ්ඩායම


කේම්බ්‍රිජ් කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් 1957 වසරේදි ඔක්ස්ෆර්ඩ් කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ රැස්කල ලකුණු 211,
කේම්බ්‍රිජ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයෙක් ලබාගත් ඉහළම ලකූණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත්වල සටහන් වී තිබෙනවා.

ගාමිණිගේ එම වාර්තාව අදටත් නොබිඳුන වාර්තාවක්!

එමෙන්ම ලෝඩ්ස් පිටියේ ද්විත්ව ශතකයක් ලබාගත් එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේත් ගාමිණි ගුණසේනයි.

ගාමිණි ලකුණු 211ක් රැස්කල ඒ ඉනිමට අනෙක් අන්තයෙන් සහය දුන් ජෙෆ්‍රි කුක් ලකුණු 111ක් රැස්කරන්නටද සමත් වෙනවා,
ගාමිණි හා ජෙෆ්‍රි එක්ව හත්වන කඩුල්ල වෙනුවෙන් ලබාගත් ලකුණු 289 සබඳතාවය අද වනතුරුම ඕනෑම කඩුල්ලක් සඳහා ඔක්ස්ෆර්ඩ් - කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල තරඟ වල වාර්තා වුන ඉහළම සබඳතාවය ලෙසද සටහන් වී තිබෙනවා.
අද වනතුරුම ලෝඩ්ස් ක්‍රීඩාංගනය තුළ පැවැත්වූ පළමු පෙළ තරඟයකදී 7වන කඩුල්ල වෙනුවෙන් වාර්තා වුන හොඳම සබඳතාවයත් මේ සබඳතාවයයි.

පළමු ඉනිමට ඔක්ස්ෆර්ඩ් කණ්ඩායමට වඩා ලකුණු 332ක් ඉදිරියෙන් සිටියදි ඉනිම අත්හිටුවා කේම්බ්‍රිජ් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ නිරත වූ ගාමිණි ලකුණු 40කට කඩුළු 4ක් දවාගන්නත් සමත් වෙනවා.
අවසානයේ ඔක්ස්ෆර්ඩ් කණ්ඩායම ලකුණු 140කට දැවීයාමෙන් පස්සේ කේම්බ්‍රිජ් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 189කින් තරඟය ජයග්‍රහණය කරනවා.

1827 වසරේ සිට ඔක්ස්ෆර්ඩ් - කේම්බ්‍රිජ් තරඟ නියෝජනය කල ක්‍රීඩකයින් අතර හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස හඳුන්වන්නේ ගාමිණි වන අතර ඔහු වසර 3ක් තුල කඩුළු 208ක් හා ලකුණු 2309ක් ලබාගන්නට සමත් වී තිබෙනවා.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වීමෙන් පසු ගාමිණි නැවතත් තමන්ගේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වෙනවා, 
1964 දක්වා නොටිංහැම්ෂයර් කණ්ඩායම නියෝජනය කරන ගාමිණි, ක්‍රීඩා වාර දෙකකදි කඩුළු 100 සහ ලකුණු 1000 බැගින් ලබාගන්නටද සමත් වී තිබෙනවා.
එමෙන්ම එංගලන්තයේ Gentleman vs Players තරඟාවලියට වැඩිම වාරයක් සහභාගි වූ විදේශීය ක්‍රීඩකයා වන්නේද ඔහුයි. 

ගාමිණි 1950 දශකයේ පකිස්තානයට එරෙහිව සිලෝන් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති අතර,
1968 වසරේදි නැවතත් සිලෝන් සංචාරයකට පැමිණි ලෝක කණ්ඩායමකට එරෙහිවද ඔහු ක්‍රීඩා කර තිබෙනවා.
එපමණක් නොව 60 දශකයේදි ඔහු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමද නියෝජනය කල ක්‍රීඩකයෙක්.

විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවරයෙක් වශයෙන්,
ක්‍රීඩා විස්තර විචාරකයෙක් වශයෙන්,
කටයුතු කළ ගාමිණි 2011 වසරේ ඔස්ට්‍රේලියාවේදි මෙළොව හැර යනවා.

ගාමිණි වැනි අති දක්ෂයෙකුගෙන් ලබාගත හැකි අතිමහත් වටිනා දායකත්වය ශ්‍රී ලංකාවට නිසියාකාරව ලබාගැනීමට නොහැකිවීම ඉතා කණගාටුදායක කාරණයක්!

- හේලිත හෙට්ටිආරච්චි --

Tuesday, February 11, 2020

සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහගේ විරල ඡායාරූපයක්!



එංගලන්තයේ Leicestershire ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කල සිලෝන් ක්‍රීඩක 'ස්ටැන්ලි ජයසිංහ' මහතා පිතිකරණයේ යෙදෙන අවස්ථාවක ලබාගත් විරල ඡායාරූපයක්!

Monday, February 10, 2020

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කල පළමු ඉන්දියානු ක්‍රීඩකයා


ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකල පළමු ඉන්දියානුවා වන්නේ K.S රංජිත් සිං නම් ක්‍රීඩකයාය.
එමෙන්ම එංගලන්ත පිළට ක්‍රීඩා කල පළමු සුදු ජාතික නොවන ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේද ඔහුය.

රංජිත් පළමු වරට ටෙස්‍ට් වරම් ලබාගන්නේ 1896 වසරේ ජූනි මාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේදීය.
තමා ක්‍රීඩාකල පළමු ටෙස්ට් තරඟයේ දෙවෙනි ඉනිමේදීම ශතකයක් ලබාගන්නට තරම් 
දක්ෂයෙකු වූ රංජිත්,
කෙටිකලකින්ම එකළ ලොව ක්‍රීඩා කල දක්ෂතම පිතිකරුවන් අතරට එක්වන්නට තරම් හැකියාවක් තිබූ ක්‍රීඩකයෙකි.

පළ වූ වාර්තා වලට අනුව එකළ රංජිත්ට වඩා දක්ෂ පිතිකරුවෙකු සිටියා නම් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස හඳුන්වන W.G ග්‍රේස් පමණි.
ඒ කෙසේ නමුත් වරක් රංජිත් ගැන අදහස් දැක්වූ W.G ග්‍රේස් පවසා තිබුණේ ඔබ තවත් වසර සියයක් ජීවත් වුවද ඔබට රංජිත් වැනි ක්‍රීඩකයෙකු නැවත දැකිය නොහැකිවනු ඇති බවයි.

වර්තමානයේ පිතිකරුවන් බහුල ලෙස භාවිතා කරන Leg Glance පහරේ නිර්මාතෲවරයා වන රංජිත්,
ටෙස්ට් තරඟ 15කදී ඉනිම් 26ක් තුළ ලකුණු 989ක් ලබාගෙන ඇත,
ඔහුගේ පිතිකරණ සාමාන්‍යය ලකුණු 44.95ක් වන අතර ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ලෙස සටහන් වන්නේ ලකුණු 175කි.
1897 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පිදුම් ලබන රංජිත්, එංගලන්ත අධිරාජ්‍යයාගේ ප්‍රියතම ක්‍රීඩකයෙකු වූ බවද සඳහන් වේ.

1907 වසරේ මාර්තුවේ සිට ඉන්දියාවේ නවනගර්හි 'මහරාජා' ලෙස කටයුතු කිරීම ආරම්භ කල රංජිත් එංගලන්ත හමුදා නියෝජනය කරමින් පළමු ලෝක යුද්ධයටද සහභාගි වී ඇත.

වර්තමානයේදි අප ඔබට නිතරම ඇසෙන්නට ලැබෙන ඉන්දියාව තුල පවත්වන 'රංජි කුසලාන ක්‍රිකට් තරඟාවලිය'ට එම නම ලබාදී  ඇත්තේද රංජිත්ට ගෞරව කිරීමක් ලෙසයි.

'රංජිත් සිං' යනු අවිවාදයකින් තොරවම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පුරෝගාමියාය.

- හේලිත හෙට්ටිආරච්චි -

A Partnership Made in Heaven!


Look at the freaking average man!

This match was played back in June of 2014 and they have played another 8 innings together before their retirement.

• Total performance at the end of their careers,
- Innings - 120
- Runs - 6554
- Average - 56.50

Sunday, February 9, 2020

ස්ටීව් වෝගේ ක්‍රිකට් ජීවිතේ නරකම දවසක්!


ස්ටීව් වෝ වගේ අවුරුදු ගාණක් ක්‍රිකට් ලෝකේ ඉහළින්ම හිටපු ක්‍රීඩකයෙක්ට,

"මම මොන රෙද්දකට මේ මළ ඉලව් ක්‍රිකට් ගහන්න පුරුදු උනාද මන්දා?"

කියලා හිතුන දවස් ගාණ නම් බොහොම අඩු ඇති.

හැබැයි මේ දවස නම් එහෙම හිතුන දවස් කීපය ඇතුළේ අනිවාර්යයෙන්ම තියෙන දවසක්.

ස්ටීව්ගේ නහය චප්ප උනා,
ගිලෙස්පිගේ කකුල කැඩුනා,
ඒ මදිවට ක්‍රිකට් ඉතිහාසේ පළවෙනි වතාවට ඔස්ට්‍රේලියාව ලංකාවට ටෙස්ට් මැච් එකකුත් පැරදුනානේ!

ඉතින් අනිවාර්යයෙන්ම මේ දවස ස්ටීව්ගේ ක්‍රිකට් ජීවිතේ නරකම දවසක් වෙන්නම ඕන.

මතකේ අළුත් කරගන්න ඕන නම් බලන්න.
https://youtu.be/NokEvfxVd_M

තාත්තලා වගේ පුතාලා!



Makhaya Ntini - Lance Klusener කියන දෙන්නව නොදන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ නම් කොහෙන්වත් හොයාගන්න ලැබෙන එකක් නෑ.

ඒත් ඒ දෙන්නගෙම පුතාලත් දකුණු අප්‍රිකාවේ පාසල් ක්‍රිකට් වල යෙදිලා ඉන්නවා කියන එකනම් ගොඩක් අය දන්නේ නෑ.

මේ තියෙන්නේ Makhayaගේ පුතා Thando නායකත්වය දෙන Wynberg පාසලයි,Lanceගේ පුතා Matthew නායකත්වය දෙන SAC කියන පාසලයි අතර පැවැත්වුන තරඟයකට කලින් ගත්ත ඡායාරූපයක්.