Thursday, July 4, 2019

- ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදරදී මිනිත්තු 5 සීනුව නාද කල ශ්‍රී ලාංකිකයෝ -


පැරණි ලිපියක් නැවත පලකිරීමකි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර බොහොම උණුසුම් ටෙස්ට් තරඟාවලියක් ආරම්භ උන අද වගේ දවසක මේ රටවල් දෙකටම සම්බන්ධ ඒ උනත් බහුතරයක් දෙනා වැඩිය නොදන්න විස්තරයක් ගැන ලියන්නයි මේ හදන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ උනේ එංගලන්තයේ කියලා නොදන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ අපේ රටේ ඉන්න විදියක් නෑ කියලයි මම නම් හිතන්නේ.
ක්‍රිකට් එහෙමත් නැත්නම් මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන බොහොම ආශ්වාදජනක  ක්‍රීඩාව ලෝකෙට දායාද කරපු එංගලන්තයේ පිහිටලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගන අතරිනුත් මේ ලෝක ගෝලේ අස්සේ පිහිටලා තියෙන අනෙත් හැම ක්‍රිකට් ක්‍රීඩාංගන අතරිනුත්  ලෝඩ්ස් පිටියට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්.

කොටින්ම කියනවා නම් ලෝඩ්ස් ක්‍රීඩාංගනය හඳුන්වන්නේ "ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර" විදියටයි.

ලෝඩ්ස් පිටිය ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර විදියට හඳුන්වන්නෙත් නිකන්ම නෙවෙයි.
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මුලින්ම ඉදිකරපු ක්‍රීඩාංගනය වෙන්නේ ලෝඩ්ස් ක්‍රීඩාංගනය.
ඒ වගේම ලෝකයේ පැරණිම ක්‍රීඩා කෞතුකාගාරය පිහිටලා තියෙන්නෙත් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ.

අදින් වසර 204කට පෙර 1814දි ලන්ඩන් නුවර ස්‍ථාපනය කරපු ලෝඩ්ස් ක්‍රීඩාංගනය ඒ නමින් නම් කරලා තියෙන්නේ ක්‍රීඩාංගනය පිහිටුවන්න මූලික උන "තෝමස් ලෝඩ්ස්" කියන පුද්ගලයාට උපහාරයක් විදියටයි.

1814 වසරේ ඉඳන් අද වෙනකන්ම
ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ මූලික හිමිකාරත්වය දරන්නේ Marylebone Cricket Club එක විසින්.
ඒ වගේම ප්‍රාන්ත කණ්ඩායමක් වෙන Middlesex County Cricket Club එකටත් තමන්ගේ මව් ක්‍රීඩාංගනය විදියට  ලෝඩ්ස් ක්‍රීඩාංගනය භාවිතා කරන්න 1877 ඉඳන් හිමිකාරත්වය ලැබෙනවා.
1814දී ස්ථාපනය කලා උනත් ලෝඩ්ස් පිටියේ ජාත්‍යන්තර ටෙස්ට් තරඟයක් මුලින්ම පවත්වලා තියෙන්නේ 1884 ජූලි 21 වෙනිදා.
ඒ ටෙස්ට් තරඟය පැවතෙන්නේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරන එක ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ සිහිනයක්.
ඒ වගේම ලෝඩ්ස් පිටියේ ශතකයක් ලබාගන්න එක,කඩුළු 5ක් ලබාගන්න එක ඕනෑම පිතිකරුවෙක්ගේ,පන්දු යවන්නෙක්ගේ ක්‍රිකට් ජීවිතයේ නොමැකෙන සලකුණක් කිව්වොත් ඒක වැරදි නෑ.
ලෝඩ්ස් පිටියේ ලබාගන්නා සෑම ශතකයක්ම සෑම කඩුළු 5 අවස්ථාවක්ම ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ "Honours Board" එහෙමත් නැත්නම් ගෞරවනීය ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවට ඇතුලත් වෙනවා.
අපේ පුංචි ශ්‍රී ලංකාවෙන් "Honours Board" වලට ඇතුලත් උන ක්‍රීඩකයෝ විතරක් නෙවේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සදාකාලිකව ප්‍රදර්ශනය කරන "Lords Portrait" තවත් විදියකින් කියනවනම් "උඩුකය චිත්‍ර" වල අයිතිය දරන ක්‍රීඩකයෝ පවා ඉන්නවා කියන එක ගොඩක් ආඩම්බර වෙන්න ඕන කාරණයක්.

ලෝඩ්ස් පිටියේ පැවැත්වුන ටෙස්‍ට් තරඟයක දී පිතිකරුවෙක් රැස්කරපු හොඳම ඉනිම අයිති එංගලන්තයේ ග්‍රැහැම් ගුච්ට.ඒ 1990දි ඔහු ඉන්දියාවට එරෙහිව රැස්කරපු ලකුණු 333.
පළමු ඉනිමේ ත්‍රිත්ව ශතකයක් රැස්කරපු ගුච් දෙවන ඉනිමේ නැවතත් ශතකයක් ලබාගන්න සමත් වෙනවා.
ඒ වගේම ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ඉනිමකදි වාර්තා උන හොඳම පන්දු යැවීම අයිති ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත්ට.
මැග්‍රාත් එංගලන්තයට එරෙහිව 1997දි ලකුණු 38කට බිඳ දැමූ කඩුළු 8 අදටත් ලෝඩ්ස් පිටිය සම්බන්ධ වාර්තා ගොන්නෙන් තවත් එක් නොබිඳුනු වාර්තාවක් විදියට හඳුන්වන්න පුළුවන්.

මෑත කාලයේදි තවත් එක් අපූරු සම්ප්‍රදායක් ලෝඩ්ස් ක්‍රීඩාංගනයට එකතුවෙනවා.
ඒ වර්ෂ 2007දී.
අතීතයේදි මොනයම් ක්‍රීඩාවකට හෝ විශේෂ සේවයක් කරපු,ක්‍රීඩාවකදි විශේෂ දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩකයෙක් නොවන වෙනයම් පුද්ගලයෙක්,සමාජයට සුවිශේෂී සේවයක් කරපු පුද්ගලයෙක් විසින් ටෙස්ට් තරඟයක් ආරම්භ වීමට පෙර මිනිත්තු 5ක් ලෝඩ්ස් පිටියේ පිහිටුවලා තියෙන සීනුව නාද කරන එක තමයි මේ සුවිශේෂී චාරිත්‍රය.
මේ චාරිත්‍රය සිද්ධ කරන්න තෝරාපත්වෙන එක ඉතාමත් ගෞරවයක් ගෙනදෙන කාරණයක්.

මුලින්ම මේ සීනුව නාද කරන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවීමත් සුවිශේෂී සිද්ධියක්.
2007දි පීටර් බැක්ස්ටර් කියන BBC සේවයට සම්බන්ධව සේවයේ නියුතු උන මාධ්‍යවේදියා තමයි මුලින්ම මිනිත්තු 5 සීනුව නාද කරන්නේ.
ඒ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට කල සුවිශේෂී සේවය නිසාවෙන්.
2007 වර්ෂයේ ඉඳලා අද වෙනකොට පුද්ගලයින් 108 දෙනෙක් මේ සීනු නාද කිරීමේ චාරිත්‍රයට සහභාගි වෙලා තියෙනවා.
මළල ක්‍රීඩක ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් පවා 2012 වර්ෂයේදි මේ චාරිත්‍රයට සහාභාගි වෙලා තියෙනවා.
මේ චාරිත්‍රය සිද්ධ කල 108 දෙනා අතරේ ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු ඇතුලත් වෙලා තියෙනවා.මේ 7 දෙනාගෙන් 6 දෙනෙක්ම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෝ. 
අනිත් පුද්ගලයා සුවිශේෂී සමාජ සේවකයෙක් විදියට මුළු ලෝකයම හඳුනන කෙනෙක්.
ඒ Foundation of Goodness ව්‍යාපෘතියේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහත්මයා.

- මිනිත්තු 5 සීනුව නාදකල ශ්‍රී ලාංකිකයෝ -

• වර්ෂය - 2011
සිදත් වෙත්තමුණි
අර්ජුන රණතුංග
කුෂිල් ගුණසේකර

• වර්ෂය - 2014
චමින්ද වාස්
සනත් ජයසූරිය 
මාවන් අතපත්තු

• වර්ෂය - 2016
කුමාර් සංගක්කාර 

ඉතා ඉක්මනින්ම තවත් ලිපියක් ගෙනඑන පොරොන්දුව උඩ දැනට නවතින්නම්.
ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment