Thursday, July 4, 2019

සූරයන්ගෙත් සූරයා!



- මහදේවන් සතාසිවම් -

- පූර්විකාව -

වැල්වටාරම් ඕන නෑ!

ශ්‍රී ලංකාව කියන පුංචි දිවයිනෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වෙච්ච සුපිරිම පිතිකරුවා කවුද කියන ප්‍රශ්නේ මම උඹලගෙන් ඇහුවොත් උඹලා දෙන උත්තරේ මොකද්ද?

කට්ටියක් අරා කියයි, තව කට්ටියක් සංගා කියයි, තවත් කට්ටියක් කියයි සනා හරි මයියා හරි කියලා.
දිලීගේ නම උනත් උත්තරේ විදියට දෙන්න බැරිකමක් නෑනේ.
මාවන් අතපත්තු, තිලාන් සමරවීර, 
අර්ජුන රණතුංග, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, සිදත් - සුනිල් වෙත්තමුණි, බ්‍රෙන්ඩන් කුරුප්පු වගේ අයව අමතක කරන්නත් බෑ.

ඇත්තම කිව්වොත් ඔය හැමෝටම අපි එකවගේ ආදරේ නිසා හොඳම එක්කෙනා තෝරගන්න කිව්වොත් ඒක කරන්න ලේසි වැඩක් නෙවේ.

හැබැයි ඔය දැන් අපි දන්න වැඩ්ඩෝ ඇරෙන්න තවත් සුපිරි වැඩ්ඩෝ මේ රටේ මීට කලින් පහලවෙලා නැද්ද කියලා මම ආපහු උඹලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත්?

ඔන්න උඹලා කල්පනා කරන්න පටන් ගන්නවා.

එක ටෙස්ට් මැච් එකක් වත් ගහපු නැති,
නූතන ක්‍රිකට් මිණුම් දඬු වලින් මැනිච්ච නැති,
අපි අහපු,දැකපු නැති සුපිරි වැඩ්ඩෝ ලංකාවේ කොච්චර නම් ඉන්න ඇද්ද?
අද ලිපියත් එහෙම කෙනෙක් ගැන තමයි.

සමහරවිට අද කතාවේ කතා නායකයා ලංකාවෙන් බිහිවෙච්ච හොඳම පිතිකරුවා වෙන්නත් පුළුවන්!

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටලා තියෙන P. සරා ඕවල් පිටියේ ක්‍රීඩාගාරයේ ප්‍රදර්ශනය කරලා තියෙනවා තරඟයක් ආරම්භ කරන්න කලින් සර් ඩොන් බ්‍රැඩ්මන් සමඟ කාසියේ වාසිය උරගා බලන කඩවසම් ක්‍රීඩකයෙක්ගේ ඡායාරූපයක්.

    
දකුණු ආසියානු කලාපයේ රටක ක්‍රීඩා කිරීම සඳහා සර් දොන් බ්‍රැඩ්මන් සංචාරය කරපු එකම එක අවස්ථාව වෙච්ච 1948 වසරේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිලෝන් සංචාරයේදි ප්‍රතිවාදී සිලෝන් පිලේ නායකයා විදියට කටයුතු කරපු ඒ කඩවසම් ක්‍රීඩකයා තමයි අද අපේ කතාවේ කතා නායකයා.

ඔහු නමින් මහදේවන් සතාසිවම්.

ඒ කාලේ හැමෝම වගේ ආදරේට සතාසිවම් මහත්මයාව හැඳින්නුවේ "සතා" කියන අනවර්ථ නාමයෙන්.
මාත් මෙතන ඉඳන් අපේ කතා නායකයාව ලිපියේ සමහර තැන්වලදි සඳහන් කරන්නේ සතා කියන ඒ අනවර්ථ නාමයෙන්.
හැබැයි එහෙම කරන්නේ ඒ ගෞරවනීය චරිතයට අගෞරව කිරීමේ චේතනාවෙන් නෙවේ කියලත් අවධාරණයෙන් කියා සිටින්න ඕන.

සතාසිවම් කියන සුප්‍රසිද්ධ චරිතය ගැන උඹලා අහලනම් ඇති.
හැබැයි උඹලා වැඩිපුරම අහලා ඇත්තේ තමන්ගේ බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වෙලා පසුකාලීනව සියළු චෝදනාවලින් නිදහස් උන සතාසිවම් ගැන මිසක් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ලෝකප්‍රකට උන සතාසිවම් ගැන නෙවේ.
ඉතින් අද ලිපියෙන් මම ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ බහුතරයක් දෙනා නොදන්න සතාසිවම් කියන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයගේ තොරතුරු ලියන්න මිස අපරාධ පරීක්ෂණ වාර්තාවක් ලියන්න නම් නෙවේ.

මහදේවන් සතාසිවම් කියන්නේ වැරදි කාල වකවානුවක අපේ රටෙන් බිහි වෙච්ච වර්තමානයේ පවා ජාත්‍යන්තර මට්ටමෙන් කතාබහට ලක්වෙන්න තරම් විරල දක්ෂතා දක්වපු චරිතයක්.
ඒ වගේ කෙනෙක්ගේ දක්ෂතා ගැන දැනගන්න එක අපි කොයි කාටත් වටිනවා.

මහදේවන් සතාසිවම් උපත ලබන්නේ 1915 වසරේ ඔක්තෝබර් 18 වනදා. 
මේ කාල වකවානුවේ අපි සුද්දන්ගේ පාලනයට යටත් වෙලා හිටියා කියන එක අමුතුවෙන් ආපහු මතක් කරන්න ඕන නැහැ නෙව.

සුද්දන්ගේ පාලනය යටතේ "සිලෝන්" දිවයිනේ එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වීම ඇරඹිච්ච කාලයේ තමයි සතාසිවම් උපත ලබන්නේ.

- පාසල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹීම -

සතාසිවම්ගේ මුල්ම පාසල මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය.
පසුකාලීනව ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉවත් වෙලා බොරැල්ල වෙස්ලි විද්‍යාලයට ඇතුලත් උන සතාසිවම් පාසලේදී ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට තමන්ගේ දක්ෂතා ඉතා ඉහල මට්ටමකින් පෙන්නපු කෙනෙක්.
ඔහු පාසලේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ වයස අවුරුදු 15න්.

දිවයිනේ ප්‍රමුඛ පෙලේ පාසල් වල පන්දු යවන්නෝ සියල්ලන්ම වගේ සුපිරි දකුණත් පිතිකරුවෙක් උන සතාගේ පිත්තෙන් බැට කාලා තියෙනවා.
පන්දු යවන්නන්ට එලව එලවා පහරදුන්න ඉනිම් බොහොමයක් අතරේ තමන්ගේ අවසාන පාසල් ක්‍රිකට් ක්‍රීඩා වාරය වෙච්ච 1936 වසරේ ක්‍රීඩා වාරයේදි ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව සතා රැස්කරපු ලකුණු 145ක අති විශිෂ්ඨ ඉනිම සුවිශේෂී ගණයේ එකක් කියලයි වාර්තා පොත්වල සටහන් වෙලා තියෙන්නේ.

මීට අමතරව සතා කියන්නේ අවස්ථානුකූලව පන්දු යැවීමත් සිදු කල කෙනෙක්.
ප්‍රතිවාදී පිතිකරුවන්ගේ සබඳතා
බිඳ දැමීමට අසීරු අවස්ථා වලදී පන්දු යවා සාර්ථක ප්‍රතිඵල ලබාගත් පන්දුයවන්නෙක් විදියට ඔහුව හඳුන්වන්න පුළුවන්.

කලින් මම ලියපු ලිපියේ කතානායකයා අනුර රණසිංහ වගේම සතාසිවම් කියන්නෙත් තමන් ක්‍රීඩා කල කාල වකවානුවේදි ඉහලම දක්ෂතා දක්වපු හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා විදියට අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන් ක්‍රීඩකයෙක්.

විරල ගණයේ අසීමිත දක්ෂතාවයක් තිබුණු නිසා සතාසිවම්ට ජාතික කණ්ඩායමට ඇතුලත් වෙන්න ඒ තරම් අපහසු උනේ නැහැ.

- සිලෝන් ක්‍රිකට් කණ්ඩායම හා සතාසිවම් -

රටේ අවාසනාවකට සතාසිවම් කණ්ඩායමට ඇතුලත් උන 1945 වසර වෙද්දි අපිට ටෙස්ට් වරම් හිමිවෙලා තිබුණේ නැහැ.
ඒ වගේම දැන් කාලේ වගේ රට ඇතුලේ පළමු පෙල මට්ටමේ ක්‍රිකට් තරඟාවලි එහෙමට පැවැත්වුනෙත් නැහැ.
යම් ප්‍රමාණයකට හරි සංවිධානාත්මක විදියට පැවැත්වෙච්ච දේකට තිබ්බේ ක්‍රීඩා සමාජ තරඟ විතරයි.

අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට මව්බිමේදි වෙන රටක් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාවක් කියලා ලැබුනෙත් ඉතින් ඉන්දියාවට යන එන අතරමඟදි කොළඹ වරායේ නැව් නවත්වලා එංගලන්ත කණ්ඩායම හරි ඔස්ට්‍රේලියානු කණ්ඩායම හරි ලංකාවට ගොඩබැස්සම තමයි.
ඒ කණ්ඩායම් උනත් මෙහෙට ඇවිත් ක්‍රීඩා කලේ වාරයකට එක තරඟයක් වගේ.

මේ ඇරුනම සිලෝන් ක්‍රිකට් කණ්ඩායමට මව්බිමෙන් පිටතදී පළමු පෙළ මට්ටමෙන් ක්‍රීඩා කරන්න අවස්ථාවක් උදාවෙන්නේ ඉන්දියාවට සංචාරය කලොත් විතරයි.
ඉන්දියාවට සංචාරය කලා කියලා කිව්වට අපේ අය ඒ කාලේ වැඩිපුරම ගියේ දකුණු ඉන්දියාවේ චෙන්නායි වලට.
ඉතින් මේ හේතු නිසා අපේ කතානායක සතාසිවම් මහත්මයා ක්‍රීඩාවෙන් සමුගන්නකොටත් ක්‍රීඩාකරලා තිබ්බේ පළමු පෙල තරඟ 11ක් වගේ බොහොම අඩු තරඟ ගණනක්.

පළමු පෙල තරඟ 11ක ඉනිම් 18කදි ලකුණු 753ක් ලබාගත්ත සතාසිවම්ගේ ඉනිමක සාමාන්‍යය විදියට සටහන් වෙන්නේ ලකුණු 41.83ක්. ඒ වගේම මේ ඉනිම් 18 තුලදී ශතක 3ක් හා අර්ධ ශතක 3ක් ලබාගන්නත් ඔහු සමත්වෙලා තියෙනවා.
ක්‍රීඩා සමාජ තරඟවලදි ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කල සතාසිවම්ගේ ක්‍රීඩා සමාජ දිවියේ දත්ත නම් අද කාලේ දක්ෂ පිතිකරුවෙක්ට උනත් එහෙම ලේසියෙන් ලඟාකරගන්න පුළුවන් මට්ටමේ ඒවා නෙවෙයි.
ක්‍රීඩා සමාජ තරඟ වලදි ශතක 44ක් හා ද්විත්ව 4ක් රැස්කරන්න සමත්කම් දැක්වීමට අමතරව ඔහුගේ පිත්තෙන් ලකුණු 150ට වැඩි ඉනිම් 12ක් වාර්තා වෙලා තිබෙන බවයි වාර්තාවන් වල සඳහන් වෙන්නේ.

නිරන්තරයෙන්ම ක්‍රිකට් පිටියේදි විශිෂ්ඨ දක්ෂතා දැක්වීම නිසා සතාසිවම් මහතාට ලෝඩ්ස් පිටියේ හිමිකාරීත්වය දරන Marleybourne ක්‍රීඩා සමාජයේ ගෞරව සාමාජිකත්වය පවා හිම්වෙනවා.
සතාසිවම් කියන අසාමාන්‍ය පිතිකරුවගේ පිතිකරණය දැකබලාගන්න විතරක්ම ක්‍රිකට් තරඟ බලන්න ආපු අය ඒ කාලේ ඕන තරම් ඉඳලා තියෙනවා කියන එකත් අමතක කරන්න හොඳ නැහැ.

සතා කියන්නේ ඒ තරම් සුපිරි දක්ෂයෙක්!

- මතකයේ රැඳෙන සුවිශේෂී ඉනිම් 3ක් -

• 1945 වසරේදි ඉන්දියාවට එරෙහිව රැස්කල ලකුණු 111

1945 වසරේදි තමයි මුලින්ම සතාසිවම් මහතා සිලෝන් කණ්ඩායම නියෝජනය කරපු තරඟය පැවැත්වුනේ.
ඒ ඉන්දියාවට එරෙහිව.
මේ තරඟයේදි ඉන්දියානු කණ්ඩායමට නායකත්වය දුන්නේ විජේ මර්චන්ට් නමැති ක්‍රීඩකයා විසින්.

තමන්ගේ මංගල තරඟයේදිම ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන් වෙච්ච අමරනාත්,බැනර්ජි,
C.K නයුදු,විජේ හසාරේ,මෝදි වගේ ක්‍රීඩකයින්ට හිතේ හැටියට පහර එල්ල කල සතාසිවම් ශතකයක් වාර්තා කරමින් ප්‍රේක්ෂකයින්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වෙනවා.
තරඟය අවසන් උනාට පස්සේ ඉන්දීය නායක විජේ මර්චන්ට් සිලෝන් කණ්ඩායමට වෙන්වෙලා තිබුනු කාමරයට ගිහින් සතාසිවම්ට සමරු සටහනක් විදියට එදා තරඟයේදි භාවිතා කරපු කඩුල්ලක් ලබාදෙනවා.

ඒ වගේම,

"සුවිශේෂී ගණයේ සටන්කාමී ඉනිමක් ඇගයීම" 

සඳහා එසේ කල බවත් ඉන්දීය පිලේ නායක විජේ මර්චන්ට් සතාසිවම් මහතා සමග පවසා තිබෙනවා.

• 1947 චෙන්නායි චෙපොක් ක්‍රීඩාංගනයේදි
දකුණු ඉන්දියාවට එරෙහිව රැස්කල ලකුණු 215

"විශ්මය දනවන සුළු මනස්කාන්ත හීන්දෑරි පිතිකරුවෙක් පන්දුවට පහරදීමට පිටියට පිවිසුනා.
ඔහු කැප් තොප්පිය පැලඳගෙන සිටියේ අමුතුම කෝණයකින්.
ඒ වගේම ඔහුගේ කර වටා සුදු ලේන්සුවක්ද ගැටගසා තිබුණා"

1947 වසරේදි චෙපොක් ක්‍රීඩාංගනයේදි පැවති දකුණු ඉන්දියාව හා සිලෝන් කණ්ඩායම අතර තරඟයකදී පිතිකරණය වෙනුවෙන් පිටියට පිවිසි සතාසිවම් ගැන 'මැඩ්‍රාස් මිරර්' පුවත්පත් වාර්තාකරු ශ්‍රී රාම් වීරා විසින් හඳුන්වා තිබ්බේ එලෙසින්.

1947 වර්ෂය වනතුරු චෙපොක් ක්‍රීඩාංගනයේදි පිතිකරුවෙක් ලබාගත් උපරිම සංඛ්‍යාව විදියට සටහන් වෙලා තිබ්බේ ලකුණු 213ක්.
1938/39 කාල වකවානුවේදි ජෝ හාර්ඩ්ස්ටාෆ් නමැති පිතිකරුවා නමට ලියවිලා තිබුණ ඒ වාර්තාව බිඳවැටුනේ අපේ වීරයා සතාසිවම් අතිනුයි.

තරඟයේ පළමු දිනය ආරම්භ වීමට පෙර සිලෝන් කණ්ඩායමේ කළමනාකරු සතාසිවම්ට පොරොන්දුවක් ලබාදෙන්නේ තරඟයේදි ශතකයක් රැස්කලොත් ස්කොච් විස්කි බෝතලයක් ලබාදෙන බවයි.

මුලින්ම පන්දුවට පහරදුන් සිලෝන් කණ්ඩායම පළමු දිනයේ දිවා ආහාරය වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 119ක්ද,
තේ පානය වනවිට කඩුළු 3ක් දැවී ලකුණු 263ක්ද,පළමු දිනය අවසාන වනවිට කඩුළු 4ක් දැවී ලකුණු 369ක්ද ලබාගත් අතර පළමු දිනය අවසානයේ සතාසිවම් නොදැවී ලකුණු 120ක් ලබා සිටියා.
පොරොන්දු වූ අයුරින්ම විස්කි බෝතලය සතාසිවම්ට ලබාදෙන කළමනාකරු තවත් පොරොන්දුවක් ලබාදෙනවා.
ඒ ද්විත්ව ශතකය රැස්කලහොත් බොම්බේ නගරයේ සතියක නිවාඩුවක් ලබාදෙන බවයි.

පළමු දිනය අවසාන වීමෙන් පසු මුළු රාත්‍රිය පුරාම බීමත්ව විනෝද වූ සතාසිවම් ඊළග දිනයේදි සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණය දියත් කරමින් තම ද්විත්ව ශතකය වාර්තා කරනවා.
තරඟයේ දෙවන දිනයේ උදෑසන සිලෝන් කණ්ඩායම ඉනිම අත්හිටුවන්නේ කඩුළු 7කට ලකුණු 521ක් ලබාගැනීමෙන් පස්සේ.

සිලෝන් කණ්ඩායම ලකුණු 100 ලබාගන්නා විට ඒ සඳහා වැයවූ මිනිත්තු ගණන 105ක් ලෙසද, 
ලකුණු 300 ලබාගන්නා විට වැයවූ මිනිත්තු ගණන 281ක් ලෙසද,
ලකුණු 400 ලබාගන්නා විට වැයවූ මිනිත්තු ගණන 315ක්ද,
ලකුණු 500 ලබාගන්නා විට වැයවූ මිනිත්තු ගණන 381ක්ද බවයි වාර්තාවන් වල සඳහන් වන්නේ.
සිලෝන් කණ්ඩායමේ තුන්වන කඩුල්ල දැවී යාමෙන් පසු පිටියට පිවිසි සතාසිවම් ලකුණු 215ක් ලබාගැනීම සඳහා වැයකරන්නේ මිනිත්තු 248ක් පමණයි.

සිලොන් කණ්ඩායමේ කළමනාකරු පොරොන්දු වූ පරිදිම ලබාගත් ද්විත්ව ශතකය නිසා සතාසිවම්ට සතියක නිවාඩුවක් බොම්බේ නුවර ගතකිරීමටද අවස්ථාව හිමිකර දෙනවා.

මේ අයුරින් මිනිත්තු 248ක කාලයක් පමණක් වැය කරලා ඔහු රැස්කරපු ලකුණු 215ක ඉනිම දශක ගණනාවක් ගතවී ගියත් අද වනතුරුම චෙපොක් ක්‍රීඩාංගනයේ දියත් කල හොඳම ඉනිම විදියට සටහන් වෙනවා.
ඒකට හේතුව ඒ ඉනිම M.J ගෝපාලන්,
C.R රංගචාරි,රාම් සිං වැනි ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරපු
ප්‍රබල දකුණු ඉන්දීය පන්දු යවන්නෝ අන්ත අසරණ කරවලා පිටිය පුරාවටම පහර එල්ලකරමින් ලබාගත්ත සුවිශේෂී ගණයේ එකක් නිසා.

කොටින්ම කියනවනම් 1947 වසරෙන් වසර 30 කට පසුව 1977 වසරේදි සතාසිවම් මහත්මයා මිය ගියපු අවස්ථාවේදි පවා
'මැඩ්‍රාස් මේල්' නම් ඉන්දීය පුවත්පත ඔහුගේ මරණ දැන්වීම් නිවේදනය සිදු කලේ,

"චෙපොක් ක්‍රීඩාංගන ක්‍රිකට් ඉතිහාසයේ 
විශිෂ්ඨතම ඉනිම වාර්තා කල විරුවා තවදුරටත් අප අතරේ නොමැත" 

කියන ගෞරවාන්විත වචන පේලිය පාවිච්චි කරලා.

ඒ වගේම 'ද හින්දු' පුවත්පත ඔහුගේ ඉනිම ගැන සඳහන් කරලා තිබුණේ ඔහුගේ ඉනිම සැතපුම් ගණනාවක් පහු කරලා ගිහින් උනත් බලන්න වටින තරමේ ඉනිමක් විදියටයි.
ඒ වගේම සතාගේ ලේට් කට් පහර, ලෙග් ග්ලාන්ස් පහර,මනරම් පාද චලනයන් ඔහු විශිෂ්‍ඨ ක්‍රීඩකයෙක් බව ලොවටම ඔප්පු කරා කියලත් 'ද හින්දු' පුවත්පතේ ඒ කාලේ ලියවිලා තිබුණා.

චෙපොක් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරලා ප්‍රේක්ෂකයින් පිනවපු ඒ කාලේ ක්‍රීඩාවේ අති දැවැන්තයෝ වෙච්ච ජැක් හොබ්ස්, 
චාලි මැකාට්නි,ජෝ හාර්ඩ්ස්ටාෆ්,C.K නයුදු,
ඩෙනිස් කොම්ටන්,ලින්ඩ්සේ හැසට්,
ගාෆීල්ඩ් සෝබර්ස්,විජේ හසාරේ වගේ ක්‍රීඩකයන්ටත් වඩා සිලෝන් වල සතාසිවම් සහ ඔහුගේ පිතිකරණය විශිෂ්ඨ ගණයේ තිබුණු බවට තමයි එකල විස්තර විචාරකයන්ගේ අදහස වෙලා තිබුණේ.

සිලෝන් කණ්ඩායමේ සතාසිවම් යනු,

"ඉන්දියානු ක්‍රීඩක C.K නයුදුගේ ප්‍රහාරාත්මක පිතිකරණ විලාශයේත්,
කොදෙව් ක්‍රීඩක එවර්ටන් වීක්ස්ගේ පාද චලනයේත්,
ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ලින්ඩ්සේ හැසට්ගේ නිහතමානී හැසිරීමේත්,
කොදෙව් ක්‍රීඩක ගාෆීල්ඩ් සෝබස්ගේ ඩ්‍රයිව් පහර එල්ලකිරීමේ හැකියාවේත්"

එකතුවක් බව එකල ඉන්දියානු පුවත්පත් වල සටහන් වී තිබූණා.

එමෙන්ම මේ තරඟයේදි සතාසිවම්ට පන්දු යැවූ ඉන්දියානු පිලේ සුප්‍රසිද්ධ පිට දඟ පන්දුයවන්නෙක් වගේම ඉන්දියානු කණ්ඩායමට නායකත්වය පවා ලබාදුන් ගුලාම් අහ්මඩ් ප්‍රකාශ කලේ තමාගේ ක්‍රිකට් දිවිය තුල පන්දු යැවූ දවාගැනීමට අසීරුම පිතිකරුවා සිලෝන් කණ්ඩායමේ සතාසිවම් බවයි.
එකල පිතිකරණයේ පතාක යෝධයන් ලෙස හැඳින්වූ ඩොන් බ්‍රැඩ්මන්,ලේන් හට්න්,
ඩෙනිස් කොම්ටන්,කීත් මිලර්,එවර්ටන් වීක්ස්,
ෆ්‍රෑන්ක් වොරල් වැන්නන්ට පන්දු යවා ඇති ගුලාම් සඳහන් කරන්නේ සතාසිවම් ඔහුට චෙන්නායි හීදී බැට දුන් ආකාරය කිසිදා අමතක නොවන බවයි.

විදේශ රටක මාධ්‍යයන්ගෙන් හා ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් ක්‍රීඩකයන් මගින් නිරන්තරයෙන්ම ඇගයීමට ලක්වීමට තරම් අසීමිත දක්ෂතාවයක් සතු විරල ගණයේ ක්‍රීඩකයෙක් වෙච්ච සතාසිවම් මහත්මයා කොයිතරම් දක්ෂයෙක් උනත් ඕනෑම කෙනෙක් සමඟ බොහොම මිත්‍රශීලී විදියට හැසිරුණ පුද්ගලයෙක් කියන කාරණෙත් අමතක නොකල යුතුයි.

• 1950 වසරේදි කොමන්වෙල්ත් කණ්ඩායමට එරෙහිව රැස්කල ලකුණු 96

1950 වසරේදි කොමන්වෙල්ත් කණ්ඩායම විදියට හඳුන්වපු එංගලන්ත, ඔස්ට්‍රේලියානු හා කොදෙව් කණ්ඩායම් වල සුපිරි ක්‍රීඩකයන් එකතු කරලා හදපු කණ්ඩායමක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන රටවල් දෙක සංචාරය කරනවා.
මේ කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෝ වෙච්ච ෆ්‍රෑන්ක් වොරල්,ජියෝ ට්‍රයිබ්,
ෆ්‍රෙඩ් ෆ්‍රියර්,ජියෝ පෝප් ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බහුතර ක්‍රීඩකයෝ අසරණ වෙද්දි සතාසිවම් ලකුණු 96ක් ලබාගන්නවා.
සුවිශේෂී සිද්ධිය වෙන්නේ සතාසිවම් ලකුණු 96ක් රැස්කරලත් මේ ඉනිමෙදි මුළු ශ්‍රී ලංකා කණ්ඩායමම රැස්කලේ ලකුණු 153ක් පමණක් වීම.

ලකුණු 96කට දැවී යන සතා ආපසු ක්‍රීඩාගාරයට යන වෙලාවෙදි ෆ්‍රෑන්ක් වොරල් ඇතුළු මුළු කොමන්වෙල්ත් කණ්ඩායමම ඔහුට ගෞරව කරන්නේ අත්පොළසන් දීලා.
මේ තරඟයෙන් පස්සේ ෆ්‍රෑන්ක් වොරල් ප්‍රකාශයක් කරනවා ඔහුට ලෝක ක්‍රිකට් කණ්ඩායමක් නම් කරන්න සිද්ධ උනොත් ඔහුගේ මුල්ම තේරීම වෙන්නේ සිලෝන් වල සතාසිවම් කියලත්.
ඒ වගේම පස්සේ කාලෙක ශ්‍රී ලංකාවේ පුහුණුවීම් සැසියක් පවත්වන්න එන ගාෆීල්ඩ් සෝබර්ස්ටත් සතාසිවම් ගැන විස්තර කියපු ෆ්‍රෑන්ක් වොරල් ඔහු අතේ සතාසිවම්ට කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයන් සියල්ලන්ගෙම අත්සන් යෙදූ සමරු ක්‍රිකට් පිත්තක් එවන්නත් අමතක කරන්නේ නෑ.


ඒ විදියට ෆ්‍රෑන්ක් වොරල්ගෙන් සතාසිවම් ගැන දැනගත්ත ක්‍රිකට් ඉතිහාසයේ පහල වෙච්ච සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් උන ගාෆීල්ඩ් සෝබස් ලංකාවට ඇවිත් සතාසිවම්ගේ පිතිකරණය දැක්කට පස්සේ පුදුමයට පත්වෙනවා.

ඔහු සතාසිවම් මහත්මයව මුණගැහිලා ෆ්‍රෑන්ක් වොරල් ලබාදුන්න සමරු සටහන ලබාදෙද්දි සතාසිවම් මහත්මයා ඒ සමරු සටහන භාරගෙන තියෙන්නේ බොහොම හැඟීම්බරව.
ක්‍රිකට් ක්‍රීඩාව නිසා තමන්ට ලැබුණු හොඳම තෑග්ග මෙය බවත් තමන්ගේ සමරු සටහන් අතර ඉහලම තැන එය තබාගන්නා බවටත් ඒ අවස්ථාවෙදි සතාසිවම් විසින් සෝබර්ස්ට කියා සිටිනවා.

පසුකාලීනව ගාෆීල්ඩ් සෝබර්ස් විසින් සතාසිවම් නම් පිතිකරුවාව හඳුන්වන්නේ,

"එදාමෙදාතුර මිහිපිට පහල වෙච්ච හොඳම පිතිකරුවා"

ලෙසටයි.

- බිරිඳගේ මිනීමැරුමට චෝදනා එල්ල වීම -

අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්ච සතාසිවම් මහත්මයාට දුර්වල චරිත ලක්ෂණ රාශියක් තිබුණු බව තමයි සාමාන්‍යයෙන් සලකන්නේ.
ස්ත්‍රී ලෝලියෙක් වගේම මද්‍යසාර වැඩි වශයෙන් භාවිතා කරපු "ප්ලේබෝයි" ගණයේ චරිතයක් වෙච්ච සතාසිවම් මහතා ඕනෑම කාන්තාවක් වශීවන තරමේ පෞර්ෂයක් තිබුණු පුද්ගලයෙක්.
පෙර දිනයේ මුළු රාත්‍රිය පුරාම සාද වල බීමත්ව කාලය ගතකිරීමෙන් පසුව පවා තරඟයට පැමිණ ශතක රැස්කිරීමේ හැකියාවක් තිබුණු සතාසිවම් මහතාගේ පන්දු රැකීම නම් දුර්වල වූ බවද සඳහන් වනවා.
ඔහු සමහර දිනවල තරඟයට පැමිණෙන්නේ වෙරි මතින් වීම එයට හේතුවයි.

1940 වසරේ පෙබරවාරි 9 වනදා විවාහ දිවියට ඇතුල්වුන සතාසිවම් මහත්මයගේ සහකාරිය උනේ ආනන්දන් රාජේන්ද්‍ර මෙනෙවිය.
සුදු ජාතීන්ගෙන් නිදහස ලබාගැනීමට දායකත්වය ලබා දීම නිසා අපේ රටේ ජාතික වීරයෙක් විදියට හඳුන්වන පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිණිපිරිය වෙච්ච ආනන්දන් මෙනෙවිය සුරූපී කාන්තාවක්.

විවාහ දිවියට ඇතුලත් උන මේ දෙපලට පසුකාලීනව දියණියන්ම සිව්දෙනෙකු දායාදයන් ලෙස
ලැබුණත් වසර ගණනාවක් තිස්සේ නිරන්තරයෙන් ඇතිවූ හැලහැප්පීම්
නිසා ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය අසාර්ථක එකක් වූ බව සුප්‍රසිද්ධ කාරණයක්.

විවාහ වීමෙන් වසර 11ක් ගතවීමෙන් පසු 1951 ඔක්තෝබර් 9 වනදා ආනන්දන් මහත්මිය බම්බලපිටිය නිවසේ ගරාජය තුල ඝාතනය වී සිටියදි ඔවුන්ගේ රෙදි සෝදන සේවකයා විසින් සොයාගනු ලබනවා.
නිරන්තරව සිදුවූ හැලහැප්පීම් සහ තවත් කරුණු ගණනාවක් නිසා තම බිරිඳගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට සතාසිවම් මහතාට චෝදනා එල්ලවෙනවා.

මේ වෙනුවෙන් පැවැත්වූ නඩු විභාගයේදි පැමිණිලිකාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ පරස්පර විරෝධී සාක්ෂීන් හා නීතිඥ කොල්වින් R ද සිල්වා මහතාගේ දක්ෂතාවය නිසා පසුකාලීනව සියළු චෝදනාවලින් සතාසිවම් මහතාට නිදහස ලැබුණත් ඒ වනවිටත් ඔහු එල්ල වූ චෝදනාව හේතුවෙන් මාස 20ක කාලයක් රිමාන්ඩ් භාරයේ ගතකොට අවසන්.
එමෙන්ම අතුරු ප්‍රතිඵල ලෙස අධිකරණයට සාවද්‍ය සාක්ෂි ලබාදීම හේතුවෙන් නඩුවේ සාක්ෂිකරුවන් 3 දෙනෙකුට බරපතල වැඩ සහිත සිර දඬුවම්ද නියම වෙනවා.

රිමාන්ඩ් භාරයේ සිටියදී සතාසිවම් මහතාව මුණගැසී ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු කීත් මිලර් පැමිණි  අතර නඩු විභාගය සඳහා රටේ සිටින විශිෂ්ඨතම නීතිඥයන්ගේ සේවය ලබාගන්නා ලෙසටත් එයට වියදම් වන සියළුම මුදල් තමා ගෙවීමට සූදානම් බවත් ඔහුගේ කොදෙව් හිතවතා වූ ෆ්‍රෑන්ක් වොරල් කේබල් පණිවිඩයක් හරහා දන්වා සිටියා.

පිටිය තුල දැක්වූ සුවිශේෂී දක්ෂතා නිසාවෙනුත් ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමඟ නිරතුරුවම සුහදශීලීව හැසිරීම නිසාවෙනුත් ඒ කාල වකවානුවේ බිහි වූ සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලන්ම පාහේ සතාසිවම් මහතාගේ මිතුරන් වූ අතර ඒ අතරින් බහුතරයක් දෙනා සතාසිවම් මහතා පත්ව සිටි අසීරු අවස්ථාවෙන් ඔහුව මුදවා ගැනීමට අවශ්‍ය උදව් උපකාර අප්‍රමාදව ලබාදීම ඒ මහතා නඩු විභාගය ජයගැනීමට ඉවහල් වූ ප්‍රධාන හේතුවක්.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව නිදහස් වී නැවත එන තමන්ගේ වීරයාව පිලිගැනීම සඳහා සාමාන්‍ය ජනතාව අධිකරණ පරිශ්‍රයට එක්රැස්ව සිටි අතර අධිකරණ පරිශ්‍රයෙන් ඉවතට පැමිණීමෙන් පසුව තමන්ගේ මෝටර් රථය වෙත ගමන් කලේ රසිකයින්ගේ කරමතින්.

- නැවත ක්‍රිකට් පිටියට පැමිණීම හා ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය -

දීර්ඝ කාලයක් තරඟ බිමෙන් ඉවත්ව සිටි සතාසිවම් මහතා තමාගේ ක්‍රීඩා සමාජය වූ ටැමිල් යූනියන් කණ්ඩායමේ දෙවන පෙල කණ්ඩායම සමඟ එක් වීමෙන් අනතුරුව නැවතත් ක්‍රිකට් පිටියට පිවිසෙනවා.
මේ ආගමනයෙන් පස්සේ සතාසිවම් මහත්මයා ක්‍රිඩා කරපු තරඟය පැවැත්වුනේ BRC පිටියේදි.
BRC කණ්ඩායම හා ටැමිල් යූනියන් කණ්ඩායම අතර පැවැත්වුන මේ තරඟයට සතාසිවම් මහත්මයා සහභාගී වන බව දැනගත්තම අතිවිශාල සෙනගක් BRC පිටියට රැස්වුනු බව ප්‍රවීණ විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතා සඳහන් කරනවා.

ටැමිල් යූනියන් පිලේ කඩුළු 2ක් දැවීගියාට පස්සේ පිටියට ආව සතාසිවම් මහතාව දැකපු සාමාන්‍ය ජනතාව ඔල්වරසන් දෙමින් ඔහුට සහය පලකලා.
ඒ වෙනකොට පන්දු යවමින් හිටියේ තරුණ වේග පන්දු යවන්නෙක්.
ඔහු සතාසිවම් මහතාව පීඩනයට ලක්කිරීමට එකපිට බවුන්සර් පන්දු දෙකක් යොමුකරනවා.
ශරීරය පහත් කර බවුන්සර් පන්දු දෙකම මඟහරින සතා තරුණ වේග පන්දු යවන්නා අසලට ගොස්,

"පුතා මම වයසක මනුස්සයෙක්.
මම හරියට උඹේ තාත්තා වගේ.
මට තුවාල කරන්න හිතාගෙන බවුන්සර් 
දාන්න එපා"

ලෙස ඉතා කාරුණිකව පවසා සිටියත් එය ගණනකට නොගත් වේග පන්දු යවන්නා නැවතත් බවුන්සර් පන්දුවක් යොමු කල අතර සතා ඒ පන්දුව පිලිගත්තේ දැවැන්ත 6 පහරක් එල්ලකරමින්.
ගුවනින් පියාසර කරපු ඒ පන්දුව BRC ක්‍රීඩාංගනයේ මායිමේ තිබ්බ මාරගස් වලටත් උඩින් ගිහින් අන්තිමට නතර වෙලා තියෙන්නේ හැව්ලොක් රග්බි පිටිය අසලින්.

නැවත ආගමනයෙන් පසුව ශ්‍රී ලංකාව තුලදි සතාසිවම් මහතා ලබාගත් හොඳම ඉනිම වාර්තා වෙන්නේ 1955 වසරේදි NCC පිටියේදි.
1958 වසරෙදි එතුමා මැලේසියාවට සංක්‍රමණය උන බවත් සිංගප්පූරුව,මැලේසියාව යන රටවල් දෙකේම ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් බවත් වාර්තාවන් වල සඳහන් වෙනවා.

1977 වසරේදි හෘදයාබාධයක් නිසා කොළඹදි එතුමා මිය යනවා.ඒ වෙනකොට එතුමට වයස අවුරුදු 61ක්.

රටවල් 3ක ක්‍රිකට් කණ්ඩායම් වලට නායකත්වය දුන් පළමු හා එකම ක්‍රීඩකයා මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් එකම ද්‍රවිඩ ක්‍රීඩකයා වූ සතාසිවම් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අමතක වී ගිය වීරයා ලෙස විවාදයකින් තොරව හැඳින්විය හැකි බව මගේ අදහසයි.

නැවත හමුවන තුරු ඔබට ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment