Thursday, July 4, 2019

මෑඩ් මැක්ස්!



1997/98 අවුරුදුවලට පස්සේ ඉපදුන මල්ලිලා නංගිලා ඇරෙන්න මෑඩ් මැක්ස් බැට් කරනවා එක පාරක් හරි සජීවීව බලන්න අනිත් හැමෝම අය පිං කරලා තිබ්බා. 

කවුද මේ මෑඩ් මැක්ස්?

වෙන කවුද ඉතින් වන් ඇන් ඔන්ලි අරවින්ද ද සිල්වා මිසක්!

අරවින්ද ද සිල්වා කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්.අද මේ කතාව අරවින්ද ගැන.

අරවින්ද කියන්නේ පාසල් කාලේ ඉඳන් ගොඩක්ම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්.මුලින් කොළඹ ඉසිපතන විද්‍යාලය ඊට පස්සේ ඩී එස් සේනානායක විද්‍යාලය තමයි අරවින්දට මග පෙන්නපු පාසල් දෙක.

අරවින්ද ටෙස්ට් වරම් දිනාගන්නේ 1984 ලෝඩ්ස් වලදි එංගලන්තේ සමග තරඟයකදී.
හැබැයි මුල් කාලේ අරවින්ද පිස්සු ශොට් ගහලා ඔහේ අවුට් වෙලා යනවා කියලා විචාරකයන්ගේ මතයක් තිබිලා තියෙනවා. 
ඒක නිසා තමයි මෑඩ් මැක්ස් කියන නම අරවින්දට පටබැඳුනේ. 
අරවින්ද මේ ගැන ඇහුවම කියලා තිබ්බේ "කවුරු කිව්වත් මගේ ස්ටයිල් එක මම වෙනස් කරන්නේ නෑ මට බෝලර්ස්ලට රිදෙන්න ගහන්න පුලුවන් නම් ඇයි මම ඒක වෙනස් කරගන්නේ" කියන එක.

1989 දි ලංකාව ඔස්ට්‍රේලියානු බිමක වාර්තා කරපු පළමු එක්දින තරඟ ජයත් ලබාදුන්නේ මේ මෑඩ් මැක්ස්ම තමා. 
ඇවරේජ් එක අඩු උනත් විශ්වාසයක් තියාගන්න පුළුවන් බැට්ස්මන් කෙනෙක් විදියට 90 දශකය පුරාම අරවින්ද නම්දැරුවා. 
විවිධ ප්‍රශ්න වලට මුහුණපාලා අරවින්ද වරක් දෙවරක් ටීම් එකෙන් එලියට ගියා වගේම කණ්ඩායමේ නායකයා විදියටත් වරක් කටයුතු කලා.

අරවින්දගේ ක්‍රීඩා දිවියේ ගෝල්ඩන් ඩේස් එහෙම නැත්නම් වටිනාම අවධිය 96 ලෝක කුසලානය තරඟාවලිය.
ඉන්දියාව එක්ක අවසන් පූර්ව තරඟෙදි සනා කලූ දෙන්නම මුල් ඕවරේම අකුලන් ආපහු පැවිලියන් එකට ගියපු වෙලේ ප්‍රෙෂර් එකක් කියලා දෙයක් තියෙනවද කියලා හිතෙන තරමට ඉන්දියන් බෝලර්ස්ලට නෙලුවා.
අදටත් ලංකාවේ බිහිඋන හොඳම කවුන්ටර් ඇටෑකර් අරවින්ද ඒකේ කතා දෙකක් නෑ.
ෆයිනල් එකෙත් උනදේත් ඔයාල හැමෝම දන්න නිසා ආපහු කියන්න යන්නේ නෑ.
හැබැයි අදටත් වර්ල්ඩ් කප් ෆයිනල් එකක සෙන්චරියක් ගහලා විකට් 3කුත් කැච් 2කුත් ගත්‍ත ක්‍රීඩකයෙක්‍ට ඉන්නේ අරවින්ද විතරයි.
වරක් සර් විවි රිචඩ්ස් කියලා තිබ්බේ ලංකාවේ ක්‍රිකට් වලට ලැබුන හොඳම සම්පත අරවින්ද කියලා.ඒ කාලේ ගොඩක් පන්දු යවන්නන්ගේ පෞද්ගලිකව ප්‍රියතම ක්‍රීඩකයා උනේ අරවින්ද, සුල්තාන් ඔෆ් ස්වින්ග් වසීම් අක්‍රම්ත් ඒ ගොඩට අයිතියි.

අරවින්ද මොඩර්න් ක්‍රිකට් වල අනිත් හැමෝටම කලින් හුක් සහ පුල් ශොට් එක හොඳටම භාවිතා කරපු ක්‍රිඩකයෙක්.
පුල් ෂොට් එක අරවින්ද සහ පොන්ට්ං ගහපු තරම් ලස්සනට ගහන්න අද වෙනකනුත් කවුරුත් සමත් වෙලා නෑ.හුක් ශොට් එකත් එහෙමයි.2003 ලෝක කුසලානෙදි බ්‍රෙට් ලීට ගහපු එක ශොට් එකකට රිචී බෙනෝ කිව්වේ "That's one of the best shots you will ever see" කියලා එදා ලංකාව තරඟේ පැරදුනත් බ්‍රෙට් ලීට අරවින්ද කියන්නේ මොන වගේ පොරක්ද කියන එක හොඳටම තේරිලා තිබ්බා.

අරවින්ද කියන්නේ කාර් පිස්සෙක්.ෆෙරාරි කාර් එකක් 90 ගණන් වල පාවිච්චි කරපු එකෙන්ම ඒක හිතාගන්න අමාරු නෑ.1995 දි කෙන්ට් ප්‍රාන්තේ වෙනුවෙන් කවුන්ට්‍රි  ගහන කොට  බෙන්සන් ඇන්ඩ් හෙජස් ෆයිනල් එකේදි ටීම් එක පැරදුනත් ලකුණු 112ක් අරගත්ත අරවින්ද ගෙන් කෙන්ට් ප්‍රාන්ත කළමනාකරු අහලා තියෙනවා මොනාද තෑග්ගක් විදියට අවශ්‍ය කියලා.ඒ වෙලේ ආය දෙපාරක් නොහිතා තඩි බෙන්ස් එකක් තෑග්ගට ගන්න තරම් අරවින්ද කාර් වලට ආදරෙයි.ඉස්සර අපි පොඩි කාලේ අරවින්ද බැට් කරනකොට මුමුණපු දෙයක් තමා තෑග්ගට කාර් එකක් වත් තිබ්බා නම් කියන එක.මොකද තරඟයේ වීරයාට කාර් එකක් දෙනවා කිව්වොත් මොනවාහරි වෙලා එදාට අරවින්ද තරඟයේ වීරයා වෙනවා.හැබැයි ග්‍රවුන්ඩ් එකට කාර් එක ලස්සනට පේන්න තියෙන්නත් ඕන.මේක අපේ ගොන් මතයක්, අරවින්ද තෑගි බෝග බලාගෙන රටට සෙල්ලම් කරපු කෙනෙක් නෙවේ.

අදටත් ඇවරේජ් අතින් හා දක්ශතා අතින් ලංකාවේ ඉදිරියෙන්ම හිටපු ක්‍රීඩකයන් දෙන්නෙක් වන සංගා සහ මයියාගේ ප්‍රියතම බැට්ස්මන් අරවින්ද. ඒ අය හැදුනේ අරා සහ ජයා බලාගෙන කියලා තමා එයාලම කියන්නේ. ලියන්න දේවල් අනන්තවත් තියෙනවා හැබයි වෙලාව මදි. ඊළඟ පාර තවත් ටිකක් විස්තර කියන්නම්.

ජය!

- හේලිත හෙට්ටිආරච්චි -

*සයිබර් අවකාශය තුල මා මුල් වරට පලකල ක්‍රීඩා ලිපිය වන්නේ මෙම ලිපියයි. 

No comments:

Post a Comment