Thursday, July 4, 2019

- අකාලයේ නිවී ගිය සුපිරි ක්‍රිකට් තරුව -



- අනුර රණසිංහ -

- පූර්විකාව - 

"අනුර රණසිංහ කිව්වම කවුද නොදන්නේ?"

කියලා දැන් කාලේ නම් අහන්න බැහැ.
මොකද මේ ලිපිය බලන අයගෙන් අඩුම 90%ක් දන්නේ නෑ කවුද අනුර රණසිංහ කියන්නේ කියලා.
ඒක කිරි ගහට ඇන්නා වගේ ෂුවර්!

කොටින්ම මේ ලිපිය ලියන මම උනත් අනුර රණසිංහ ඉගෙනගත්ත පාසලේම ඉගෙනගන්න පිංවන්ත වෙලා තිබ්බත් ඒ චරිතය ගැන එහෙම ලොකුවට දැනගෙන හිටියේ නැහැ.

හැබැයි අනුර රණසිංහ කියන්නේ,

• ක්‍රිකට් ලෝක කුසලානයක් ක්‍රීඩා කරපු පළමු පාසල් ක්‍රීඩකයා.
• ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ලබාගත් පළමු කුසලානයට නායකත්වය දුන් ක්‍රීඩකයා.
• 1974/75 අවුරුදු දෙකේදිම වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා.
• දකුණතින් පන්දුවට පහර දුන්න වමතින් මද වේග,දඟ පන්දු යවපු ඒ වගේම අති දක්ෂ පන්දු රකින්නෙක්.
• තහනම් දකුණු අප්‍රිකානු සංචාර‍ය නිසා ක්‍රිකට් ජීවිතය අවාසනාවන්ත ලෙස හමාර කල ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් අතරේ සිටි ක්‍රීඩකයෙක්.

එහෙම බැලුවම අනුර රණසිංහ කියන කෙනා ගැන නොදන්නවනම් ඒක ලැජ්ජාවක්.

මම A/L කරන කාලේ ඒ කියන්නේ 2007/08 කාලේ පන්නිපිටියේ නැවතිලා හිටපු බෝඩිමේ අයිතිකාර ආරි අංකල් අමු ක්‍රිකට් පිස්සෙක්.
ආරි අංකල් දැන් ජීවතුන් අතර නැති උනත් ඔහේ බලන්නන් වාලේ මැච් නොබලා ක්‍රිකට් ගැන කියවලා දැනගෙන අවබෝධයක් ඇතුව ක්‍රිකට් බලන්න මාව පෙළඹවපු එක ගැන නම් හැමදාම ඒ මනුස්සයට ස්තූතිවන්ත වෙනවා.
ක්‍රිකට් ගැන කතාකරද්දි ආරි අංකල්ගේ කටේ හැමවෙලේම තිබිච්ච නමක් තමයි අනුර රණසිංහ කියන නම.

"හේලිත 82දි අනුර ගැහුවා ගැහිල්ලක් ඉන්දියාවට උණ ගැනෙන්නම.
ආය ඉතින් කපිල් දේව්ට එහෙම කට උත්තර නැතිවෙලා හිටියේ"

ඔය වගේ කතා කීපයක්ම ආරි අංකල් මට අනුර රණසිංහ ගැන කියලා තියෙනවා.

ඉතින් ඔහොම ආරි අංකල්ගෙන් අනුර රණසිංහ ගැන කතා නිතර නිතර අහනකොට මට හිතුනා අපේ ඉස්කෝලේම මෙච්චර වැඩ්ඩෙක් ඉඳලා තියෙද්දිත් මම ඒ ගැන නොදන්න එක ලැජ්ජාවක්, මදිපුංචිකමක්ය කියන දේ.

මේ සිද්ධිය උන 2007 වසරෙදි උනත් ඔය ගූගල්,ඉන්ටර්නෙට් ලොකුවට පාවිච්චි කරපු කාලයක් නෙවේ.
ඒ කාලේ ඉන්ටර්නෙට් ගියේ ඉතින් පැයට රු50ක් දීලා කැෆේ එකකට රිංගලා තමා.
අතේ පිච්චිය නැති ඒ කාලේ කැෆේ රිංගලා ක්‍රිකට් විස්තර බලන්ඩ ආය පිස්සුවක් ඇතෑ!
අතේ තිබ්බෙත් සෝනි එරික්සන් ෆෝන් කට්ටක් ඒකේ ඉන්ටර්නල් මෙමරිය 4mb.
මොනවත් සෙල්ලම් දාන්ඩ බෑ ඒකෙනුත්.

ඔය හේතු නිසා මට උනේ අනුර රණසිංහ ගැන ලියපු පරණ පත්තර හොයන්න තමයි.
ආරි අංකල්ගෙම පරණ ඩේලි නිව්ස් පත්තර තොගයක් පෙරලලා ඒවයේ තිබ්බ ක්‍රීඩා අතිරේක අස්සේ හොයලා හොයලා ටිකක් විතර විස්තර හොයාගෙන මේ සුපිරි චරිතය මොනවගේ කෙනෙක්ද කියලා යාන්තමින් අවබෝධ කරගත්තා.
හැබැයි ඒ ටික මගේ හිතට මදි.
ඊට ටික කාලෙකට පස්සේ දවසක් ඉස්කෝලේ පුස්තකාලේ අයිස් පාරක් ගහන්න සෙට් වෙලා ඉන්නකොට පරණ බිග් මැච් ගැන විස්‍තර ලියපු දඩාර් සයිස් පොතක් අහු උනා.
මේං බොලේ අනුර රණසිංහගේ ඉඳන් මහේල ජයවර්ධන වෙනකල්ම මුළු ඉතිහාසෙම මේකේ තියෙනවා.

ඉහේ මල් පිපුණා වගේ සංතෝසයි!

ඉතින් පුළු පුළුවන් වෙලාවට පුස්තකාලෙට රිංගලා මම ඕක කියෙව්වා.
ඒ කියෝපුවයි මෑත කාලෙදි හොයාගත්‍ත ඒවයි එකතු කරලා තමා අද ලිපිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ.

- අනුර ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබීම -

අනුර නන්දසේන රණසිංහ උපත ලබන්නේ 1956 ඔක්තෝබර් 13වනදා කලුතරදි.
කලුතර උපත ලැබුවා උනත් අනුර තමන්ගේ මුළු ජීවිත කාලෙම වගේ හිටියේ කොළඹ කිරුළපන ප්‍රදේශයේ.
අනුර ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්නේ අවුරුදු 10කටත් වඩා අඩු වයසකින්.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අනුර යොමුවෙන්නෙත් හරි අහඹු විදියකට.

ප්‍රේමසර ඈපාසිංහ කිව්වමනම් ඉතින් ඕන ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් නම ඇහුන ගමන්ම දන්න අඳුනන ආදරණීය චරිතයක්නේ.
හැබැයි හැමෝම ඈපාසිංහ මහත්මයව දන්නේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදියට.
ඒ උනත් ගොඩක් අය දන්නේ නෑ එතුමා ගුරුවරයෙක් කියලා.
ප්‍රේමසර ඈපාසිංහ මහත්මයා කාලයක් ඉගැන්වීම් කටයුතු වලට අමතරව කොළඹ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා භාර ගුරුවරයා විදියටත් රාජකාරි කලා.
ඒ වගේම එතුමා ජීවත් උනෙත් අනුර ජීවත් උන කිරුළපන ප්‍රදේශයේමයි.

ඉරිදා දවසක උදෑසන එතුමා තමන්ගේ බිරින්දෑ ස්වර්ණා මහත්මිය එක්ක පොළේ යනකොට දකිනවා කිරුළපන මහජන ක්‍රීඩාංගනයේ ටෙනිස් බෝලෙන් තරුණයෝ ටික දෙනෙක් ක්‍රිකට් ගහනවා.
මේ ක්‍රිකට් මැච් එක බලන්නත් සාමාන්‍ය පිරිසක් වටේ එකතු වෙලා ඉඳලත් තියෙනවා.
ඔහොම බලන් ඉන්නකොට එතුමට පේනවා වයස අවුරුදු 10ක විතර පොඩ්ඩෙක් සාමාන්‍යයෙන් වයස අවුරුදු 16ක් 17ක් වෙච්ච කොල්ලෙක් එවන වේග පන්දුවලට පිට්ටනිය හතර වටේටම එලෝ මෙලෝ නැතුව නෙළනවා.
මේක ටිකක් අසාමාන්‍ය දර්ශනයක් නිසා එතුමා තමන්ගේ බිරින්දෑට කියනවා තනියෙන් පොළට ගිහින් එන්නය තමන් මෙතන නවතිනවාය කියලා.

සෑහෙන වෙලාවක් මේ පොඩ්ඩා සෙල්ලම් කරන දිහා බලන් හිටපු ඈපාසිංහ මහත්මයට හිතෙනවා මේ පොඩ්ඩව නාලන්දා විද්‍යාලයට ගත්තොත් ක්‍රිකට් වලින් දුර ගමනක් යයි කියන කාරණේ.
එහෙම හිතලා මේ පොඩ්ඩගේ විස්තර හොයාගන්න ඕන නිසා එතන හිටපු කෙනෙක්ගෙන් මේ පොඩ්ඩගේ ගේ කොහෙද කියලා අහද්දි පිට්ටනිය කෙලවරේම තිබ්බ ගෙයක් එතුමට ඒ මනුස්සයා පෙන්නලා තියෙනවා.
පිට්ටනිය කෙලවරේ තිබ්බ ඒ ගෙදරට ගියපු ඈපාසිංහ මහත්මයා අනුරගේ අම්මගෙන් අනුර මොන පාසලටද යන්නේ කියලා අහපුවම අනුරගේ අම්මා කියලා තියෙන්නේ,

"සර් අනුර යන්නෙත් සර් උගන්නන ඉස්කෝලේ නාලන්දෙටමයි"

කියලා.
මේක අහපු ඈපාසිංහ මහත්මයා එතනින් පිටත් වෙලා තියෙන්නේ අවුරුදු 12න් පහල ක්‍රිකට් සංචිතයට අනුරව බඳවාගන්න අනුරගේ දෙමාපියන්ගේ කැමැත්තත් අරගෙනමයි.
ඊළඟ දවසේ පාසලේ ප්‍රාථමික අංශෙට ගිහින් අනුරවත් මේ ගැන තවත් දැනුවත් කරපු ඈපාසිංහ මහත්මයා අනුරව අවුරුදු 12න් පහළ පාසල් ක්‍රිකට් පුහුණු සංචිතයට බඳවගන්නවා.
මේ කාල වකවානුවේ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු තනතුර භාරව හිටියේ ජෙරී ගුණරත්න මහත්මයා.
සිලෝන් ක්‍රිකට් ටීම් එක පවා නියෝජනය කරපු ගොඩක් අත්දැකීම් තිබ්බ ජෙරී ගුණරත්න මහත්මයා තමයි ඈපාසිංහ මහත්මයා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන කාලෙදිත් එතුමගේ පුහුණුකාරයා විදියටත් කටයුතු කලේ.

ඈපාසිංහ මහත්මයා ගුණරත්න මහත්මයගෙන් ඉල්ලීමක් කරනවා අනුර සෙල්ලම් කරන විදිය දිහා බලලා පොඩි ඔවදනක් දෙන්න කියලා.
ඉතින් ගුණරත්න මහත්මයා අළුතෙන් ක්‍රිකට් සංචිතයට ආපු අනුර දිහා බලාගෙන ඉන්නවා.
එහෙම ඉඳලා ඇවිල්ලා එතුමා ඈපාසිංහ මහත්මයට කියනවා,

"මගේ දෙයියනේ ඈපා!

උඹ පෙන්නපු පොඩි එකා නම් මහ අමුතුම ජාතියේ එකෙක්.මේ පොඩි එකත් හරියට මගේ යාළුවා සතාසිවම් වගේ බන්.
මුගේ ඇඟේ ක්‍රිකට් තියෙන්නේ උප්පත්තියේ ඉඳලමයි.බය කියන එක ගෑවිලාවත් නෑ.
හැබැයි ඌට ක්‍රිකට් උගන්නන්න නම් යන්න එපා. ඌට විනය කියන දේ විතරක් උගන්නපන්.මඟ පෙන්නපන්.
මතක තියාගනින් මේ කොල්ලා දිගටම ක්‍රිකට් ගැහුවොත් අනිවාර්යයෙන්ම තව අවුරුදු 8,9කින් සිලෝම් ටීම් එකට ගහනවා"

ගුණරත්න මහත්මයා එදා ඒ කියපු කතාව ඒ විදියටම සැබෑ උනා.

මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මෑත කාලයක් වනතුරුම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු සුපිරි ක්‍රීඩකයෝ බිහිවෙන්න ප්‍රධානම හේතුව පාසල් වල හිටපු විශිෂ්ඨ පුහුණුකරුවෝ කියන එක.ඕන එකයි එපා එකයි මේ රස්සාව කරන්න අරගෙන දැන් දැන් පාසල් ක්‍රිකට් වල ඉස්සර තිබ්බ වටිනාකම අඩු වේගෙන යන්න පටන් අරන්.
මේ කියන්නේ ඔක්කොම අය ගැන නෙවේ.
සමහරක් අය.

හරි නැවත කතාවට.

- අනුරගේ පාසල් දිවියේ ස්වර්ණමය යුගය -

අවුරුදු 10න් පාසල් ක්‍රිකට් වලට යොමුවුනු අනුර දවසින් දවස වැඩි දියුණු උනා.
අනුර නාලන්දා විද්‍යාල අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මුලින්ම නියෝජනය කලේ අවුරුදු 15ක් වගේ අඩු වයසකින්.

වයස අවුරුදු 15න් තමන්ගේ මුල්ම අවුරුදු 19න් පහල ක්‍රිකට් තරඟේ කුරුණෑගල මලියදේවයන්ට එරෙහිව ක්‍රීඩා කරපු අනුර නතර වෙන්නේ නොදැවී ලකුණු 115ක් ලබාගෙන.
ඒ වගේම අනුර මේ කාල වකවානුවේදි පාසල් මට්ටමේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා විදියට සලකන්න හේතුවෙන්නේ බොහොම අඩු කාලයකින් ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාසල් බොහොමයකට එරෙහිව පිත්තෙන් ශතක ලබාගත්ත එක වගේම පන්දුවෙන් කඩුළු ලබාගැනීම.
1974/75 වසර දෙකේදිම වසරේ හොඳම පාසල් ක්‍රීඩකයා විදියට පිදුම් ලබන්නත් 1975 ලෝක කුසලාන සංචිතයට තේරී පත්වෙන්නත් මේ අසාමාන්‍ය දක්ෂතා හේතු වුනා.

අනුරගේ මේ නිරන්තර වැඩිදියුණු වීම් පිටුපස හිටියේ ජෙරී ගුණරත්න මහත්මයට පස්සේ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු විදියට කටයුතු කරපු නෙල්සන් මෙන්ඩිස් මහත්මයා.

නෙල්සන් මෙන්ඩිස් මහත්මයා සඳහන් කරන විදියට එතුමගේ වසර 53ක පුහුණුකාර ජීවිතයේ කවදාවත් අනුර වගේ ක්‍රීඩකයෙක් එතුමා දැකලා නෑ.
ඒකට හේතුව අනුරගේ තිබ්බ සටන්කාමීත්වය.
අනුර ක්‍රිකට් සංචිතයට ආපු මුල් දවස්වලම ඒ කියන්නේ අනුරට අවුරුදු 10ක් වගේ වෙද්දි වෙච්ච සිද්ධියක් එතුමා මතක් කරනවා.

අනුර අවුරුදු 12න් පහල කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට දවසක් අනුරගේ ඔලුවේ බෝලේ වැදිලා මැහුම් කීපයක්ම ගහන්න සිද්ධ උනා.
අනුරට තුවාල උන දවසට පස්සෙ දවසේ තමයි අවුරුදු 12න් පහල All island ක්‍රිකට් තරඟාවලියේ Semi final මැච් එක තිබ්බේ.
ඉතින් මම ගිහින් අනුරගෙන් ඇහුවා හෙට මැච් එක ගහන්න පුළුවන්ද කියලා.
අනුර ගත් කටටම මගෙන් ආපිට ඇහුවේ,

"ඇයි බැරි සර්?" කියලා.

තවත් දවසක් අනුර මේ වගේම වැඩක් කලා.
එතකොට අනුර නාලන්දා විද්‍යාලයේ අවුරුදු 19න් පහල කණ්ඩායමේ නායකයා.
අනුර පාසල් කණ්ඩායමේ ඉන්න ගමන්ම 1975 ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයේ හිටපු නිසා ලෝක කුසලාන පුහුණුවීම් වල නිරත උනා.
පුහුණුවීම් වලදි ඩෙනිස් චන්මුගම්ගේ බවුන්සර් පන්දුවක් මූණේ වැදිලා අනුරට රෝහල් ගතවෙලා සැත්කමක් කරන්න සිද්ධ උනා.
මේ සිද්ධිය උනේ 1975 වසරේ ආනන්ද - නාලන්ද බිග්මැච් එකට දවස් 4කට කලින්.
වෛද්‍යවරු කියන දේවල් ගණන් ගන්නේ නැතුව අනුර බිග්මැච් එක දවසේ ග්‍රවුන්ඩ් එකට ආවේ මූණේ භාගයක් විතර ප්ලාස්ටර් වලින් වහගෙන.
එහෙම ආපු අනුර ආනන්ද පළමු ඉනිමේ කඩුළු 8ක් ලකුණු 39කට දවාගෙන අවුරුදු 30ක් තිස්සේ P.W පෙරේරා තියලා තිබ්බ වාර්තාව බිඳලා දානවා.දෙවෙනි ඉනිමෙත් කඩුළු 6ක් දවාගත්ත අනුර මුළු තරඟෙදිම කඩුළු 14ක් දවාගෙන තියපු වාර්තාව අදටත් නොබිඳුනු වාර්තාවක්.

- ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාගත් මුල්ම කුසලානය -

1975 වසරේදි ශ්‍රී ලංකා අවුරුදු 19න් පහල කණ්ඩායමට ආරාධනයක් ලැබෙනවා පකිස්තානයේ බෙනාසීර් අලි භූතෝ කුසලානය සඳහා ක්‍රීඩා කරන්න.
අනුරගේ නායකත්වයෙන් පකිස්තානයට ගියපු කණ්ඩායමේ රන්ජන් මඩුගල්ලේත් ඇතුලත් වෙලා හිටියා.
පකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ සුප්‍රසිද්ධ ජාවේඩ් මියන්ඩැඩ්.
මේ තරඟෙදිත් අර්ධ ශතකයක් වගේම කඩුළු 4ක් බිඳදමන අනුර ක්‍රිකට් ක්‍රීඩාව නිසා අන්තර්ජාතික මට්ටමෙන් ලබාගත්ත පළමු කුසලානය ශ්‍රී ලංකාවට හිමි කර දෙනවා.

- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය ලැබීම -

1975 පෙබරවාරි මාසයේ නිල නොලත් ටෙස්ට් තරඟාවලියක් පැවැත්වෙනවා ශ්‍රී ලංකාවත් කොදෙව් කණ්ඩායමත් අතර.
මේ තරඟාවලියෙදි අනුර ඇන්ඩි රොබට්ස්, කීත් බොයිස්, බර්නාඩ් ජූලියන් වගේ භයානක වේග පන්දු යවන්නන්ට පාසල් සිසුවෙක්ගේ වයසේ ඉඳිද්දිත් පහර දීපු ආකාරය ප්‍රශංසනීය බව තමයි විචාරකයෝ සටහන් කරලා තිබෙන්නේ.
මේ සංචාරයෙන් පස්සේ එංගලන්තයේ පැවතිච්ච 1975 ලෝක කුසලානයෙදි අපේ පිතිකරුවෝ දෙන්නෙක්ව රෝහල් ගතකරන්න තරම් භයානකව පන්දු යවපු ලිලී,තොම්ප්සන් පන්දු යවන්නෝ දෙපළට අනුර නොබියව පහර දී නොදැවී සිටි ආකාරයද අමතක නොකළ යුතුයි.

- 1982 වසරේදි ශ්‍රී ලංකාවේ මුල්ම ටෙස්ට් තරඟයට ඇතුලත් නොවීම -

1981 වසරේදි කිම් හියුස්ගේ නායකත්වයෙන් ලංකාවට ආපු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව SSC පිටියේදි ලකුණු 68ක ඉනිමක් දියත් කරපු අනුර නැවතත් 1982 වසරේදි SSC පිටියේදි එංගලන්තයට එරෙහිව එක්දින තරඟයකදි අර්ධ ශතකයක් ලබාගන්නවා.මේ අර්ධ ශතකය ලබාගන්නා අතරේ එංගලන්තයේ ඉයන් බොතම්ගේ පන්දුවකට අනුර එල්ල කරපු හුක් පහරක් නිසා පන්දුව නතර වෙලා තියෙන්නේ SSC පිටියේ ස්කෝර්බෝර්ඩ් එකටත් උඩින් ගිහින් එහාපැත්තට වැටිලා.
හැබැයි මේ තරඟෙන් දවස් 4කට පස්සේ තිබ්බ ශ්‍රී ලංකාවේ මුල්ම ටෙස්ට් තරඟයට අනුර වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට අර්ජුන රණතුංගව ඇතුලත් කරනවා.
අර්ජුන මේ තරඟෙදි අර්ධ ශතකයක් ලබාගන්නවා.

තමන්ව මුල්ම ටෙස්ට් තරඟයට ඇතුලත් නොකරපු එක ගැන අනුර ගොඩක් පසුතැවිල්ලට පත්වෙනවා.
අනුරගේ කඩාවැටීමට මූලික වෙච්ච හේතුවත් මේකම තමයි.

- ටෙස්ට් සංචිතයට ඇතුලත් වීම -

අනුර රණසිංහ අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරඟ 2ක් පමණයි.
පළමු ටෙස්ට් තරඟය පකිස්තානයට එරෙහිවත් අවසාන ටෙස්ට් තරඟය ඉන්දියාවටත් එරෙහිව ක්‍රීඩා කරපු අනුර මුල් ටෙස්ට් තරඟයේදි වගේම ඉන්දියාව සමඟ චෙපොක් ක්‍රීඩාංගනයේදි පැවති දෙවන ටෙස්ට් තරඟයේ මුල් ඉනිමෙත් සැලකිය යුතු මට්ටමේ දක්ෂතාවයක් පෙන්වන්නේ නැහැ.

දෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදි අනුර පන්දුවට පහරදෙන්න පිටියට පැමිණෙන වෙලාවෙදි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 202කට විකට් 5ක් දැවීගොස් අවසන්.
ඒ වගේම ඉනිමක පරාජයෙන් බේරෙන්නත් තව ලකුණු 20ක් ලබාගන්න අවශ්‍යව තිබුණා.
මේ වගේ තත්වයක් තියෙද්දි පිටියට ආපු අනුර එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් නොකරපු Counter attack එකක් දියත් කරනනේ කපිල් දේව් ඇතුලු ඉන්දියානු වේග පන්දු යවන්නන් මව්ත කරමින්.
අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 394ක් ලබාගෙන ඉනිම අවසන් කරන්නේ ඉන්දියාවට තරඟය ජයගැනීමට ලකුණු 175ක ඉලක්කයක් ලබාදෙමින්.

ශ්‍රී ලංකාවේ අවාසනාවකට කාලය හරස් උනත් තරඟය අවසන් කරනවිට ලකුණු 175ක ඉලක්කය හඹාගිය ඉන්දියාව ලකුණු 135කට කඩුළු 7ක් දැවීගිහින් ඉතා අසීරු තත්වයකට පත් වී සිටි අතර එදා තරඟයේ තව යම් වේලාවක් ඉතිරිව තිබ්බා නම් ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ජය වාර්තාවෙන්නත් ඉඩකඩ තිබූ බව මුසාවක් නොවේ.

- තහනම් දකුණු අප්‍රිකානු තරඟාවලිය -

තමන්ව පළමු ටෙස්ට් තරඟයට ඇතුලත් නොකිරීම නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ යම් කලකිරීමක් පැවති නිසාද, ආර්ථික වාසිය නිසාද අනුර රණසිංහ, බන්දුල වර්ණපුර, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම වැනි ක්‍රීඩකයින් සමඟ තහනම් දකුණු අප්‍රිකානු තරඟාවලියට සහභාගී වෙනවා.මේ නිසා අනුර ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සියළු දෙනාටම වසර 25ක ක්‍රිකට් ක්‍රීඩා තහනමක් පැනවෙනවා.

- අකාලයේ මෙලොව හැර යෑම -

බොහෝ තරඟ අවසානයේ ප්‍රේක්ෂක කරමතින් ක්‍රීඩාගාරයට පැමිණි අනුර ක්‍රිකට් ක්‍රීඩාව අහිමිවීමේ වියෝව නිසාම 1998 නොවැම්බර් 9 වනදා වයස අවුරුදු 42දි නින්දෙන්ම මෙලොව හැරයනවා.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් තරුවක් අකාලයේ ඒ ලෙස මෙලොව හැරගියේ තම දක්ෂතා නිසි ලෙස ලොවට ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීමේ අවාසනාවද දෝතින් දරාගෙනයි!

නැවත හමුවන තුරු ඔබට ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment