Thursday, July 4, 2019

"ක්‍රිකට් පිටියේ චණ්ඩියා" - Merv Hughes


ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවයි.
මහත්වරුන්ගේ ක්‍රීඩාවේදි මුල්තැන දුන්නේ තරඟ නීති - රීති වලටත් වඩා ක්‍රීඩාවේ ජීවගුණයටයි.
තරඟ නීති - රීති වලින් ඔබ්බට ගොස් ක්‍රීඩාවේ ජීවගුණය රැකීම සඳහා ක්‍රියා කල ක්‍රීඩකයෝ ඉතිහාසයේ කොතෙකුත් සිට ඇත.
මනුෂ්‍යත්වය රැකීම වෙනුවෙන් ඔවුන් කල කී දෑ ක්‍රීඩා ඉතිහාසය තුල සදා අමරණීයය.

ඒ කෙසේ නමුත් මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී පවා නාහෙට නාහන චණ්ඩින් ලෙස හැසිරුණ ක්‍රීඩකයෝ,ප්‍රතිවාදීන් සමඟ වචනයෙන් හරඹ කල කුකුල් කේන්තිකාරයෝ විරල දසුනක් නොවූ බවද සඳහන් කල යුත්තකි.

• පකිස්තානයේ ජාවේඩ් මියන්ඩැඩ්,
ඉන්සමාම් උල් හක්
• ඔස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී,
ජෙෆ් තොම්සන්,ස්ටීව් වෝ,මාක් වෝ,
ඉයන් හීලී,ශේන් වෝන්,ග්ලේන් මැග්‍රාත්
• එංගලන්තයේ W.G ග්‍රේස්,ෆ්‍රෙඩී ෆ්ලින්ටොෆ්,
නසාර් හුසේන්,ඇලෙක් ස්ටුවර්ට්,
මයික් ඇතර්ටන්,ඩැරන් ගෆ්
• දකුණු අප්‍රිකාවේ ශෝන් පොලොක්,
ඇලන් ඩොනල්ඩ්,ඩැරල් කලිනන්
• කොදෙව්වන්ගේ කර්ට්ලි ඇම්බ්‍රෝස්,
මාලන් සැමුවෙල්ස්
• ඉන්දියාවේ සව්රව් ගංගුලි,
හර්බජාන් සිං

වැනි සුපිරි ක්‍රීඩකයින් ක්‍රිකට් පිටියේදී පමණක් නොව ඉන් පිටතදී පවා කුකුල් කේන්තිකාරයින්,චණ්ඩින් ලෙස හැසිරුන ක්‍රීඩකයින් අතරේ ප්‍රධාන තැන ගන්නා ක්‍රීඩකයින් ලෙස දැක්විය හැක.

මේ අයුරින් ක්‍රිකට් පිටියේ චණ්ඩින් කොතෙකුත් සිටියද ඒ සියල්ලන් අතරේ මුල්තැන හිමිවන්නේ එවකට ක්‍රිකට් පිටියේ
"King of Sledging" ලෙස නම් දැරූ ඔස්ට්‍රේලියාවේ මර්ව් හියුස් නම් වේග පන්දු යවන්නාටය.

මර්ව් හියුස් එසේත් නැත්නම් මර්වින් ග්‍රෙගරි හියුස් උපත ලබන්නේ 1961දී ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේදීය.
පාසැල් දිවිය අවසන් වූ පසු Footscray Cricket Club සමඟින් එක්වන මර්ව් ඔස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් තරඟ බිමට පිවිසෙන්නේ 1978 වර්ෂයේදීය.

දකුණතින් වේග පන්දු යවන්නෙක් ලෙස සුපිරි දක්ෂතා දැක්වූ මර්ව්ගේ උස අඩි 6' අඟල් 4" ක් වූ අතර මර්ව්ගේ බුරුසුවක් වැනි රැවුල ඔහුටම ආවේණික වූ පෞරුෂය තහවුරු කල තවත් එක් සාධකයක් බව කිව යුතුමය.
ක්‍රිකට් පිටියේදී ප්‍රතිවාදීන් සමග නොබියව පන්දුවෙන් හා වචනයෙන් හරඹ කල,
ඕනෑම වේලාවකදි,ඕනෑම සුපිරි පිතිකරුවෙක් සමඟ සටනකට සූදානම් ශරීරයෙන් සිටි දඩබ්බර ක්‍රීඩකයෙක් ලෙස මර්ව් හියුස්ව අවිවාදයෙන්ම හැඳින්විය හැක.

වසර 7ක් දේශීය තරඟබිමේ ක්‍රීඩා කිරීමෙන් පසු 1985දී ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වීමේ වරම දිනාගන්නා මර්ව් සාර්ථක වසර 9ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියකින් පසු 1994දී ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේ ටෙස්ට් තරඟ 53කට සහභාගි වී කඩුළු 212ක්ද එක්දින තරඟ 33කට සහභාගි වී කඩුළු 38ක්ද දවාගැනීමෙන් අනතුරුවය.

බහුතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හා එකල ක්‍රිකට් ක්‍රීඩා කල ක්‍රීඩකයින් මර්ව්ව ඇමතුවේ "Fruit Fly" නම් සුරතල් නාමය මගින් වන අතර මර්ව් නිරතුරුවම ප්‍රේක්ෂකයින් අතරේ ඉතා ජනප්‍රිය චරිතයක් වීමට ඔහුගේ දඩබ්බර ක්‍රියාකාරකම් මෙන්ම පන්දු යැවීමට පෙර ඔහු ලබාගත් ඉතා දිගු පියවර මැනීමද හේතු වූ බව සුප්‍රසිද්ධ කරුණකි.

මර්ව් වචනයෙන් හරඹ කල ප්‍රතිවාදීන් අතර සර් විව් රිචඩ්ස්,ජාවේඩ් මියන්ඩැඩ්,ග්‍රැහැම් ගුච්,රොබින් ස්මිත්,ග්‍රැහැම් හික් වැනි ලොව සුපතල ක්‍රීඩකයින් සිටි අතර එකල ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතරේ ඉතා ජනප්‍රිය වූ මර්ව්ගේ දෙබස් කිහිපයක් පහතින් දක්වන්නේ 
"King of Sledging" වන මර්ව් ගැන ලියන ලිපියක ඔහු කල වාචික හරඹ සටහන් නොකිරීම අඩුපාඩුවක් ලෙස හැඟෙන නිසාය.

- මර්ව් සහ සර් විව් රිචඩ්ස් -

බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලදී ඔස්ට්‍රේලියාව හා කොදෙව්වන් අතර පැවති ටෙස්ට් තරඟයකදී සර් විව් රිචඩ්ස් පන්දුවට පහරදෙමින් සිටි අතර පන්දු යැවීමේ නිරත වූ මර්ව් එල්ල කල සෑම පන්දුවක් අවසානයේදීම වචනයෙන් කිසිවක් නොකියා සර් විව්‍ රිචඩ්ස් දෙස බලමින් ඔරවන්නට විය.
මේ නිසා කෝපයට පත් සර් විව් රිචඩ්ස් පවසා ඇත්තේ,

"මේක මගේ දූපත,මගේ සංස්කෘතිය.
උඹ මගේ දිහා බලලා ඔරවන්න එපා.
අපේ සංස්කෘතියේ හැටියට අපි කරන්නේ සාධාරණව පන්දු යවන එක"

සර් විව් මෙසේ පැවසූ පසු කිසිවක් නොකියූ මර්ව් අවසානයේදී ඔහුව දවාගැනීමට සමත් විය.දැවීයාමෙන් පසු ක්‍රීඩාගාරය වෙත යන සර් විව් රිචඩ්ස්ව ඇමතූ මර්ව්,

"අපේ සංස්කෘතියට අනුව නම් සරල විදියට අපි කියන්නේ උඹ @#$%&න් (fxxx off)" 
ලෙස පවසා ඇත.

- මර්ව් සහ මියන්ඩැඩ් - 

1991දි ඇඩිලේඩි හි පැවති ඔස්ට්‍රේලියාව හා පකිස්තානය අතර තරඟයකදී,

මියන්ඩැඩ් - "මර්ව් උඹ ලොකු,මහත බස් කොන්දොස්තර කෙනෙක්"

පන්දු කිහිපයක් යැවීමෙන් පසුව මියන්ඩැඩ්ව දවා ගන්නා මර්ව්,

"Ticket Please - කරුණාකර ටිකට් එක දෙන්න"
ලෙස පවසා ඇත.

- මර්ව් සහ ග්‍රැහැම් හික් -

අළුබඳුන තරඟයකදී මර්ව්ගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ ග්‍රැහැම් හික්ට මර්ව්,

"ඔය බැට් එක පිටිපස්සේ ඕක පාවිච්චි කරන්න ඕන විදිය ගැන උපදෙස් තියෙනවා.ඒක බලලා වත් බැට් එක පාවිච්චි කරපන්"
ලෙස පවසා ඇත.

- මර්ව් සහ ග්‍රැහැම් ගුච් -

තවත් අළුබදුන තරඟයකදී කලින් සඳහන් කල සිද්ධියේ ග්‍රැහැම් හික් අසරණ වූ ආකාරයටම අසරණ වූ ග්‍රැහැම් ගුච්ට මර්ව් පවසා ඇත්තේ,

"උඹ කැමතිනම් මම උඹට බෝලේ වෙනුවට පියානෝ එකක් දාලා එවන්නම්. 
බෝලෙට ගහගන්න බැරි නිසා ඒකටවත් උඹට ගහගන්න පුළුවන් වෙයිද කියලා බලමු"

අවස්ථා බොහොමයකදී අනෙකා අසරණ කල මර්ව්ද අසරණ වූ අවස්ථා ඇති අතර එංගලන්ත පිතිකරු රොබින් ස්මිත් විසින් අවස්ථා දෙකකදී මර්ව්ගේ වාග් ප්‍රහාර වලට සාර්ථකව පිළිතුරු දී ඇත.

- මර්ව් සහ රොබින් ස්මිත් -
පළමු අවස්ථාව

මර්ව් - "උඹට @#$&#* (fxxxxxg) බැට් කරන්න බෑ"

ඊළඟ පන්දුවේදී 4 පහරක් එල්ල කරන ස්මිත්,

"මර්ව්, අපි දෙන්නා නියම ජෝඩුවක් බං.මට @#$@&@ බැට් කරන්න බෑ උඹට @#$@&@ බෝල් කරන්න බෑ"

- මර්ව් සහ රොබින් ස්මිත් -
දෙවන අවස්ථාව

පළමු සිද්ධියෙන් වසර 4කට පසු නැවත මුණගැසෙන මර්ව් සහ ස්මිත් නැවතත් වාග් සංග්‍රාමයක යෙදී ඇති අතර එය මෙසේ සටහන් වී ඇත.

මර්ව් - "මම උඹට අන්තිම පාර බෝල් කරලා දැන් අවුරුදු 4ක් වෙනවා.උඹේ කිසිම දියුණුවක් වෙලා නෑ"

නැවතත් මර්ව්ගේ ඊළඟ පන්දුවකදී 4 පහරක් එල්ල කරන ස්මිත්,

"උඹත් වෙනස් වෙලා නෑ මර්ව්" ලෙස පවසා ඇත.

ඉක්මනින්ම ඔබට තවත් ලිපියක් ගෙන එන බලාපොරොත්තුවෙන් දැනට නවතින්නම්.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment