Friday, July 12, 2019

වුල්මර්,ක්‍රොඤ්යේ,ඩොනල්ඩ් සහ ඉයර්පීස්


- වුල්මර්,ක්‍රොඤ්යේ,ඩොනල්ඩ් සහ ඉයර්පීස් -

1999 වසරේ පැවත්වුන ලෝක කුසලානයේදි සිදු වූ වැදගත් සිදුවීමක් ගැන නැවත මතක් කිරීමක් කරන්නයි මේ සූදානම...!

දකුණු අප්‍රිකානු කණ්ඩායම 1999 වසරේ පැවති ලෝක කුසලානයේ මුහුණදුන් පළමු තරඟය ඉන්දියාවට එරෙහිව පැවැත්වූ අතර එවකට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු වන බොබ් වුල්මර්ගේ අදහසකට අනුව සන්නිවේදන කටයුතු වල පහසුව උදෙසා කණ්ඩායමේ නායක හැන්සි ක්‍රොඤ්යේ සහ ඇලන් ඩොනල්ඩ් යන ක්‍රීඩකයින් දෙදෙනා විසින් ඉයර්පීස් එසේත් නැත්නම් ශ්‍රවණාධාරක පැලඳ මෙම තරඟයට සහභාගි වීම මහත් ආන්දෝලනාත්මක කතාබහකට හා නීති සම්පාදනය කිරීමකට මුලපිරීය.

ඇමරිකානු පාපන්දු තරඟවලදී පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් විසින් එකිනෙකා අතර සන්නිවේදනය කරගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් වන ශ්‍රවණාධාරක ක්‍රමවේදය ක්‍රිකට් ක්‍රීඩාව තුලදීද භාවිතා කිරීමට දකුණු අප්‍රිකානු පුහුණුකරු බොබ් වුල්මර්ට අදහසක් පහල වූ අතර 1999 වසරේ ලෝක කුසලානයේ පුහුණු තරඟ වලදී මෙම අදහස ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමටත් ඔහු සැලසුම් සකස් කලේය.

නායක හැන්සි කොඤ්යේ සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම වුල්මර්ගේ මෙම අදහසට එකඟ වූ අතර ලෝක කුසලාන පුහුණු තරඟවලදී කිසිවෙකුගේ අවධානයට ලක් නොවී ශ්‍රවණාධාරක භාවිතා කිරීමටද ඔවුන් සමත් වී ඇත.

පුහුණු තරඟවලදී එසේ වූ නමුත් ලෝක කුසලානය ඇරඹීමෙන් පසු ඉන්දියාව සමඟ පැවති මුල්ම තරඟයේදි නායක හැන්සි කොඤ්යේ සහ ඇලන්ඩ් ඩොනල්ඩ් ශ්‍රවණාධාරක භාවිතා කරන අයුරු ඉන්දියානු ආරම්භක පිතිකරුවන් වන සව්රව් ගංගුලි සහ සචින් තෙන්ඩුල්කාර්ගේ අවධානයට ලක්විය.

ගංගුලි විසින් මේ පිලිබඳව පිටියේ විනිසුරුවන් වන ස්ටීව් බක්නර් හා ඩේවිඩ් ශෙපර්ඩ් වෙත පැමිණිලි කල අතර මේ පිලිබඳව දකුණු අප්‍රිකානු නායකයා හා සාකච්ඡා කිරීමෙන් පසුවත් නිසි තීරණයක් ලබාගත නොහැකි වූ විනිසුරුවන් දෙදෙනා තරඟ තීරකවරයා වන තලත් අලි වෙත මේ පුවත දැනුම් දී ඇත.

ඒවන විට මෙම ක්‍රියාවලිය වෙනුවෙන් නීති සම්පාදනය වීමක් සිදු වී නොතිබුණු නමුත් තරඟ තීරකවරයා හා විනිසුරුවන් දෙදෙනා එකතු වී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට ශ්‍රවණාධාරක භාවිතාකිරීම නවත්වන ලෙස දැනුම් දීමටද තීරණය කලෝය.

නීති සම්පාදනය වී නොතිබුණත් ක්‍රීඩාවේ ජීවගුණයට මේ ක්‍රියාව මගින් හානියක් සිදු වීම එම තීරණයට හේතු පාදක වූ අතර ශ්‍රවණාධාරක භාවිතාව පිලිබඳව නිසි තීරණයක් ලබාදෙන තුරු යම් වේලාවකට තරඟය නතර කරවීම ක්‍රීඩාගාරයේ සිටි ප්‍රේක්ෂකයින්ට ප්‍රහේලිකාවක් වූයේ ඔවුන්ට කිසිවක් පැහැදිලි ලෙස දර්ශනය නොවීම නිසාය.

මෙම තරඟයට පසු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරඟයක් අතරවාරයේ ශ්‍රවණාධාරක පැලඳීම ක්‍රීඩකයින්ට තහනම් කිරීමට නීති සම්පාදනය කල අතර මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු පුහුණුකරු බොබ් වුල්මර් විසින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමද සිදුවිය.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment