Thursday, July 4, 2019

"96 ලෝක කුසලාන රස කතා" - දෙවන කොටස


• පරම හතුරන්ගේ එකට ගැටුම

ගිය සතියේ 96 ලෝක කුසලානය සම්බන්ධ රස කතාවල පළමු කොටස මම ලිව්වේ ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයා ශේන් වෝන් ඇතුළු ඔස්ට්‍රේලියානුවන්ව උපහාසයට ලක්කරපු අවස්ථාවක් ගැන.

අද කතාවටත් ඔස්ට්‍රේලියාවේ සුපිරිම දඟ පන්දු යවන්නා ශේන් වෝන් සම්බන්ධයි.
සාමාන්‍යයෙන් ක්‍රිකට් පිටියෙදි ක්‍රීඩකයන් අතරේ ඇතිවෙන පුංචි ප්‍රශ්න දුරදිග යන එක සිද්ධ වෙන්නේ බොහොම විරල වශයෙන්.
එහෙම ක්‍රිකට් පිටියෙදි ඇතිවුන සුළු මතභේදයක් විවිධ හේතූන් නිසා අවුරුදු ගණනක් තිස්සේ ඔඩු දුවපු අවස්ථාවක් ගැනයි මේ ලියන්න හදන්නේ.

90 දශකයේ අගභාගයේදී ක්‍රිකට් පිටියේ කරට කර සටන් කරපු කණ්ඩායම් වලින් ශ්‍රී ලංකාවට හා ඔස්ට්‍රේලියාවට ලැබෙන්නේ ප්‍රමුඛ ස්‍ථානයක්.
මේ කණ්ඩායම් දෙක පිටියේ සටන් වැදුණු අවස්ථා වලදි සිද්ධ උන රසවත් සිද්ධීන් බොහොමයක් තිබුණත් ඒ අතරින් වසර ගණනාවක් තිස්සේ සිද්ධ උන අර්ජුන - වෝන් වාග් සංග්‍රාම වලට මුල්තැන ලැබෙන්නේ වෝන්ටත් වඩා අර්ජුන නිසා කිව්වොත් ඒක වැරදි නෑ. 
ඒකට හේතුව වෙන්නේ වෝන් ඇතුළු ඔස්ට්‍රේලියාව අපිට පහර දුන්න ක්‍රමයම පාවිච්චි කරලා අර්ජුන නැවත ඔස්ට්‍රේලියාවට ප්‍රතිප්‍රහාර දුන්න එක.
ක්‍රිකට් පිටියෙදි ඔස්ට්‍රේලියාව එක්ක හැප්පුන මුල්ම කෙනා අර්ජුන නෙවෙයි.
හැබැයි එහෙම සටන් කරලා ඔස්ට්‍රේලියාවේ අයගේ ඔළුව අවුල් කරලා කටින් වගේම ක්‍රියාවෙනුත් ජයගත්ත මුල්ම කෙනා අර්ජුන කිව්වොත් ඒක හරියටම හරි.

96 ලෝක කුසලානෙට ටික කාලයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සංචාරය කරනවා.ඒ ටෙස්ට් තරඟාවලියක් වගේම බෙන්සන් & හෙජස් තුන්කොන් එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන්න.මේ ටෙස්ට් තරඟාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් එල්ලවෙනවා.
ඒ වගේම මුරලිට පන්දුව දමාගැසීමේ චෝදනාව මුලින්ම සිද්ධවෙන්නෙත් මේ ටෙස්ට් තරඟාවලියෙදි.
මේ සිද්ධීන් ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ හතුරෙක් විදියට සලකන්න අඩිතාලම දැම්මා කිව්වොත් නිවැරදියි.

හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා, 
අපිට සෙල්ලම් කරන්න කවුරුත් මැච් දීපු නැති කාලෙක ඔස්ට්‍රේලියාව අපේ කණ්ඩායම ඇතුලත් කරලා තරඟාවලි සංවිධානය කලා.
ඒ වගේම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දුන්න මුදල් වලින් තමයි අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ වෙනකන් හරියාකාර පුහුණුකරුවෙක් හිටියේ නැති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙක් විදියට ඩේව් වට්මෝර්ව බඳවාගන්නේ.
වට්මෝර් එනකොට තමයි ඇලෙක්ස් කුන්ටූරි වත් එක්කගෙන එන්නේ.
ඒක 96 ජයග්‍රහණයට ලොකු දායකත්වයක් දුන්නා කියන එක අමතක කරන්න තරම් ගුණමකු වෙන්නත් හොඳ නෑ.

කලින් ලිපියේ සඳහන් කරපු විදියට බෝම්බ පිපිරීම් නිසා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන තරඟ සඳහා ලංකාවට එන එක ප්‍රතික්ෂේප කරනවා.
ඇතිවුන මේ සිද්ධිය නිසා ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයා වගේම අර්ජුන රණතුංග කරපු ප්‍රකාශයන් අදටත් ජනප්‍රියයි.

අර්ජුන ලෝක කුසලානේ පටන් ගන්නත් කලින් කරපු සුප්‍රසිද්ධම ප්‍රකාශයන් වුනේ,

"අපිට වර්ල්ඩ් කප් ෆයිනල් එක ගහන්න ඕන ඔස්ට්‍රේලියාව එක්ක"

"වෝ සහෝදරයෝ සහ ශේන් වෝන් කියන්නේ ඕනවට වඩා මාධ්‍යයන් විසින් පුම්බපු සාමාන්‍ය ක්‍රීඩකයෝ" 

කියන ප්‍රකාශ.
මේ ප්‍රකාශයන් කරන්න ටික කාලෙකට කලින් අර්ජුන කරපු,

"ශ්‍රී ලංකාව කියන්නේ වසර 2500ක ඉතිහාසයක් තියෙන රටක්.ඔස්ට්‍රේලියාව කියන රටේ ඉතිහාසය ගැන අපි හැමෝම දන්නවා" 

කියන ප්‍රකාශයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.

මේ ප්‍රකාශයන් අර්ජුන ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඔස්ට්‍රේලියානු කණ්ඩායම පෞද්ගලික මට්ටමෙන් වෛරයක් ඇතිකරගන්නා තරමට ප්‍රබල උනා කිව්වොත් නිවැරදියි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තමන්ගේ ප්‍රධාන අභිප්‍රාය උන තරඟ ජයග්‍රහණය කිරීමට වඩා වැදගත් උනේ අර්ජුන ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පලිගන්න එක.
මේ හේතුව අපිට ලෝක කුසලානයක් ජයගන්න බෙහෙවින් ඉවහල් උනා.

පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ තිබ්බ 96 ලෝක කුසලාන අවසන් තරඟයට කලින් සිද්ධ උන තවත් රසවත් සිද්ධියක් ගැන හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් වගේම මාධ්‍යවේදියෙක් උන ඉයන් චැපල් සඳහන් කරනවා.

"ලෝක කුසලානේ අවසන් තරඟයට කලින් මටයි රවී ශාස්ත්‍රිටයි ශේන් වෝන් සහ අර්ජුන එක්ක මාධ්‍ය ප්‍රකාශ ලබාගන්න නියමිතව තිබුනා.අර්ජුනගෙන් රවී මාධ්‍ය ප්‍රකාශය ගන්න වෙලේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පුහුණුවීම් වල නිරතවෙමින් හිටියේ.
අර්ජුනගේ ප්‍රකාශය ඉවර උනාම තමන්ගේ ප්‍රකාශය කරන්න මගේ ලඟට ආපු ශේන් වෝන් අර්ජුනව පෙන්නලා මුලින්ම මගෙන් ඇහුවේ,

"අද අර අවජාතකයා මොනාද අපි ගැන කිව්වේ?" 

කියන එක.
එවෙලේම මට තේරුම් ගියා අර්ජුන කියන්නේ අතිදක්ෂ නායකයෙක් බව.අර්ජුනගේ ඒ දක්ෂතාවය නිසයි අර්ජුනට පුළුවන් උනේ මේ තරමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අයගේ හිත් වලට රිංගලා වදදෙන්න.
වසර ගණනක් තිස්සේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අනිත් කණ්ඩායම් වලට කරපු දේ අවසානයේදි අර්ජුන ඔස්ට්‍රේලියාවටම කලා."

මේ සිද්ධිය ඇතිවුන දවසේම සිද්ධ උන 96 ලෝක කුසලාන ජයග්‍රහණය ගැන අමුතුවෙන් මෙතන ලියන්න ඕන කියලා මම හිතන්නේ නෑ.හැබැයි අර්ජුන 96 ලෝක කුසලානේ අවසන් තරඟෙදි වෝන්ගේ කන ලඟින් යන්න 4 පාරක් ගහලා දිව දික්කරන එකත් මතක් කරන්නම ඕන.
එදා මෙදාතුර ක්‍රිකට් ගහපු අයගෙන් ශේන් වෝන්ගේ අප්‍රියතම ක්‍රීඩකයා වුනේ අර්ජුන.ඒක අදටත් වෙනස් වෙලා නෑ.
කොටින්ම කියනවා නම් අර්ජුන 1999දි විශ්‍රාම ගත්තටත් පස්සේ ශේන් වෝන් එක්ක හැප්පෙන එක නතර වුනේ නෑ.

වර්ෂ 2003දි ශේන් වෝන් තහනම් උත්තේජක ලබාගත්ත බවට ඔප්පු වෙලා වසරක ක්‍රීඩා තහනමකට ලක්වෙනවා.මේ තහනම පනවපු වෙලේ ඒකට නිදහසට කරුණු කිව්ව ශේන් වෝන් සඳහන් කලේ තහනම් උත්තේජක ලබාගත්තා කියලා වෛද්‍ය වාර්තා වල සඳහන් උනේ තමන්ට ඇතිවුන සුළු උගුරේ ආබාධයක් අවම කරගන්න තමන්ගේ අම්මා දීපු ඖෂධයක් නිසාවෙන් බවයි.

වසරක් ක්‍රිකට් තහනම් උන ශේන් වෝන් නැවත ක්‍රීඩාවට එක්වෙන්නේ 2004දි.
තහනමෙන් පස්සේ ඔහු ක්‍රීඩා කරපු මුල්ම තරඟාවලිය තිබුනේ ශ්‍රී ලංකාවෙදි.
මේ තරඟාවලියට කලින් තිබුණ මාධ්‍ය සාකච්ඡාවකදි ශේන් වෝන්ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා අර්ජුන ගැන.
මෙතනදී උත්තර දුන්න ශේන් තමන්ගේ හිතේ අර්ජුන ගැන තිබ්බ තරහව නැවතත් ලෝකයට පෙන්නනවා.

ශේන් වෝන් - 
"අර්ජුන දැන් නම් ඉතින් කිලෝ 150ක් වත් බර ඇති.හරියට නිකන් බැටළුවෙක් හරි මොකෙක්හරි ගිල්ලා වගේ"

මේ කාලේ වෙනකොට අර්ජුන ක්‍රීඩාවෙනුත් විශ්‍රාම අරන් අවුරුදු 5කටත් වඩා වැඩියි.
හැබැයි ශේන් වෝන් කරපු මේ ප්‍රකාශයට පිළිතුරු දෙන්න අර්ජුන අමතක කරන්නේ නෑ.

අර්ජුන - "මම බැටළුවෙක් හරි වෙන මොකෙක්හරි ගිලින එක ගැන ශේන් වෝන්ට ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑ.
හැබැයි මම මොනා ගිල්ලත් වෝන් ගිලපු දේවල් ගිලින්නේ නෑ.එහෙම ගිලලා මගේ අම්මව පාවලා දෙන්නෙත් නෑ"

වාග් සංග්‍රාම වලදි ශේන් වෝන්ට කවදාවත් අර්ජුනව පරාජය කරන්න ලැබුනේ නෑ.
අර්ජුන ඒ තරම් දක්ෂයෙක්.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්ත ශේන් වෝන් තමන්ට අනුව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් 100 දෙනෙක් නම්කරනවා.මේ ලැයිස්තුවේ අර්ජුනට ලැබුනේ 93 වන ස්ථානය.ශේන් වෝන් සඳහන් කරන්නේ මේ 100 දෙනාට උනත් අර්ජුනව නොදා ඉන්න ඔහු උපරිම උත්සහ කලා කියලයි.
ඔහුට අනුව අර්ජුන කියන්නේ පොඩි නැපෝලියන් කෙනෙක්.
අර්ජුන හැමවෙලේම අම්පයර්ස්ලට හිටගන්න ඕන තැන පවා පෙන්නපු, තමන්ගේ හිතුමනාපෙට ක්‍රීඩකයින්ට පිටිය ඇතුලේ,එලියේ දෙකේදිම එක විදියට අණ දුන්න, බොරුවට කකුලේ අමාරු හදාගෙන බයි රනර්ස්ලා ඉල්ල ගත්ත ක්‍රීඩකයෙක් කියලයි වෝන් කියන්නේ.
හැබැයි අන්තිමට වෝන් කියනවා මේ මොන දේ උනත් අර්ජුන කියන්නේ,

"සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්"

නැවත ලිපියකින් හමුවන තුරු ඔබට ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment