Thursday, July 4, 2019

- තනි අතින් එංගලන්තය පරාජය කල වේග පන්දුවේ අග රජු -



- මැල්කම් මාෂල් -

- හැඳින්වීම -

අද කතාව මැල්කම් මාෂල් කියන කොදෙව් සුපිරි වේග පන්දු යවන්නා ගැන.

කොදෙව්වෝ කියන්නේ 70,80,90 දශකවලදි ක්‍රිකට් ලෝකෙට වේග පන්දුයවන්නෝ සපයපු ෆැක්ටරිය කිව්වොත් ඒක හරියටම හරි.

• චාලි ග්‍රිෆිත්
• වෙස්ලි හෝල්
• ඇන්ඩි රොබර්ට්ස්
• ජොයෙල් ගානර්
• මයිකල් හෝල්ඩිං
• කොලින් ක්‍රොෆ්ට්
• කර්ට්ලි ඇම්බ්‍රෝස්
• කර්ට්නි වොල්ෂ්
• ඉයන් බිෂොප්
• මර්වින් ඩිලන්

වගේ දශක ගණනාවක් පිතිකරුවන්ට හිසරදයක් උන විශිෂ්ට වේග පන්දුයවන්නෝ ගණනාවක්ම බිහිවුනේ කොදෙව් දූපත් වලින්.
20 වෙනි සියවසේ කොදෙව්වන්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවත් මේ සුපිරි වේග පන්දුයවන්නන්ගේ බලඇණියම තමයි.
මේ තරම් බහුලව කොදෙව් දූපත් වලින් වේග පන්දු යවන්නෝ බිහිවෙන්න එක හේතුවක් තමයි උපතින්ම ඔවුන්ට උරුම වෙන අසාමාන්‍ය කාය ශක්තිය හා ඔවුන්ගේ ශරීර සැකැස්ම.
බහුතර කොදෙව් ජනතාව උසෙන් අඩි 6ට වඩා වැඩි බොහොම ශක්තිමත් අය.
ඉතින් මේ ජනතාව අතරින් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ජවය තියෙන වේග පන්දුයවන්නෝ වගේම වෙනත් ක්‍රීඩකයෝ හොයාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි.

ඉතින් කෙනෙක්ට හිතුනොත්,

"කොදෙව් දූපත් වලින් බිහිවුන විශිෂ්ඨතම වේග පන්දු යවන්නා කවුද?"

කියන ප්‍රශ්නය අහන්න,

බොහෝ වෙලාවට ඒකට ලැබෙන පිළිතුර වෙන්නේ 70 දශකයේ අවසාන භාගයේ  වගේම 80 දශකය පුරාවටම සුපිරි දක්ෂතා පෙන්නපු මැල්කම් මාෂල් කියන ක්‍රීඩකයගේ නම තමයි.

හැබැයි පුදුම හිතෙන දේ තමයි සාමාන්‍යයෙන් යෝධයෝ වගේ උස මහත කොදෙව් වේග පන්දු යවන්නෝ අතරේ විශිෂ්ඨතමයා උන මාෂල් බොහොම සාමාන්‍ය ශරීරයක් තිබුණ ක්‍රීඩකයෙක් වෙච්ච එක.
සමකාලීන කොදෙව් වේග පන්දු යවන්නෝ හැමදෙනාම අඩි 6ට වඩා වැඩි උසකින් යුතු අය වෙද්දි මාෂල්ට තිබ්බේ අඩි 5 අඟල් 11ක් වගේ සාමාන්‍ය උස ප්‍රමාණයක්.
එහෙම සාමාන්‍ය ශරීරයක් තියාගෙන අසාමාන්‍ය දක්ෂතා පෙන්නපු එකත් මාෂල්ව විශිෂ්ඨයන්ගෙත් විශිෂ්ඨයා විදියට හඳුන්වන්න එක හේතුවක් උනා කිව්වොත් ඒකේ වැරැද්දක් නෑ.
මාෂල්ට තිබුණේ සාමාන්‍ය ශරීරයක් උනත් මාෂල්ගේ පන්දුවල වේගය නම් සාමාන්‍ය උනේ නෑ.

පන්දු යැවීමෙදි බොහෝ වෙලාවට 90+mph වේගය රඳවා ගත්ත මාෂල් පන්දු යැවීමට පෙර ලබාගන්නා පියවර ප්‍රමාණයත් අනෙකුත් වේග පන්දු යවන්නෝ එක්ක සසඳලා බැලුවම බොහොම අඩුයි.
ටෙස්ට් පිටියේ කඩුළු 200කට වඩා ලබාගත් පන්දු යවන්නන් අතරේ හොඳම සාමාන්‍ය අගය ලබාගෙන තියෙන්නෙත් මාෂල්.
ටෙස්ට් තරඟ 81කදී කඩුළු 376ක් ලබාගත් ඔහුගේ කඩුළු ලබාගැනීමේ සාමාන්‍ය අගය විදියට සටහන් වෙන්නේ 20.94ක්.
මාෂල් විසින් ඉනිමකදි කඩුළු 5 බැගින් දවාගත් අවස්ථා ගණන 22ක් වගේම ටෙස්ට් තරඟයකදි කඩුළු 10ක් ලබාගත් අවස්ථා ගණන 4ක් විදියට වාර්තා පොත්වල සටහන් වෙලා තිබෙනවා.

කටර් පන්දු සංකලනයන් හොඳින් ප්‍රගුණ කරපු වේගපන්දු යවන්නෙක් වෙච්ච මාෂල් හරියට අපේ මාලිංග වගේම බොහොම කපටි වේග පන්දු යවන්නෙක්.
පිතිකරුවෙක්ගේ දුර්වලතාවයක් අඳුනගන්න සාමාන්‍යයෙන් ඔහුට වැඩි වේලාවක් අවශ්‍ය වුනේ නෑ.
පන්දුවෙන් පෙන්නපු මේ දක්ෂතා සියල්ලටම අමතරව පිත්තෙනුත් දක්ෂතා පෙන්නපු මාෂල් පසුපෙළ දක්ෂ පිතිකරුවෙක් විදියට හඳුන්වන්න පුළුවන්.
ටෙස්ට් තරඟවලදී අර්ධ ශතක 10ක් ලබාගෙන තියෙන මාෂල්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ඉන්දියාවට එරෙහිව 1983 වසරෙදි ලබාගත්ත ලකුණු 92 සටහන් වෙලා තියෙනවා.
ඒ වගේම මාෂල්ගේ සුරතල් නාමය විදියට පාවිච්චි වෙන්නේ 'මැකෝ' කියන නම.

- මූලික තොරතුරු - 

මැල්කම් ඩෙන්සිල් මාෂල් උපත ලබන්නේ 1958 වසරේ අප්‍රේල් 18 වනදා බාබඩෝස් දූපතේ බ්‍රිජ්ටවුන් කියන නගරයේ.
මැල්කම්ගේ පියා 'ඩෙන්සිල් ඩිකොස්ටර් එඩ්හිල්' පොලිස් නිළධාරියෙක් වගේම Kingspark Cricket Club කණ්ඩායමට ක්‍රීඩා කරලා හොඳින් දක්ෂතා පෙන්නපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
අවාසනාවකට මාෂල්ගේ වයස අවුරුද්දක් වගේ වෙද්දි මාෂල්ගේ පියා රිය අනතුරකට මුහුණදීලා ජීවිතයෙන් සමුගන්නවා.
මේ සිද්ධියෙන් පස්සේ මාෂල්ව රැකබලාගන්නේ ඔහුගේ සීයා විසින්.

මාෂල් මූලික අධ්‍යාපනය ලබන්නේ බාබඩෝස් වල සේන්ට් මයිකල් කියන ප්‍රදේශයේ තිබ්බ සේන්ට් ජයිල්ස් පිරිමි පාසලෙන්.
1963 වසරෙදි මූලික අධ්‍යාපනය ලබන්න පටන්ගත්ත මාෂල් 1969 වසරෙදි සේන්ට් ජයිල්ස් පාසලට සමුදීලා පාකින්සන් විශ්වවිද්‍යාලයට ඇතුල්වෙනවා.
වර්ෂ 1973දි සම්පූර්ණයෙන්ම තමන්ගේ ඉගෙනීම් කටයුතු අවසන් කරපු මාෂල් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවෙන්නේ ඔහුව කුඩා කාලයේ ඉඳලා රැකබලාගත්ත සීයාගේ මඟපෙන්වීම මත.

- ක්‍රිකට් පිටියට පිවිසීම - 

අධ්‍යාපන කටයුතු අවසන් උනාට පස්සේ 1976 වසරෙදි මාෂල් බාබඩෝස් නගරයේ තිබුණ බීර නිෂ්පාදනාගාර සමූහයක් උන Banks Brewery ආයතනයේ තමන්ගේ මුල්ම රැකියාව හිමිකරගන්න අතරම එම ආ‍යතනයේ ක්‍රිකට් කණ්ඩායමටත් ඇතුල්වෙනවා.

මාෂල් මුලින්ම තමන්ගේ රට නියෝජනය කරන්නේ ඕවර 40 තරඟයකදි එංගලන්තයට එරෙහිව.
1976 වසරෙදි එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ට්‍රිනිඩෑඩ් & ටොබෑගෝ වලදි පැවැත්වුණ මේ තරඟයේ යොවුන් කොදෙව් කණ්ඩායම නියෝජනය කරපු මාෂල් සැලකිය යුතු මට්ටමේ සාර්ථකත්වයක් පෙන්නුම් කලේ නෑ.
පිත්තෙන් එක ලකුණක් වත් රැස් නොකල මාෂල් යවපු පන්දුවාර 8ට එංගලන්තය ලකුණු 53ක් ලබාගන්නවා.

1976න් වසර 2කට පස්සේ 1978 පෙබරවාරි 13 වනදා මාෂල් තමන්ගේ මුල්ම List A තරඟය ක්‍රීඩා කරනවා.
ඒ Geddes Grant - Harrison Line කුසලානය විදියට හඳුන්වපු තරඟාවලියකදි.
මාෂල් ක්‍රීඩා කලේ බාබඩෝස් කණ්ඩායමට.
මේ තරඟයෙදිත් මාෂල් ලකුණු 0කට දැවීයනවා.
ඒ වගේම මේ තරඟෙදිත් එකම එක කඩුල්ලක් වත් දවාගන්න මාෂල්ට හැකිවෙන්නේ නෑ.

මේ තරඟෙන් දවස් 4කට පස්සේ තමන්ගේ මුල්ම පළමු පෙළ තරඟය මාෂල් ක්‍රීඩා කරනවා.ඒ ජැමෙයිකා කණ්ඩායමට එරෙහිව.
නැවත වරක් පිත්තෙන් අසාර්ථක උනත් ජැමෙයිකා කණ්ඩායමේ පළමු ඉනිමේ කඩුළු 6ක් ලකුණු 77කට දවාගන්න මාෂල් සමත්වෙනවා.
මේ දක්ෂතාවය නිසාම මාෂල්ව 1978/79 කොදෙව් කණ්ඩායමේ ඉන්දීය සංචාරයට තෝරාගන්නවා. 

- අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා දිවිය - 

මාෂල්ගේ මේ තෝරාගැනීමට ප්‍රධාන හේතුව උනේ 1978/79 වසරවල කොදෙව් කණ්ඩායමේ ඉන්දීය තරඟාවලියට සමගාමීව කෙරී පැකර් මූලික වෙලා පවත්වපු World Series Cricket Championship එක එහෙමත් නැත්නම් එක්දින ක්‍රිකට් ක්‍රීඩාව නවමු මඟකට යොමුකරන්න මූලික උන සුප්‍රසිද්ධ සීමිත ඕවර ක්‍රිකට් තරඟාවලියට ඇන්ඩි රොබර්ට්ස්, මයිකල් හෝල්ඩිං වගේ ඒ කාලේ ප්‍රධාන කොදෙව් වේග පන්දු යවන්නෝ සහභාගි උන එක.
ඇන්ඩි,මයිකල් වගේ අයගේ තැන් කොදෙව් කණ්ඩායමේ හිස් උන නිසා සංචාරයට ඇතුලත් වෙන්න වාසනාවන්ත උන මාෂල්ට තමන් ඉන්දීය සංචාරයේ සංචිතයට ඇතුලත් උන බව අහන්න ලැබෙන්නේ ඔහුගේ රැකියා ස්ථානය වෙච්ච Banks Brewery ආයතනයේ තිබ්බ රේඩියෝවකින් ප්‍රචාරය උන නිවේදනයක් මගින්.
පස්සේ කාලෙක මාෂල්ම ප්‍රකාශ කරපු විදියට මේ නිවේදනය ඇහෙන වෙලාවෙදි මාෂල් දැනන් ඉඳලා නෑ ඉන්දියාව තියෙන්නේ කොහෙද කියලවත්.

මේ විදියට අහඹු ලෙස තමන්ගේ අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතය ආරම්භ කරපු මාෂල් මුල්ම අන්තර්ජාතික ක්‍රිකට් තරඟය ක්‍රීඩා කරන්නේ බැංගලෝර් වලදි ඉන්දියාවට එරෙහිව.
ඒ කොදෙව්වන්ගේ 1978/79 ඉන්දීය තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයෙදි.
1978 දෙසැම්බර් 15 ආරම්භ උන මේ ටෙස්ට් තරඟයෙදි වගේම ඉතුරු තරඟවලදිත් සැලකිය යුතු දක්ෂතාවයක් පෙන්වන්න අසමත් උනත් මාෂල් තමන්ගේ මුළු ක්‍රිකට් ජීවිතය පුරාම පිටිය තුල පවත්වගෙන ගියපු එදිරිවාදිකමක් නම් ඇතිකරගන්නවා.

ඒ ඉන්දියානු ක්‍රීඩක දිලිප් වෙන්ගස්කාර් සමඟ.
මාෂල්ගේ දැවීයාමක් වෙනුවෙන් උවමනාවට වඩා විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරපු වෙන්ගස්කාර් නිසා දැවී යන මාෂල් ඒ සිද්ධිය අවුරුදු ගණනක් යනතුරුම හිතෙන් බැහැර කරන්නේ නෑ.

මේ විදියට අන්තර්ජාතික ක්‍රිකට් පිටිය අසාර්ථකව අරඹපු මාෂල් කොදෙව් දූපත් වල පැවති පළමු පෙළ තරඟාවලියේදි නම් අසාර්ථක වෙන්නේ නෑ.
පළමු පෙළ තරඟවලදි කඩුළු 37ක් ලබාගත්ත මාෂල්ගේ දක්ෂතාවය දැකපු එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමක් වෙච්ච හැම්ප්ෂර් කණ්ඩායම ඔවුන්ගේ විදේශීය ක්‍රීඩකයා විදියට මාෂල්ව 1979 වසරෙදි බඳවගන්න තීරණය කරනවා.
1979 වසරේ සිට 1993 වසර දක්වාම මාෂල් එංගලන්ත ප්‍රාන්ත තරඟවලදි නියෝජනය කලේ හැම්ප්ෂර් කණ්ඩායම.

මේ අතරවාරයේ පැවැත්වුන 1979 ලෝක කුසලානයේ කොදෙව් සංචිතයට මාෂල් ඇතුලත් උනත් ඔහු එක තරඟයක් වත් ක්‍රීඩා කරන්නේ නෑ. 
ඒ වගේම මේ කාල වකවානුව තුල එංගලන්ත පළමු පෙළ ප්‍රාන්ත තරඟාවලි වලදි මාෂල් නියෝජනය කරපු හැම්ප්ෂර් කණ්ඩායම සාර්ථක ලෙස ක්‍රීඩා කරන්න අපොහොසත් වෙනවා.
කණ්ඩායම අසාර්ථක උනත් එංගලන්ත පළමු පෙළ තරඟාවලි වලදි මාෂල් කඩුළු 47ක් ලබාගැනීමට සමත් වෙනවා.
මේ කඩුළු 47 අතරේ John Player League ලෙස පැවැත්වුන පළමු පෙළ තරඟාවලියේ ග්ලැමෝගන් කණ්ඩායමට එරෙහිව ලකුණු 13කට ඔහු ලබාගත්ත කඩුලු 5ත් අයිතියි.

මාෂල් ක්‍රීඩා දිවියේ සාර්ථකත්වය ලඟාකරගන්නේ 1980 වසරේ සිට වන අතර 
මෙම වසරේදි පැවැත්වුන කොදෙව්වන්ගේ එංගලන්ත සංචාරයේ තුන්වන ටෙස්ට් තරඟයේදි මයික් ගැටිං, බ්‍රයන් රෝස් සහ පීටර් විලී යන එංගලන්ත පිතිකරුවන් තිදෙනාම ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවන මාෂල් ලකුණු 24කට එංගලන්ත කඩුළු 7ක් දවාගන්න සමත් වෙනවා.
මේ තරඟය ජය පරාජයෙන් තොරව අවසන් උනත් මාෂල් දක්වපු දක්ෂතා ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ නොමද පැසසුමට ලක් වෙනවා.

කෙසේ වෙතත් 1980 වසරෙන් පස්සේ මාෂල්ට කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය වසර දෙකකට අහිමිවෙනවා.
නමුත් නැවත ක්‍රීඩාවේ යෙදෙන මාෂල් 1982දි එංගලන්ත ප්‍රාන්ත තරඟාවලි තුලදි කඩුළු 134ක් ලබාගන්නවා.ඔහුගේ කඩුළු ලබාගැනීමේ සාමාන්‍යය සඳහන් වන්නේ ලකුණු 16ක් ලෙස.
මේ ලබාගත් කඩුළු 134 අතරේ ඔහුගේ පළමු පෙළ හොඳම පන්දු යැවීම ලෙස සටහන් උන වෝක්ෂයර් පිලට එරෙහිව ලකුණු 71කට ලබාගත් කඩුළු 8ද අයිතියි.
එංගලන්ත ප්‍රාන්ත තරඟවලදි සුපිරි දක්ෂතා පෙන්වීම නිසා නැවතත් මාෂල්ට කොදෙව් ජාතික ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය හිමිවෙනවා.
1982 වසරේදි නැවත කණ්ඩායමට පැමිණීමෙන් පසුව ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා කරනවා.

- ක්‍රීඩා දිවියේ උපරිම දස්කම් අතර - 

1982 වසර හා 1986 වසර අතර කාලසීමාව තුල මාෂල් ටෙස්ට් සංචාර 7කට සහභාගී වෙනවා. 
මේ සංචාර 7 තුලදී ඔහු එක් සංචාරයක ලබාගත් කඩුළු සංඛ්‍යාව 21ට වඩා වැඩි අගයක් ගත් අතර මේ කාල වකවානුව තුල සාර්ථකම ටෙස්ට් සංචාරය ලෙස සටහන් වන්නේ 1983/84 වසරවලදි ඉන්දියාවට එරෙහිව තිබූ ටෙස්ට් තරඟාවලියයි.
මේ තරඟාවලියේදි කඩුළු 33ක් ලබාගන්නා මාෂල් පිත්තෙන් ලකුණු 33ක සාමාන්‍යයක් පවත්වාගන්නට සමත් වෙනවා.
මේ තරඟාවලියේදි කාන්පූර් ක්‍රීඩාංගනයේදි පැවති තරඟයේ ඔහු ලබාගත් ලකුණු 92 හා කඩුළු 8 ඔහුට තරඟයේ වීරයා සම්මානය හිමිකරදෙනවා.
ඊටත් අමතරව මේ තරඟයේදි ඔහුගේ පැරණි එදිරිවාදියා වූ දිලිප් වෙන්ගස්කාර්ව දෙවරක් දවාගෙන ඔහුගෙන් පලිගැනීමට පවා මාෂල් සමත්වෙනවා.

ඉන්දීය තරඟාවලියෙන් මාස කිහිපයකට පසුව කොදෙව් දූපත් වලදි ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරඟාවලියේදීද සුපිරි දක්ෂතා පෙන්වන මාෂල් ඉනිම් 2කදීම කඩුළු 5 බැගින් දවාගැනීමට සමත් වෙනවා.

මේ කාලසීමාව තුලදි පැවති ආන්දෝලනාත්මක දකුණු අප්‍රිකානු තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා ඩොලර් මිලියනයක ලංසුව මත මාෂල්ට ආරාධනාවක් හිමි වුවත් මේ තරඟාවලියට එක්වීම මාෂල් ප්‍රතික්ෂේප කරනවා.
මේ තරඟාවලිය ක්‍රීඩා නොකිරීම මාෂල් ගත් නුවණක්කාර තීරණයක් ලෙස හැඳින්විය හැක්කේ එම තරඟාවලියට සහභාගී වූ බොහොමයක් ක්‍රීඩකයින් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා තහනමකට ලක්ව ක්‍රිකට් ජීවිතයට සමුදුන් නිසයි.

- බ්ලැක්වොෂ් තරඟාවලිය - 

සුප්‍රසිද්ධ බ්ලැක්වොෂ් තරඟාවලිය ලෙස හැඳින්වූ කොදෙව්වන්ගේ 1984 එංගලන්ත සංචාරය ගැන ඔබ සමහරක් දැනුවත් ඇති.
මේ තරඟාවලියේදි මාෂල් කඩුළු ලබාගැනීම අතින් දෙවෙනි වන්නේ ඔහුගේ සහෝදර ක්‍රීඩක ජොයෙල් ගානර්ට පමණයි.
තරඟ 5කදි ජොයෙල් කඩුළු 29ක් දවාගන්නා විට මාෂල් කඩුළු 24ක් දවාගන්න සමත්වුන මේ තරඟාවලියේ කොදෙව් කණ්ඩායම තරඟ 5-0ක් ලෙස එංගලන්තය පරාජය කිරීමට සමත්වෙනවා.
කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව එංගලන්තයේදීම මෙවැනි දස්කමක් දැක්වූ ප්‍රථම හා එකම අවස්ථාව මෙය වන අතර මේ තරඟාවලිය මාෂල්ගේ ක්‍රිකට් දිවියේ  ස්වර්ණමය යුගය විදහා දක්වන්නක් ලෙස අනිවාර්යයෙන්ම හැඳින්විය හැකියි.

මෙම තරඟාවලිය තුලදි ඉනිමකදී විකට් 5 බැගින් ලබාගත් අවස්ථා 3ක් සමඟ ලකුණු 18.20ක කඩුළු ලබාගැනීමේ සාමාන්‍ය අගයක් වාර්තා කල මාෂල් සෑම පන්දු 42කට වරක්ම කඩුල්ලක් දවාගැනීමේ ප්‍රහාරක වේගයක් රඳවා ගන්නට සමත් වෙනවා.
එමෙන්ම එජ්බැස්ටන් වල පැවති තරඟාවලියේ මුල්ම ටෙස්ට් තරඟයේදි එංගලන්ත පිතිකරු ඇන්ඩි ලොයිඩ්ගේ ක්‍රීඩා දිවිය හමාරකරමින් ඔහුගේ දකුණු ඇස සදාකාලිකවම ආබාධ කිරීමට මාෂල් එල්ලකල අකුණුසැර වැනි වේග පන්දුවක් හේතුවෙනවා.

මේ තරඟාවලියේ තෙවන ටෙස්ට් තරඟය හෙඩින්ග්ලි හීදි පැවති අතර පළමු ඉනිමේ පන්දු රැකීම කරන අතරවාරයේ මාෂල්ගේ වම් අතේ මහපටැඟිල්ල බිඳීමකට ලක්වෙනවා.
එංගලන්ත පළමු ඉනිමෙන් පසු පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව් කණ්ඩායමේ අංක 11 පිතිකරු ලෙස පිටියට පිවිසෙන මාෂල් තනි අතෙන් ක්‍රීඩා කරමින් තම කණ්ඩායමේ සහෝදර ක්‍රීඩක ලැරී ගෝමස්ට ශතකය ලබාගැනීමට නොමදව සහය වෙනවා.

එමෙන්ම දෙවන ඉනිමේදි වමතේ ආබාධය නොතකා පන්දු යවන මාෂල් එංගලන්ත ඉනිම සුනුවිසුණු කරමින් ලකුණු 53කට කඩුළු 7ක් ලබාගැනීමට සමත් වෙනවා.

මෙම ඓතිහාසික තරඟාවලියෙන් පසු සාර්ථක නවසීලන්ත තරඟාවලියක් කොදෙව් දූපත් වලදී අවසන් කරන මාෂල් නැවතත් 1986 වසරේ පැවැත්වූ එක්දින තරඟයකදි එංගලන්ත නායක මයික් ගැටිංගේ නාසය බිඳ දමන්නට තරම් වේගයෙන් පන්දු යවා තිබෙනවා.
ගැටිංගේ නාසය බිඳීමට ලක්වීමෙන් අනතුරුව නැවත තම අතට ලබාගත් පන්දුවේ ගැටිංගේ අස්ථි කැබලි පවා රැඳී තිබූ බව මාෂල් සඳහන් කොට තිබෙනවා.
මේ වන විට ඉන්ස්වින්ග්, අවුට්ස්වින්ග් පන්දුවලට අමතරව  ලෙග් කටර් පන්දු වල සංකලනයක් සහිතව පන්දු යැවූ මාෂල් සෑමවිටම සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට සමත් වුණා.

ටෙස්ට් ක්‍රිකට් පිටියේදි තම හොඳම පන්දුයැවීම ලෙස 1988 දී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී නැවතත් එංගලන්ත කණ්ඩායමේ කඩුළු 7ක් ලකුණු 22කට බිඳදමන මාෂල් ඉන් අනතුරුව සාර්ථකව තරඟාවලි කිහිපයක්ම සාර්ථකව අවසාන කරන මාෂල් 1989 වසර අගභාගයේදි ICC ටෙස්ට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබාගැනීමට සමත්කම් දක්වනවා.

- අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම -

දශකයකට වැඩි සාර්ථක ටෙස්ට් ක්‍රීඩා දිවිය හමාර කරමින් මාෂල් තම අවසාන ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන්නේ 1991දී එංගලන්තයේ ඕවල් පිටියේදී වන අතර ඔහු තම අවසාන ටෙස්ට් කඩුල්ල ලෙස දවාගන්නේ එංගලන්ත ක්‍රීඩක ග්‍රැහැම් ගුච්වයි.
1992 ලෝක කුසලානය සඳහා සහභාගි වූ නමුත් මාෂල් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත්වන්නේ නෑ.
ඒ කෙසේ නමුත් එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේදි මාෂල් නැවතත් සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් 1992 වසරේ හැම්ප්ෂර් කණ්ඩායමට බෙන්සන් & හෙජස් කුසලානය පවා හිමිකරදෙනවා.
එංගලන්ත ප්‍රාන්ත තරඟාවලි වලින් 1995දී සමුගන්නා විට ඔහු කඩුළු 1000කට වඩා බිඳ දැමීමට සමත් වී අවසන්.

එමෙන්ම සුපිරි දකුණු අප්‍රිකානු වේග යවන්නෙක් ලෙස නම්දරා සිටි ශෝන් පොලොක්ගේ ගුරුවරයා වූයේත් මාෂල්මයි.

- පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීම හා අභාවය - 

1995 තම ක්‍රීඩා දිවිය සම්පූර්ණයෙන්ම හමාර කල පසු හැම්ප්ෂර් කණ්ඩායමේ හා කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කල මාෂල් 1999 වසරේදි තමා ආමාශයේ  පිළිකාවකට ගොදුරු වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව පුහුණුකාර දිවිය අවසන් කරමින් ප්‍රතිකාර ලබාගත්තත් අවාසනාවන්ත ලෙස ඒ සියළු ප්‍රතිකාර අසාර්ථක වෙනවා.
1999 වසරේ සැප්තැම්බර් 25 වනදා තම දීර්ඝ කාලීන සහකාරිය කොනී සමඟ යුගදිවියට එළඹෙන මාෂල් තම උපන් ස්ථානය වන බාබඩෝස් වෙත නැවත පැමිණෙනවා.

විවාහයෙන් දින කීපයකට පසු 1999 වසරේ නොවැම්බර් 4වනදා මෙලොව හැර යනවිට මාෂල්ගේ බර කිලෝ 25කට වඩා යන්තමින් වැඩි වූ බවයි සඳහන් වන්නේ.
කොදෙව් ලෝක පූජිතයින්ගේ කරමතින් අවසාන ගමන් ගොස් තම නිජබිම වන බාබඩෝස් හීදීම මිහිදන් වූ මාෂල් වෙනුවෙන් අදටත් අනුස්මරණ ක්‍රීඩා තරඟ පැවතෙන අතර ක්‍රිකට් ක්‍රීඩාව තුල ඔහු පෑ දස්කම් සදා අමරණීයයි.

වරක් සුපිරි කොදෙව් පිතිකරු බ්‍රයන් ලාරා පැවසූ කතාවක් සමඟින් මම ලිපිය හමාර කරන්නේ මාෂල් යනු කවර ගණයේ ක්‍රීඩකයෙක්ද බව ඒ කතාව මගින් මොනවට පැහැදිලි වන නිසයි.

බ්‍රයන් ලාරා -

"මම මගේ පළමු පෙළ තරඟ දිවිය ආරම්භ කල කාලයේ මාෂල්ට එරෙහිව ක්‍රීඩා කල මුල්ම තරඟයේදි මම මාෂල්ට මුහුණදුන්නේ අසීමිත භයකින්.
මේ නිසාම ඔහුගේ පළමු පන්දුවෙන්ම මා උඩපන්දුවක් ලබා දී දැවීගියා.
නැවත ක්‍රීඩාගාරයට යන මගේ පිටට තට්ටුවක් දැමූ මාෂල් පැවසුවේ "ඒක අසීරු අවස්ථාවක්" බවයි.
එවෙලේ ඔහු ගැන මට ඇතිවුනේ මහත් ගෞරවයක්"

මැල්කම් මාෂල් පන්දු යවනවා දැකපු නැති අයට - https://youtu.be/qah1cmxVDB8

නැවත හමුවන තුරු ඔබට ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment