Thursday, July 4, 2019

'ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය උඩු යටිකුරු කල සිංහයෝ"



- 1979 පෲඩෙන්ශල් ලෝක කුසලානය -

• ඉන්දියා - ශ්‍රී ලංකා තරඟය
• 1979 ජූනි 16-18
• ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනය, මැන්චෙස්ටර්

එක්දින ක්‍රිකට් පිටිය මුළුමනින් කොදෙව් අධිරාජ්‍යයේ පාලනයට නතුවෙලා තිබ්බ 70 දශකයේදි තමයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මුල්වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් සංවිධානය කරන්නේ.
ඒ 1975 වසරෙදි.
අපේ මව්බිම නියෝජනය කරපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් එංගලන්තයේදි පැවැත්වුන කුළුඳුල් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ජය හිමිකරගන්නේ කොදෙව් කණ්ඩායම විසින්.
අවසන් තරඟයේදී කොදෙව්වන් අතින් පරාජය වෙන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම.

ඉතා අඩු අත්දැකීම් තිබුණ නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත උන ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලෝක කුසලාන තරඟාවලියේදි තමන් මුහුණදීපු තරඟ සියල්ලෙන්ම පරාජයට පත්වෙනවා.

මේ තරඟාවලියේදි ශ්‍රී ලංකාව මුහුණදුන්න තරඟ අතරේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන තරඟයක් තමයි 1975 ජූනි 11 වෙනිදා ලන්ඩන් නුවරදි ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වුණ තරඟය. 
මුලින්ම පන්දුවට පහර දීපු ඔස්ට්‍රේලියාව විසින් ලබාදුන්න ලකුණු 328ක දැවැන්ත ඉලක්කයක් හඹායන අතරවාරයේ බෙහෙවින් අගය කල යුතු සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ 
දුලිප් මෙන්ඩිස්, සුනිල් වෙත්තමුණි කියන මුල්පෙළ පිතිකරුවන් දෙදෙනාටම ඔස්ට්‍රේලියානු අධිවේග පන්දුයවන්නෙක් උන ජෙෆ් තොම්ප්සන් එවපු අකුණු සැර වගේ වේගවත් පන්දු ප්‍රහාරයකට ලක්වෙලා රෝහල් ගතවෙන්න සිද්ධවෙනවා.

අවසානයේදී "හොඳින් හෝ නරකින් තමන්ට අවශ්‍ය ජයග්‍රහණය ලබාගන්නා කණ්ඩායමක්" විදියට සුප්‍රසිද්ධ ඔස්ට්‍රේලියාව ඉදිරියේ ලකුණු 52කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වෙනවා.

අභාග්‍යසම්පන්න ලෙස ආබාධයන් වලට ලක්වුණ දුලිප්, සුනිල් දෙදෙනා එසේ නොවී පිටියේ රැඳී සිටියානම් මේ තරඟය අපිට ජයගන්නත් හැකියාව තිබුණා කියන එක සජීවීව තරඟය නරඹපු ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරකයෝ කීපදෙනෙක්ම සඳහන් කරලා තියෙනවා.
අපේ අවාසනාවකට එදා එහෙම නොවුනට නිකමට හරි එහෙම දෙයක් සිද්ධ උනා නම් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයකදි පූර්ණ සාමාජිකත්වය ලැබූ කණ්ඩායමක් පරාජය කරපු පළමු කෝඩුකාර කණ්ඩායම විදියට 
ශ්‍රී ලංකාව ක්‍රිකට් වාර්තා පොත් අතර ලියවෙන්නේ 1975 වසරේදි.

කුළුඳුල් එක්දින ලෝක කුසලානය පවත්වපු 1975 වසරෙන් වසර 4කට පස්සේ 1979 වසරේදි පැවත්වුන දෙවන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වුනෙත් එංගලන්තයේ සත්කාරත්වය ලබමින්.
දෙවන ලෝක කුසලානය පවත්වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබාගැනීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමටත් සිදුවෙනවා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වෙන්න.

ICC සමාරම්භක ක්‍රිකට් තරඟාවලිය විදියට හඳුන්වපු 1979 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය පැවැත්වුනේ රටවල් ගණනාවක සහභාගීත්වයෙන්.
තරඟාවලියේ මූලික තරඟ සියල්ලම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊශ්‍රායලය සමඟ පැවති තරඟය පමණක් දේශපාලනික හේතුන් නිසා ක්‍රීඩා කිරීමෙන් වැලකුණු බැවින් ඊශ්‍රායලයට නිතරඟ ජයක් ලබාදීමට තීරණය කරන ලදි.
මූලික වටයෙන් පසු පැවති අවසන් පූර්ව තරඟයේදි ඩෙන්මාර්කය පරාජය කරමින් තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබන ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයේදි කැනඩා කණ්ඩායම පරාජය කරමින් තරඟාවලියේ ශූරතාවය දිනාගන්නවා.

මේ විදියට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේදී ප්‍රථම ස්ථානය ලබාගන්නා 
ශ්‍රී ලංකා කණ්ඩායම 1979 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රීඩා කරන කණ්ඩායම් 8 අතරේ තමන්ගේ ස්ථානය වෙන්කරගන්නවා.

විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි 96 ලෝක කුසලාන ජයග්‍රහණය ලබාගන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටිය ක්‍රීඩකයෝ අද කාලේ අය වගේ පූර්ණ කාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණ අය නෙවෙයි.
ඒ කාලේ ජාතික කණ්ඩායමේ හිටපු බහුතරයක් දෙනා වෙනත් රැකියාවක යෙදෙන ගමන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු අය.
මේකට ප්‍රධාන හේතුව වුනේ ඒ කාලේ ක්‍රීඩකයින්ට ලැබුණේ බොහොම සුළු දීමනාවක් වීම කිව්වොත් ඒක වැරදි නෑ.
ඒ වගේම අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය තරමින් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාගන්න තරඟ ලැබුනේම නැති තරම්. 
ක්‍රීඩාවේ යෙදෙන්න අවශ්‍ය උපකරණ,
පහසුකම්,මඟපෙන්වීම් තිබුණෙත් බොහොම අඩුවෙන්.
ගොඩක් ක්‍රීඩකයෝ තමන්ගේ වියදමෙන් තමයි ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ මිලදී ගත්තේ.

අවශ්‍ය සියළුම දේ උවමනා ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ලැබිලත් තමන්ගේ රාජකාරිය හරියට ඉටු නොකරන වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයෝ එක්ක සසඳලා බැලුවම ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශප්‍රේමියෝ.
තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක ඔවුන් සැලකුවේ ගෞරවයක් විදියට.
ඒ වගේම තමන්ට ලැබුණු අවස්ථාවට උපරිම සාධාරණයක් කරන්න ඔවුන් නිතරම උත්සහ කලා.

දැන් නැවතත් අපේ කතාවට එමු.

සුදුසුකම් ලැබීමේ වටයේදි ප්‍රථම ස්ථානය ලබාගෙන 1979 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට එක්වුන ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදි නවසීලන්තය,බටහිර ඉන්දීය කොදෙව් දූපත් වගේම ඉන්දියාව කියන කණ්ඩායම් 3 සමඟ තරඟ වැදීමට සිදු වෙනවා.
ප්‍රථම තරඟය ලෙස නවසීලන්තය සමඟ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ අතර බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තරඟයේදි වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙපිළටම ලකුණු 2 බැගින් ලබාදෙමින් තරඟය අත්හැර දමනවා.
මේ හේතුව නිසා ඉන්දියාව සමඟ පවත්වන තරඟයටත් පෙර තරඟාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වෙනවා.
අපේ අසල්වාසීන් වෙච්ච ඉන්දියානුවන්ටත් අත්වෙන්නේ අපිට අත්වෙච්ච ඉරණමමයි.
නවසීලන්තය හා කොදෙව්වන් අතර පැවති තරඟ 2ම පරාජය වන ඉන්දියානු කණ්ඩායමත් තරඟාවලියෙන් ඉවතට යනවා.

තරඟාවලියෙන් ඉවතට ගියපු කණ්ඩායම් දෙකක් විදියට මේ කණ්ඩායම් දෙකම උත්සහ කලේ ඉතිරිවෙලා තිබුණ එකම තරඟය හරි ජයගෙන තමන්ගේ නම්බුව රැකගන්න.
විශේෂයෙන්ම මේ හේතුව නිසා පළපුරුදු ඉන්දියානු කණ්ඩායම ලොකු පීඩනයකට ලක්වෙනවා.
දීර්ඝ ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන ඉන්දියානු කණ්ඩායම තමන්ගේ අසල්වාසීන් වෙච්ච කෝඩුකාර ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ පරාජයට පත්වීමට කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නෑ.

කණ්ඩායම් දෙක අතර තරඟය පැවැත්වීමට නියමිත උන දවසට කලින් දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වුන අනුර තෙන්නකෝන් ආබාධයකට ලක්වෙනවා.
අනුරගේ ආබාධය නිසා පුරප්පාඩු වෙන කණ්ඩායම් නායක තනතුරේ වගකීම බාරවෙන්නේ බන්දුල වර්ණපුරට.

තරඟ දිනය එළඹෙනවා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරඟය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකිවන්නේ නෑ.වර්ෂාව පහව ගිය පසු සන්ධ්‍යා කාලයේදී තමයි තරඟය ආරම්භ වෙන්නේ.
කාසිය වාසිය දිනාගන්නා ඉන්දීය කණ්ඩායම මුලින් පන්දු යැවීමට තීරණය කරන්නේ එවකට ඕල්ඩ් ට්‍රැෆර්ඩ් තණතීරුව පන්දුයවන්නන්ට සුබ ඵල ගෙනදෙන තණතීරුවක් ලෙස ප්‍රසිද්ධව තිබූ නිසයි.

ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසෙන බන්දුල වර්ණපුර, සුනිල් වෙත්තමුණි දෙදෙනාගෙන් වර්ණපුරට වැඩිවේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට මොහින්දර් අමරනාත් ඉඩ දෙන්නේ නෑ.
පන්දු 51කදී ලකුණු 18ක් ලබා වර්ණපුර පිටියෙන් ඉවත්ව යනවා.
ඉන්පසු පිටියට පිවිසෙන රෝයි ඩයස් හා එක්වන ආරම්භක පිතිකරු සුනිල් වෙත්තමුණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ඉවසිලිවන්තව හා ස්ථාවරව ගොඩනගනවා.
තාක්ෂණයෙන් අනූන පිතිකරුවන් දෙදෙනෙක් ලෙස නම්දරා සිටි වෙත්තමුණි හා ඩයස් එක්ව ගොඩනැගූ ලකුණු 95ක සබඳතාවය තුල
ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කල මනරම් කවර් ඩ්‍රයිව් පහර රාශියක් දක්නට ලැබුණු බවයි ක්‍රීඩා විස්තර විචාරකයන් සඳහන් කරන්නේ.

පන්දු 88කදී අර්ධ ශතකයක් ලබාගත් 
රෝයි ඩයස් මොහින්දර් අමරනාත්ගේ පන්දුවක් හමුවේ ඔහුටම උඩපන්දුවක් ලබාදී දැවී යනවිට ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක අඩිතාලමක් ගොඩ නැගී අවසානයි.
ඩයස්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසෙන ප්‍රහාරාත්මක පිතිකරු දුලිප් මෙන්ඩිස් ඉන්දියානු පන්දු යවන්නන් වූ කපිල් දේව්,
කාසන් අවාරි හා මොහින්දර් අමරනාත් හට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරනවා.

මේ අතරවාරයේ පිටියේ නැංගුරම ලෙස එතෙක් වේලා රැඳී සිටි සුනිල් වෙත්තමුණි කපිල් දේව්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට ඔහු පන්දු 120කට මුහුණ දී 4 පහරවල් 8ක් සමඟින් ලකුණු 67ක් ලබා අවසන්.
වෙත්තමුණි දැවී යාමෙන් පසුව පිටියට පිවිසෙන්නේ තම මංගල එක්දින තරඟය ක්‍රීඩා කල රංජන් මඩුගල්ලේ වූ අතර ඔහු වැඩිවේලා කඩුල්ලේ රැඳී සිටීමට සමත් වන්නේ නෑ.
තම මංගල ඉනිම ලකුණු 4කට සීමා කරගනිමින් අමරනාත්ගේ පන්දුවක් හමුවේ මඩුගල්ලේ දැවී යනවා.

වෙත්තමුණි හා මඩුගල්ලේ දෙදෙනාම දැවී ගිය පසුද තම ප්‍රහාරාත්මක ශෛලිය වෙනස් නොකරන දුලිප් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ මැද පන්දුවාර වල ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම තමන් සතු කරගන්නවා. 
මඩුගල්ලේ දැවී ගිය පසු පිටියට පිවිසෙන කණ්ඩායමේ සිටි ලාබාලම ක්‍රීඩක සුදත් පැස්කුවෙල් හා එක්ව ලකුණු 52ක වේගවත් සබඳතාවයක් ගොඩනගන මෙන්ඩිස් පන්දු 57කදී ලකුණු 64ක් ලබාසිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යනවා.
කණ්ඩායමේ සිටි ලාබාලම ක්‍රීඩකයා වුවත් සුදත් කල්පනාකාරීව කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 23ක් ලබාගන්නවා.

පන්දුවාර 60ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 238ක් ලබාගන්නවා.

මේ අතරවාරයේ සිදුවූ විශේෂ අවස්ථාවක්ද සඳහන් කල යුතුමයි.
වර්ෂාවෙන් තරඟයට එල්ල වූ බාධා නිසා නියමිත වේලාවට තරඟය ආරම්භ කිරීමට නොහැකි වූ බව මම කලින් සඳහන් කලා.
වර්ෂාව පහව ගිය පසු ජූනි 16 වන සෙනසුරාදා සවස් කාලයේ පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම අවසන් වූ පසු තරඟය නවතාදමන්නේ ඉන්දියානු ඉනිම 18වන සඳුදා උදෑසන දක්වා කල් දමමින්.
17වන ඉරිදා දිනය නිවාඩු දිනයක් ලෙස සැලකූ අතර 18 වන සඳුදා උදෑසන නැවතත් තරඟය ආරම්භ වෙනවා.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ සුනිල් ගවස්කාර් හා අන්ෂුමාන් ගයක්වාඩ් ඉන්දීය කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදෙනවා.
ආරම්භක සබඳතාවය සඳහා ලකුණු 60ක් එක්කරන මේ පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය අවසන් වන්නේ සුනිල් ගවස්කාර් පන්දු 54කදී ලකුණු 26ක් ලබා සිටියදී බන්දුල වර්ණපුරගේ පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙනි.
ගවස්කාර්ගේ දැවීයාමෙන් පසු වැඩිවේලා කඩුල්ලේ රැඳී සිටීමට අපොහොසත් වන අන්ෂුමාන් ගයක්වාඩ් ලකුණු 33ක් ලබා සිටියදී 
ස්ටැන්ලි ඩි සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී යනවා. ඒ වනවිට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 76කට කඩුළු 2ක් ලෙස සටහන් වී තිබූ අතර පන්දුවට පහරදීමට පිටියට පිවිසි දිලිප් වෙන්ගස්කාර් හා ගුන්දප්පා විශ්වනාත් දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විටදී ඉන්දීය ඉනිමට ලකුණු 41ක් එක්කිරීමට සමත්වෙනවා.
දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විටදී ඉන්දීය ඉනිම කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 117ක් ලබා සාර්ථක හඹායෑමක සලකුණු පෙන්නුම් කළ නමුත් දිවා ආහාරය අවසන් වී නැවත තරඟය ආරම්භ කිරීමෙන් සුළු වේලාවකට පසු ගුන්දප්පා විශ්වනාත් ලකුණු 22ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට ලක්වෙනවා.

විශ්වනාත්ගේ දැවී යාමත් සමඟ පන්දු යැවීම ආරම්භ කල ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන 
දඟ පන්දු යවන්නා වූ සෝමචන්ද්‍ර ඩි සිල්වා එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දුන් දිලිප් වෙන්ගස්කාර්,බ්‍රිජේෂ් පටේල්,
මොහින්දර් අමරනාත් යන පිතිකරුවන් තිදෙනාම නැවත ක්‍රීඩාගාරයට හරවා යවනවා.

වේගවත් ආරම්භයක් ලබාගත් කපිල් දේව්ගේ කඩුල්ල ලබාගන්නා ස්ටැන්ලි ඩි සිල්වා ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 162ක් ලෙස සඳහන් වෙද්දී දැවීගිය කඩුළු සංඛ්‍යාව 7ක් දක්වා ඉහල දමන්නේ කෝඩුකාර ශ්‍රී ලංකාවට කිසිදා අමතක නොවන ලෝක කුසලාන ජයක් පෙනෙන මානයට ගෙන එමින්.
ඉනිමේ අගභාගයේදී පන්දු යැවීමේ නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දුයවන්නා වූ ටෝනි ඕපාත ඉන්දියානු කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් අසරණ කරමින් කඩුළු 3ක් ලබාගැනීම නිසා ඉන්දීය ඉනිම ඕවර 54.1ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 191කට සීමා වෙනවා.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය උඩු යටිකුරු කරවමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබූ රටක් අර්ධ සාමාජිකත්වය ලැබූ රටකින් පරාජය වූ මුල්ම අවස්ථාව ලෙස ඉතිහාස ගතවූ මේ තරඟය පසු කලෙකදී ලෝක කුසලාන තරඟාවලි තුල සාර්ථකම කණ්ඩායමක් ලෙස නම්දරා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය මුලින්ම ලොවට පෙන්වූ අවස්ථාව ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි අතර 1975 වසරේදි ඔස්ට්‍රේලියාව ඉදිරියේ යාන්තමින් මඟහැරී ගිය ලෝක වාර්තාවක් ඉන් වසර 4කට පසු 1979දී ඉන්දියාව හමුවේ සාර්ථක කර ගත් ශ්‍රී ලාංකිකයන් සිංහයන් ලෙස හඳුන්වන්නේ ඇයි දැයි ඔබ සියල්ලන්ටම අවබෝධ වන්නට ඇති බැව් විශ්වාස කරමින් දැනට නවතින්නම්!

ඉක්මනින්ම නැවත හමුවෙන තුරු 
ඔබට ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment