Thursday, July 4, 2019

"ජාතිවාදී ටෝනි ග්‍රේග්ගෙන් පළිගත් කොදෙව්වෝ" - පළමු කොටස


ඔක්කොටම කලින් කියන්න ඕන කවුරුහරි මගෙන් ඇහුවොත් මේ ලෝකේ ආසම Cricket Commentator කවුද කියලා මගේ උත්තරේ වෙන්නේ "ටෝනි ග්‍රේග්" කියන එක.
ඒක මම මැරෙනකන් වෙනස් වෙයි කියලා නම් හිතන්නේ නෑ.

ඒ උනත් ටෝනි ගැන අපි දැනගන්න ගොඩක් කාලෙකට කලින් ටෝනි විහින් ඉල්ලන් කාපු සිද්ධියක් ගැනයි මේ ලියන්න හදන්නේ.
කරුණාකරලා රෙදි උස්සන් එන්න එපා මොකද මේක උනේ 2000න් පස්සේ නෙවේ 1976.

හරි එහෙනම් කතාවට එමු.
ටෝනි ග්‍රේග් කියන්නේ එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරපු,නායකත්වය දීපු සුපිරි ඕල් රවුන්ඩර් කෙනෙක් කියලා ගොඩක් අය දන්නවා ඇති.හැබැයි ටෝනි ඉපදුනේ දකුණු අප්‍රිකාවේ.ටෝනිගේ තාත්තා ස්කොට්ලන්ත ජාතිකයෙක්.අම්මා දකුණු අප්‍රිකානු ජාතිකයෙක්.තාත්තගේ ස්කොට්ලන්ත පසුබිම නිසා එංගලන්තයේ Sussex ප්‍රාන්තයට ක්‍රීඩා කරන්න තරුණ ටෝනිට අවස්ථාව ලැබෙනවා.ලැබුන අවස්ථාවෙන් උපරිමය ගත්ත ටෝනි අවසානෙදි නතරවෙන්නේ එංගලන්ත ජාතික කණ්ඩායමේ.

ටෝනි එංගලන්ත කණ්ඩායමට එකතුවෙලා ටික කාලෙකින් 1974දි එංගලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකට නික්මෙනවා.ටෝනි මේ සංචාරෙදි සුපිරිම දක්ෂතාවයන් පෙන්නනවා.
පිත්තෙන් ලකුණු 430ක් වගේම පන්දුවෙන් කඩුළු 24ක් දවාගන්න ටෝනි සමත්වෙනවා.
හැබැයි මේ සංචාරෙදි ටෝනිගේ නමට සදා නොමැකෙන කළු පැල්ලමක් එකතු වෙනවා.
කතාවට මුල් උන ඒ සිද්ධිය ගැන දැන් බලමු.

Trinidad වල Queens Park Oval වලදි පැවැත්වුන පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දිනය අවසානයට ලංවෙනකොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 6ක් පමණක් දැවීගිහින් පළමු ඉනිමේ එංගලන්තයට වඩා ලකුණු 143ක් වැඩිපුර රැස්කරගෙන බොහොම හොඳ ස්‍ථාවර මට්ටමක ඉන්නවා.
ප්‍රධාන වශයෙන් එහෙම වුනේ ඇල්වින් කලිචරන් කියන සුපිරි වැඩ්ඩා නොදැවී ලබාගත්ත ලකුණු 142 නිසයි.
තරඟයේ අවසාන පන්දුවට මුහුණදෙන්නේ බර්නාඩ් ජූලියන්.බර්නාඩ් මේ පන්දුවට එල්ල කරපු පහර නතරවෙන්නේ ටෝනි ග්‍රේග්ගේ අතේ.

මෙතනදි ලකුණක් ලබාගන්න බැරි නිසා බර්නාඩ්,කලිචරන් දෙන්නම පිටත් වෙනවා ක්‍රීඩාගාරයට යන්න තරඟය අවසන් නිසා.හැබැයි තරඟය අවසන් කියලා විනිසුරු දැනුම්දෙන්න කලින්.පන්දුව අතේ තිබ්බ ටෝනි කලිචරන්ගේ අන්තයේ කඩුල්ල බිඳ දාලා දුවද්දී දැවී යාමකට විනිසුරුගෙන් ඉල්ලීමක් කරනවා.
විනිසුරු විසින් කලිචරන් දැවී ගියා කියලා දැනුම් දෙනවා.මේක දැකපු Queens park oval වල හිටපු මැච් එක බලන්න ආපු මිනිස්සු අම්බානක කුලප්පු වෙලා දඟලන්න පටන් ගන්නවා.නිත්‍යානුකූලව කලිචරන් දැවී ගියත් මේක ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වෙන සිද්ධියක් නිසා එංගලන්ත නායක කලිචරන්ගේ දැවීයාමට කරපු ඉල්ලීම ඉල්ලා අස් කරගන්නවා.

මේ තමයි ටෝනි කොදෙව්වෝ එක්ක හැප්පෙන්න ගත්ත පළවෙනි අවස්ථාව.මෙතනින් පටන් ගන්න කතාවේ හොඳම ටික ඉතුරු කොටසින් හෙට ඔයාලට ගේන්න බලාපොරොත්තුවෙන් දැනට නවතිනවා. ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment