Thursday, July 4, 2019

ඇම්බ්‍රෝස් නම් කළු ගලේ ඔලුව ගැසූ ඩීන් ජෝන්ස්



- 1992/93 කොදෙව්වන්ගේ ඔස්ට්‍රේලියානු සංචාරය -

• බෙන්සන් & හෙජස් තුන්කොන් එක්දින තරඟාවලියේ පළමු අවසාන තරඟය
• දිනය - 1993 ජනවාරි 13
• සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය

මම අහපු ක්‍රිකට් වලට සම්බන්ධ රස කතා අතරේ ඉහලින්ම තියෙන සුපිරිම රස කතාවක් ගැන ලියන්නයි මේ හදන්නේ.
කාලයක් තිස්සේ ලියන්න අදහස් කරන් හිටියත් මේ කතාව ලියන එක මගේ අතින් මඟහැරුණු නිසා හිතාගත්තා අදම මේක ලියලා ඉවරකරලා හිත නිදහස් කරගන්න.
සම්පූර්ණයෙන්ම කියවන්න කියලා හැමෝගෙන්ම ඉල්ලන්නේ කියවන්න වැයවෙන විනාඩි 2,3 ගැන පසුතැවෙන්න වෙන්නේ නෑ කියන මට හොඳටම විශ්වාස නිසා.

කර්ට්ලි ඇම්බ්‍රෝස් ගැන අහලා නැති ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඉන්නවදෝ කියලත් පොඩි සැකයක් තියෙනවා.
මොකද ඇම්බ්‍රෝස් ක්‍රිකට් පිටියේ වැඩ දැම්මේ මෑත කාලෙදි නෙවෙයි.
හැබැයි ඇම්බ්‍රෝස් පන්දු යවනවා ටීවී එකෙන් හරි සජීවීව බලන්න තරම් මම නම් වාසනාවන්ත උනා.

80 දශකයේ අගභාගයේදි ජාත්‍යන්තර වරම් හිමිකරගත්තු ඇම්බ්‍රෝස් ලොව සිටි සුපිරිම වේග පන්දු යවන්නෙක්.
ඇම්බ්‍රෝස්ගේ අසාමාන්‍ය උස,වේගය වගේම පන්දු යොමුකිරීමේ ශෛලිය නිසායි ඇම්බ්‍රෝස් මේ තරම් සුපිරි වේග පන්දු යවන්නෙක් උනේ.
සමහර පිතිකරුවෝ ඇම්බ්‍රෝස් පන්දු යවනකොට පන්දුව අතෙන් නිදහස් කරන විදිය සමාන කරන්නේ අපි කෑම වලට ලුණු, ගම්මිරිස් ඉහින විදියට.
කොටින්ම කියනවනම් ඇම්බ්‍රෝස්ට වඩා හොඳ වේග පන්දු යවන්නෙක් ලෝකේ තාම පහළ වෙලා නෑ කියලා තමයි බොහෝ විස්තර විචාරකයෝ සඳහන් කරන්නේ.

කොච්චර ලොකු ශරීරයක් තිබ්බත් ඇම්බ්‍රෝස් කියන්නේ සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නෝ කරනවා වගේ තමන්ගේ ඇඟ පෙන්නලා කටින් අනිත් අයව බය කරපු ජාතියේ කෙනෙක් නෙවෙයි.
කතාබහ බොහොම අඩුවෙන් කරපු කර්ට්ලි ඇම්බ්‍රෝස්ගේ හැසිරීම සාමාන්‍යයෙන් හඳුන්වන්නේ "Curtly talk to no man" කියලා.

හැබැයි පුතේ ඇම්බ්‍රෝස් කියන්නේ අනන් මනන් කියලා අවුස්සගන්න හොඳ චරිතයක් නම් නෙවෙයි.
ඇම්බ්‍රෝස්ව අවුස්සගන්නේ එක්කෝ පිස්සෙක් එහෙමත් නැත්නම් බේබද්දෙක් වගේ සිහි කල්පනාව හරියට නැති කෙනෙක් තමයි.

ඉතින් අද කතාව සිහි කල්පනාව හොඳින් තියෙද්දිත් ඇම්බ්‍රෝස්ව අවුස්සගෙන ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස් කරගත්ත අමුම අමු ගොන් වැඩක් ගැන.

ඩීනෝ එහෙමත් නැත්නම් ඩීන් ජෝන්ස්ව නම් ගොඩක් අය දන්නවා.හැබැයි ඩීනෝව ගොඩක් අය දන්නේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදියට.පෞද්ගලිකව මම ආසම ක්‍රිකට් විස්තර විචාරකයෙක් තමයි ඩීනෝ.

සරල වචනයෙන්ම කියනවා නම්,

"ආය මොනාද ඩීනෝ කමෙන්ට්‍රි බොක්ස් එකට ආවම මැච් එක ටෙස්‍ට්ද වන්ඩේද ටී20ද කියලා අදාල නෑ මැච් එක සෙල්ලම් කරන රටවල් 2 අදාලත් නෑ පොර ආතල් එක දෙනවා ආය මදි නොකියන්නම"

අවිවාදයෙන්ම ඩීනෝ කියන්නේ බොහොම සුන්දර මනුස්සයෙක්!

විස්තර විචාරය කරන එකට අමතරව ඩීනෝ හොඳ පුහුණුකරුවෙක්.
පකිස්තානය,ඇෆ්ගනිස්තානය වගේ රටවල් ඩීනෝ යටතේ පුහුණුවීම් ලබන්න තරම් වාසනාවන්ත උනා. 
වර්තමානයේ පුහුණුකරුවෙක්, විස්තර විචාරකයෙක් විදියට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා හිටියත් ඩීනෝ කියන්නේ ඒ කාලේ හිටපු සුපිරි බැට්ස්මන් කෙනෙක් තමයි. 
පස්සේ වෙලාවක ඩීනෝ ගැන වෙනම ලිපියක් ලියන්නම්. 
ඒ තරම් සුපිරි චරිතයක්!

එකිනෙකාට බොහොම වෙනස් හැසිරීම් තිබ්බ ඩීනෝ - ඇම්බ්‍රෝස් දෙන්නා 1993 ජනවාරි 6 වෙනිදා SCG වලදි මුණගැහෙන්නේ බෙන්සන් & හෙජස් වර්ල්ඩ් සීරීස් එකේ පළවෙනි අවසාන තරඟය ක්‍රීඩා කරන්න.
මේ තරඟෙට කලින් තිබ්බ ඔස්ට්‍රේලියා - පකිස්තාන එක්දින තරඟෙදි වසීම් අක්‍රම්ගේ පන්දුවක් මහපටැඟිල්ලේ වැදිලා ඩීනෝ ආබාධයකට ලක්වෙලා තමයි හිටියේ.
ඇඟිල්ලේ වේදනාව තියාගෙනත් ඩීනෝ ක්‍රීඩා කලේ ඒ කාලේ කණ්ඩායමෙන් එලියට විසි උනොත් තමන්ට ආපහු කණ්ඩායමට එන එක ලේසි කාරණයක් නොවිච්ච හින්දයි.

කොදෙව් කණ්ඩායම ඔස්ට්‍රේලියාවට ඇවිත් මුලින්ම ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරඟාවලියක්.තරඟ 5කින් සමන්විත ඒ ටෙස්ට් තරඟාවලියේ තරඟ 3ක් ඉවර උනාට පස්සේ තමා මේ බෙන්සන් & හෙජස් තුන්කොන් එක්දින තරඟාවලිය ඇරඹෙන්නේ.අවසන් උන ටෙස්ට් තරඟ 3න් 1-0 විදියට ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් හිටියා.

ඩීනෝ, ඇම්බ්‍රෝස්ගෙන් ඉල්ලන් කාපු බෙන්සන් & හෙජස් පළමු අවසාන තරඟය පැවැත්වුන 1993 ජනවාරි 6 වෙනිදා උදෑසන තමයි ඉදිරියට පැවැත්වෙන්න නියමිත මේ ඔස්ට්‍රේලියානු - කොදෙව් ටෙස්ට් තරඟාවලියේ ඉතුරු තරඟ 2 ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්නෙත්.
ප්‍රසිද්ධ කරපු ටෙස්ට් සංචිතයේ ඩීනෝගේ නම තිබ්බේ නෑ.

කොරේ පිටට මරේ වගේ ඇඟිල්ලකුත් කඩාගෙන ඊළඟට තිබ්බ ටෙස්ට් තරඟ වලිනුත් කැපිලා ඩීනෝ හිටියේ හරිම විදියට කියනවනම් මළ පැනලා තමයි.
ඩීනෝගේ හිතේ තිබ්බේ තව ටික වෙලාවකින් පටන්ගන්න තරඟෙදි ලකුණු 100ක් ගහලා තේරීම් කමිටුවට රිද්දලා තමන් කවුද කියන එක ආපහු සැරයක් ඔප්පු කරලා පෙන්නන්න.

පළමු අවසන් තරඟයේ මුලින් පන්දුවට පහරදුන්නේ කොදෙව් කණ්ඩායම. ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවිලා ලකුණු 239ක් ලබාගන්නවා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන්න ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය විදියට පිටියට පිවිසෙන්නේ මාර්ක් ටේලර් සහ ඩේවිඩ් බූන්.
ටේලර් - බූන් ජෝඩුව පිතිකරණයේ යෙදෙන විදිය ඊළඟ පිතිකරුවා විදියට පිටියට යන්න නියමිතව හිටපු ඩීනෝ ඩ්‍රෙසින් රූම් එකේ ඉඳන් බලාගෙන ඉන්නවා.
ඔහොම බලන් ඉන්නකොට ඩීනෝට පේනවා
අත් දෙකටම සුදු පාට Sweat Band දාගෙන ගිනි කසයා වගේ පන්දු යවන ඇම්බ්‍රෝස්ගේ පන්දු වලට ටේලර් - බූන් දෙන්නම ඇඹරි ඇඹරි පහරදෙනවා.

තව ටිකක් වෙලා බලන් ඉන්නකොට ඩීනෝට තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ පහළ වෙච්ච කුජීතම සිතුවිල්ල පහළ වෙනවා.

තමන් පිටියට ගියාට පස්සේ ඇම්බ්‍රෝස් පන්දුව යොමු කරන දකුණු අතේ දාගෙන ඉන්න Sweat Band එක ගලවන්න කියලා ඉල්ලීමක් කරන්න ඩීනෝට හිතුන එක තමයි ඒ කුජීතම සිතුවිල්ල. 
එහෙම කරලා ඇම්බ්‍රෝස්ගේ මානසිකත්වය බිඳ දාලා ඔහුගේ රිද්මය වෙනස් කරන්න හැකිවෙයි කියලා ඩීනෝ විශ්වාස කලා.
ඒ කොහොම වෙතත් පිටියට යන්න කලින් ඩීනෝ ඩ්‍රෙසින් රූම් එකේ හිටපු තමන්ගේ සගයින්ට කියනවා මේ අදහස ගැන.
මේක ඇහිච්ච ගමන් අනිත් ක්‍රීඩකයෝ ඔක්කොම එකහෙලාම ඩීනෝ මේ කරන්න හදන තකතීරු වැඩේට විරුද්ධ වෙනවා.
කොහොම උනත් අවසානයේදි ඔස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර්ගෙන් ඩීනෝට අවසරය ලැබෙනවා ඇම්බ්‍රෝස්ගෙන් මේ ඉල්ලීම කරන්න.

පළවෙනි කඩුල්ල විදියට ඩේවිඩ් බූන් ඇම්බ්‍රෝස්ගේ පන්දුවකට දැවී ගියාට පස්සේ ඩීනෝ පිටියට යනවා.
ඩ්‍රෙසින් රූම් එකේ ඉඳන් පිටියට ඇවිදගෙන යන අතරවාරයේ ඩීනෝට ඇහෙනවා ස්ටීව් වෝ එතන හිටපු තමන්ගේ සහෝදරයා මාක් වෝ ගෙන් අහනවා "මේ අරූ අරක ඇත්තටම ඇම්බ්‍රෝස්ගෙන් අහන්නද හදන්නේ" කියලා. 
අවුරුදු ගාණක් එකට ක්‍රීඩා කරලත් වෝ සහෝදරයෝ දෙන්නා එකිනෙකා එක්ක මුලින්ම කතා කරනවා ඩීනෝ දැකලා තියෙන්නෙත් ඒ වෙලාවේ තමා.
කරුමෙට තමන් අරගෙන තියෙන්නේ කතා නොකරන අයත් කතා කරවන අමු ගොන්,මැටිමෝල්,තකතීරු තීරණයක් කියලා මාක් වෝගේ කතාව ඇහිච්ච වෙලේවත් ඩීනෝට තේරිලා නෑ.

ඇතිවෙලා තිබ්බ ඇඟිල්ලේ වේදනාව නැති කරන්න පිටියට එන්න කලින් දුන්න ප්‍රතිකාර නිසා ඒ වෙනකොටත් ඩීනෝට තමන්ගේ අත හිරිවැටිලා වගේ දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ.
හිරිවැටිච්ච අතකුත් තියාගෙන පිටියට ගියාට පස්සේ පන්දුවට පහරදෙන්න කලින් හිත හයිය කරගෙන ඇම්බ්‍රෝස්ගෙන් පන්දුව යොමු කරන දකුණු අතේ දාගෙන ඉන්න Sweat Band එක ගලවන්න කියලා ඉල්ලන්න ඩීනෝ තීරණය කරනවා.

තමන්ට පන්දුව - Sweat Band එක එකිනෙකින් වෙන්කරලා අඳුනගන්න අමාරු නිසා මේ ඉල්ලීම කරන බව ඩීනෝ විනිසුරුවරයාව හා ඇම්බ්‍රෝස්ව දැනුවත් කරනවා.
මුලින්ම ඩීනෝ කරපු ඉල්ලීම ගණන් නොගත්තත් විනිසුරුවරයා විසින් ඉල්ලීමක් කරන නිසා ඇම්බ්‍රෝස් දකුණු අතේ Sweat Band එක ගලවනවා.
මේ අරුම පුදුම අවස්ථාව දිහා බලන් හිටපු මුලු ප්‍රේක්ෂකාගාරයම මීයට පිම්බා වගේ කිසිම සද්දයක් නැතුව ගොළුවෙලා බලන් ඉන්න අතරේ ප්‍රේක්ෂකාගරයේ බීම විකුණපු එක මනුස්සයෙක් හයියෙන් 
"උඹ නම් මහ මෝඩයෙක් ජෝන්ස්" කියනවා ඩීනෝට ඇහිලත් තියෙනවා.

Sweat Band එක ගැලෙව්වට පස්සේ ඇම්බ්‍රෝස් එවපු පළමු පන්දුව ඩීනෝගේ දකුණු කන ලඟින් යන්නේ විදුලි වේගයෙන්.
ඩීනෝ කියන විදියට ඊළඟට මුහුණ දුන්න පන්දු 3 ඔහුගේ ජීවිතයේ ඔහු මුහුණ දුන්න වේගවත්ම පන්දු 3.
ඇම්බ්‍රෝස්ගේ ඕවරය අවසන් උනාට පස්සේ කොදෙව්වෝ 11 දෙනා වගේම එහා අන්තයේ හිටපු මාක් ටේලර්ගේ රැවුම් ගෙරවුම් අපවාද වලට ලක්වෙන්න ඩීනෝට සිද්ධ වෙනවා.

මාක් ටේලර් ඩීනෝගෙන් අහලා තියෙනවා
" යකෝ මට ළමයි දෙන්නෙක් ඉන්නවා.උඹට පිස්සුද?" කියලා.

වැරදි තැනට ගල් ගහපු ඩීනෝ නිසා එදා ඔස්ට්‍රේලියාව පරාද වෙනවා.
ඇම්බ්‍රෝස් ඕවර 9.3 ක් යවලා ලකුණු 32කට කඩුළු 5ක් දවාගන්නවා.
දෙවන අවසාන තරඟෙදිත් ඇම්බ්‍රෝස් ලකුණු 26කට විකට් 3ක් දවාගෙන කොදෙව්වන්ට බෙන්සන් & හෙජස් කුසලානය හිමි කරලා දෙනවා.

කතාව මෙතනින් නවතින්නේ නෑ.
ඩීනෝ නැතුව ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟාවලියෙත් ඇම්බ්‍රෝස් ඔස්ට්‍රේලියාවෙන් හොඳටම පළිය ගන්නවා.
දෙවන ටෙස්ට් තරඟයේ ඇම්බ්‍රෝස්ගේ පන්දු යැවීම සටහන් උනේ 6-74, 4-41 විදියට.
තෙවන ටෙස්ට් තරඟයෙත් එක ඉනිමක ලකුණු 25කට ඔස්ට්‍රේලියානු කඩුළු 7ක් ඇම්බ්‍රෝස් විසින් බිඳ දමනවා.
එක් අවස්ථාවක ඒ පන්දු යැවීම සඳහන් උනේ ලකුණු 1කට විකට් 7ක් ලෙස වීමත් විශේෂයක්.

අවසාන ටෙස්ට් තරඟ 2ම ජය අරන් කොදෙව්වෝ ටෙස්ට් තරඟාවලියම 2-1ක් ලෙස ජයගන්නවා.ටෙස්ට් තරඟාවලිය අවසන් උන දවසේ රෑ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ 7 දෙනෙක් වෙන වෙනම ඩීනෝට දුරකථනයෙන් කතා කරලා ජාතිය ඇමතුවා කියලා ඩීනෝ කියනවා.
ඩීනෝ වෙනුවට ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කරපු ජස්ටින් ලැන්ගර්ත් ඇම්බ්‍රෝස්ගෙන් හොඳටම බැට කනවා.බැට කනවා කිව්වේ ඇඟේ බෝල පාරවල් හිටින්නම තමයි ගුටි කෑවේ.
ඒක ගැන නම් තමන් සතුටු උනා කියලා ඩීනෝ විහිළුවට කියලා තියෙනවා.

අදටත් එදා සිද්ධිය නිසා ඇම්බ්‍රෝස් ඩීනෝ එක්ක කතා කරන්නේ නෑලු. ඩීනෝ නම් කියන්නේ දැන් ඒක අමතක කරන්න ඕන කියලයි.

ඔන්න ඔහොමයි ඇම්බ්‍රෝස්ව අවුස්සගෙන ඩීනෝ කලු ගලක ඔලුව ගහගත්තේ.

මේ සිද්ධියේ වීඩියෝ ලින්ක් එක - https://youtu.be/-YXosoxikyI

ඇම්බ්‍රෝස් ලකුණු 1ට විකට් 7 ගත්ත එක -
https://youtu.be/F7UOy5thUig

නැවත හමුවන තුරු ඔබට ජය ✌
- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment