Thursday, July 4, 2019

මොහොමඩ් අශ්‍රාෆුල්ව හැඬවූ මුරලි නම් ශ්‍රේෂ්ඨයා!



අදින් වසර 18කට පෙර එනම් වර්ෂ 2001දී බංග්ලාදේශය ශ්‍රී ලංකාව සංචාරය කරන්නේ ආසියානු ටෙස්ට් කුසලානයෙහි දෙවන තරඟය ක්‍රීඩා කිරීමටයි.අත්දැකීම් අඩු බංග්ලාදේශ කණ්ඩායමේ නවකයින්ට මුහුණදීමට සිදු වූයේ ලොව සිටි හොඳම දඟ පන්දුයවන්නා වූ මුරලි ඇතුළු සුපිරිම ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායමක් සමඟයි.
බංග්ලාදේශයේ නවකයින් අතර වයස අවුරුදු 16ක් පමණක් වූ මොහොමඩ් අශ්‍රාෆුල්ද ඇතුලත් විය.

ඇත්තෙන්ම එවකට බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට කජු කන්නා තරම් වූ සරළ ක්‍රියාවලියක් විය.
මේ ලියන්නේ ඒ ටෙස්ට් තරඟයේදී සිදුවූ තවත් එක විරල සිදුවීමක් එසේත් නැත්නම් ශ්‍රී ලාංකිකයන්ගේ මනුෂ්‍යත්වය විදහා දැක්වුන ඔබ බහුතරයක් නොදත් කතාවක් පිළිබඳවයි.

- 2001 සැප්තැම්බර් 6/8 -
- කොළඹ SSC ක්‍රීඩාංගනය -

සැප්තැම්බර් 6 වෙනිදා ඇරඹි තරඟයේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 90ක් පමණක් වූ අතර වාස් බංග්ලාදේශ කඩුළු 3ක් ලබාගනිද්දී සුපුරුදු පරිදි මුරලි ලකුණු 13ක් පමණක් ලබාදී කඩුළු 5ක් දවාගැනීමට සමත්කම් දැක්වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම අනුකම්පා විරහිත ප්‍රහාරයක් බංග්ලාදේශ කණ්ඩායමට සිදු කරමින් කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 555ක් ලබා ඉනිම අත්හිටුවන්නේ බංග්ලාදේශයට තවත් ටෙස්ට් තරඟ පරාජයක් අතලඟ බව මොනවට පසක් කරවමිනි.
ශ්‍රී ලංකා ඉනිමට මාවන් අතපත්තුගේ අගනා ද්විත්ව ශතකයක්,මහේල ජයවර්ධනගේ ලකුණු 150ක් සහ ජයසූරියගේ ලකුණු 89ක් ද ඇතුලත් විය.

දෙවෙනි ඉනිමට පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 328ක් ලබාගත්තේ අවුරුදු 16 අශ්‍රාෆුල්ගේ අගනා ලකුණු 114ක ඉනිම හේතුවෙනි.ටෙස්ට් ශතකයක් ලබාගත් ලාබාලම ක්‍රීඩකයා වාර්තාව තමන් සතු කරගනිමින් මුරලි,වාස් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොබියව පහර එල්ල කල අශ්‍රාෆුල් හොඳ අනාගතයක් තමන් සතු බැව් මුළු ලොවටම පෙන්වූ මුල්ම අවස්ථාව මෙය ලෙස අවිවාදයෙන්ම හැඳින්විය යුතුය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී නැවතත් මුරලි ලකුණු 98කට කඩුළු 5ක් දවාගැනීමට සමත් විය.

දැන් එළඹෙන්නේ කතාවේ රසවත්ම සිද්ධියටයි. තරඟයෙන් අනතුරුව පැවැත්වූ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී තරඟයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වන්නේ ඉනිම් දෙකේදී කඩුළු 10ක් බිඳ දැමූ මුත්තයියා මුරලිදරන් නම් වූ ඒ වීරයායි.
නමුත් ඒ ත්‍යාගය ලබාගත් මුරලිට තිබුණේ වෙනස්ම අදහසකි.තරඟයේ වීරයා ලෙස පිදුම් ලැබීමට තමන්ට වඩා සුදුස්සා වන්නේ දෙවෙනි ඉනිමේ නොබියව පන්දුවට පහරදුන් අශ්‍රාෆුල් බව මුරලි ඒ වනවිටත් තීරණය කොට හමාරය.එබැවින් තමාට ලැබුණු එම ත්‍යාගය එවේලේම අශ්‍රාෆුල්ට ලබාදීමට තරම් මුරලි මානුෂික හැඟීම් තිබූ අසහාය ක්‍රීඩකයෙක් විය.

අශ්‍රාෆුල්ව වැලඳගත් මුරලි,

"මට නොබියව මුහුනදුන් ක්‍රීඩකයන් ස්වල්පයක් දෙනා අතරේ ඔබත් ඉන්නවා.
දිගටම මේ විදියට බැට් කරන්න.මගෙන් ඔබට සුභපැතුම්" 

ලෙස පැවසූ අතර මුරලි අතින් තරඟයේ වීරයා සම්මානය ලැබූ අශ්‍රාෆුල් එතනින් නික්මෙන්නේ හැඬූ කඳුලෙනි.

මුරලි ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයෙක් වන්නේ ලබාගත් කඩුළු සංඛ්‍යාව නිසා පමණක් නොව "මහත්මයෙකු" ලෙස වසර 20ක් ක්‍රීඩා කිරීම හේතුවෙනි. මේ ඒ මහත්මා ගුණ ප්‍රකට කල තවත් එක් අවස්ථාවක් පමණි.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment