Thursday, July 4, 2019

"96 ලෝක කුසලාන රස කතා" - පළමු කොටස


• කදිරගාමර් මහතාගේ මල් කළඹ

කාලෙක ඉඳන් බලාපොරොත්තු උන දෙයක් තමයි 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට සම්බන්ධ රසවත් කතා ලියන එක.විවිධ හේතු නිසා මඟහැරිලා ගියත් අද ඉඳන් ඒ වැඩේට අතගහනවා කියලා හිතාගත්තා.
මොකද අපිට වඩා වයසෙන් අඩු සහෝදර සහෝදරියෝ බහුතරයක් මේ සිද්ධි ගැන දැනුවත් නෑ.
අතීතය හරිහැටි නොදැන අනාගතය හරියාකාරව ගොඩනගන එක ලේසි දෙයක් නෙවෙයි.මේ වගේ කතා කියවන්නේ ලියන්නේ නැති නිසා තමයි අද අපේ සමහරක් මෙයාට කැමතිනම් ලයික් කරන්න මෙයාට කැමතිනම් ශෙයා කරන්න කියලා පෝස්ට් දාන මට්ටමට වැටිලා තියෙන්නේ.
ඒ තත්වය ඇතිවෙන්න අපෙත් යම්කිසි දායකත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා.මොකද දන්න දේවල් අපි අවශ්‍ය තරමට බෙදාහදාගත්තා නම් එහෙම තත්වයක් ඇති වෙන එක අවම වෙනවා කියලා සහතිකයි.

හරි දැන් කතාවට එමු.ලක්ෂ්මන් කදිරගාමර් කියන අභීත වීරයා ගැන බොහෝ අය දන්නවා ඇති.ජාතිය,ආගම,පක්ෂ නොබලා අපි සියල්ලන්ම ශ්‍රී ලාංකිකයින් වශයෙන් ගරු කල යුතු පුද්ගලයෙක් තමයි කදිරගාමර් මහත්මයා කියන්නේ.
කුරිරු ත්‍රස්තවාදය විසින් රටට අහිමිකරපු කදිරගාමර් මහත්මයා ක්‍රිකට් වලට සම්බන්ධ උන සිද්ධියක් ගැනයි මේ.

ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයා ඉතාමත්ම දක්ෂ නිතිඥයෙක් වගේම දක්ෂ දේශපාලනඥයෙක්.අද කාලේ ඉන්න ගෙම්බෝ වගේ නම් නෙවෙයි.
එතුමා නුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් වගේම සිලෝන් විශ්වවිද්‍යාලය,ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය යටතේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්.
ඒ වගේම ක්‍රිකට්,රගර්,මළල ක්‍රීඩා වැනි ඉසව් සියල්ලක්ම ඉතා ඉහළ මට්ටමෙන් ප්‍රගුණ කල දක්ෂයෙක්.ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදියටත් එතුමා කටයුතු කරලා තියෙනවා.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Balliol විද්‍යාලයේ පවා එතුමා ක්‍රිකට් ක්‍රීඩා කරපු කෙනෙක්.

එතුමාගේ අතීතය ගැන මේ තරම් ලියන්නේ ඇයි කියලා කෙනෙක්ට හිතෙනවා නම් කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඉවසලා කතාවේ ඉතුරු ටිකත් බලන්න කියන එකයි.එතකොට ඇයි මම එහෙම කරන්නේ කියන එක පැහැදිලි වෙයි.

1996 ලෝක කුසලානය පැවැත්වෙන්න නියමිතව තිබුණේ දකුණු ආසියානු කලාපයේ.
ඒ කියන්නේ ඉන්දියාව,පකිස්තානය හා ශ්‍රී ලංකාව කියන රටවල් වල ක්‍රීඩාංගන පෙර සූදානම් කරලා තිබුණා ලෝක කුසලානය සඳහා.
අපේ අවාසනාවකට ලෝක කුසලානයට බොහොම සුළු කාලයකට කලින් LTTE ත්‍රස්තවාදීන් විසින් කොළඹදි බෝම්බ ප්‍රහාරයක් සිද්ධ කරනවා.මේ නිසා ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට අපේ රටට එන්න නියමිතව හිටපු කණ්ඩායම් දෙකක් වෙච්ච ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තමන්ගේ සහභාගීත්වය ආරක්ෂක හේතූන් මත ප්‍රතික්ෂේප කරනවා.

විශේෂිතම සිද්ධිය උනේ ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නා ශේන් වෝන් සිද්ධ කල ප්‍රකාශය,

"මම කැමති නෑ කොළඹදි ශොපින් කරන්න යන වෙලේක බෝම්බෙකට අහුවෙන්න"

මේ ප්‍රකාශය නිසා තවත් තත්වය උණුසුම් උනා.නමුත් වෝන් කල මේ ප්‍රකාශයට එවකට විදේශ ඇමති උන කදිරගාමර් මහත්මයා පිළිතුරු දීපු ආකාරය නම් සුපිරියි.

"Shopping is for sissies - ශොපින් කරන්න යන්නේ ගෑණු"

කදිරගාමර් මහත්මයා කරපු මේ ප්‍රකාශයත් සමග ඔස්ට්‍රේලියානු සමාජය නැවතත් කැළඹෙනවා.
කදිරගාමර් මහත්මයාගෙන් එක්තරා මාධ්‍යවේදියෙක් අහනවා ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවද කියලා.

එතුමගේ පිළිතුර උනේ,

"මම ක්‍රිකට් ගැහුවේ ඔයා ඉපදෙන්නත් කලින්.කිසිම ගාඩ් එකක් නොදා, හිල් වගේම ගල් අස්සේ තිබුණ මැට් එකක් උඩ.ඔයාට ඕන නම් මම ක්‍රිකට් නිසා කඩාගත්ත අස්ථි ටික පෙන්නන්න පුළුවන්"

මේ අතරවාරයේ තමාගේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා මගින් කදිරගාමර් මහත්මයා මූලික වෙලා ඉන්දියා - පකිස්තානු කණ්ඩායම් දෙකට ආරාධනා කරනවා ලංකාවට පැමිණෙන්න ක්‍රිකට් තරඟාවලියක් සඳහා.
ශ්‍රී ලංකාව ආරක්ෂිත තැනක් කියලා මුළු ලෝකයටම පෙන්වීම තමයි මේ තරඟ පැවැත්වීමේ අරමුණ උනේ.මේ තරඟාවලිය නිසා තත්වය යම්තාක් දුරකට සමනය උනා.

මේ සිද්ධීන් අවසන් උනාට පස්සේ ඔස්ට්‍රේලියාවත් සමඟ ඇතිවෙලා තිබුණ අමනාපකම් නැතිකරගන්න අරමුණෙන් කදිරගාමර් මහත්මයා ඔස්ට්‍රේලියානු අගමැතිට මල් කළඹක් යවනවා.ඇත්තෙන්ම කිව්වොත් මේ ක්‍රියාවේ යටි අරමුණ වුනේ ඕනවට වඩා පිම්බිලා හිටපු සුද්දෝ පිරිසක් විහිළුවට ගැනීම.
මල් කළඹ පිටත් කරාට පස්සේ කදිරගාමර් මහත්මයා කියනවා,

"Flowers also for sissies - මල් තියෙන්නෙත් ගෑණු වෙනුවෙන්"

ඉතින් ඔහොම තමයි අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ චරිතයක් ශේන් වෝන් ඇතුළු මුළු ඔස්ට්‍රේලියානු සමාජයත් එක්ක තමන්ගේ මනසින් ක්‍රීඩා කලේ.

තවත් කතාවක් ඉක්මනටම ගේන පොරොන්දුව උඩ දැනට මම නවතින්නම්.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment