Tuesday, July 16, 2019

ක්‍රිකට් එපා වූ දොස්තර මහතා!


ආනන්දයෙන් බිහි වූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝමය,
අර්ජුන රණතුංග,මාවන් අතපත්තු,
තිලාන් සමරවීර වැන්නන් බිහිවූයේ ආනන්දයෙනි.

එනමුත් සරත් විමලරත්න නම් ක්‍රීඩකයා ගැන දන්නා අය ඉතා අල්පය.
'බට්ටා' නම් සුරතල් නාමයෙන් හැඳින්වූ සරත් ක්‍රීඩාවට පමණක් නොව ඉගෙනීමටද බොහෝ සමත්කම් දැක්වූ කෙනෙකි.

1942 ජූනි 14 වනදා නාවලපිටියේදී උපත ලැබූ සරත් රන්සිරි විමලරත්න අකුරු කලේ කොළඹ ආනන්දයෙනි.
ඔහු ආනන්දයේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන විට ‍ඔහුට යන්තම් වයස අවුරුදු 15ක් සපිරුණා පමණි.
පන්දුවට පහරදීම,පන්දු යැවීම හා රැකීම යන තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ සරත් 'සිලෝන්' පාසැල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල අතර වරක් ඉන්දියා සංචාරයකදී පිට දඟ පන්දු යවා ලකුණු 23කට කඩුළු 8ක් දවාගන්නට තරම් සමත්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.

සරත් ආනන්දයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස 1962 වසරේදී කටයුතු කල අතර සිලෝන් විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කලේය.

විශේෂ කරුණක් ලෙස හැඳින්විය හැක්කක් වන්නේ මුල්කාලයේදී පිටදඟ පන්දුයවන්නෙක් වූ සරත් පසුකාලීනව මදවේග පන්දු යවන්නෙක් බවට පත්වීමෙන් පසුවද දක්ෂතා දැක්වීමයි.

එමෙන්ම 1966 වසරේදී සර් ගාෆීල්ඩ් සෝබස්,රොහාන් කන්හායි,වෙස්ලි හෝල් වැන්නන්ගෙන් සමන්විත වූ 'මිරර්' කණ්ඩායම සමඟ පැවති තරඟයටද සරත් සිලෝන් කණ්ඩායම නියෝජනය කලේය.
තවද 1965/66 'ගෝපාලන්' කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පකිස්තානය සංචාරය කල සරත් එම සංචාරයේ එක් නිල නොවන ටෙස්ට් තරඟයකදී මැඩ්‍රාස් කණ්ඩායමට එරෙහිව
ඉනිම් දෙකකදී කඩුළු 10ක් දවාගනිමින් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන්නටද සමත්කම් දැක්වීය.
එමෙන්ම ගෝපාලන් තරඟාවලියේ පළමු තරඟයේදි අංක 11 පිතිකරු ලෙස පිටියට පිවිස නොදැවී ලකුණු 41ක් ලබාගත් සරත් දෙවෙනි තරඟයේදි පිටියට පිවිසෙන්නේ ආරම්භක පිතිකරු ලෙසිනි.

එසේ ඉනිම ආරම්භ කල සරත් තවත් පන්දුයවන්නෙක් වන ෆිට්ස්‍රෝයි කෝසියර් සමග පිලිවෙලින් ලකුණු 44,67ක ආරම්භක සබඳතාවයක් ලබාදෙන්නටද සමත් විය.
ෆිට්ස්‍රෝයි කෝසියර් නම් ක්‍රීඩකයාද මුල්පෙළේ පිතිකරුවෙක් නොව පන්දුයවන්නෙක් වීමද විශේෂත්වයකි.

ඒ කෙසේ නමුත් බළධාරීන් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව 1968 එංගලන්ත සංචාරයේදි සරත්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා ඒ වනවිටත් වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමින් සිටි ඔහු ඔස්ට්‍රේලියාව බලා ගමන් කලේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවූ තවත් අතිදක්ෂයෙක් අකාලයේ අහිමිව ගියේ එලෙසය.

- හේලිත හෙට්ටිආරච්චි -

     දොස්තර සරත් විමලරත්න මහතා අද

No comments:

Post a Comment