Wednesday, July 10, 2019

වැටුණු තැනින්ම නැගිටින්න නියම වෙලාව ඇවිත්!

අපිට ගොඩ එන්න බැරි නෑ...!


හැමවෙලේම හිතෙන දෙයක් තමයි,

- රටේ අනාගතයට වටිනා ක්‍රීඩකයෝ බිහිකරන එකට වඩා,
පාසල වෙනුවෙන් තරඟ ජයග්‍රහණය ලබාගන්න එකට මුල් තැන දෙන පාසල් ක්‍රිකට් ක්‍රමවේදයක් තියෙන,

- හැටහුටාමාරක් කණ්ඩායමේ එකතුකරලා ගහන මහ දියාරු දේශීය,සමාජ තරඟාවලි ක්‍රමවේදයකුත් තියෙන,

- විදේශීය ක්‍රීඩකයන්ගේ දායකත්වයක් එක්ක කරගෙන යන හරිහමන් ප්‍රීමියර් ලීග් තරඟාවලියක් නැති,

මේ අපේ පුංචි රටේ පහලවෙන දක්ෂයෝ මොන රටේවත් පහල වෙන්නේ නෑ.

ඒක හරි පුදුම දෙයක්.

සිස්ටම් එක අවුල් වෙලත් ටැලන්ට් එක නැතිවෙලා ගිහින් නැහැ.
සමහර අයනම් මාත් එක්ක එකඟ වෙන එකක් නෑ මේ කාරණේදි.

එයාලා අනිවාර්යයෙන්ම කියයි, 

"ඉස්සර හිටපු අයත් එක්ක බලද්දි මෑතකාලෙදි අපේ රටේ ටැලන්ටඩ් ප්ලේයර්ස්ලා බිහිවුණේ නෑ " කියලා.

ඒත් ඒ කතාව වැරදියි!

මෑතකාලේ අපේ ක්‍රිකට් දිහා ටිකක් විපරමෙන් බැලුවොත් පෙනෙයි,
ඉස්සර තරම්ම ටැලන්ටඩ් ප්ලේයර්ස්ලා මෑතකාලෙත් අඩුවක් නැතුවම බිහිවෙලා තියෙනවා කියන කාරණේ.

ඒත් අපේ කරුමෙට බලධාරියෝ එහෙම බිහිවුන ඒ දක්ෂයින්ව හරි පාරේ යවන්නේ නැතුව නන්නත්තාර කරවලා නැතිකරලා දාලා.

හරිම වචනයෙන් කියනවනම් වටේ යවලා!

හොඳ කළමනාකරණයක් තියෙන රටවල ක්‍රීඩකයෝ දවසින් දවස වර්ධනය වෙද්දි අපේ අය දවසින් දවස දුර්වල වෙනවා.

අන්තර්ජාතික ක්‍රිකට් වලට අඩිය ගහනකොටම මුළු ලෝකෙම පුදුම කරවපු දක්ෂ ක්‍රීඩකයින්ව,
කාලයේ ඇවෑමෙන් මිනිස්සුන්ගේ උපහාසයට ලක්වෙලා පාරේ බැහැලා යන්න බැරි මට්ටමකට ඇදලා දාන්න තරම් අපේ බලධාරීන් අති දක්ෂයෝ.

අපේ සිස්ටම් එකේ ලොකු අවුලක් තියෙනවා කියන එක ගැන අවබෝධයක් ඇතුව ක්‍රිකට් බලන මිනිස්සු හැමෝටම මේ වෙනකොට තේරිලා ඉවරයි.

ඔය වගේ දෙයක් ඉතින් ඇත්තටම අපිට විතරක් තේරුණා කියලා නම් ලොකු වාසියක් නැහැ,
අදාල බලධාරීන්ටයි මේ දේවල් අවබෝධ වෙන්න ඕන.
එහෙම අවබෝධයක් ඇතුව 
පෞද්ගලික වාසි,යාළු මිත්‍රකම් වලට වඩා රට වෙනුවෙන් තීරණ ගන්න එකයි ඇත්තටම වෙන්න ඕන.

ඒත් බලධාරියෝ ටික එකතුවෙලා හැමදාම කරන්නේ සිස්‍ටම් එකේ ප්‍රශ්න වලට හේතූ මූලයන් වෙච්ච කාරණා වලට උත්තර හොයන්නේ නැතුව උඩින් පැලැස්තර ගහලා ක්‍රිකට් බලන අපිව හැමදාම රවට්ටන එක.

ටිකක් හිතලා බලන්න,

අපිට වඩා 60ගුණයක් විශාල රටක් වෙච්චි ඉන්දියාවේ අයට මේ පුංචි රටේ ඉස්සර හිටපු රියල් වැඩකාරයෝ ගැහුවේ ගෙදරම නවතින්න.
එක දවසක් නෙවේ නේ,
කී සැරයක් නම් ගහලා ඇතිද?
ඒකත් ගැහුවේ උන්දැලට ක්‍රිකට් එපාවෙන මට්ටමේ සැර විදියට!

ඉස්සර හැමදාම එහෙම අපෙන් පැල් බැඳගෙනම කකා හිටපු අය,
අද අපිට හැමදාම බැටදෙන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන සිස්ටම් වෙනස් කරපු නිසයි.

ඉස්සරට වඩා දැන් අන්තර්ජාතික ක්‍රිකට් රටාව වෙනස්.
අපේ අය ඔලුව උදුම්මගෙන එකම තැන ඉද්දි අනිත් රටවල් දවසින් දවස තමන්ගේ සම්මත නැත්නම් Standards වැඩිදියුණු කරගත්තා.

අපිට අනාගතේදි ‍යම් තරමට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් ගැන කතාකරන්න පසුබිම හදන්නයි මේ දේවල් ටික මම කතාකලේ.

ඔයාලා අහලා ඇති 2වන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානය අන්ත අසරණ මට්ටමකට ඇදවැටිලා නන්නත්තාර වෙලා ගියා!

ඒත් එහෙම වැටුණ ජපානය,

වැඩිකල් නොගිහින් ලෝකේ දියුණුම ජාතීන් අතරට ඇතුලත් වෙලා,
හැම අංශයකින්ම ලෝකේ ඉදිරියෙන්ම ඉන්න ජාතියක් විදියට වැඩිදියුණු උනා.

හැබැයි එහෙම උනේ නිකන් නම් නෙවෙයි!

අසීමිත මට්ටමින් කැපකිරීම් කරලා,
අලසකම කියන දේ නැත්තටම නැතිකරන තරම් මහන්සිවෙලා
තමයි ඒගොල්ලෝ එහෙම සීග්‍රව දියුණු උනේ.

ජපානය කියන්නේ දෙයක් වැඩිදියුණු කරන්න අවශ්‍ය ක්‍රමවේද මුළු ලෝකෙටම හඳුන්වලා දුන්නු රටක්.

නිරන්තරයෙන්ම වැඩිදියුණු වීම, 
එහෙමත් නැත්නම් ජපන් භාෂාවෙන් 
(Kai - zen) කියන්නේ අර ඉස්සෙල්ලා මම කිව්වා වගේම,
ජපන්නු 2වන ලෝක යුද්ධ සමයෙන් පස්සේ ගොඩ එන්න පාවිච්චි කරපු සම්මත වලින් එක සම්මතයක්.
ඒ වගේම ඒක මෙවලමක් නැත්නම් ටූල් එකක් කියන්නත් පුළුවන්.

වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න මුලින් මුලින් ටූල් එකක් විදියට පාවිච්චි කරපුදේ අන්තිමට,
ජපානේ අයගේ ජීවන චර්‍යාවට උදේ හවස දත් මදින එක තරම්ම සමීපවෙලා ඒක එදිනෙදා කරගෙන දෙයක් විදියට පත්වුණා.

කයිසන් කියන දේ එහෙමත් නැත්නම් නිරන්තර වැඩිදියුණුව කියන දේ,

ඕනම ක්‍රමවේදයකට,
ආයතනක ක්‍රියා පටිපාටියකට,
භාණ්ඩයක් නිෂ්පාදනය කරන තැනකට වගේම වෙනත් ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්!

රොකට් සයන්ස් වගේ අමාරු දේකුත් නෙවෙයි.

නිරන්තර වැඩිදියුණුව කියන්නේ මොකක්ද?

හරිම සරලයි!

මොනයම් හෝ දෙයක් කඩාවැටෙන්න නොදී දිගින් දිගටම වැඩිදියුණු වෙන එක.

සාමාන්‍යයෙන් අපි බහුතරයක් පුරුදුවෙලා ඉන්නේ ප්‍රශ්න ගණන් නොගෙන ඉඳලා ඒ ප්‍රශ්න නිසා කෙලවෙලා ඇදගෙන වැටුණට පස්සේ ආය මුල ඉඳලා නැගිටින එක!

හැබැයි නිරන්තර වැඩිදියුණුව කියන්නේ ඒකට නෙවෙයි.

අනාගතේදි අපිව වැටෙන්න හේතුවෙයි කියලා හිතෙන ප්‍රශ්න කල්තියා අඳුනගෙන,
අදාල විසඳුම් දීලා ඒ ප්‍රශ්න නැතිකරලා දාලා ක්‍රමවේද දිගින් දිගටම වැඩිදියුණු කරගෙන ඉදිරියට යන එක.

හැබැයි මේ වැඩේ ටිකක් කරගෙන ගිහින් මඟදි අතාරින්න නම් බැහැ.
අතාරිනවා නම් පටන් ගන්න එකේ තේරුමකුත් නැහැ.

කොටි වලිගේ අල්ලගත්තා වගේ තමයි!

ඇයි මම එහෙම කියන්නේ?

දවසින් දවස වැඩිදියුණු වෙන්න නම් දවසින් දවස මතුවෙන ප්‍රශ්නවලටත් අනිවාර්යයෙන්ම විසඳුම් දෙන්න ඕන.
ඉතින් මේක කරන්න නම් අනිවාර්යයෙන්ම  හැමදාම මේ ගැන විමසිල්ලෙන් හොයලා බලන්නත් ඕන.

ජපානය දෙවෙනි ලෝක යුද්ධෙන් ගොඩ ආවා වගේ,
කඩාවැටිලා තියෙන අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න නම් අදාල ප්‍රශ්නවලට ඵලදායී උත්තර හොයන්නම වෙනවා.

ප්‍රේක්ෂකයින් වශයෙන් අපේ යුතුකමක් තමයි අපිට හැකි මට්ටමින් ක්‍රීඩාව වැඩිදියුණු කරගන්න දායක වීම.

ඒ නිසා,

නිරන්තරයෙන්ම අපිට තියෙන ඇත්තම ප්‍රශ්න කතාකරන,
ඒ ප්‍රශ්න නැතිකරගන්න වැදගත් වෙයි කියලා හිතෙන විසඳුම් ගැන විග්‍රහකරන, 

වෙනස්ම ආරක ලිපි පෙළක් අදින් පස්සේ ඔයාලට කියවන්න ලැබේවි.

ඒ ලිපිපෙලට ඔයාලගෙනුත් අදහස් එකතු උනාට පස්සේ අනිවාර්යයෙන්ම ඒකේ වැදගත්කම දෙගුණ තෙගුණ වෙනවාමයි!

ඒ විතරක් නෙවෙයි,

එදාවේලේ ආතල් එක ගන්න ඕන නිසා ජෝක් පෝස්ට් හද හද හිත හදාහදාගන්න ප්‍රේක්ෂකයින් වෙනුවට,

ක්‍රීඩාව වැඩිදියුණු කරන්න දායක වෙන හරවත් ප්‍රේක්ෂකයින් සමාජයක් බිහිකරන්න අනිවාර්යයෙන්ම මේ වැඩේ දායක වේවි කියලත් යම් බලාපොරොත්තුවක් තියෙනවා!

එහෙනම් නුදුරේදීම පළමු ලිපියත් එක්කම නැවත මුණගැහෙමු!

ජය ✌ 

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment