Thursday, July 4, 2019

"ජාතිවාදී ටෝනි ග්‍රේග්ගෙන් පලිගත් කොදෙව්වෝ" - දෙවන කොටස



- 1976  කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරය -

හරි. පළවෙනි කොටස අපි නැවැත්තුවේ ටෝනි ආන්දෝලනයකට හේතු උන ඇල්වින් කලිචරන්ගේ දුවද්දී දැවී යාම ලබාගන්න ඉල්ලුම් කල හැටිත් එංගලන්ත නායකයා විසින් ක්‍රීඩාවේ ජීවගුණයට හානි වෙන නිසා ඒ ඉල්ලීම නැවත ඉල්ලා අස්කර ගත්ත හැටි ගැනත් කතාකරලා.ටෝනි ගැන කොදෙව් කණ්ඩායමෙත්,ප්‍රේක්ෂකයින් සියළු දෙනාගෙමත් ඊට කලින් තිබුණ ආකල්ප වෙනස් උනා මේ සිද්ධියෙන් පස්සේ.

ඒ කෙසේ වෙතත් මේ තරඟාවලියෙදි සාර්ථකම ක්‍රීඩකයා උනේ ටෝනි.ඉහත කතා කරපු දුවද්දී දවාගැනීම සිද්ධ උන 1වන තරඟය පරාජය උනත් තරඟාවලියේ 2වන,3වන සහ 4වන තරඟ ජය පරාජයෙන් තොරව අවසන් කරලා 5වන තරඟය ජයගන්න එංගලන්තය සමත් වෙනවා.ඇත්තෙන්ම කිව්වොත් ඒ ප්‍රධාන වශයෙන් ටෝනිගේ දායකත්වය නිසාමයි.
ටෝනි ශතක දෙකක් එක්ක කඩුළු 19ක් අවසාන තරඟ 3දී ලබාගන්නවා.ඒ කඩුළු 19 අතරට ජයග්‍රහණය කරපු 5වන තරඟයේදි විතරක් ලබාගත්ත කඩුළු 13ක් අයත්වෙනවා.
තරඟාවලිය අවසන් වෙන්නේ ජය පරාජයෙන් තොරව 1-1 ලෙස දෙපිළටම එක් ජයග්‍රහණයක් ලබාදෙමින්.

මේ තරඟාවලියෙන් පස්සේ තිබ්බ හැම තරඟාවලියකම එංගලන්තයේ කොඳු නාරටිය උනේ ටෝනි කිව්වොත් ඒක වැරදි නෑ.
අනිත් පිතිකරුවෝ සියල්ලන්ම අඩු ලකුණු වලට දැවී යද්දී ටෝනි එක් අන්තයක් ආරක්ෂා කරගෙන එංගලන්ත කණ්ඩායමේ බර කරට ගත් තරඟ ඕනෑ තරම්.
ඒ තරඟ එකින් එක ගැන විස්තර කියලා මේ කතාව තවත් දිග්ගස්සන්න බැරි නිසා විශේෂ සිද්ධි ගැන විතරක් ලියන්න තීරණය කරපු එකට අමනාප වෙන්න එපා.

1975දි ලෝක කුසලානයට තමන්ගේ මව්බිමේදීම සහභාගි උන එංගලන්ත කණ්ඩායමට තරඟාවලියේ ජය ලබාගන්න නොහැකිවෙනවා.
ඒ කොදෙව්වන්ට පළවෙනි ලෝක කුසලානයේ ජයග්‍රහණය ලබාදෙමින්.ලෝක කුසලානයෙන් පස්සේ තිබුණ අළුබඳුන තරඟාවලියත් පැවැත්වුණේ එංගලන්තයේදීමයි.
අළුබඳුන තරඟාවලියේ පළමු තරඟය එංගලන්තය පරාජය වෙනවා.
මේ පරාජයට හේතුව එංගලන්ත කණ්ඩායමේ නායක මයික් ඩෙනස් කියලා තීරණය වෙලා නායකත්වයේ වෙනසක් සිද්ධ කරන්න එංගලන්ත කළමනාකාරීත්වය තීරණය කරනවා.නව එංගලන්ත නායකයා වෙන්නේ ටෝනි.

අළුබඳුන තරඟාවලියේ පළමු තරඟය පරාජය උනත් නව නායකත්වය යටතේ තරඟාවලියේ 2වන හා 3වන සහ 4වන තරඟ ජය පරාජයෙන් අවසන් කරන්න එංගලන්තය සමත් වෙනවා.
3වන තරඟය එංගලන්තයට ජය පෙනෙන මානයේ තිබ්බත් තණතීරුවේ සිද්ධ උන වෙනසක් නිසා ජය පරාජයෙන් තොරව අවසන් කරන්න එකඟ වෙන්න එංගලන්තයට සිද්ධ වෙනවා.අවසානයේ අළුබඳුන තරඟාවලිය අවසන් වෙන්නේ 1-0ක් ලෙස ඔස්ට්‍රේලියාවට ජය අත්කර දෙමින්.

මේ තරඟාවලියෙන් පස්සේ 75-76 Sydney Grade Cricket තරඟාවලියට ඔස්ට්‍රේලියාවට පිටත් වෙන ටෝනි නැවත එංගලන්තයට පැමිණෙන්නේ 1976 එංගලන්තයේදී පැවැත්වුන කොදෙව් සංචාරයට සහභාගී වෙන්න.මේ සංචාරයට කලින් රූපවාහිනී සාකච්ඡාවකදි ටෝනි දක්වපු අදහස් මුළු ලෝකයේම අවධානය ගන්න හේතු වෙනවා.ප්‍රධාන වශයෙන්ම කළු ජාතික කොදෙව් ප්‍රේක්ෂකයින් වගේම ක්‍රීඩකයෝ බරපතල විදියට භාරගත්ත ඒ ප්‍රකාශයේ සාරාංශය උනේ,

"ඇත්තෙන්ම මිනිස්සු කියනවා තරම් කොදෙව් කණ්ඩායම දක්ෂයෝ නෙවෙයි.හොඳ වේග පන්දු යවන්නෝ එක්කෙනෙක් දෙන්නෙක් ඔවුන්ට ඉන්න එක ඇත්ත.හැබැයි තොම්සන්,ලිලී වගේ වේග පන්දු යවන්නන්ට මුහුණදීපු අපිට ඒ වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන එක අපහසු කටයුත්තක් නෙවේ.
කොදෙව්වෝ ඔවුන්ගේ උපරිමය කරනකොට විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෝ.හැබැයි එහෙම කරන්නේ නැතිවෙනකොට ඔවුන් බිම දණගානවා(Grovel). මම බලාපොරොත්තු වෙනවා ඔවුන්ව දණගස්වන්න(Grovel).බ්‍රයන් ඇතුළු මගේ සගයෝ ඒකට මට උදව් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා"

මේ ප්‍රකාශය නිසා කොදෙව් කණ්ඩායම බොහොම ආවේගශීලී වෙනවා!

සුපිරි පිතිකරු සර් විව් රිචඩ්ස් සඳහන් කරන විදියට ඔවුන් බොහොම බරපතල විදියට මේ ප්‍රකාශය භාරගන්නවා.
මේකට ප්‍රධාන හේතුව උනේ වහල් සමාජයකින් පැවත එන කළු ජාතිකයින් කොදෙව් දූපත් වල ජීවත් වීමත් අතීතයේ වහල් ජනතාව පාලනය කල දකුණු අප්‍රිකානු සුදු ජාතිකයෝ නිතරම කළු ජාතිකයන් ඉදිරියේ භාවිතා කල වචනයක් වෙන 'Grovel' කියන වචනය ටෝනිගේ ප්‍රකාශයේ ඇතුලත් උන එක.

කොදෙව්වෝ ටෝනිට නිසි පිළිතුරු දෙන්න සූදානම් වෙනවා.
ඒ වෙන කවරදාටත් වැඩිය උනන්දුවෙන් සහ කැපවීමෙන්.
විශේෂයෙන්ම වේග පන්දු යවන්නෝ තමන්ගේ Run up එකේ පියවර ගාන වැඩිකරනවා පන්දුව එල්ල කරන වේගය වැඩි කරන්න.

එංගලන්තයේදී තරඟාවලිය ආරම්භ වෙනවා.සාමාන්‍යයෙන් ටෝනි පිතිකරණයේදී කොදෙව්වන්ට මුහුණදුන්නේ පිත්ත අග බිම නොතබා.ඒකට හේතුව උනේ කොදෙව්වෝ බහුල ලෙස කෙටි පන්දු යොමුකිරීම.
මේ දුර්වලතාවය කොදෙව් කණ්ඩායම හඳුනාගන්නවා.
යෝකර් පන්දු ටෝනිට යොමු කරන්න ඔවුන් තීරණය කරනවා.
තරඟාවලියේ ටෝනි මුහුණදුන් පළමු පන්දුවෙන්ම ටෝනි දැවී යනවා.
ඒ කඩුළු ගැලවී සීසී කඩ විසිවෙන තරමේ වේගයකින් ඇන්ඩි රොබට්ස් දැමූ පන්දුවක් හේතුවෙන්.

ටෝනි පමණක් නෙවේ ටෝනිගේ ප්‍රධාන සගයා උන අවුරුදු 45ක වයස බ්‍රයන් ක්ලෝස් කියන ක්‍රීඩකයත් මේ ප්‍රචණ්ඩ කුණාටුවට අහුවෙනවා.
කිසිම ආවරණයක් නැති කාලවකවානුවකදී 'මරණය කොඳුරන්නා' ලෙස හැඳින්වූ මයිකල් හෝල්ඩිංගේ අකුණුසැර බොඩිලයින්
පන්දු ප්‍රහාරයකට බ්‍රයන් ලක්වෙනවා.

මේ අයුරින් තරඟාවලිය පුරාවටම ටෝනිගෙන් පලිගන්න කොදෙව්වෝ සමත් වෙනවා.
4වන ටෙස්ට් තරඟයේදි ලබාගත් ලකුණු 116 හා 76 හැරුණුකොට ටෝනි මුලු තරඟාවලියේම අසාර්ථක වෙනවා.
තරඟාවලිය අවසානයේදී ටෝනි සියළුදෙනා ඉදිරියේ පිටියේ දණගාන්නේ තමන් කල ප්‍රකාශය තමන්ටම අහිතකර වූ බව ලොවටම පෙන්වමින්.තරඟ 5ක ටෙස්ට් තරඟාවලිය 3-0ක් ලෙස කොදෙව්වෝ ජයගන්නවා.



ලෝකයේම අවධානය යොමු වූ ප්‍රකාශයක්, සුදු කළු භේදය නැවතත් කරළියට පැමිණි තරඟාවලියක්, අධිතක්සේරුවෙන් සිටි සුදු ජාතිකයෙක් මට්ටුවීමක් යන සියල්ලම ඇතුලත් වූ මනරම් සිද්ධි දාමයක් අවසන් වූයේ එසේයි.

- හේලිත හෙට්ටිආරච්චි -

වීඩියෝ එක ඕන අයට - https://youtu.be/cozSq8XC-LU

No comments:

Post a Comment