Thursday, July 4, 2019

- පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වූ හර්බජාන්ව උපහාසයට ලක් කල සංගා -



පන්දුව දමාගැසීම නම් කුජීත මාතෘකාව නැවතත් කරළියට පැමිණ ඇත.
ඒ අපේ ආදරණීය දඟ පන්දු යවන්නා අකිල ධනංජය පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්කිරීම නිසාය.
ඒ කෙසේ වෙතත් පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වූ මුල්ම පන්දුයවන්නා අකිල ධනංජය නොවන බවද ඔබ අප සියල්ලන්ම හොඳින් දැනුවත් කාරණයකි.

ඉන්දියාවේ හර්බජාන් සිංද කලෙක පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වී සිටි පන්දුයවන්නෙකි.
හර්බජාන් එසේත් නැත්නම් බජී යනු සාමාන්‍යයෙන් කටකාර ක්‍රීඩකයෙකි.
එමෙන්ම බජී වලි දාගැනීමේ අංක 1ය.
වරක් IPL තරඟයක් අවසන් වූ පසු බජී ශ්‍රීසාන්ත්ගේ කන රත්කල අයුරු ඔබට හොඳින් මතක ඇති බව නොඅනුමානය.
එවන් කළහකාරී ක්‍රීඩකයෙක් වූ බජීව අපේ රටෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් වන කුමාර් සංගක්කාර විසින් උපහාසයට ලක් කල අවස්ථාවක් ගැනයි අද කතාව.

කුමාර් සංගක්කාර යනු ලොව පහළ වූ සුපිරිම පිතිකරුවෙකි.සමහරෙක්ට අනුව සංගා ලොව පහල වූ විශිෂ්ටතම පිතිකරුවාය.
ක්‍රිකට් ලොවේදි අසහාය පිතිකරුවෙක් වීමට අමතරව ඔහු වෘත්තියෙන් නිතීඥයෙකි.
එමෙන්ම භාෂා හැසිරවීමද ඉතා හොඳින් කල හැකි උගතෙකි.
කලින් ලිපියකද මා සඳහන් කල පරිදි ඔහු වාග් සංග්‍රාමයේදීද අන් කිසිවෙකුට දෙවෙනි නොවන ක්‍රීඩකයෙකි.

ආසියානු කුසලාන තරඟාවලියකදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරඟයක් පැවැත්වෙමින් තිබූ අතර මුලින් පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායමේ ඉනිමේ අවසාන භාගයේ පන්දුවට පහරදීමට බජී පිටියට පැමිණියේය.
මේ තරඟය ක්‍රීඩා කල කාල වකවානුව බජීට සුබ කාල වකවානුවක් නොවූ අතර එයට හේතුව වූයේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වීමය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි බජීව හොඳින්ම පෙනෙන්නේ ප්‍රතිවාදී ශ්‍රී ලංකා පිලේ කඩුළු රකින්නා වන කුමාර් සංගක්කාරටය.
බජී පන්දුවට පහර දීමට පිටියට පැමිණ තිබුනේ අත්කොට ජර්සියක් ඇඟලා ගෙන බව  සංගා දුටුවේය.

ඉන්දීය ඉනිම අවසන් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල දැවී ගිය පසු සංගා පිටියට පැමිණියේය.
සංගා පිටියට පැමිණ ටික වේලාවකින් බජී පන්දු යැවීම ආරම්භ කල අතර පන්දුවට පහරදෙන විට අත්කොට ජර්සියක් ඇඳගෙන සිටි බජී පන්දු යැවීම සඳහා පැමිණෙන විට ඇඳගෙන සිටියේ අත්දිග ජර්සියකි.
පන්දුව දමාගැසීම ලෝකයෙන් වසන් කිරීමට බජී මෙම බාල උපක්‍රමය භාවිතා කරන බව දුටු සංගාට සිනහ පහළ විය.

බජීව ඇමතූ සංගා,

"ඒයි බජී!
අත් කොට ජර්සිය ඇඳලා ඉන්නකොට උඹ හරි ලස්සනයි බං.
ඇයි උඹ බෝල් කරනකොටත් ඒකම අඳින්නේ නැත්තේ?"

ලෙස පවසා ඇති අතර මෙය කනවකුණු බජී ලැජ්ජාවෙන් රතු වී කරකියාගැනීමට දෙයක් නොමැතිව අසරණ වී ඇත.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment