Thursday, July 4, 2019

ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ පුරෝගාමියා - අංකල් 'පර්සි'


ලංකාවේ ක්‍රිකට් බලන කෙනෙක් පර්සි අංකල්ව දන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක් එහෙම නැත්නම් ඒ කියන කෙනා හරියට ක්‍රිකට් බලලා නෑ. ඒ තරම් ලංකාවේ ක්‍රිකට් එක්ක පර්සි අබේසේකර කියන නම ඈඳිලා තියෙනවා.ලංකාවේ කොඩිය උස්සන් ඉන්න පර්සි අංකල්ව අපි උඹලා දකින්නේ අපිට මතක ඇති කාලෙක ඉඳන්.ලංකාව පැරදුනා හෝ දින්නා හෝ කවදාවත් පර්සි අංකල් වෙනස් උනේ නෑ.ඒ දිරිගැන්වීම හැමදාමත් එහෙමයි.

හැබැයි නමින් දැනගෙන හිටියට කවුද පර්සි අංකල් ගැන විස්තර දන්නේ? අඩුමගානේ ඒ මනුස්සයා ජීවත් වෙන්න මොනාද කරන්නේ කියලවත් කවුරුවත් දන්නේ නෑ.
මම දැනන් ඉන්න විදියට වැඩිපුර කතා නොවුනු පර්සි අංකල්ගේ පෞද්ගලික විස්තර ටිකක් කියන්නයි මේ හදන්නේ.

• පර්සි අංකල්ගේ සම්පූර්ණ නම -
වලිමුණි ඩෙන්හැම් පර්සි ජිම්සන් මෙන්ඩිස් අබේසේකර 
• උපත - 1936 ජූලි 30 ගාල්ල බූස්සේදී
• ලිපිනය - අංක 51, ගැමුණු මාවත, කලුතර උතුර
• අධ්‍යාපනය ලැබූ පාසැල් - 
රිච්මන්ඩ් විද්‍යාලය - ගාල්ල
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - ගාල්ල
රත්නසාර විද්‍යාලය - ගාල්ල
ඇක්වයිනාස් විද්‍යාලය 
• විවාහය - 1968දී මෙලනි ද සිල්වා මහත්මිය සමග *මෙලනි මහත්මිය 2010දී අභාවප්‍රාප්ත වී ඇත
• රැකියා - මුලින්ම Associated Motorways හි foreman කෙනෙකු ලෙස 
පසුව ACL Cables ආයතනයේ Public Relations Consultant කෙනෙකු ලෙස
• දරුවන් - 
ගැමුණු අබේසේකර
නදීෂා අබේසේකර

පර්සි අංකල් මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු තරඟයක් නරඹලා තියෙන්නේ 1948දී පාසැල් ශිෂ්‍යයෙක් විදියට.එතනින් ඇරඹුන ක්‍රිකට් වලට ඇති ඒ කැමැත්ත මල්ඵල දරන්නේ 1979 ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට දිරිගන්වන්නෙකු ලෙස  එක්වෙමින්. ඒ D.A අබේසිංහ ආයතනයේ අනුග්‍රහයෙන්.

එතනින් පටන් ගත්ත ඒ ගමන අද වෙනතුරුත් නැවතිලා නෑ.1996 ලෝක කුසලානෙදිත් ඊටත් පස්සේ තිබ්බ හැම විශේෂ අවස්ථාවකදිත් පර්සි අංකල් සුවහසක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ව නියෝජනය කලා.

පර්සි අංකල්ව අගයපු ලෝක පූජිත ක්‍රීඩකයෝ ඕනතරම් ඒ කාලෙත් හිටියා දැනුත් ඉන්නවා. හොඳම උදාහරණේ 2015දි විරාට් කෝලි පර්සි අංකල්ට සමරු තිළිණයක් ලබාදුන්න එක.
ශේන් වෝන්, මාක් ටේලර් වගේ තවත් නොයෙකුත් ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ පර්සි අංකල්ගේ මේ ධෛර්යය,රට වෙනුවෙන් පෙනී සිටීම අගයලා තියෙනවා.

දැන් අපිට වැඩිය දකින්න නොලැබුනත් අපිට දුන්න මතකයන් වලට ස්තූති කරන ගමන් පර්සි අංකල්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

පර්සි අංකල් ඔබ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට කල මෙහෙය කිසිදා අමතක නොවේ. ඔබට ජය! ❤️

No comments:

Post a Comment