Thursday, July 4, 2019

දෛවයේ සරදමට ලක්වූ අති දක්ෂයා!



- නිමේෂ් පෙරේරා -

අනුර රණසිංහ,මහදේවන් සතාසිවම් වගේ 
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමතක වීගෙන යන අති දක්ෂයෝ දෙන්නෙක් ගැන මෑතකදි මම ලියපු ලිපි දෙකටම හොඳ ප්‍රතිචාර ලැබුනා.
හොඳ හෝ නරක ප්‍රතිචාර ලබාදෙන හැමෝටම බොහොම ස්තූතියි!
මොකද ප්‍රතිචාර ලැබෙන තරමට තමයි මොනවහරි දෙයක් ලියන්න ආසාවක් උනත් ඇතිවෙන්නේ.

- පූර්විකාව -

කලින් පළකරපු ලිපි හා සමානවම අද පළකරන මේ ලිපියත් ලියවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද උන තවත් එක් විරළ ගණයේ සුපිරි දක්ෂයෙක් ගැන.
නමුත් අවාසනාවකට මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට තමන්ගේ උපරිම දක්ෂතා පෙන්නලා අපේ රටට ජාත්‍යන්තර මට්ටමෙන් කීර්තියක් ලබාදෙන්න අවස්ථාව ලැබුනේ නම් බොහොම අල්ප වශයෙන්.

අද ලිපියේ කතානායකයා වෙන නිමේෂ් පෙරේරා කියන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයාව මෑත කාලෙදි ක්‍රිකට් ක්‍රීඩාවට ඇබ්බැහි උන අයට නම් සාමාන්‍යයෙන් ටිකක් නුපුරුදු කෙනෙක්.

වර්තමානයේදි ඒ වගේ තත්වයක් තිබුණත්
90 දශකයේ අගභාගයේදි වගේ නම් නිමේෂ් පෙරේරා කියන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතරේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වුණ බොහොම ජනප්‍රිය නවක ක්‍රිකට් තරුවක්!
ඒ වගේම නිමේෂ් පෙරේරා කියන්නේ ඒ කාල වකවානුවේදි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තිබුණු විශාල අනාගත ආයෝජනයක්,
බලාපොරොත්තුවක් කියලා කිව්වොත් ඒකේ කිසිම වැරැද්දක් නැහැ!

එවැනි පසුබිමක් තිබුණු නිමේෂ් ගැන 1999 වසරෙන් පසුකාලීනව ඒ තරම් අහන්නට දකින්නට ලැබෙන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න නියමිතව හිටපු නිමේෂ්ට සිදුවෙච්ච දේ ගැන බහුතරයක් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ දැනගෙන හිටියෙත් නැහැ.
මේ ලිපිය ලියන මමත් නිමේෂ්ට සිදු වෙච්ච දේ ගැන හරියටම දැනගත්තේ මීට වසර 3,4කට කලින්.සාමාන්‍යයෙන් නිතර කතාබහට ලක්වෙන ක්‍රීඩකයෝ ගැන ලියනවට වඩා මේ වගේ අඩුවෙන් කතාබහට ලක්වෙන ක්‍රීඩකයෝ ගැන ලියන එක හොඳ නිසයි එකතු කරගත්ත කරුණු වලට අනුව මේ ලිපිය ලියන්න තීරණය කළේ.

නිමේෂ් ගැන කිසිවක්ම නොදන්නා අයටත්,
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විරළ ගණයේ සම්පතක් වෙච්ච නිමේෂ්ට සිදු උන දේ ගැන දැනගන්න කැමති අයටත් මේ ලිපියෙන් යම් තරමකට හෝ අවබෝධයක් ලබාගන්න හැකිවේවි.

- ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීම - 

මෝදර මීහලගේ දොන් නිමේෂ් රන්දික ගයාන් පෙරේරා උපත ලබන්නේ 1977 සැප්තැම්බර් 5 වනදා.
පසුකාලීනව විරළ ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත්වුණු නිමේෂ්ට දෙමව්පියන් ලබා දුන්න නමත් විරළ ගණයේ එකක් කියලා අමුතුවෙන් ලියන්න අවශ්‍ය වෙන එකක් නැහැ.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට සුපිරි තරු ගොන්නක් බිහි කල මොරටු පුරයෙන් බිහි උන තවත් එක් විශිෂ්ඨ ක්‍රිකට් තරුවක් වෙච්ච නිමේෂ්ගේ පාසල උනේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය.
කුඩා කාලයේදිම පන්දුව හා පිත්ත අතට හුරුකරගත්ත නිමේෂ්ට පාසලේ අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් වීම එතරම් අපහසු කාරණයක් උනේ නැහැ.
අවුරුදු 13න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා දිවිය ආරම්භ කරපු නිමේෂ් අවසානයේදි නතර වෙන්නේ ශාන්ත සෙබස්තියන් කණ්ඩායමේ අවුරුදු 19න් පහළ කණ්ඩායමට නායකත්වය ලබාදීමෙන්.

සැලකිය යුතු කාල වකවානුවක් පාසල් මට්ටමෙන් උපරිම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක් වීම නිසා කෙටි කාලයකින්ම මුළු රටේම ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගන්න නිමේෂ් සමත් වෙනවා.

අති දක්ෂ පා දඟ පන්දු යවන්නෙක් වෙච්ච නිමේෂ් ලෙග් බ්‍රේක්,ටොප්ස්පිනර්,ගුග්ලි,
ෆ්ලිපර් පන්දු සියල්ලම හොඳින්ම සංකලනය කරමින් පන්දු යවපු ක්‍රීඩකයෙක්.

"සාමාන්‍යයෙන් කියන්නේ නිමේෂ් පෙරේරා වගේ පා දඟ පන්දු යවන්නෙක් අදටත් ශ්‍රී ලංකාවේ බිහිවෙලා නෑ කියලයි"

නිමේෂ් පාසල් කාලයේදි දක්වපු දක්ෂතා අතරින් සුවිශේෂීම දක්ෂතාවය ලෙස කඩුළු 128ක් ලබාගනිමින් මුත්තයියා මුරලිදරන් පිහිට වූ පාසල් වාර්තාවක් වන,
"පාසල් ක්‍රිකට් ක්‍රීඩා වාරයකදි වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගත් පන්දුයවන්නා" ගේ වාර්තාව දෙවරක් පසුකර යෑම සඳහන් කරන්න පුළුවන්.

මුරලි ලබාගත් වැඩිම කඩුළු 128 වාර්තාව මුලින් නිමේෂ් බිඳ දමන්නේ කඩුළු 131ක් ලබාගනිමින්.
එම වාර්තාවම 1996 වසරේදි නැවතත් අළුත් කරන නිමේෂ් එම ක්‍රීඩා වාරයේ තරඟ 15කදී කඩුළු 134 ක් ලබාගන්නට සමත්වෙනවා.
විශේෂයෙන්ම පාදඟ පන්දුයවන්නෝ
අල්ප වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට දායක කල ක්‍රිකට් කණ්ඩායමක් වූ ශ්‍රී ලංකාවට මුරලි වැනි පිට දඟ පන්දුයවන්නෙක් සමඟ එකතු වී විශිෂ්ඨ ගණයේ කාර්‍යභාරයක් ඉටු කලහැකි පාදඟ පන්දුයවන්නෙක් ලෙස නිමේෂ් වැඩිදියුණු වීම විශාල වාසියක් ගෙනදුන් කාරණයක්.

නමුත් නිමේෂ් පන්දුයවන්නෙක් ලෙස පමණක්ම ක්‍රිකට් පිටියේ දක්ෂකම් දැක්වූ ක්‍රීඩකයෙක් නම් නෙවෙයි.
නිමේෂ්ට හොඳින් පන්දුවට පහරදෙන්නත් හැකියාව තිබුණා.
මැදපෙළ පිතිකරුවෙක් ලෙස දිගු ඉනිම් වලට යා හැකි ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙස නිමේෂ්ව හැඳින්විය හැකියි.

හරිම විදියට කියනවනම් නිමේෂ් කියන්නේ "නියම තුන් ඉරියව්" ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

- ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරීම -

පාසල් ක්‍රිකට් තරඟවලදී නිරන්තරයෙන්ම දක්වපු සුපිරි දක්ෂතා නිසා නිමේෂ්ට 1996 වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පවා හිමිවෙනවා.
ඒ වගේම 1997 වසරේදි නිමේෂ්ව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදියට පත්වෙන්නත් හේතු උනේ නිමේෂ්ට තිබුණු විරල ගණයේ දක්ෂතාවය.
නිමේෂ්ගේ නායකත්වය යටතේ ඒ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෝ සමහරක්ගේ නම් සඳහන් කරන්නම වටිනවා.

• කුමාර් සංගක්කාර
• රංගන හේරත්
• දිල්හාර ෆර්නෑන්ඩෝ
• චින්තක ජයසිංහ
• හේමන්ත බොතේජු
• ශාන්ත කලවිටිගොඩ

වැනි ක්‍රීඩකයින් නිමේෂ්ගේ නායකත්වය යටතේ අවුරුදු 19න් පහල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කලා.
ප්‍රමුඛ පෙළේ පාසල් 4ක කණ්ඩායම් නායකයෝ නිමේෂ් නායකත්වය දුන්න මේ කණ්ඩායමට ඇතුලත් වෙලා හිටපු බවත් අමතක නොකළ යුතු කාරණයක්.

1997 වසරේ පෙබරවාරි මාසයේ ජ්‍යෝති යාදව්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සංචාරය කල ඉන්දීය අවුරුදු 19න් පහල කණ්ඩායම සමඟ ටෙස්ට් තරඟාවලියකට හා එක්දින තරඟාවලියකට මේ කණ්ඩායම සහභාගි වෙනවා.

ඉන්දියානු අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති තරඟ 3ක ටෙස්ට් තරඟාවලිය තරඟ 2-0 ලෙස පරාජය උනත් එක්දින තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට නිමේෂ්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහල කණ්ඩායම සමත් වෙනවා.
ජයග්‍රහණය කල මුල් එක්දින තරඟ 2දීම හොඳම පන්දුයවන්නා වෙමින් ඉන්දීය විකට් 3 බැගින් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පන්දුයවන්නා බවට නිමේෂ් පත්වන්නේ රංගන හේරත් මේ තරඟ 2දීම එකම කඩුල්ලක් වත් ලබාගැනීමට අසමත් වන අතරවාරයේ වීමද විශේෂත්වයක්.
එමෙන්ම පිතිකරණයෙන් නිමේෂ් දෙවන එක්දින තරඟයේදි හේමන්ත බොතේජු සමඟ එක්වෙමින් අගනා සබඳතාවයක් ගොඩනගමින් ලකුණු 46ක් ලබාගැනීමටද සමත් වූ බවද අමතක නොකළ යුතුයි.

- ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟින් එංගලන්තය සංචාරය කිරීම -

1997 වසරෙන් පසුව පළමු පෙළ ක්‍රීඩාවේ නිරත වූ නිමේෂ් නැවතත් කරලියට පැමිණෙන්නේ 1999 වසරේ ජූලි මාසයේදි පැවැත්වුණ ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදි.
1999 වසරේ මැයි මාසයේදි එංගලන්තයේදි පැවති ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ලැජ්ජා සහගත ලෙස ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම පරාජය ලැබීම නිසා ඉන් මාස දෙකකට පසු එංගලන්තය සංචාරය කරන ශ්‍රී ලංකා A කණ්ඩායම තරඟාවලිය ආරම්භ කිරීමටත් පෙර යම් පීඩනයකට ලක් වී සිටි බවද සඳහන් කල යුතුයි.

මෙම සංචාරයේදි ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය එකල සිටි තවත් දක්ෂ ක්‍රීඩකයෙක් වන නවීඩ් නවාස් විසින් දැරූ අතර පසුකාලීනව ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් සාර්ථක ලෙස දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම එකල ලාබාල ක්‍රීඩකයින් ලෙස මෙම තරඟාවලියට සහභාගී වීමද විශේෂත්වයක්. 

• T.M දිල්ශාන් 
• ප්‍රසන්න ජයවර්ධන
• දිල්හාර ෆර්නෑන්ඩෝ 
• අවිශ්ක ගුණවර්ධන 
• රංගන හේරත්
• ඉන්දික ද සේරම්
• රවීන්ද්‍ර පුෂ්පකුමාර 

වැනි පසුකාලීනව ජාතික කණ්ඩායමත් සමඟ එක්වී දක්ෂතා දැක්වීම නිසා අපට ඉතා හුරුපුරුදු වූ  ක්‍රීඩකයන් රැසක් සමඟින් නිමේෂ්ද මෙම එංගලන්ත සංචාරයට එක්වන්නේ බලාපොරොත්තු රැසක් සමඟින්.

තරඟාවලියේ පළමු තරඟය ලෙස එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම සමඟ පැවති තුන්දින තරඟය ලකුණු 64කින් ශ්‍රී ලංකා A කණ්ඩායම ජයගන්නට සමත්වන්නේ නිමේෂ් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ සමහරක් ක්‍රීඩකයින් දැක්වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන්.

• ජාත්‍යන්තර අත්දැකීම් ඇති ලාබාල ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක් වූ රවීන්ද්‍ර පුෂ්පකුමාර එංගලන්ත ඉනිම් දෙකේදී කඩුළු 7ක් ලබාගන්නට සමත්වීම,
• නායක නවීඩ් නවාස් ලබාගත් ලකුණු 75,
• පිතිකරණයෙන් නිමේෂ් නොදැවී රැස්කල ලකුණු 110 මෙන්ම පන්දුයැවීමේදි ලකුණු 25කට කඩුළු 4ක් ලබාගැනීම,

ප්‍රධාන වශයෙන්ම මෙම තරඟය ජයගැනීමට ඉවහල් වූ දක්ෂතා ලෙස හැඳින්විය හැකියි.
නිමේෂ් පිත්තෙන් නොදැවී රැස්කල ලකුණු 110 හා පන්දුවෙන් දවාගත් කඩුළු 4 තුල අනාගතයේදි බිහිවන විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ සලකුණු දක්නට තිබූ බව ක්‍රිකට් විස්තර විචාරකයන් කිහිපදෙනෙකුම සඳහන් කල කාරණයක්.

තරඟාවලියේ දෙවන තරඟයේදි ප්‍රියංකර වික්‍රමසිංහ,ඉන්දික ද සේරම්,අවිශ්ක ගුණවර්ධන හා රංගන හේරත් දැක්වූ සුවිශේෂී දක්ෂතා නිසා ලැන්කෂයර් කණ්ඩායම ලකුණු 179කින් පරාජය කිරීමට සමත්වන ශ්‍රී ලංකා A කණ්ඩායම තරඟාවලියේ 3වන තරඟයේදි 1999 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජය කිරීම එකල ශ්‍රී ලංකාවේ සිටි දෙවන පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ලොවටම කියා පෑ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.

මෙම තරඟයේදි අවිශ්ක ගුණවර්ධන හා 
T.M දිල්ශාන් යන ක්‍රීඩකයින් දෙදෙනාම නවසීලන්ත ප්‍රමුඛ පෙළේ පන්දුයවන්නන්ට එලවා එලවා පහරදුන් අතර ශ්‍රී ලංකා A කණ්ඩායම තරඟය ජයගන්නේ කඩුළු 3කින් නවසීලන්ත ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින්.

නිමේෂ් ඇතුළුව මෙම තරඟාවලියට සහභාගී වූ බහුතරයක් නවක ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීම නිසා මෙම තරඟාවලියට පෙර පැවති 1999 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු කල බළධාරීන්ට යම් යම් අපවාදයන් වලට ලක්වීමට සිදු වූ බවද රහසක් නොවේ.

- ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම් සංචිතයට ඇතුලත් වීම -

1999 ජූලි මාසයේ එංගලන්තයේදි පැවති මෙම තරඟාවලියේදි දැක්වූ දක්ෂතා හේතුවෙන් නිමේෂ්ට 1999 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේදි පැවති Aiwa කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වීමේ වාසනාව හිමි වූවත් එකල සිටි තවත් විශිෂ්ඨ පාදඟ පන්දුයවන්නෙක් වූ උපුල් චන්දන තරඟාවලිය පුරාවටම සාර්ථක වීම නිසා නිමේෂ්‍ට අයිවා කුසලානයේ එකම තරඟයක් වත් ක්‍රීඩා කිරීමට හැකිවන්නේ නැහැ.

- ආබාධයට ලක්වීම -

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක සිටි නිමේෂ් නොසිතූ අයුරින් ඇතිවූ හර්නියා රෝගය හේතුවෙන් 1999 වසරේ අවසන් කාල සීමාවේදි ඉතා අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වෙනවා.
යම් ක්‍රීඩකයෙක්ගේ ක්‍රීඩා දිවිය අවසන් වන මට්ටමේ රෝග තත්වයක් නොවන හර්නියා රෝගයට නිමේෂ් ගොදුරු උන කාල වකවානුවේදි නිසි ප්‍රතිකාර ක්‍රම තිබුණත් එම ප්‍රතිකාර ක්‍රම සඳහා වැයවූ කාලය වර්තමානයට වඩා බෙහෙවින් වැඩි බවයි සඳහන් වන්නේ.
නිමේෂ් සඳහන් කරන ආකාරයට ඒ කාලයේදි ඔහුට ලැප්‍රෝස්කොපික් හර්නියා ශල්‍යකර්මය සිදුකරගැනීමේ හැකියාවක් නොතිබීම නිසා ප්‍රතිකාර වෙනුවෙන් විශාල කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වී තිබෙනවා.

මුත්තයියා මුරලිදරන්,කෙවින් පීටර්සන් වැනි ක්‍රීඩකයින් පවා පසුකාලීනව මෙම ආබාධයෙන් සුව ලබා නැවත සුපුරුදු දක්ෂතා අතරට පැමිණියත් නිමේෂ්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය හමාර කිරීමට හේතුවන්නේ මෙම හර්නියා රෝගයයි.
මාස 10ක වැනි කාලයක් ප්‍රතිකාර හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටි නිමේෂ් නැවතත් ක්‍රීඩාවට එක්වෙද්දී ඔහුගේ ශරීරයේ බර බෙහෙවින් වැඩි වී කිලෝ 90කට ආසන්නව තිබූ අතර සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම සඳහා ඔහු අසීමිත ලෙස පුහුණුවීම් කටයුතු වල නිරත වූ බවයි ඔහුගේ සමීපතයින් සඳහන් කරන්නේ.
කෙසේ නමුත් බළධාරීන්ගේ අවධානය නැවත ලබාගැනීමට නිමේෂ්ට හැකිවන්නේ නැහැ.

ආබාධයෙන් පසුකාලීනව හලාවත මේරියන්ස් කණ්ඩායම සමඟ එක්වන නිමේෂ්
පළමුපෙල තරඟ 146ක ඉනිම් 228 ක් ක්‍රීඩා කරමින් පිත්තෙන් ලකුණු 5769ක් ලබාගෙන ඇති අතර ඉනිමකදී ලබාගත් උපරිම ලකුණු සංඛ්‍යාව 152ක් ලෙස සටහන් වෙද්දී ඔහු ලබාගත් පිතිකරණ සාමාන්‍යය සටහන් වන්නේ ලකුණු 27.86ක් ලෙස.
එමෙන්ම පන්දු යැවීමේදි ඔහු ලබාගත් කඩුළු ගණන 270ක් ලෙස සටහන් වන අතර ඔහුගේ හොඳම පන්දුයැවීම ලෙස ලකුණු 24කට කඩුළු 8ක් දවාගැනීම සඳහන් කල හැකියි.

අවාසනාවන්ත ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වූ නිමේෂ්ට දෛවය එරෙහි නොවුනා නම් ඔහු අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් එක් සුපිරි ක්‍රිකට් තරුවක් ලෙස හැඳින්වීමට හැකිව තිබූ ක්‍රීඩකයෙක්  බවයි බොහෝ දේශීය විචාරකයන් සඳහන් කරන්නේ.

නැවත හමුවන තුරු ඔබට ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment