Thursday, July 4, 2019

- තරඟයේ වීරයා වූ විනිසුරු B.C කුරේ -


2001 වසරේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය
දෙවන ටෙස්‍ට් තරඟය

පසුගියදා අවසන් වූ ටෙස්ට් තරඟාවලියේදි එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ තරඟාවලි පරාජයක් 3-0 ලැබීමට සිදු විය.මව්බිමේදීම ඉතාමත් ලැජ්ජාශීලී ලෙස පරාජය වීම සඳහා විවිධාකාර හේතූන් බලපෑ අතර අනාගතයේදි ඒවා නැවත සිදු නොවීමට වගබලාගැනීම කෙරෙහි ක්‍රීඩකයන්ගේ හා බළධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයිද සිතමි.

මා සිතනා අන්දමට වර්තමානයේදි 
'ශ්‍රී ලංකා ක්‍රිකට්' ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පල්ලම් බැස ඇත්තේ දුර්වල කළමනාකරණය හේතුවෙනි.
නිසි කළමනාකරණයක් ඇති තැනක මේ ලෙස කඩාවැටීමක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නැත.
මේ කෙසේ නමුත් ප්‍රේක්ෂකයින් වන අපගේ වගකීම වියයුත්තේ හැකි පමණින් නැවතත් පෙර පැවති තත්වයට 'ශ්‍රී ලංකා ක්‍රිකට්' ‍රැගෙන ඒමට සහය වීම හා අවශ්‍ය වූ විටදී සදාචාරාත්මක ලෙස විවේචනයෙහි යෙදීම මිස මඩ ගසා දැනට ඇතිදේත් නැතිකිරීම නොවේ.

මඩ ගැසීමෙන් හෝ සෑම තරඟයක් අවසානයේම ක්‍රීඩකයින් මාරු කිරීමට ඉල්ලීමෙන් අපේ ක්‍රිකට් වලට යහපතක් සිදු වන්නේ නැත.
ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ලෙස එය අප තේරුම් ගත යුතුය!

- පූර්විකාව -

පසුගියදා සිදු වූ අයුරින්ම පූර්ණ තරඟාවලි පරාජයක් නොලැබුවද 2001 වසරේදි එංගලන්තයට තම මව්බිමේදීම ටෙස්ට් තරඟාවලියක් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වූ බව බහුතරයක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දැනුවත් කාරණයකි.

මෑත කාලයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ටෙස්ට් කණ්ඩායමක් ඒ අයුරින් 2001 වසරේදි තම මව්බිමේදිම එංගලන්තයට පරාජය වීමට මූලිකවම බලපෑ හේතුව ලෙස නම්කල හැක්කේ විනිසුරුවන් ලබා දුන් තීරණ ඉතා දුර්වල මට්ටමක තිබීමයි.

වර්තමානයේ මෙන් නොව 2001 වසරේදි ප්‍රධාන විනිසුරුවන් පිටිය තුලදී ලබාදෙන තීරණ අභියෝගයට ලක්කිරීමේ ක්‍රමවේදයක් භාවිතා නොවූ නිසා අවාසනාවන්ත ලෙස ටෙස්ට් තරඟාවලියක් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වූවත් මුළුමහත් ක්‍රිකට් ක්‍රීඩාවටම මේ තරඟාවලිය හේතුවෙන් සිදු වූයේ යහපතකි.

"ශ්‍රී ලංකාව එංගලන්තයට ටෙස්ට් තරඟාවලියක් පරාජය වීම ක්‍රිකට් ක්‍රීඩාවට යහපත් ලෙස බලපාන්නේ කෙසේද?" 
යන ප්‍රශ්නයත්,

"B.C කුරේ විනිසුරු මහතා තරඟයේ වීරයා" ලෙස සඳහන් කරමින් ලිපියේ මාතෘකාව යෙදීම පිළිබඳවත්,

මේ වන විට පාඨක ඔබ බහුතරයක්ගේ සිත් තුල කුකුසක් පැන නැග ඇති බව නම්
නොඅනුමානය.

කුතුහලය දනවන ඒ ප්‍රශ්න ද්විත්වයටම 
නිසි පිළිතුරු මේ ලිපිය කියවා අවසන් වනවිට අනිවාර්යයෙන්ම ඔබට දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත.

- ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීම -

2001 වසරේ පෙබරවාරි මාසයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සංචාරය කරන්නේ තරඟ 3කින් යුතු ටෙස්ට් තරඟාවලියක් හා තරඟ 3කින් යුතු එක්දින තරඟාවලියක් ක්‍රීඩා කිරීමටය.
එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරීම නසාර් හුසේන් විසින් සිදුකල අතර සත්කාරක ශ්‍රී ලංකා පිලේ නායකත්වය සනත් ජයසූරිය විසින් හෙබවීමද සිදුවිය.

ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට මත්තෙන් කණ්ඩායම් දෙකෙහි තිබූ වාතාවරණය පිළිබඳව සඳහන් කරනවා නම්,

• එංගලන්තය මෙම තරඟාවලියට 
සහභාගී වන්නේ පකිස්තාන කණ්ඩායම පකිස්තානයේදිම තරඟ 1-0 ලෙස පරාජය කරමින් ටෙස්ට් තරඟාවලියක් ජය ලැබීමෙන් අනතුරුව වීම නිසා ඒ වන විටත් ඔවුන් පසුවූයේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.

එමෙන්ම මේ වන විට ඔවුන්ගේ කණ්‍ඩායම් හැඟීම් වලද සැලකිය යුතු වර්ධනයක් සිදු වී තිබූ නමුත් පකිස්තානයේ තිබූ ශීත කාළගුණය හා ඇල්මැරුණු තණතීරු වලට හාත්පසින්ම වෙනස් වූ,
සාපේක්ෂව අධික උෂ්ණත්වයකින් යුතු පරිසර තත්වයක් හා පන්දුව අසීමිත ලෙස දඟකැවෙන තණතීරු වලට හිමිකම් කී ශ්‍රී ලංකාවේදි මුරලි වැනි දඟපන්දු යවන්නෙක්ට මුහුණදීම ඔවුන් ඉදිරියේ තිබූ විශාලතම අභියෝගයයි.

• සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමද 
පෙබරවාරි මාසයේ ආරම්භ වූ මෙම එංගලන්ත ටෙස්ට් තරඟාවලියට පෙර ජනවාරි මාසයේදි නවසීලන්තයේදි පැවති එක්දින තරඟාවලිය තරඟ 4-1 ක් ලෙස ජයග්‍රහණය කිරීම නිසා පසුවූයේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.

කෙසේ වුවත් දඟපන්දුවට දුර්වල කණ්ඩායමක් ලෙස නම් දරා සිටි එංගලන්‍තය වැනි කණ්ඩායමක් හමුවේ මව්බිමේදීම පරාජය වීම කිසිසේත්ම සිදු නොවිය යුතු දෙයක් වීමද ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර පීඩනයක් එක් කල කාරණයක් ලෙස සටහන් කල හැකිය.

- ගාල්ලේදි පැවති පළමු ටෙස්ට් තරඟය -

2001 වසරේ පෙබරවාරි 22වනදා ආරම්භ වූ තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වුණේ ගාල්ලේදී වන අතර බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බළඇණිය හමුවේ ඉතා දුර්වල ලෙස ක්‍රීඩා කල එංගලන්තය, 
ශ්‍රී ලංකාවට පරාජය වූයේ ඉනිමකින් හා ලකුණු 28කිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී අගනා ද්විත්ව ශතකයක් රැස්කල මාවන් අතපත්තු හා එංගලන්ත ඉනිම් දෙකෙහිදීම කඩුළු 4 බැගින් දවාගත් නායක සනත් ජයසූරිය හා පළමු ඉනිමේ කඩුළු 3කුත් දෙවන ඉනිමේ කඩුළු 4කුත් බිඳ දැමූ මුරලි එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයට මඟ විවර කල ප්‍රධානම සාධකයන් ලෙස හැඳින්විය හැක.
එමෙන්ම පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක සනත් ජයසූරිය හැරෙන්නට මුල් පෙළේ පිතිකරුවන් සියල්ලන්ම පාහේ සාර්ථක වූයේ අවම වශයෙන් අර්ධ ශතකයක් හෝ ලබා ගනිමිනි.

මෙම තරඟයේදි එංගලන්ත පිතිකරු මාකස් ට්‍රෙස්කොතික් පළමු ඉනිමේදී ශතකයක් හා දෙවන ඉනිමේදි අර්ධ ශතකයක් ලබාගනිමින් දක්ෂතා අතරට පැමිණියද කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් නිසි සහයක් නොලැබීම ඔහුගේ ප්‍රයත්නය නිශ්ඵල වීමට හේතු වූ අතර තරඟ විනිශ්චය කිරීමේ නිරත වූ ශ්‍රී ලංකාවේ පීටර් මැනුවෙල් හා ඉන්දියාවේ අරණි ජයප්‍රකාශ් යන විනිසුරුවන් දෙදෙනා ලබාදුන් තීරණ බොහොමයක් වැරදි ඒවා වීමද විශේෂයෙන්ම සඳහන් කල යුතු කරුණකි.

මෙම තරඟයේදි විනිසුරුවන් දෙදෙනා විසින් ලබාදුන් තීරණ අතරින් අවම වශයෙන් තීරණ 7ක් පමණ වැරදි ඒවා වූ අතර,

දෙවන ඉනිමේ පන්දු යැවූ මුරලිගේ පන්දුවක් හමුවේ එංගලන්ත ක්‍රීඩක ක්‍රේග් වයිට් සිලි පොයින්ට් වෙත ලබාදුන් උඩපන්දුවක් රසල් ආනල්ඩ් විසින් රැකගැනීමෙන් අනතුරුව එය නොදැවුණු අවස්ථාවක් ලෙස නම්කල විනිසුරු ජයප්‍රකාශ්, මුරලි එම ඕවරයේදීම යැවූ ෆුල්ටෝස් පන්දුවක් පිට ඉන්නෙන් පිටතදී වයිට්ගේ පාදයේ වැදීම දැවීයාමක් ලෙස නම්කිරීම එකම ඕවරය තුල වැරදි තීරණ 2ක් ලබාදුන් අවස්ථාවක් ලෙස දැක්විය හැක.

ජාත්‍යන්තර මට්ටමේදි විනිසුරුවන්ගෙන් මෙවැනි අත්වැරදීම් සිදුවීම අනුමත නොකළ හැක්කක් වන අතර දෙපිළටම සම සමව වැරදි තීරණ ලබාදීමත් අවසානයේදි තරඟය 
ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කිරීම නිසාත් තරඟය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් විසින් විනිසුරුවන් ලබාදුන් තීරණවලට කුපිත වී කලහකාරී ලෙස ප්‍රතිචාර දැක්වීමක් සිදුවූයේ නැත.

පළමු ටෙස්ට් තරඟයේ සාරාංශය,

• ශ්‍රී ලංකා පළමු ඉනිම - 470/5 d

මාවන් අතපත්තු - 201*
අරවින්ද ද සිල්වා - 106
මහේල ජයවර්ධන - 61
කුමාර් සංගක්කාර - 58

එංගලන්තය වෙනුවෙන් පළමු ඉනිමේදි
පන්දු යැවූ ඩැරන් ගෆ්,ඈශ්ලි ජයිල්ස්,
රොබට් ක්‍රොෆ්ට් යන පන්දුයවන්නන් තිදෙනාම 1 කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වන ලදි.

• එංගලන්ත පළමු ඉනිම - 253

මාකස් ට්‍රෙස්කොතික් - 122

ශ්‍රී ලංකා පන්දු යැවීම,

සනත් ජයසූරිය - 50/4
චමින්ද වාස් - 53/3
මුත්තයියා මුරලිදරන් - 79/3

• එංගලන්ත දෙවන ඉනිම (F.O) - 189

මාකස් ට්‍රෙස්කොතික් - 57

ශ්‍රී ලංකා පන්දු යැවීම,

සනත් ජයසූරිය - 44/4
මුත්තයියා මුරලිදරන් - 66/4

< තරඟයේ වීරයා - මාවන් අතපත්තු >

- මහනුවර අස්ගිරියේදි පැවති දෙවන ටෙස්‍ට් තරඟය -

ගාල්ලේදි පැවති පළමු ටෙස්ට් තරඟය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර අස්ගිරි ක්‍රීඩාංගනයේදි මාර්තු මස 7වනදා ආරම්භ වීමට නියමිතව තිබූ දෙවන ටෙස්ට් තරඟයට පිවිසෙන්නේ පළමු තරඟය ජයගත් ආකාරයෙන්ම දෙවන තරඟයත් ජය ලබා එංගලන්තයට එරෙහිව තෙවන වරටත් ටෙස්ට් තරඟාවලි ජයක් ලබාගැනීමේ බලාපොරොත්තුවද සහිතවයි.

ගාල්ල ක්‍රීඩාංගනයේ තණතීරුව හා එහි පැවති කාළගුණික තත්වයන්ට වඩා යම් වෙනසක් සාමාන්‍යයෙන් මහනුවර අස්ගිරි ක්‍රීඩාංගනයේදි දක්නට ලැබෙන බව එංගලන්ත කණ්ඩායමේ පරිණත ක්‍රීඩකයින් හා කණ්ඩායමට අනුයුක්ත බළධාරීන් දැන සිටි කාරණයක් වූ අතර විශේෂයෙන්ම නව පන්දුවෙන් පන්දු යැවීමේ නිරතවන වේග පන්දු යවන්නන්ට වාසි සහගත ප්‍රතිඵල ලබාදෙන ආකාරයේ තණතීරුවක් අස්ගිරි ක්‍රීඩාංගනයේ පැවතීම එංගලන්ත කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ලබාදීමට හේතු විය.

ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරඟය අවසන් වීමෙන් අනතුරුව ලයිට් හවුස් හෝටලයේ පිහිනුම් තටාකය අසලට කණ්ඩායම් සාමාජිකයන් සියල්ලන්ම එක්රැස්වී පැවැත්වූ සාකච්ඡාවකදී යෝජනා වී ඇත්තේ එංගලන්ත වේග පන්දු යවන්නන් වූ ඩැරන් ගෆ්,ඇන්ඩි කැඩික් හා ක්‍රේග් වයිට් වැන්නන් වේග පන්දු යවන්නන්ට වාසිදායක අස්ගිරිය තණතීරුවේදි වැඩි වගකීමකින් පන්දු යැවිය යුතු බවයි.

එමෙන්ම පළමු ටෙස්ට් තරඟයෙන් අන්ත පරාජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම දෙවන ටෙස්ට් තරඟයට පිවිසීමට පෙර මාර්තු 3 වනදා කුරුණෑගලදී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරඟයකට සහභාගි වෙමින් එම තරඟය ජයගැනීමට සමත් වීමද ඔවුන්ට මානසික ඒකාග්‍රතාවයන් නිසිලෙස පවත්වාගෙන යෑමට දායකත්වයක් ලබා දුන් බව අමතක නොකල යුතු කාරණයකි.

මේ අයුරින් පළමු තරඟය පරාජය වීමෙන් පසු එංගලන්තය කණ්ඩායමක් වශයෙන් තම දුර්වලතා මෙන්ම ඒ දුර්වලතා මඟහරවා ගැනීම සඳහා නිසි ප්‍රතිකර්මද හොඳින් හඳුනාගෙන සිටි අතර විශේෂයෙන්ම 
මුරලිගේ පන්දු යැවීම් හමුවේ,

"Pad him or hit him - 
පාදය යොමුකිරීම හෝ පහර දීම" 

ක්‍රමවේදය භාවිතා කිරීමට ඔවුන් සූදානම්ව සිටි බවත් දඟපන්දු යවන්නන්ට එරෙහිව හැකි සෑම විටකදීම ස්විප් පහර එල්ලකිරීමට තීරණය කර තිබූ බවත් පසුකාලීනව එකල එංගලන්ත නායක නසාර් හුසේන් විසින් කරන  ලද ප්‍රකාශයකදී සඳහන් කරන ලදි.

තවදුරටත් නසාර් සඳහන් කළ කාරණයක් නම් සාමාන්‍යයෙන් බ්‍රයන් ලාරා,ඇන්ඩි ෆ්ලවර්,
ස්ටීවන් ෆ්ලෙමින්ග් වැනි වමත් පිතිකරුවන් මුරලිගේ පන්දුයැවීම් හමුවේ හොඳින් පන්දුවට පහරදීම නිසා එංගලන්ත කණ්ඩායමේ සිටි මුල්පෙළේ වමත් පිතිකරුවන් වූ ග්‍රැහැම් තෝප් හා මාකස් ට්‍රෙස්කොතික් දෙදෙනාටම විශේෂ කාර්‍යභාරයක් ඉටුකිරීමේ වගකීම ලබාදුන් බවයි.

නියමිතව තිබූ අයුරින්ම මාර්තු 7 වනදා උදෑසන ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේදීද
කාසිය වාසිය දිනාගැනීමට සමත් වන ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.
මේ තරඟය විනිශ්චය කිරීම වෙනුවෙන් අත්දැකීම් බහුල විනිසුරුවන් දෙපළක් වූ 
ශ්‍රී ලාංකික විනිසුරු B.C කුරේ හා දකුණු අප්‍රිකානු විනිසුරු රූඩි කර්ට්සන් කැඳවා තිබිණ.

පළමු ඉනිම පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 4ම ලකුණු 80ක් තුලදී දවාගැනීමට එංගලන්ත වේග පන්දු යවන්නන් සමත් වූ අතර පසුකාලීනව වැරදි තීරණයක් ලබාදී කුමාර් සංගක්කාරට ද්විත්ව ශතකයක් ලබාගැනීම පවා අහිමි කල කර්ට්සන් විනිසුරුවරයා මෙම තරඟයේදීද 3වන පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පිටියට පිවිසි සංගාගේ ඉනිම ලකුණු 17කට සීමා කරන්නේ වැරදි තීරණයක් ලබාදීමෙනි.

එංගලන්ත වේගපන්දු යවන්නෙක් වූ 
ක්‍රේග් වයිට් විසින් කුමාර් සංගක්කාරට යැවූ පන්දුවක් පිත්තේ නොගෑවී වැලමිටේ වැදී ඉහළ ගොස් මාකස් ට්‍රෙස්කොතික් රැකගත් අවස්ථාවේදි එය දැවීයාමක් ලෙස කර්ට්සන් විනිසුරුවරයා තීරණය කරන්නේ එම තරඟයේදි විනිසුරුවන් විසින් ලබාදුන් පළමු වැරදි තීරණයට මූලිකත්වය ලබාදීමෙනි.

කෙසේ වෙතත් මුල් කඩුළු 4 කණ්ඩායමේ මුළු ලකුණු 80ක් වනවිට දැවීයාමෙන් පසු සාර්ථක සබඳතාවයක නිරත වන මහේල ජයවර්ධන හා රසල් ආර්නල්ඩ් එංගලන්ත පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් පිටියේ අණසක පැතිරූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 221ක් වනවිට 5වන කඩුල්ල ලෙස මහේල ජයවර්ධන දැවී යනවිට ඔහු ලකුණු 101ක් ලබාගන්නට සමත් වී අවසන්.

මහේලගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි යොවුන් පිතිකරු T.M දිල්ශාන් සමඟ එක්වෙන ආර්නල්ඩ් අගනා ලකුණු 65ක් රැස්කිරීමෙන් අනතුරුව 6 වන කඩුල්ල ලෙස ඩැරන් ගෆ්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිටදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 277ක් ලෙස සටහන්ව තිබූ අතර ඉන් පසුව පිටියට පිවිසි කුමාර ධර්මසේන,
චමින්ද වාස් හා නුවන් සොයිසා ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවන එංගලන්ත වේග පන්දුයවන්නන් වූ ඇන්ඩි කැඩික් හා ඩැරන් ගෆ්, අවසන් බලාපොරොත්තුව වූ T.M දිල්ශාන්වද දවා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 297කට සීමා කිරීමට සමත් වෙනවා.

පළමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 10ම එංගලන්ත වේග පන්දුයවන්නන් හමුවේ දැවීයාමද සුවිශේෂී සිදුවීමක්.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ මයිකල් ඇතර්ටන් හා මාකස් ට්‍රෙස්කොතික් දෙදෙනාවම මුළු ලකුණු 37ක් වනවිට දවාගැනීමට චමින්ද වාස් හා කුමාර ධර්මසේන සමත් වන්නේ එංගලන්ත ප්‍රේක්ෂකයින් හා කණ්ඩායම නිහඬ කරවමින්.

කඩුල්ල මුවා කිරීමේ වරද නිසා අනිවාර්යයෙන්ම දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කල යුතු අවස්ථාවකදී B.C කුරේ විනිසුරුවරයා ලබාදුන් වැරදි තීරණයක් නිසා එංගලන්ත පිතිකරු මයිකල් ඇතර්ටන් දෙවන ජීවය ලැබුවද එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් නොලබා ඔහු ලකුණු 7කට දැවී යෑම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අස්වසාලන්නට සමත් වුවත් ඉන් අනතුරුව පිටියට පිවිසි එංගලන්ත නායක නසාර් හුසේන්ගේ නියත දැවීයෑම් 3ක් කුරේ විනිසුරුවරයා නිෂ්ප්‍රභා කිරීම නිසා ඔහු ශතකයක් රැස්කිරීම ගැන නම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් සතුටට පත්වන්නේ නැහැ.

නසාර් හුසේන් විසින් සිලි පොයින්ට් හා ස්ලිප් කලාපයන් වෙත ලබාදුන් උඩපන්දු 3ක්ම නොදැවී යෑම් ලෙස නම්කල B.C කුරේ මහතා ක්‍රීඩාංගනයේ තිබූ විශාල තිරයෙන් ඔහු ලබාදුන් වැරදි තීරණ නැවත නැවතත් පුනරූපනය වීම නිසා යම් පීඩනයකට ලක්වූ බව ඔහු හැසිරුණු ආකාරයෙන් පෙනීගිය අතර පීඩනයට ලක්වීම නිසා ඔහු ඉන්පසු ලබාදුන් තීරණ බොහෝමයක් වැරදීමටද හේතුපාදක වූ බව අවිවාදයෙන්ම සඳහන් කල හැකියි.

තරඟය පැවැත්වෙන අතරතුර ඕවරයක් අවසන් වූ පසු සිලි පොයින්ට් හි සිටි ශ්‍රී ලංකා පන්දු රකින්නෙක් එංගලන්ත පිතිකරු නසාර් හුසේන්ගෙන් පසුගිය ඕවරයේදි කුරේ විනිසුරු විසින් නොදැවී යාමක් ලෙස නම්කල උඩපන්දුව සැබවින්ම පිත්තේ ගෑවුනාද යන්න විමසා සිටිය විට ඔහු පවසා ඇත්තේ,

"ඔව් අනිවාර්යයෙන්ම.
පිත්තේ වැදුනා.ඒක උඹලගේ අවාසනාව, 
ඊළඟ පාර උත්සාහ කරපන්"
ලෙසයි.

එංගලන්‍ත පිතිකරුවන් හෘද සාක්ෂියට අනුව තමා දැවීගිය බව දැන දැනත් විනිසුරුවන් තීරණය ලබාදෙන තුරු බලා සිටියේ මහත්මාගුණයට වඩා ඔවුන්ට තරඟාවලියේ රැඳී සිටීම වැදගත් වූ නිසාවෙනි.
ග්‍රැහැම් හික් විසින් මුරලගේ පන්දුයැවීම හමුවේ වෙත පෙරලා ඔහු වෙතම ලබාදුන් උඩ පන්දුවක්ද B.C කුරේ මහතා විසින් නිෂ්ප්‍රභා කිරීම ඔහු පිළිබඳව දේශීය ප්‍රේක්ෂකයින්ගේ කෝපය වැඩි කරවන කාරණයක් වූ අතර වාසනාවකට හික් ලකුණු නොලබා මුරලිගේ පන්දුවකටම දැවීයනවා.

තරඟයේ 3වන දිනයේ උදෑසන වන විට,

"Bad call Cooray"

"B.C උඹ තරඟය විකුණලා එංගලන්තයේ වීසා ගන්නද හදන්නේ?"

වැනි පුවරු කිහිපයක් ප්‍රේක්ෂකාගාරයේ දක්නට ලැබුනේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් විනිසුරු කෙරෙහි තිබූ අප්‍රසාදය ලොවක් ඉදිරියේ ප්‍රදර්ශනය කරමින්.

එමෙන්ම දේශීය පුවත්පත් පවා නිවේදනය කලේ,

"Cooray bats for England"

ලෙසයි.

කෙසේ වෙතත් විනිසුරුවන්ගේ නොමඳ සහයත් සමඟින් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 387ක් ලබාගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 90ක් ඉදිරියෙන් සිටිමින්.

එංගලන්තය වෙනුවෙන්,
නායක නසාර් හුසේන් ලකුණු 109ක්ද,
ග්‍රැහැම් තෝප් ලකුණු 59ක්ද,
ඇලෙක් ස්ටුවර්ට් ලකුණු 54ක්ද,

ලබාගන්නට සමත් වෙද්දී,

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුරලි ලකුණු 127කට කඩුළු 4ක් දවාගන්නට සමත් වෙනවා.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී යන අතර එම දැවීයාම එකල ප්‍රේක්ෂකයින්ගේ  මතකයෙන් නම් නොමැකී යන්නක්ම වනවා නොඅනුමානය.
ඇන්ඩි කැඩික් විසින් යැවූ පන්දුව ජයසූරියගේ පිත්තේ දැවටී ඉහල ගිය පසු ග්‍රැහැම් තෝප් රැකගත්තත් ජයසූරිය විනිසුරුවන් තීරණය ලබාදෙන තුරු කඩුල්ලේ රැඳී සිටියේ සැබවින්ම උඩපන්දුව රැකගැනීම කෙරෙහි තිබූ අවිශ්වාසය නිසාවෙනුයි.

ඉන් අනතුරුව මේ පිළිබඳව සාකච්ඡා කරන කුරේ විනිසුරු හා කර්ට්සන් විනිසුරු රූපවාහිනී පුනරූපනයක් පවා දැකීමෙන් තොරව ජයසූරිය දැවී ගිය බව දන්වා සිටි අතර ජයසූරිය ක්‍රීඩාගාරයට යන්නේ මහත් කෝපයෙන්.
ජයසූරිය වැන්නෙක් කෝපය නිසා එවැනි ලෙස හැසිරුන අවස්ථාවක් අප සියළුදෙනාම ඊට පෙර දැක නොමැති අතර නැවත ක්‍රීඩාගාරයට පැමිණෙන අතරවාරයේ ජයසූරිය ඔහුගේ හිස් ආවරණය විසිකරමින් ඉතාම කෝපයට පත්ව සිටි බවක් පෙන්නුම් කලා.

පුනරූපන විමසීමේදී පෙනී යන්නේ අඩියක් පමණ ඉදිරියේ බිම පතිත වී පැමිණෙන උඩපන්දුවක් තෝප් රැකගත් බව අතර පසුකාලීනව එංගලන්ත ක්‍රීඩක ඇලෙක් ස්ටුවර්ට් පවසන අන්දමට ඔවුන් පවා මෙම දවාගැනීම විනිසුරුවන් විසින් අනුමත කිරීම පිළිබඳව ලැජ්ජාවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 250ක් දක්වා ඉහල දමන්නට කුමාර් සංගක්කාරගේ ලකුණු 95ත් කුමාර ධර්මසේනගේ අගනා ලකුණු 54ත් චමින්ද වාස්ගේ ලකුණු 36ත් ප්‍රධාන වශයෙන්ම ඉවහල් වූ අතර තරඟය අතරවාරයේ දෙපිළේ ක්‍රීඩකයින් අතර උණුසුම් වාග් සංග්‍රාම ඇතිවුන බවද නොරහසක්.
තරඟය ජයගැනීමට ලකුණු 160ක ඉලක්කයක් එංගලන්තයට හිමි වනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාර එංගලන්ත ක්‍රීඩකයින්ට වංචාකරුවන් ලෙස චෝදනා කල බවත් නසාර් හුසේන්ව උපහාසයට ගත් බවත් තරඟය බලාසිටි කෙනෙකුට අමතක නොවන කාරණාද වන අතරම තරඟය අවසාන වනවිටදී දෙපිළේම බහුතර ක්‍රීඩකයින්ට විවිධ හේතූන් මත දඩමුදල් ගෙවීමටද සිදුවනවා.

දෙවන ඉනිමට කඩුළු 7කට ලකුණු 161ක් ලබාගනිමින් එංගලන්තය තරඟය ජයග්‍රහණය කල අතර B.C කුරේ මහතාට ප්‍රේක්ෂක අප්‍රසාදය දසතින් එල්ලවන්නටද පටන් ගත් අතර තරඟය අවසන් වීමෙන් පසු පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදි තරඟයේ වීරයා සම්මානය නිවේදනය කරනවිට ප්‍රේක්ෂකයින් මහ හඬින් 'B.C කුරේ' විනිසුරුගේ නම ප්‍රකාශ කලා.
අවසානයේ කුරේ විනිසුරු හා කර්ට්සන් විනිසුරු ක්‍රීඩාංගනයෙන් පිටව යන්නේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වන අතර කුරේ විනිසුරුවරයාගේ විනිසුරු දිවිය අවසන් කරන්නත් මෙම තරඟය හේතු පාදක වෙනවා.

කොළඹ SSC පිටියේ පැවති 3වන ටෙස්ට් තරඟයත් ජය ගනිමින් එංගලන්තය ටෙස්ට් තරඟාවලිය තරඟ 2-1 ලෙස ජය ගන්නා අතර ඉන් පසුව පැවති එක්දින තරඟාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව හමුවේ පරාජය වෙනවා.

2002 වසරේදි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩා කරන රටවල් දෙකෙහි විනිසුරුවන් යොදා නොගැනීමත් එක්දින තරඟ සඳහා එක් දේශීය විනිසුරුවරයෙක් පමණක් යොදාගැනීමටත් මෙම තරඟය මූලික වන අතරම කර්ට්සන් විනිසුරුවරයාගේ වැරදිත් කරගසාගැනීමට සිදුවන කුරේ විනිසුරු මහතා වසර 23ක විනිසුරු දිවිය හමාර කරන්නේ අවාසනාවන්ත අන්දමින්.

නැවත හමුවන තුරු ඔබට ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment