Thursday, July 4, 2019

සුදු - කළු භේදයට අභියෝග කළ කල්‍යාණ මිත්‍රයෝ

- සර් ඉයන් බොතම් & සර් විව් රිචඩ්ස් -


අද කතාවට කතා නායකයින් දෙදෙනෙකි.
ඉන් පළමුවැන්නා සර් විව් රිචඩ්ස්ය.
සියල්ලටම පළමුව කිව යුතු වන්නේ අවිවාදයෙන්ම 70 දශකයේ හා 80 දශකයේ ලොව සිටි හොඳම පිතිකරුවා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල රජු ලෙස නම්දරා සිටි සර් විව් රිචඩ්ස් බවයි.
හිස් ආවරණ පවා නොමැතිව අති භයානක පන්දුයවන්නන්ට කිසිදු පැකිලීමකින් තොරව හිතේ හැටියට සර් විව් පන්දුවට පහර දුන් ආකාරය විටෙක මනරම්ය,විටෙක ඉතා ප්‍රචණ්ඩය.
තවමත් ලොව පහලවූ හොඳම පිතිකරුවා සර් විව් බව විශ්වාස කරන අය එමටය.
ඒ තරමට සර් විව් වැඩකරුවෙකි.
එමෙන්ම මහත්මා ගුණ තිබූ ක්‍රීඩකයෙකි.

කතාවේ අනෙක් කතා නායකයා වන්නේ එංගලන්තයෙන් බිහිවූ සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන සර් ඉයන් බොතම්ය.
සර් ඉයන්ට පිත්තෙන් පමණක් නොව පන්දුවෙන් වැඩ දැමීමද හොඳින් පුරුදුය.
සුප්‍රසිද්ධ පිතිකරුවන් සර් ඉයන්ගේ පන්දු හමුවේ අසරණ වූ අවස්ථා ඕනෑ තරම්ය.
එමෙන්ම සුප්‍රසිද්ධ පන්දු යවන්නන් සර් ඉයන්ගේ පිත්ත ඉදිරියේ අසරණ වූ අවස්ථාද ඒ හා සමාන මිස අඩුවක් නම් නැත.

අන්‍ත දෙකක එකිනෙකාට හාත්පසින්ම වෙනස් පසුබිමකින් පැමිණෙන මේ සුපිරි දක්ෂයින් දෙදෙනාගේ මිත්‍රත්වය ඇරඹෙන්නේ 1974 වසරේදීය. 
ඒ මේ දෙදෙනාම එංගලන්තයේ ප්‍රාන්ත තරඟ සඳහා සමර්සෙට් ප්‍රාන්තය සඳහා ක්‍රීඩා කිරීමට තෝරා පත් වන නිසාය.
කට්ට කලු විව් රිචඩ්ස්ට සිදුවන්නේ ඔලුව උදුමවාගත් සුද්දන් ගොඩක් මැද ක්‍රීඩා කිරීමටය.මේ හේතුව නිසා මුල් කාලයේ ඇතිවූ මානසික අපහසුතාවයන් අවම කරගැනීමට විව් රිචඩ්ස්ගේ උදව්වට පැමිණෙන්නේ නව යොවුන් වයසේ සිටි ඉයන් බොතම්ය.

අනෙක් සුද්දන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ ඉයන්, විව් රිචඩ්ස් නම් කල්ලා මුණගැසුනු පළමු දින සිටම ඔහු හා කුළුපග විය.
දෙදෙනා සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් තරඟ කල පළමු තරඟයේ පළමු ඉනිමේදී පිතිකරුවෙක් ලෙස නම් දැරූ විව් ලබාගත්තේ ලකුණු 0කි.
නමුත් පන්දුයවන්නෙක් ලෙස නම්දැරූ ඔහුගේ මිතුරා වූ ඉයන්, විව් අතින් පිතිකරණයේදී සිදුවූ අඩුපාඩුව මඟහරවමින් එම ඉනිමේදීම ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ කෙසේ වෙතත් පිටියේදී තම මිතුරාට වුවද දෙවෙනි වීමට විව්ගේ කැමැත්තක් තිබුණේ නැත.පිතිකරණයෙන් පසු පන්දු යැවීමට පැමිණි සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතවන ඔහු කඩුළු 5ක් දවාගනිද්දී ඔහුගේ මිතුරා වූ ඉයන් එක කඩුල්ලක් වත් දවාගැනීමට සමත් වූයේ නැත.
එදින ඇරඹුන ඒ මිත්‍රත්වය හා පිටියේ කරට කර සටන් වැදීමේ ගුණාංගය තවත් වසර ගණනාවක් සමර්සෙට් කණ්ඩායමට විශාල ජයග්‍රහණ ගෙන ඒමට සමත්කම් දැක්වීය.

ක්‍රිකට් පිටියෙන් පිටතදී හොඳම මිතුරන් බවට පත්වන ඉයන් හා විව්, ඉයන්ගේ මව්බිම වන එංගලන්තයේ හා විව්ගේ මව්බිම වන ඇන්ටිගුවා දූපතේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇවිද්දේ දෙදෙනාගේ අන්‍යොන්‍යය සබඳතාවය තව තවත් වර්ධනය කරගනිමින් වන අතර විව්ගේ පවුලට ඉයන්ද, ඉයන්ගේ පවුලට විව්ද  තවදුරටත් ආගන්තුකයන් නොවූ බව කිව යුතුමය.මේ මිතුරන් දෙදෙනාම තම විවාහයෙන් පසුව පවා මේ මිත්‍රත්වය පවත්වා ගත් අතර ඉයන්ගේ දරුවන්ට විව් රිචඩ්ස් ලොකු තාත්තා කෙනෙක් වෙද්දී විව්ගේ දරුවන්ට ලොකු තාත්තා වූයේ ඉයන්ය.

ඒ තරමටම මේ බැඳීම ප්‍රභලය!

මේ අතරවාරයේ 1977 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් සුපිරි වේග පන්දු යවන්නෙක් වූ ජොයෙල් ගානර්ද සමර්සෙට් පිලට එක්වන්නේ  මේ මිත්‍රත්වය තව තවත් වර්ධනය කිරීමට හේතුවක් වෙමිනි.1977 වසර වන තුරු පැවති මිතුරන් දෙදෙනාගේ සමාජය මිතුරන් තිදෙනෙකුගේ සමාජයක් බවට පත්විය.
ඔවුන් එක්ව පිටියේදී හා ඉන් පිටතදී සිදුකල දෑ බොහෝය.ලබාගත් ජයග්‍රහණ ප්‍රමාණයද සුළුපටු නැත.

වසර 10ක් පමණ එකම ප්‍රාන්තයට ක්‍රීඩාකල මේ තිදෙනාගේ පිටියේ කල හරඹයන් වලට විශාලම බාධකය එල්ලවන්නේ 1987 වසරේදීය.
ඒ එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් වලට ක්‍රීඩා කල හැකි ක්‍රීඩකයන් සීමා කිරීමට එරට කළමනාකාරීත්වය තීරණය කිරීම නිසාවෙනි.
එක් කණ්ඩායමකට ක්‍රීඩා කල හැකි විදේශ ක්‍රීඩකයන් ගණන එක් ක්‍රීඩකයෙකුට සීමාවූ අතර එවකට සමර්සෙට් කණ්ඩායමේ නායකයා වූයේ පීටර් රෝබක් නමැති කළගුණ නොදත් බියගුල්ලෙකි.
නව නීතිය ප්‍රයෝජනයට ගෙන පීටර් විසින් වසර ගණනක් සමර්සෙට් පිලේ බර කරටගත් විව් හා ජොයෙල් ඉවත් කර ඒ වෙනුවට නවසීලන්තයේ මාටින් ක්‍රෝ තම කණ්ඩායමට එක් කරගැනීමට තීරණය කලේය. 
පසු කලෙකදී පීටර් පවසා තිබුණේ එසේ සිදුකලේ විශේෂයෙන්ම ඔහු විව්ට තිබූ බය නිසා බවයි.

මේ තීරණය කන වැකුණු විව් සහ ජොයෙල්ගේ අතිජාත මිතුරා ඉයන් කෝපයටත් කලකිරීමටත් පත්වන අතර ඔහු තම මිතුරන් දෙදෙනා ඉවත්කිරීම නිසාවෙන් සමර්සෙට් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කලේය.
සමර්සෙට් කණ්ඩායමෙන් ඉවත්වුණු ඉයන්
වෝක්ෂයර් කණ්ඩායම සමඟින් නව ගිවිසුමකින් එක්වන අතර විව් හා ජොයෙල් දෙදෙනාම එංගලන්ත ප්‍රාන්ත දිවියෙන් සමුගෙන වෙනත් තරඟාවලි වෙත යොමුවීමට තීරණය කරන ලදි.

1974 සිට අද දක්වාම එකසේ මිතුරන් වන මේ ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන සියල්ලන්ටම ආදර්ශයක් සැපයූ අතර මෑතකදී පැවති සර් විව්ගේ 60වන උපන්දිනයදා සර් ඉයන් පැවසූයේ සර් විව් ඔහුට මිතුරෙක්ටත් වඩා ඔහුගේම සහෝදරයෙක් ලෙස දැනෙන හැඟෙන බවයි.

තවත් ලිපියකින් හමුවන තුරු ඔබට ජය ✌
- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment